ජීවිත වෙනස් කළ පොතක්
“මං දැන් නපුරු නැහැ”
ඉපදුණ අවුරුද්ද: 1973
රට: උගන්ඩාව
අතීතයේදී: මත්පැන්වලට ඇබ්බැහි වුණ දරුණු අනාචාර ජීවිතයක් ගත කරපු කෙනෙක්
මගේ අතීතය
මං ඉපදුණේ උගන්ඩාවේ ගොම්බා දිස්ත්රික්කයේ. එහේ හිටපු හුඟදෙනෙක් හරිම දුප්පත්. අපේ ටවුමේ විදුලිය තිබුණේ නැහැ. ඒ නිසා අපි රෑට වැඩ කළේ ලාම්පු එළියෙන්.
මගේ දෙමාපියන් රුවන්ඩාවේ ඉඳන් තමයි උගන්ඩාවට ඇවිත් තිබුණේ. එයාලා කළේ ගොවිතැන්. එයාලා කෝපි, කෙසෙල් වගා කළා. එයාලා කෙසෙල්වලින් වරාජි කියන ජනප්රිය මත්පැන් පානයත් හැදුවා. අපි කුකුල්ලු, එළුවෝ, ඌරෝ, හරක් ඇති කළා. මං ඇතිදැඩි වුණ පරිසරය නිසා මං හිතුවා භාර්යාවක් වචනයක්වත් කියන්නේ නැතුව ස්වාමිපුරුෂයා කියන හැම දෙයක්ම කරන්න ඕනෙ කියලා.
මට වයස 23ක් වෙද්දී මං රුවන්ඩාවට ගියා. එහෙදී මං යාළුවන් එක්ක ක්ලබ්ස්වලට ගිහින් නටලා විනෝද වුණා. එක ක්ලබ් එකකට මං කොච්චර ගියාද කියනවා නම් කාලයක් යද්දී එයාලා මගෙන් සල්ලි ගන්නේ නැතුව ඒකට ඇතුල් වෙන්න මට දුන්නා. ගහමරාගන්න, දරුණු දේවල් ඇතුළත් චිත්රපටි බලලා මං ලොකු සතුටක් ලැබුවා. මගේ පරිසරය, මං විනෝදෙට කරපු දේවල් නිසා මං හරිම දරුණු කෙනෙක් වුණා. මං ගත කළේ අනාචාර ජීවිතයක් වගේම මං මත්පැන්වලටත් ඇබ්බැහි වුණා.
2000 ඉඳන් මං ස්කොලස්ටික් කබක්වීරා කියන කාන්තාව එක්ක එකට ජීවත් වෙන්න පටන්ගත්තා. අපිට දරුවෝ තුන්දෙනෙකුත් හම්බ වුණා. පුංචි කාලේ ඉඳන් මං අහලා, දැකපු දේවල් නිසා මං බලාපොරොත්තු වුණා ස්කොලස්ටික් මට ආචාර කරද්දී, මගෙන් මොනවා හරි දෙයක් ඉල්ලද්දී මගේ ඉස්සරහා දණින් වැටිලා ඒක කරයි කියලා. අපි ළඟ තිබුණ හැම දෙයක්ම අයිති මටයි. ඒවා මට ඕනෙ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලත් මං හිතුවා. හුඟක් වෙලාවට මං විනෝද වෙන්න රෑට එළියට යනවා. ඒ ගිහින් එන්නේ පාන්දර තුනට විතර. ඒ එන්නෙත් හොඳටම බීලා. මං ඇවිත් ගෙදර දොරට ගහද්දී බැරි වෙලාවත් ස්කොලස්ටික්ට දොර අරින්න ටිකක් පරක්කු වුණොත් මට එයාට අල්ලගෙන හොඳටම ගහනවා.
එතකොට මං වැඩ කළේ ආරක්ෂාව සපයන ආයතනයක සුපවයිසර් කෙනෙක් විදිහට. මට හොඳ පඩියකුත් හම්බ වුණා. එයාත් එක්ක පෙන්තකොස්ත සභාවට යන්න එන්න කියලා ස්කොලස්ටික් මට නිතරම වගේ කිව්වා. එතකොටවත් මං වෙනස් වෙයි කියලා එයා හිතන්න ඇති. මට නම් යන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔය අතරේ මං තවත් කාන්තාවක් එක්ක යාළු වුණා. ඒ සම්බන්ධය නිසයි, මගේ දරුණු හැසිරීම නිසයි ස්කොලස්ටික් අපේ ළමයි තුන්දෙනාවත් අරන් එයාගේ අම්මලාගේ ගෙදර ගියා.
මට වඩා වයසින් වැඩි මගේ යාළුවෙක් දවසක් මට කිව්වා මං ගත කරන ජීවිතේ ගැන ටිකක් හිතලා බලන්න කියලා. මගේ දරුවෝ ගැනවත් හිතලා ස්කොලස්ටික් එක්ක සමාදාන වෙන්න කියලා එයා මට කිව්වා. ඉතිං 2005දී මං බොන එක අත්හැරියා. මට තිබුණ සම්බන්ධයත් මං නතර කළා. ඊටපස්සේ 2006දී මං ස්කොලස්ටික් එක්ක විවාහ වුණා. හැබැයි එයාට ගහන එක, මගේ දරුණු හැසිරීම නම් නතර වුණේ නැහැ.
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
2008දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ජොඑල් බයිබලේ තියෙන පණිවිඩය ගැන කියන්න අපේ ගෙදර ආවා. මමත් එයාට ඇහුම්කන් දුන්නා. ඊටපස්සේ මාස කීපයක්ම එයා තවත් සාක්ෂිකරුවෙක් වන බොනාවෙන්ච එක්ක මාව බලන්න ආවා. මං එයාලගෙන් බයිබලේ ගැන ගොඩක් ප්රශ්න ඇහුවා. විශේෂයෙන්ම එළිදරව් පොත ගැන. ඇත්තටම මට ඕනෙ වුණේ සාක්ෂිකරුවන් වැරදියි කියලා ඔප්පු කරන්න. මං අහපු එක ප්රශ්නයක් තමයි සාක්ෂිකරුවන් කොහොමද කියන්නේ එළිදරව් 7:9 කතා කරන “මහත් සමූහය” ඉන්න යන්නේ පොළොවේ කියලා. මොකද ඒ පදේම කියනවා එයාලා “සිංහාසනය [දෙවියන්ගේ] ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා” කියලා. ජොඑල් හරිම ඉවසීමෙන් මගේ ප්රශ්නවලට උත්තර දුන්නා. එයා මට යෙසායා 66:1 පෙන්නුවා. එතන දෙවියන් පොළොව ඔහුගේ “පා පුටුව” විදිහට හඳුන්වලා තියෙනවා. ඒ නිසා මහත් සමූහය පොළොවේ හිටියත් එයාලා දෙවියන්ගේ සිංහාසනය ඉදිරියේ ඉන්නවා කියලා කියන්න පුළුවන් කියලා එයා මට පැහැදිලි කළා. ගීතාවලිය 37:29 මම කියෙව්වා. එතන කියන්නේ ධර්මිෂ්ඨ අය පොළොවේ සදහටම ජීවත් වෙනවා කියලයි.
ටික කාලයක් ගියාම බයිබල් පාඩමක් කරන්න මං කැමති වුණා. ඉතිං බොනාවෙන්ච මායි, මගේ බිරිඳයි එක්ක පාඩමක් පටන්ගත්තා. පාඩම කරගෙන යද්දී මගේ ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලා මට හිතුණා. ස්කොලස්ටික්ට ගෞරවයෙන් සලකන්න ඕනෙ කොහොමද කියලා මං ඉගෙනගත්තා. කලින් වගේ මට ආචාර කරද්දී, මගෙන් දෙයක් ඉල්ලද්දී එයා මං ඉස්සරහා දණින් වැටිලා ඒක කරන්න ඕනෙ කියලා මං බලාපොරොත්තු වුණේ නැහැ. අපිට තිබුණ හැම දෙයක්ම අයිති මට විතරයි කියලා හිතන එක වැරදියි කියලත් මං තේරුම්ගත්තා. ගහමරාගන්න චිත්රපටි බලන එකත් මං නතර කළා. ඒ වෙනස්කම් කරගන්න මට ලේසි වුණේ නැහැ. මගේ වැරදි සිතුවිලි, ආශාවන් පාලනය කරගෙන යටහත්පහත්ව වැඩ කරන්න මට ඉගෙනගන්න වුණා.
අවුරුදු කීපයකට කලින් මං අපේ ලොකු පුතාව උගන්ඩාවේ හිටපු මගේ පවුලේ අය ළඟට යවලා තිබුණා. ඒත් ද්විතීය කතාව 6:4-7 තිබුණ දේ කියෙව්වාම මට තේරුණා දරුවන් ඇතිදැඩි කරන වගකීම දෙවියන් භාර දීලා තියෙන්නේ මටයි, මගේ බිරිඳටයි කියලා. දරුවන්ව ඇතිදැඩි කරද්දී දෙවියන් ගැන එයාලට කියලා දෙයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ පුතා ආයෙත් අපි ළඟට ආවාම අපි වගේම එයාත් ගොඩක් සතුටු වුණා.
දැන් මං අද්දකින ආශීර්වාද
යෙහෝවා දෙවියන් දායාවන්ත දෙවි කෙනෙක් කියලා මං ඉගෙනගත්තා. ඒ නිසා ඉස්සර මං කරපු දේවලට ඔහු මට සමාව දුන්නා කියලා මට විශ්වාසයි. මාත් එක්කම බයිබලේ පාඩම් කරන්න ස්කොලස්ටික් කැමති වුණ එක ගැන මට හරිම සතුටුයි. අපි දෙන්නාම අපේ ජීවිත යෙහෝවා දෙවියන්ට කැප කරලා 2010 දෙසැම්බර් 4 බව්තීස්ම වුණා. දැන් අපි දෙන්නාට අපි දෙන්නාව විශ්වාසයි. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපි අපේ පවුල් ජීවිතේට අදාළ කරගන්නේ හරිම ආසාවෙන්. දැන් මං වැඩ ඇරිලා එහේ මෙහේ යන්නේ නැතුව කෙළින්ම ගෙදර එන එක ගැන මගේ බිරිඳ ගොඩක් සතුටුයි. මං එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකන එක, බොන එක අත්හරින්න මං ගත්ත තීරණය, ඉස්සර වගේ මං නපුරු විදිහට හැසිරෙන්නේ නැති එක එයා ගොඩක් අගය කරනවා. අපේ සභාවේ අයව රැකබලා ගන්න 2015දී මාව වැඩිමහල්ලෙක් විදිහට පත් කළා. අපේ දරුවෝ 5දෙනාගෙන් 3දෙනක්ම මේ වෙද්දී බව්තීස්ම වෙලා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරද්දී එයාලා උගන්වපු දේවල් මං ඔහේ පිළිගත්තේ නැහැ. ප්රශ්න අහලා ඒ තොරතුරු මං මටම තහවුරු කරගත්තා. මගේ හිතට තදින්ම වැදුණු දෙයක් තමයි මං අහපු ප්රශ්නවලට එයාලා බයිබලෙන්ම මට උත්තර දීපු එක. සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය එයාලට ඕනෙ ඕනෙ කාරණාවලදී විතරක් නෙමෙයි ජීවිතේ හැම කාරණයකදීම දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ කියන දේ මායි, මගේ බිරිඳයි පිළිගත්තා. යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවෙක් වෙන්නත් ඔහුට නමස්කාර කරන අයගේ පවුලේ සාමාජිකයෙක් වෙන්නත් මට අවස්ථාව දුන්න එක ගැන මං ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං කලින් ගත කරපු ජීවිතේ ගැන හිතද්දී මට එක දෙයක් ගැන ස්ථිරෙන් කියන්න පුළුවන්. ඒ තමයි දෙවියන්ගේ උදව්වෙන් නිහතමානි ඕනෙම කෙනෙක්ට දෙවියන් සතුටු වෙන විදිහට ජීවිත වෙනස් කරගන්න පුළුවන් කියන දේ.