Skip to content

Heather Broccard-Bell/iStock via Getty Images

නිර්මාණයක්ද?

පුංචි යකඩයා

පුංචි යකඩයා

 ඩයබොලිකල් අයන්ක්ලැඩ් කියන කුරුමිණියාව (Phloeodes diabolicus) අපිට හම්බ වෙන්නේ උතුරු ඇමරිකාවේ බටහිර පැත්තෙන්. පර්යේෂකයන් කියන විදිහට උගේ ශරීරයේ බර වගේ 39,000 ගුණයක විතර බරක් දරාගන්න ඌට පුළුවන්. කාර් එකක් උගේ ඇඟ උඩින් ගියත් මේ කුරුමිණියාට නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ බරක් දරාගන්න ඌට පුළුවන් කොහොමද?

 මේ කුරුමිණියාගේ කට්ටේ උඩ කොටස සහ යට කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ කට්ට දෙපැත්තේ තියෙන පුංචි කාණුවලින්. එක කාණු වර්ගයක් නිසා පීඩනයක් වැටුණත් ඌව පොඩි වෙලා යන්නේ නැහැ. ඒවා නිසා උගේ ශරීරයේ අත්‍යවශ්‍ය අවයව ආරක්ෂා වෙනවා. අනිත් කාණු වර්ගය ටිකක් නම්‍යශීලී නිසා ඌට ශරීරයේ හැඩය වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාණු වර්ගය නිසා කට්ටේ මතුපිට එහෙට මෙහෙට කරන්න ඌට පුළුවන්. ඒ නිසා ගල්වල තියෙන පුංචි පැළුම් සහ ගස් පොතු අස්සට වුණත් රිංගන්න ඌට පුළුවන්.

 ඊට අමතරව කුරුමිණියාගේ කට්ටේ උඩ පැත්ත එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ ජිග්සෝ පසල් එකක කෑලි එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහටයි. ඒ නිසා ලොකු බරක් උගේ කට්ට උඩට වැටෙද්දී ඒ පීඩනය විහිදිලා යනවා. ඒ වගේම ඒ සම්බන්ධක හැදිලා තියෙන්නේ තට්ටු කීපයක් එකට එකතු වෙලා. ඒ තට්ටු එකිනෙකට ඇලිලා තියෙන්නේ ප්‍රෝටීන අණුවලින්. පීඩනයක් වැටෙද්දී ඒ ප්‍රෝටීන අණුවල පුංචි පැළුම් ඇති වෙනවා. ඒත් ඒවා කාලයත් එක්කම සුව වෙනවා. ඒ පැළුම් නිසා කොච්චර බරක් වැටුණත් කට්ටට හානියක් වෙන්නේ නැහැ.

ජිග්සෝ පසල් එකක කෑලි වගේ කට්ටේ තියෙන දැතිත් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා

රතු ඊතලවලින් පෙන්නන්නේ කට්ටේ උඩ පැත්ත සහ යට පැත්ත සම්බන්ධ කරන කාණු. අළු ඊතලෙන් පෙන්නන්නේ එකිනෙකට සම්බන්ධ දැති තියෙන දාර දෙක

 පීඩනයට ඔරොත්තු දෙන වාහන, පාලම් සහ ගොඩනැඟිලි හදන්න මේ කුරුමිණියාගේ කට්ට ගැන තව තොරතුරු ගවේෂණය කරන එක උදව් වෙයි කියලා පර්යේෂකයන් කියනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ඩයබොලිකල් අයන්ක්ලැඩ් කුරුමිණියාගේ කට්ට ඌට ලැබුණේ පරිණාමය නිසාද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළාද?