Skip to content

නිර්මාණයක්ද?

හම්බෙල්ලාගේ ඇලෙනසුලු සෙවල

හම්බෙල්ලාගේ ඇලෙනසුලු සෙවල

 ශල්‍යකර්ම කරන්නත් හානියට පත් වුණු පටක අලුත්වැඩියා කරන්නත් උදව් වෙන මැලියම් වර්ගයක් හොයාගන්න කාලයක් තිස්සේ ශල්‍ය වෛද්‍යවරු වෑයම් කරලා තියෙනවා. දැනට භාවිත වෙන හුඟක් මැලියම් වර්ග විෂ සහිතයි. වේළෙද්දී ඒවා ගල් වෙන නිසා නම්‍යශීලී නැහැ. තෙතමනය සහිත තැන්වල ඇලෙන්නේ නැති නිසා ශරීරයේ පටකවල ඇලෙන්නේ නැහැ. ඒ හේතු නිසා ඒ මැලියම් වර්ග ශරීර අභ්‍යන්තරයට යොදාගන්න සුදුසු තත්වයක නැහැ. හැබැයි එක හම්බෙල්ලෙක්ගේ a සෙවල අධ්‍යයනය කරපු විද්‍යාඥයන් පිරිසක් ඒ ගැටලුවට විසඳුමක් හොයාගෙන තියෙනවා.

 මේ ගැන හිතන්න: ජීවිතයට යම් අනතුරක් වෙන්න යනවා කියලා දැනෙන අවස්ථාවලදී හම්බෙල්ලා උගේ ශරීරයෙන් ශ්‍රාවයක් පිට කරනවා. ඒ ශ්‍රාවය මොන තරම් ඇලෙනසුලුද කිව්වොත් තෙතමනය තියෙන කොළයක වුණත් ඇලිලා ඉන්න ඌට පුළුවන්. ඒ ශ්‍රාවය නිසා ඌට ආරක්ෂාවක් ලැබෙනවා විතරක් නෙවෙයි කොළයේ ඉද්දීත් උගේ ශරීරය ඒ මේ අත නමන්න ඌට පුළුවන් වෙනවා.

 හම්බෙල්ලා පිට කරන සෙවල අධ්‍යයනය කරපු පර්යේෂකයන් පිරිසක් ඒක ඒ තරම් ශක්තිමත් මැලියමක් වෙන්න දායක වෙන හේතු කීපයක් හොයාගෙන තියෙනවා. උදාහරණෙකට හම්බෙල්ලා පිට කරන සෙවල ඕනම මතුපිටක ඇලෙන්නේ රසායනික බන්ධනයන් සහ ස්ථිති විද්‍යුත් ආකර්ෂණය නිසයි. ඒ සෙවල යම් පෘෂ්ඨයක් මත වැටෙද්දී ලේසියෙන්ම ඒ පෘෂ්ඨය මගින් ඒ සෙවල උරාගන්නවා. ඒ වගේම ඇදෙනසුලු නම්‍යශීලී ස්වභාවයකින් යුක්ත නිසා ඒ සෙවලවලට ඕනෙම පීඩනයකට වුණත් ඔරොත්තු දෙන්න පුළුවන් වෙනවා. හම්බෙල්ලාගේ සෙවලවල සැකැස්ම අනුකරණය කරමින් අලුත් මැලියම් වර්ගයක් නිපදවන්න පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. වෛද්‍යවරුන් භාවිත කරන වෙන කිසිම මැලියම් වර්ගයකට වඩා ඒ මැලියම් හුඟක් ශක්තිමත්. ඒ මැලියම් වර්ගය ජීවියෙක්ගේ අවයවයක වුණත් හොඳින් ඇලෙනවා. සමහරු කියන්නේ ඒ මැලියම් හරියට “අස්ථිවලට හොඳින් බැඳිලා තියෙන කාටිලේජ වගේ” කියලයි.

 ඉදිරියේදී හැම ශල්‍ය වෛද්‍යවරයෙක්ම ඒ මැලියම් වර්ගය භාවිතයට ගනියි කියලත් එයාලා කැපුම් තුවාලවලට මැහුම් සහ ස්ටේප්ලර් යොදාගන්නවා වෙනුවට ඒ මැලියම් වර්ගය යොදාගනියි කියලත් විශාරදයන් විශ්වාස කරනවා. ශරීර අභ්‍යන්තරයේ යම් උපාංගයක් සවි කරන්න ඕන වුණාම ඒවා නිශ්චිත ස්ථානයේ තිතටම සවි කරන්නත් කාටිලේජ අලුත්වැඩියා කරන්නත් ඒ මැලියම් යොදාගන්න පුළුවන් කියලා ඒ අය කියනවා. ඒ මැලියම් යොදාගෙන කරපු පරීක්ෂණවලදී ඌරෙක්ගේ හදවතේ තිබුණු හිලක් වහන්නත් මීයන් කිහිපදෙනෙක්ගේ අක්මාවල තිබුණු හිල් වහන්නත් පුළුවන් වෙලා තියෙනවා.

 අවට ලෝකය අධ්‍යයනය කිරීමෙන් මේ වෙනකොටත් හුඟක් ප්‍රශ්නවලට හොඳම විසඳුම් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. කෘත්‍රිම මැලියම් වර්ගය නිපදවපු ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන ඩොනල්ඩ් ඉන්ග්බර් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “අපේ ප්‍රශ්නවලට ගැළපෙන විසඳුම් ඕන තරම් අවට ලෝකයෙන් හොයාගන්න පුළුවන්. ඒ විසඳුම් මොනවාද කියලා තේරුම්ගන්න නම් අපි ඒ දේවල් හොඳින් අධ්‍යයනය කරලා අපේ ප්‍රශ්නවලට ඒවා අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන හිතලා බලන්න ඕනේ.”

 ඔයාගේ නිගමනය මොකක්ද? හම්බෙල්ලාට ඒ තරම් ඇලෙනසුලු සෙවල නිපදවන්න හැකියාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?

a ඒ හම්බෙල්ලාගේ විද්‍යාත්මක නම “ඒරියොන් සබ්ෆස්කස්.”