යොවුන් සිතේ ගැටලු
වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
“මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියලා පාවුල් කිව්වා. (රෝම 7:21) ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් ඒ වගේ වෙලාවට වැරදි දෙයක් කරන්නේ නැතුව ඉන්න ඔයාට මේ ලිපිය උදව් වෙයි.
ඔයා දැනගෙන ඉන්න ඕන දේ
යාළුවන්ගේ බලපෑම නිසා වරදක් කරන්න පෙලඹෙන්න පුළුවන්. බයිබලයේ මෙහෙම කියනවා. “නරක ආශ්රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.” (1 කොරින්ති 15:33) යාළුවන්ගේ බලපෑම නිසා ඔයාගේ හිතේ වැරදි ආශාවන් ඇති වෙන්න පුළුවන්. ටීවී එකේ, ඉන්ටනෙට් එකේ ඔයා දකින දේවල් නිසාත් ඒ දේ වෙනවා. ඉතින් ‘වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ කරන්න’ ඔයා පෙලඹෙන්න පුළුවන්.—නික්මයාම 23:2.
“අනිත් අය අපිව ගණං ගන්නේ නැතුව ඉන්නවාට අපි කැමති නැහැ. ඉතිං එයාලව සතුටු කරන්න ඕන නිසා එයාලා කරන ඕනම දෙයක් කරන්න අපිත් පෙලඹෙන්න පුළුවන්.”—ජෙරමි.
හිතන්න දෙයක්: ‘මං ගැන අනිත් අය මොනවා හිතයිද’ කියලා ඕනෑවට වඩා වැඩියෙන් හිතුවොත් වරදක් කරන්න එන පෙලඹීම වැඩි වෙන්න පුළුවන්. ඒ ඇයි?—හිතෝපදේශ 29:25.
මේක මතක තියාගන්න: වැරදි දේවල් කරන්න යාළුවන්ගෙන් බලපෑමක් ආවත් හරි දේ ගැන ඔයාට තියෙන ප්රතිපත්ති බාල කරන්න එපා.
ඔයාට කරන්න පුළුවන් දේ
ඔයා යම් දෙයක් විශ්වාස කරන්නේ ඇයි, යම් දෙයක් කරන්නේ හරි කරන්නේ නැත්තේ හරි ඇයි කියලා හොඳට තේරුම්ගන්න. ඔයා යම් දෙයක් විශ්වාස කරන්නේ ඇයි කියලා ඔයාටම තේරෙන්නේ නැත්නම් ඔයාත් හරියට අනිත් අයගේ අතින් නැටවෙන රූකඩයක් වගේ වෙයි. ඒ නිසා බයිබලයේ තියෙන මේ උපදෙස පිළිපදින එක ගොඩක් වටිනවා. “සෑම දෙයක්ම සෝදිසි කර බලා යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න.” (1 තෙසලෝනික 5:21) ඔයා යම් දෙයක් විශ්වාස කරන්නේ ඇයි කියලා ඔයා හොඳින් තේරුම් අරන් ඉන්නවා නම්, විශ්වාස කරන දේට එකඟව ජීවත් වෙන්න ඔයාට පහසුයි. ඒ වගේම ඔයා විශ්වාස කරන දේට එකඟ නැති වැරදි පෙලඹීම් එද්දී එවාට යටත් නොවී ඉන්නත් ඔයාට පුළුවන් වෙයි.
හිතන්න දෙයක්: දෙවියන්ගේ සදාචාර ප්රමිති පිළිපදින එකෙන් හොඳක් වෙන්නේ ඔයාටමයි කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?
“වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට ඉඩ දෙන්නේ නැතුව, මං විශ්වාස කරන දේට එකඟව දේවල් කරන හැම සැරේම අනිත් අය මට ගරු කරනවා.”—කිම්බර්ලි.
බයිබලයෙන් ඔයාට ආදර්ශයක්: දානියෙල්. දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන්න “තම හදවතින්ම අදිටන්” කරගද්දී එයා හිටියේ යොවුන් වියේ වෙන්න පුළුවන්.—දානියෙල් 1:8.
ඔයාගේ දුර්වල පැති හඳුනගන්න. “යොවුන් වියට ආවේණික වූ ආශාවන්,” ඒ කියන්නේ, විශේෂයෙන්ම යෞවන කාලේදී ඇති වෙන ආශාවන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 2:22) ඒවාට ලිංගික ආශාවන් විතරක් නෙමෙයි, අනිත් අයගේ හිත දිනාගන්න සහ වැඩිහිටියන්ගේ අනුදැනුමක් නැතුව හිතුමතේට දේවල් කරන්න තියෙන ආශාවත් ඇතුළත් වෙනවා.
හිතන්න දෙයක්: “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 1:14) ඔයාගේ හිතට වැඩියෙන්ම එන්නේ කොයි වගේ වැරදි ආසාවක්ද?
“වැරදි කරන්න ඔයා වැඩියෙන්ම පෙලඹෙන්නේ මොන ආශාව නිසාද කියලා අවංකවම ඔයාගේ හිතෙන් අහලා බලන්න. ඒ ආශාව පාලනය කරගන්නේ කොහොමද කියලා බයිබලයෙන්, අපේ ප්රකාශනවලින් හොයලා බලන්න. එහෙම කරද්දී ඔයාට ප්රයෝජනවත් කියලා හිතෙන කරුණු ලියාගන්න. එතකොට ඒ වැරදි ආශාව මතු වෙන ඊළඟ සැරේදී ඔයාට ඒක පාලනය කරගන්න පුළුවන් වෙයි.”—සිල්වියා.
බයිබලයෙන් ඔයාට ආදර්ශයක්: දාවිත්. සමහර අවස්ථාවලදී දාවිත් අනිත් අයගේ බලපෑමට අහු වුණා. ඒ වගේම එයාගේම වැරදි ආශාවන්ටත් එයා ඉඩ දුන්නා. ඒත් දාවිත් එයාගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගත්තා. එයා ඒ වැරදි ආයෙත් කරන්නේ නැතුව ඉන්න වෑයමක් දැරුවා. “මට පිරිසිදු හදවතක් ලබා දෙන්න. නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න” කියලා එයා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා.—ගීතාවලිය 51:10.
ඔයාවම පාලනය කරගන්න. බයිබලයේ මෙහෙම කියනවා. “නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න.” (රෝම 12:21) ඒ කියන්නේ වැරදි දෙයක් කරන්න හිතට පෙලඹීමක් එද්දී කූඩුවක හිර වුණු කුරුල්ලෙක් වගේ ඒ පෙලඹීමට කොටු වෙන්නේ නැතුව හරි දේ කරන්න තීරණය කරන්න ඔයාට පුළුවන්.
හිතන්න දෙයක්: වරදක් කරන්න හිතෙනකොට, මාවම පාලනය කරගෙන හරි දේ කරන්න මට පුළුවන් කොහොමද?
“හිතට එන ආශාවට ඉඩ දීලා වැරදි දේ කළොත් ඊටපස්සේ මට කොහොම දැනෙයිද කියලා මං හිතලා බලනවා. මට සතුටක් දැනෙයිද? සමහරවිට ඒ මොහොතට විතරක් සතුටක් දැනෙයි. ඒත් ඊටපස්සේ මට මං ගැන හොඳ හැඟීමක් තියෙයිද? නැහැ. එහෙමනම් ඒක කරන එක හරිද? නැහැ. ඒක වැරදයි!”—සෝෆියා.
බයිබලයෙන් ඔයාට ආදර්ශයක්: පාවුල්. වැරදි දෙයක් කරන්න තමන් පෙලඹෙන්න පුළුවන් කියලා පාවුල් පිළිගත්තා. ඒත් එයා ඒ පෙලඹවීම්වලට තමන්ව පාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. එයා මෙහෙම ලිව්වා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.”—1 කොරින්ති 9:27.
මේක මතක තියාගන්න: වැරදි ආශාවන්ට යටත් වෙනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.
වැරදි දෙයක් කරන්න එන පෙලඹීම් තියෙන්නේ ටික කාලෙකට විතරයි කියලා මතක තියාගන්න. “ඉස්කෝලේ යන කාලේ හිතට ආපු වැරදි ආශාවන් දැන් මගේ හිතට එන්නෙවත් නැහැ” කියලා 20හැවිරිදි මෙලිසා කියනවා. “ඒ නිසා මං දන්නවා දැන් මගේ හිතේ ඇති වෙන වැරදි ආශාවනුත් කාලයක් යද්දී නැති වෙලා යයි කියලා. ඒවාට යටත් නොවිච්ච එක කොච්චර හොඳද කියලා මට එදාට හිතෙයි.”