ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | මරියා මග්දලේනා
“මම අපේ ස්වාමීන්ව දැක්කා”
ඇස් දෙකෙන් කඩා හැළෙන කඳුළු කැට ඇඟිලි තුඩුවලින් පිස දමන මරියා මග්දලේනා අහස දෙස බලනවා. ඇගේ ආදරණීය ස්වාමීන්ව වධකණුවේ ඇණ ගහලා. ඒක වසන්ත සමයේ කාෂ්ටක දවසක් වුණත් වෙලාව දවල් දොළහට කිට්ටු වෙලා තිබුණත් ‘මුළු පොළොවම අන්ධකාරයෙන් වැසී ගිහින්’ තිබුණා. (ලූක් 23:44, 45) මරියා ඇගේ සළුව කර වටේ දමාගෙන ඇය ළඟ හිටපු කාන්තාවන්ට තව ළං වෙනවා. දසත පැතිර තිබෙන අන්ධකාරය සූර්ය ග්‍රහණයක් නිසා ඇති වුණ එකක් නෙමෙයි. ඒ වගේ අන්ධකාරයක් තියෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. ඒත් මේ වෙනකොට පැය තුනක් පුරා අඳුර මුළු පරිසරයම වෙළාගෙන. රාත්‍රී කාලේ සැරිසරන සතුන්ගේ හඬත් වටින් ගොඩින් ඇහෙන්න පටන් අරන්. සිදු වෙන දේවල් නිසා සමහරු “මහත් බියකින්, ‘ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා’ කියා” කියනවා. (මතෙව් 27:54) ඒත් යේසුස්ගේ අනුගාමිකයන්ට සහ වෙනත් අයට හිතෙන්න ඇති ඒ දේවල් වෙන්නේ තමන්ගේ ආදරණීය පුතාගේ කුරිරු මරණය ගැන දෙවියන්ට දැනෙන වේදනාව සහ කේන්තිය නිසයි කියලා.
සිදු වෙන දේවල් දිහා තවත් නම් බලාගෙන ඉන්න බැහැ කියලා හිතුණත් මරියා එතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. (යොහන් 19:25, 26) මොකද යේසුස් හිටියේ දරාගන්න බැරි තරම් වේදනාවකින්. යේසුස්ගේ මවටත් ඒක දරාගන්න අමාරු අවස්ථාවක්.
තමන්ට අලුත් ජීවිතයක් දුන්න යේසුස් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න මරියා සූදානමිනුයි හිටියේ. ඇයට තිබුණේ හරිම කටුක, වේදනාකාරී අතීතයක්. ඒත් යේසුස් ඇයට ගෞරවනීය, අරමුණක් සහිත ජීවිතයක් ලබා දුන්නා. දැන් ඇය ශක්තිමත් විශ්වාසයක් තියෙන කාන්තාවක්. ඒ තරම් ශක්තිමත් විශ්වාසයක් ඇයට ඇති වුණේ කොහොමද? ඇගේ විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
‘තමන් සතු දේවලින් ඔවුන්ට උපස්ථාන කළා’
මරියා මග්දලේනාගේ කතාව බයිබලේ ආරම්භ වෙන්නේ ඇයට යේසුස්ගෙන් ලැබුණ දේකින්. යේසුස් ඇයව හරිම භයානක දේකින් නිදහස් කළා. ඒ කාලේ මිනිසුන් නිතරම වගේ භූතයන්ගේ බලපෑමට ලක් වුණා. භූතයන් ඒ මිනිසුන්ට පහර දුන්නා. සමහර මිනිසුන්ට වැහිලා ඒ අයව සම්පූර්ණයෙන්ම එයාලගේ පාලනයට නතු කරගත්තා. මරියා මග්දලේනාට භූතයන් මොන වගේ බලපෑමක් කළාද කියලා අපි දන්නේ නැහැ. ඒත් ඇයට කුරිරු භූතයන් හත්දෙනෙක් වැහිලා හිටියා කියලා අපි දන්නවා. යේසුස් ඇයව ඒ භූත බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළා.—ලූක් 8:2.
ඇය මොන තරම් නිදහසක් අද්දැක්කාද කියලා සමහරවිට අපිට හිතාගන්නවත් බැරි වෙයි. දැන් ඇයට අලුතෙන් ජීවිතේ පටන්ගන්න පුළුවන්. තමන් වෙනුවෙන් යේසුස් කරපු දේ ගැන මරියාගේ හිතේ තිබුණේ අසීමිත අගයක්. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා ඒ අගය මරියා ක්‍රියාවෙන් පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් වෙනුවෙන් තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා ඇය දැක්කා. ඒ අය ගමින් ගමට දේශනා කරමින් යද්දී කෑම බීම, ඇඳුම් පැළඳුම්, රාත්‍රිය ගත කරන්න තැනක් අවශ්‍ය වුණා. එයාලා රැකියාවන් කළේ නැති නිසා ඒ දේවල් වෙනුවෙන් වැය කරන්න හුඟක් මුදල් එයාලට තිබුණේ නැහැ.
ඒ අවශ්‍යතා සපුරන්න මරියාත් තවත් ස්ත්‍රීන් කිහිපදෙනෙකුත් ඉදිරිපත් වුණා. ඒ අය ‘තමන් සතු දේවලින් ඔවුන්ට උපස්ථාන කළා.’ (ලූක් 8:1, 3) ඒ ස්ත්‍රීන්ගෙන් සමහරදෙනෙක් යමක් කමක් තිබුණ අය වෙන්න ඇති. ඒ අය යේසුස් සහ නියෝජිතයන් ගමින් ගමට යද්දී ඒ හැම ගමකටම ගිහින් එයාලට කෑම හදලා දුන්නා, එයාලගේ ඇඳුම් සෝදලා දුන්නා, ඉන්න තැනක් ලෑස්ති කරලා දුන්නා කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒත් 20දෙනෙක් විතර හිටපු ඒ කණ්ඩායමට අවශ්‍ය දේවල් ලබා දීලා ඒ ස්ත්‍රීන් කැමැත්තෙන්ම සහය දුන්නා. යේසුස්ටත් ඔහුගේ නියෝජිතයන්ටත් දේශනා කිරීමේ කාර්යයට සම්පූර්ණ අවධානය දෙන්න ඒ ස්ත්‍රීන් කරපු දේවල් අනිවාර්යයෙන්ම උදව් වෙන්න ඇති. යේසුස් තමන් වෙනුවෙන් කළේ කවදාවත් ගෙවලා නිම කරන්න බැරි දෙයක් කියලා මරියා දැනන් හිටියා. ඒත් ඇයට යේසුස් වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරලා ඇය ලොකු සතුටක් අද්දැක්කා.
අනිත් අය වෙනුවෙන් උපස්ථාන කරන අය දිහා අද ඉන්න හුඟදෙනෙක් බලන්නේ පහත් අය විදිහට. ඒත් දෙවියන් එහෙම බලන්නේ නැහැ. යේසුස්ටයි, නියෝජිතයටයි සහය දෙන්න තමන්ට පුළුවන් උපරිමය මරියා කරද්දී යෙහෝවා දෙවියන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! අදත් දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් අනිත් අය වෙනුවෙන් කැමැත්තෙන්ම සේවය කරනවා. සමහරවිට එයාලා කරන්නේ පුංචි උදව්වක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ව වචනයකින් දිරිගන්වනවා වෙන්න ඇති. කෙනෙක්ගේ ජීවිතේට ඒකෙන් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන් ඒ හැම පොඩි දෙයක්ම හුඟක් අගය කරනවා.—හිතෝපදේශ 19:17; හෙබ්‍රෙව් 13:16.
“යේසුස්ගේ වධකණුව අසල”
ක්‍රි.ව. 33 පාස්කුව සමරන්න යේසුස් යෙරුසලමට ගිය වෙලාවේ ඔහු එක්ක ගිය පිරිස අතරේ මරියා මග්දලේනාත් හිටියා. (මතෙව් 27:55, 56) යේසුස්ව අත්අඩංගුවට අරන් රාත්‍රිය පුරා ඔහුගේ නඩුව විභාග කළා කියලා ආරංචි වුණාම මරියාට ඒක අදහාගන්න බැරි වෙන්න ඇති. තත්වය තවත් නරක අතට හැරුණා. යුදෙව් ආගමික නායකයන්ගේ සහ සෙනඟගේ බලපෑමට අහු වෙලා ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් යේසුස්ට වධකණුවක මරණ දණ්ඩනය නියම කළා. ඇඟ පුරා ලේ ගලාගෙන යද්දී හරිම අමාරුවෙන් වධකණුවත් ඇදගෙන පාරවල් දිගේ තමන්ගේ ස්වාමීන් යනවා මරියා දකින්න ඇති.—යොහන් 19:6, 12, 15-17.
මහ දවාලේ වුණත් මුළු පරිසරයම අඳුරු වෙලා තිබුණ වෙලාවේ වධකණුවේ ඇණ ගහලා හිටපු යේසුස් අසල මරියා මග්දලේනායි, අනිත් ස්ත්රීනුයි හිටියා. (යොහන් 19:25) අන්තිමය දක්වාම එතන හිටපු මරියා යේසුස් ඔහුගේ මවව රැකබලා ගන්න වගකීම ඔහු ගොඩක් ආදරේ කරපු යොහන්ට භාර දෙනවා දැක්කා. වේදනාවෙන් හිටපු යේසුස් තමන්ගේ පියාට මොරගසන හඬ මරියාට ඇහුණා. “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලා යේසුස් දෙවියන්ට කියපු අන්තිම වචන ටිකත් මරියාට ඇහුණා. ඒ වෙලාවේ මරියාට හද පැළෙන තරම් වේදනාවක් දැනෙන්න ඇති. යේසුස් මිය ගියාට පස්සෙත් මරියා එතනටම වෙලා හිටියා. පස්සේ ධනවතෙක් වුණ අරිමාතිය නුවරේ විසූ යෝසෙප් අලුත්ම සොහොන් ගෙයක යේසුස්ගේ සිරුර තැන්පත් කරද්දීත් මරියා එතන හිටියා.—යොහන් 19:30; මතෙව් 27:45, 46, 57-61.
අපේ සහෝදර සහෝදරියන් අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී එයාලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ තේරුම්ගන්න මරියාගේ ආදර්ශය අපිට උදව් වෙනවා. දරුණු දේවල් වෙන එක නවත්තන්න, ඒවාට මුහුණ දෙන අය අද්දකින වේදනාව නැති කරන්න අපිට බැහැ. ඒත් එයාලට දයානුකම්පාවෙන් සලකන්න, අත්හරින්නේ නැතුව එයාලා එක්කම ඉන්න අපිට පුළුවන්. අමාරු අවස්ථාවකට මුහුණ දෙද්දී හොඳ යාළුවෙක් ළඟ ඉන්න එකම ලොකු හයියක්. අපි විශ්වාසවන්ත අය නම් අපේ සහෝදරයන් දුෂ්කරතා අද්දකිද්දී අපි එයාලව දාලා යන්නේ නැහැ. අපි එයාලා ළඟින්ම ඉන්නවා.—හිතෝපදේශ 17:17.
“මට පුළුවන් ඔහුව රැගෙන යන්න”
යේසුස්ගේ දේහය සොහොන් ගේ තැන්පත් කළාට පස්සේ දේහයේ ගල්වන්න අවශ්‍ය සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කරපු ස්ත්‍රීන් අතරේ මරියාත් හිටියා. (මාක් 16:1, 2; ලූක් 23:54-56) සබත් දවසට පසු දින එළිය වැටෙන්නත් කලින් මරියා අවදි වෙලා අනිත් ස්ත්‍රීන් එක්ක යේසුස්ගේ සොහොන් ගේ දිහාවට ඇවිදගෙන ගියා. සොහොන් ගේ දොරකඩ තබා තිබෙන ගල අයින් කරගන්නේ කොහොමද කියලා එයාලා කල්පනා කළා. (මතෙව් 28:1; මාක් 16:1-3) ඒත් ඒ ගැන හිතලා එයාලා ආපහු හැරිලා ගියේ නැහැ. යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා එයාලට කරන්න පුළුවන් දේ කරන්න එයාලා අදිටන් කරගෙනයි හිටියේ.
අඩිය ඉක්මන් කරලා ගිය මරියා අනිත් අයට කලින් යේසුස්ගේ සොහොන් ගේ ළඟට එන්න ඇති. ඇය එකපාරටම නතර වෙනවා. ඇය දකින දේ ඇයට අදහාගන්න බැහැ. සොහොන් ගේ දොරකඩ තබා තිබුණ ගල අයින් කරලා. සොහොන් ගේ ඇතුළේ කවුරුත් නැහැ. දෙපාරක් හිතන්නේ නැතුව මරියා පේතෘස්ටයි, යොහන්ටයි තමන් දැක්ක දේ කියන්න දුවගෙන යනවා. “කවුරු හරි අපේ ස්වාමීන්ව සොහොන් ගෙයින් ඉවත් කර තිබෙනවා. ඔහුව කොහේ තැන්පත් කළාද කියා අපි දන්නේ නැහැ” කියලා ඇය හති දදා පේතෘස්ටයි, යොහන්ටයි කියන විදිහ ඔයාට හිතින් මවාගන්න පුළුවන්ද? මරියා කියපු දේ ඇත්තක්ද කියලා බලන්න නියෝජිතයන් දෙන්නා සොහොන් ගේ ළඟට දුවගෙන යනවා. ඒක හිස් කියලා දැක්කාට පස්සේ ඒ දෙන්නා ආපහු එයාලගේ ගෙවල්වලට යනවා. *—යොහන් 20:1-10.
සොහොන් ගේ ළඟට ආයෙත් ආපු මරියා තනියම එතනට වෙලා ඉන්නවා. අවට පරිසරය හරිම නිහඬයි. ඇගේ ස්වාමීන්ගේ දේහය සොහොන් ගේ ඇතුළේ නැහැ කියලා හිතද්දී ඇගේ හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්. මරියා හඬමින් සොහොන් ගේ ඇතුළට එබිලා බලනවා. එයා දකින දේ එයාට හිතාගන්නවත් බැහැ. සුදු වස්ත්‍ර ඇඳගෙන ඉන්න දේවදූතයන් දෙන්නෙක් එතන ඉඳගෙන ඉන්නවා. “ඔබ හඬන්නේ ඇයි” කියලා ඒ දෙන්නා මරියාගෙන් අහනවා. කියන්නේ මොනවාද කියලා හරියට හිතාගන්නවත් බැරුව නියෝජිතයන්ට කියපු දේම මරියා ආයෙත් ඒ දෙන්නාට කියනවා. “කවුරු හරි මගේ ස්වාමීන්ව අරගෙන ගිහිල්ලා. ඔවුන් ඔහුව දැන් කොහේ තැන්පත් කළාද කියා මම දන්නේ නැහැ.”—යොහන් 20:11-13.
මරියා හැරිලා බලද්දී කවුදෝ කෙනෙක් ඇය පිටුපසින් ඉන්නවා ඇය දකිනවා. මරියා ඒ කෙනාව අඳුරගන්නේ නැහැ. ඒ නිසා ඇය හිතනවා ඔහු උයනේ සේවකයෙක් වෙන්න ඇති කියලා. “ඔබ හඬන්නේ ඇයි? ඔබ සොයන්නේ කාවද” කියලා ඒ කෙනා කාරුණිකව මරියාගෙන් අහනවා. මරියා මෙහෙම උත්තර දෙනවා. “මහත්මයාණෙනි, ඔබ ඔහුව ගෙන ගියා නම් ඔහුව තැන්පත් කළේ කොහේද කියා මට කියන්න. එතකොට මට පුළුවන් ඔහුව රැගෙන යන්න.” (යොහන් 20:14, 15) මරියා කියපු ඒ දේ ගැන ටිකක් හිතන්න. හැඩිදැඩි කෙනෙක් වුණ යේසුස්ගේ සිරුර තනියම උස්සගෙන යන්න ඇත්තටම ඇයට පුළුවන්ද? ඒ වගේ දේවල් ගැන මරියා හිතුවේ නැහැ. ඇයට කරන්න පුළුවන් දේ කොහොමහරි කරන්න ඕනෙ කියලයි ඇය හිතුවේ.
අපිට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙද්දී, අභියෝගවලට මුහුණ දෙද්දී අපිටත් පුළුවන්ද මරියා මග්දලේනාව ආදර්ශයට ගන්න? අපි අපේ දුර්වලකම්වලටම, අපිට කරන්න බැරි දේවලටම අවධානය දුන්නොත් අපිට කිසිම දෙයක් කරන්න බැරි වෙයි. ඒත් අපි අපිට පුළුවන් උපරිමය කරලා ඉතුරු ටික යෙහෝවා දෙවියන්ට භාර දෙනවා නම් අපි හිතනවාටත් වඩා දේවල් කරන්න අපිට පුළුවන් වෙයි. (2 කොරින්ති 12:10; ෆිලිප්පි 4:13) අපි එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ට ලොකු සතුටක් දැනෙනවා. මරියා ඒ දේ කරපු නිසා ඇය හිතපු නැති ආශීර්වාදයක් දෙවියන් ඇයට දුන්නා.
“මම අපේ ස්වාමීන්ව දැක්කා”
මරියා ඉදිරියේ හිටියේ උයනේ සේවකයෙක් නෙමෙයි. ඔහු කලින් වඩුවෙක්, ඊටපස්සේ ගුරුවරයෙක්. ඔහු මරියාගේ ආදරණීය ස්වාමීන්. ඒත් මරියා ඔහුව අඳුරගත්තේ නැහැ. ඒ නිසා ඇය එතනින් පිටත් වෙලා යන්නයි හදන්නේ. මරියා ඒ වෙලාවේ අද්දකිමින් හිටියේ ඇය හිතලාවත් තිබුණේ නැති දෙයක්. යේසුස්ව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් බලවත් කෙනෙක් විදිහට නැවත නැඟිටුවලයි තිබුණේ. ඔහු මනුෂ්‍යයෙක් විදිහට මරියා ඉදිරියේ පෙනී සිටියත් ඔහුට තියෙන්නේ කලින් තිබුණ ශරීරය නෙමෙයි. යේසුස්ව නැවත නැඟිටුවලා ගත වුණ දවස් කිහිපය ඇතුළත ඔහුව හොඳින් දැනන් හිටපු අය ඉදිරියේ ඔහු පෙනී සිටියත් එයාලා ඔහුව අඳුරගත්තේ නැහැ.—ලූක් 24:13-16; යොහන් 21:4.
තමන්ව අඳුරගන්න යේසුස් මරියාට උදව් කළේ කොහොමද? යේසුස් “මරියා” කියලා ඇයට කතා කළා. ඒක ඇහුණ ගමන්ම මරියා ඉක්මනින්ම ආපහු හැරිලා “රබ්බෝනි” කියලා හයියෙන් කිව්වා. ඇය ඉදිරියේ හිටියේ වෙන කවුරුත් නෙමෙයි ඇගේ ගුරුවරයා! මීට කලින් ඇය යේසුස්ව ඒ විදිහට සිය දහස් වාරයක් අමතලා ඇති. ඇයට දැනුණ සතුට නිසා ඇය ඉක්මනින්ම ඔහුව අල්ලගන්නවා.—යොහන් 20:16.
මරියාගේ හැඟීම් තේරුම්ගත්ත යේසුස් “මම දැන්මම පියාණන් ළඟට යන්නේ නැහැ. ඒ නිසා මාව දැන් අතහරින්න” කියලා ඇයට කියනවා. ඔහු එහෙම කියන්න ඇත්තේ සිනාමුසු මුහුණකින් වෙන්න ඇති. ස්වර්ගයට යන්න ඔහුට තවමත් කාලය ඇවිත් තිබුණේ නැහැ. ඔහුට කරන්න පොළොවේ තව වැඩ කොටසක් ඉතුරු වෙලා තිබුණා. ඒකට යේසුස්ට මරියාගේ උදව් ඕනෙ වුණා. යේසුස් කියන හැම වචනයකටම සවන් දෙන්න සූදානමින් හිටපු මරියාට යේසුස් මෙහෙම කියනවා. “මගේ සහෝදරයන් ළඟට ගිහින්, ‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත් මගේ දෙවි හා ඔබේ දෙවි ළඟටත් යනවා’ කියා ඔවුන්ට කියන්න.”—යොහන් 20:17.
තමන්ගේ ස්වාමීන්ගෙන් මරියාට ලැබුණේ මොන තරම් වටිනා පැවරුමක්ද! මරියා, නැවත නැඟිටවපු යේසුස්ව මුලින්ම දැකපු අනුගාමිකයන්ගෙන් කෙනෙක්. ඒ ප්‍රීතිමත් පණිවිඩය අනිත් අයට දැනුම් දෙන පැවරුම දැන් ඇයට ලැබෙනවා. ඇයට දැනුණ සතුට, ආසාව නිසා ඇය ගෝලයන්ව හොයාගෙන යනවා. නියෝජිතයන් ළඟට ගිහින් ඉස්පාසුවක් නැතුව “මම අපේ ස්වාමීන්ව දැක්කා” කියලා ඇය කියන විදිහ හිතින් මවාගන්න පුළුවන්ද? ඒ වචන ඇයටත් එතන හිටපු අනිත් අයටත් කවදාවත් අමතක වෙන්න නැතුව ඇති. ආසාව වැඩිකමට යේසුස් කියපු හැම දෙයක්ම ඇය කියාගෙන කියාගෙන යන්න ඇති. (යොහන් 20:18) යේසුස්ගේ සොහොන් ගේ ළඟට ගිය අනිත් ස්ත්‍රීන් නියෝජිතයන්ට කියපු දේට මරියා කියපු දේත් සාක්ෂියක් වුණා.—ලූක් 24:1-3, 10.
“ස්ත්‍රීන් පැවසූ දේවල් ඔවුන් විශ්වාස කළේ නැහැ”
මරියා කියපු දේ නියෝජිතයන් විශ්වාස කළේ නැහැ. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “එම ස්ත්‍රීන් පැවසූ දේවල් විශ්වාස නොකළ ඔවුහු ඒවා විකාර දේවල් ලෙස සලකා ප්‍රතික්ෂේප කළෝය.” (ලූක් 24:11) නියෝජිතයන් හැදී වැඩුණේ ස්ත්‍රීන්ව විශ්වාස කළේ නැති සමාජයක. රබ්බිවරුන්ගේ නීතියට අනුව උසාවියක සාක්ෂි දෙන්නවත් ස්ත්‍රියකට අවසර තිබුණේ නැහැ. සමහරවිට නියෝජිතයන් හැදුණු වැඩුණු සමාජයේ තිබුණ අදහස් එයාලා හිතුවාටත් වඩා වැඩියෙන් එයාලගේ සිතුවිලිවලට කාවැදිලා තිබුණා. ඒත් යේසුස් සහ ඔහුගේ පියා ස්ත්රීන්ට ඒ විදිහට සැලකුවේ නැහැ. ඒ දෙන්නා ඒ විශ්වාසවන්ත ස්ත්‍රියට දුන්නේ මොන තරම් වටිනා පැවරුමක්ද!
යේසුස්ගේ නියෝජිතයන් මරියා කියන දේ පිළිත්තේ නැතත් මරියා අධෛර්යය වුණේ නැහැ. කවුරු නැතත් තමන්ගේ ස්වාමීන් තමන්ව විශ්වාස කරනවා කියලා ඇය දැනන් හිටියා. ඇයට ඒ ඇති. යේසුස්ගේ හැම අනුගාමිකයෙක්ටම ඔහු දේශනා කරන්න පණිවිඩයක් දීලා තියෙනවා. ඒ “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය.” (ලූක් 8:1) ඒ පණිවිඩය හැමෝම පිළිගනියි කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පොරොන්දු වුණේ නැහැ. ඇත්තටම වැඩිදෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරයි කියලා යේසුස් කිව්වා. (යොහන් 15:20, 21) ඒ නිසා මරියා මග්දලේනාගේ ආදර්ශය ක්‍රිස්තියානීන් වන අපි හැමෝම මතක් කරගමු. යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් සමහරදෙනෙක් ඇය කියපු දේ එකපාරටම විශ්වාස නොකළත් යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා කියන පණිවිඩය කියන්න ඇය අදිමදි කළේ නැහැ.
ඊටපස්සේ ගත වුණ දවස් කිහිපය ඇතුළත යේසුස් ඔහුගේ නියෝජිතයන් ඉදිරියෙත් අනිත් අනුගාමිකයන් ඉදිරියෙත් පෙනී සිටියා. එක අවස්ථාවක 500කට වැඩිදෙනෙක් ඉදිරියේ ඔහු පෙනී සිටියා. (1 කොරින්ති 15:3-8) ඒ හැම අවස්ථාවක්ම මරියා ඇස් දෙකෙන්ම දැක්කේ නැතත් ඒ ගැන අහන්න ලැබුණ තොරතුරුවලින් මරියාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්න ඇති. පෙන්තකොස්ත දවසේ දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලබපු යෙරුසලමේ රැස් වෙලා හිටපු යේසුස්ගේ අනුගාමිකයන් අතරේ මරියා මග්දලේනාත් ඉන්න ඇති.—ක්‍රියා 1:14, 15; 2:1-4.
මරණය දක්වාම මරියා මග්දලේනා ඇගේ විශ්වාසය ශක්තිමත්ව තියාගත්තා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. අපිත් ඒ දේම කරන්න අදිටන් කරගමු. යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක්ම අපි අගය කරනවා නම්, දෙවියන් අපිට උපකාර කරයි කියන විශ්වාසය ඇතුව අපි අනිත් අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා නම් මරියා මග්දලේනාගේ විශ්වාසය ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්.
^ 12 ඡේ. පේන විදිහට සොහොන් ගේ ළඟට ගිය ස්ත්රීන්ට යේසුස්ව නැවත නැඟිටෙව්වා කියන පණිවිඩය දේවදූතයෙක් කියන්න කලින් මරියා එතනින් ගිහින් තිබුණා. මොකද පේතෘස්ටයි, යොහන්ටයි යේසුස්ගේ දේහය ගැන මරියා කියද්දී ඇය දේවදූතයෙක්ව දැක්කා කියලවත් යේසුස්ගේ දේහය එතන නැත්තේ ඇයි කියලා ඒ දේවදූතයා පැහැදිලි කළා කියලවත් ඇය කිව්වේ නැහැ.—මතෙව් 28:2-4; මාක් 16:1-8.