නිර්මාණයක්ද?
එක සෛලයයි වැඩ කෝටියයි!
දරුවෙක් පිළිසිඳගන්න ක්‍රියාවලිය පටන්ගන්නේ පියවි ඇසට නොපෙනෙන සෛලයකින්. ඒකට කියන්නේ යුක්තානුව කියලා. ඒ සෛලය විවිධ හැඩයේ, ප්‍රමාණයේ සහ විවිධ ක්‍රියාවන් වෙනුවෙන් හැදුණු සෛල වර්ග 200කට වඩා වැඩි ප්‍රමාණයකට බෙදෙනවා. ඒ විදිහට මාස කිහිපයකින් එක සෛලයක් අංග සම්පූර්ණ දරුවෙක් දක්වා වර්ධනය වෙනවා.
මේ ගැන හිතන්න: මුලින්ම යුක්තානුව DNA පිටපත් කරගෙන දෙකට බෙදෙනවා. ඒ විදිහට බෙදෙන සෛල ඒ ක්‍රියාවලියම ආයේ ආයේ සිදු කරනවා. මුලින් හැදෙන සෛල එකකට එකක් සමානයි. ඒත් ඒ සෛලවල තියෙන DNA ඇතුළේ අනිත් හැම වර්ගයකම සෛල හදන්න ඕනෙ තොරතුරු ගබඩා වෙලා තියෙනවා.
දරුවෙක් පිළිසිඳගෙන සතියකට පස්සේ ඒ සෛල, විශේෂ කාර්යයන් දෙකක් කරන්න පටන්ගන්නවා. සමහර සෛල කලලය විදිහටත් අනිත් සෛල කලලයේ වර්ධනයට උදව් වෙන කලල බන්ධනය (වැදෑමහ) සහ ඒ ආශ්‍රිත පටක විදිහටත් වෙනස් වෙන්න පටන්ගන්නවා.
තුන්වෙනි සතිය වෙද්දී කලලයේ තියෙන සෛල, ස්තර තුනක් විදිහට සකස් වෙනවා. පිටත ස්තරයේ සෛලවලින් තමයි ස්නායු, මොළය, මුඛය සහ පිටත හම වගේ දේවල් හැදෙන්නේ. මධ්‍ය ස්තරයේ සෛලවලින් තමයි රුධිරය, අස්ථි, වකුගඩු, මාංස පේශි සහ පටක හැදෙන්නේ. ඇතුළත ස්තරයේ සෛලවලින් පෙණහලු, මුත්‍රාශය සහ ආහාර ජීර්ණ පද්ධතිය වගේ අභ්‍යන්තර අවයව හැදෙනවා.
මවක් ගැබ්ගෙන ඉන්න කාලය අතරතුර සමහර සෛල තනිව නැත්නම් කණ්ඩායම් විදිහට කලලයේ විවිධ තැන්වලට ගමන් කරනවා. අනිත් සෛල එකට එකතු වෙලා තුනී පටල, ගෙතුණු පටි සහ කුටීර විදිහට වෙනස් වෙනවා. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න නම් සෛල අතර හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. උදාහරණයකට සමහර අවස්ථාවලදී තුනී පටල හැකිළිලා පුංචි නාළ හැදෙනවා. මේ දේ කලලයේ විවිධ තැන්වල එකම වෙලාවේ සිද්ධ වෙනවා. ඒ නාළ දිගින් වැඩි වෙලා ශාඛාවලට බෙදෙනවා. ඒවා එකට එකතු වෙලා තමයි සංසරණ පද්ධතියක් හැදෙන්නේ.
බිලියන ගාණක් සෛල හරි වෙලාවට, හරි තැනේදී, නිවැරදි කාර්යය කරන්න පටන්ගන්න නිසයි නිරෝගී දරුවෙක් මෙලොව එළිය දකින්නේ.
ඔයාගේ නිගමනය මොකක්ද? හරි වෙලාවට, නියමිත කාර්යය කරන්න සෛලයකට හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?