නිර්මාණයක්ද?
අඳුරෙත් ඉලක්කය නොවරදින වවුලා
වවුලන්ට පෙනීමේ හැකියාව තිබුණත් කළුවරේදී අවට තියෙන දේවල් හඳුනාගන්න උන්ට බැහැ. ඒ නිසා හුඟක් වවුල් විශේෂ ශබ්ද පරාවර්තනය කියන ක්‍රියාවලිය උදව් කරගන්නවා. වවුලාට පුළුවන් ඌ පිට කරන ශබ්දය යම් දෙයක වැදිලා ආපහු එන්න ගත වෙන කාලයට අනුව ඒ දේ තියෙන්නේ කොච්චර දුරකින්ද කියලා හඳුනාගන්න. උදාහරණයකට සමහර වවුලන්ට පුළුවන් මදුරුවෙක් සහ පුංචි කුරුමිණියෙක් තටු සලන වේගයෙන් උන්ව වෙන් කරලා හඳුනාගන්න.
මේ ගැන හිතන්න. හුඟක් වවුලන් ශබ්ද තරංග නිපදවන්නේ උන්ගේ ස්වරාලයෙන්. නිපදවන ඒ ශබ්දය උන් පිට කරන්නේ උන්ගේ කටින් නැත්නම් නහයෙන්. පිට කරපු ශබ්දය යම් දෙයක වැදිලා පරාවර්තනය වෙලා එද්දී උන්ගේ ලොකු කන්වලින් උන් ඒවා ග්‍රහණය කරගන්නවා. අවට තියෙන දේවල් ගැන ත්‍රිමාන රූපයක් මනසේ ඇඳගන්න පරාවර්තනය වෙලා එන ඒ ශබ්ද තරංග උන්ට උදව් වෙනවා. ඒ තරංගවල උදව්වෙන් උන්ට පුළුවන් යම් දෙයක් තියෙන තැන, තියෙන දුර, තියෙන්නේ කොච්චර උසකින්ද කියලා දැනගන්න. ඒක කරන්න අනිත් වවුලන් පිට කරන ශබ්ද තරංග උන්ට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.
පරාවර්තනය වෙලා එන ශබ්ද තරංගයක් හඳුනාගැනීමේ හැකියාව වවුලෙක්ට තිතටම තියෙන්න ඕනේ. මොකද ඌ ඒක හඳුනාගන්න වෙලාව මිලිතත්පරයක් (තත්පරයකින් දාහෙන් එකක්) හරි වෙනස් වුණොත් උගේ ඉලක්කය සෙන්ටිමීටර් 17ක් (අඟල් 6.7ක්) විතර වෙනස් වෙනවා. සමහර පර්යේෂකයන් හිතුවේ වවුලන්ට මිලිතත්පරයකට වඩා අඩු කාලයක් හඳුනාගන්න “කොහොමටවත් බැහැ” කියලා. ඒත් අලුත්ම පර්යේෂණවලින් පේනවා උන් පිට කරන ශබ්ද තරංග පරාවර්තනය වෙලා එන්න ගත වෙන කාලය මිලිතත්පර නෙවෙයි නැනෝතත්පර 10ක්වත් (තත්පරයකින් මිලියන 100න් එකක්වත්) වෙනස් වෙන්නේ නැතුව හඳුනාගන්න උන්ට පුළුවන් කියලා. ඒ නිසා වවුලෙක්ට උගේ ඉලක්කය එහා මෙහා වෙනවා නම් එහෙම වෙන්නේ මිලිමීටරයක් හරි ඊටත් වඩා අඩු ප්‍රමාණයකින් හරි විතරයි.
පර්යේෂකයන් ශබ්ද තරංග පරාවර්තනය වෙන මේ ක්‍රියාවලිය යොදාගෙන අන්ධ අයට එයාලගේ අවට තියෙන දේවල් දැනගන්න උදව් වෙන ඉලෙක්ට්‍රෝනික සැරයටියක් නිපදවලා තියෙනවා. ඒ සැරයටියෙන් අන්ධ කෙනෙක්ට එයා ඇවිදගෙන යන පාරේ තියෙන බාධක විතරක් නෙවෙයි එයාගේ ඔළුව වදින මට්ටමේ ගහක අත්තක් වගේ දෙයක් තියෙනවාද කියලත් දැනගන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝනික සැරයටිය නිර්මාණය කරපු බ්‍රයන් හොයිල් සහ ඩීන් වෝටර්ස් කියන දෙන්නා ඒ ගැන මෙහෙම කියනවා. “මේ වගේ වැදගත් සොයාගැනීමක් කරන්න අපිට ඇත්තටම උදව් වුණේ පරාවර්තනය වෙලා එන ශබ්ද තරංගවලින් යම් දෙයක් තියෙන තැන හරියටම දැනගන්න වවුලාට තියෙන හිතාගන්න බැරි හැකියාවයි.”
ඔයාගේ නිගමනය මොකක්ද? පරාවර්තනය වෙලා එන ශබ්ද තරංගවලින් යම් දේවල් තියෙන තැන හරියටම දැනගන්න පුළුවන් හැකියාව වවුලාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?