ජීවිත වෙනස් කළ පොතක්
“මගේ ජීවිතේට දැන් වටිනාකමක් තියෙනවා”
ඉපදුණ අවුරුද්ද: 1963
රට: මෙක්සිකෝව
අතීතයේදී: තමන් වටින්නේ නැහැ කියලා හිතපු වීදි දරුවෙක්
මගේ අතීතය
මං ඉපදුණේ උතුරු මෙක්සිකෝවේ සියුඩෑඩ් ඔබ්රිගන්වල. අපේ පවුලේ දරුවෝ 9දෙනෙක් හිටියා. මං පස්වෙනියා. අපි ජීවත් වුණේ නගරේ මායිමට වෙන්න. ඒ පැත්ත හරිම ලස්සනයි. එහේ අපේ තාත්තාට පුංචි ගොවිපොළක් තිබුණා. අපේ පවුලේ අය ජීවත් වුණේ හරිම සතුටින්. ඒත් මට අවුරුදු පහක් වෙද්දී ආපු සුළිකුණාටුවක් නිසා අපේ ගොවිපොළ නැත්තටම නැති වුණා. ඒකෙන් පස්සේ අපි වෙන පළාතකට ගියා.
වැඩි කාලයක් යන්න කලින් තාත්තා හොඳට සල්ලි හම්බ කරන්න පටන්ගත්තා. ඒත් ඒ කාලෙදිම වගේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වුණ නිසා අපේ පවුලේ තිබුණු සතුට, එකමුතුකම නැති වුණා. මායි, අයියලායි තාත්තාගේ සිගරට් හොරෙන් අරන් බොන්න පටන්ගත්තා. අවුරුදු හයේදී තමයි මං මුල්ම වතාවට වෙරි වෙන කල් බිව්වේ. ටික කාලෙකට පස්සේ අපේ අම්මායි, තාත්තායි වෙන් වුණා. ඊටපස්සේ මං තව තවත් නරක දේවල් කරන්න පුරුදු වුණා.
අපේ අම්මා අපිවත් අරන් ගිහින් වෙන පිරිමි කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. ඒත් ඒ කෙනා අම්මාට සල්ලි දුන්නේ නැහැ. අම්මා හම්බ කරපු සල්ලිවලින් අපේ ජීවිත ගැටගහගන්න පුළුවන් වුණේ නැති නිසා මායි, පවුලේ අනිත් අයයි සල්ලි හොයන්න අපිට පුළුවන් හැම දේම කළා. ඒත් අපි හම්බ කරපු සල්ලි ටිකෙන් අපිට ඕනම කරන දේවල්වත් ගන්න එක ලේසි වුණේ නැහැ. අතට අහු වෙන ඕනෙම වැඩක් මං කළා. සපත්තු පොලිෂ් කළා. පාන්, පත්තර, චුවිංගම් වගේ දේවලුත් මං වික්කා. නගරේ වටේම ගිහින් සල්ලිකාර මිනිසුන්ගේ කුණු බක්කි අවුස්සලා එයාලා විසි කරලා තිබුණු කෑමත් එකතු කරගත්තා.
දවසක් එක මනුස්සයෙක් මගෙන් ඇහුවා නගරේ කුණු ගොඩගහන තැන එයාත් එක්ක වැඩට එන්න පුළුවන්ද කියලා. ඒ වෙද්දී මට අවුරුදු දහයයි. මං ඉස්කෝලෙන් අස් වෙලා ගෙදරිනුත් සමු අරන් එයා ළඟ වැඩට ගියා. එයා දවසටම මට ගෙව්වේ ඩොලර් එකකටත් වඩා අඩුවෙන්. කුණු ගොඩෙන් හොයාගත්ත කෑමත් එයා මට දුන්නා. කුණු ගොඩෙන් හොයාගත්ත දේවල් පාවිච්චි කරලා තමයි මං ජීවත් වෙන්න පොඩි පැලක් හදාගත්තේ. අහළ පහළ හිටිය මිනිස්සු කතා කළේ තිත්ත කුණුහරුප. එයාලා ගත කළේ අනාචාර ජීවිත. එහේ හිටිය හුඟක් අය මත්පැන්වලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහි වෙලයි හිටියේ. හැමදාම රෑට මට හුඟක් බය හිතුණා. මං හොඳටම ඇඬුවා. මීට කලින් මේ වගේ දුකක්, අසරණකමක් මට කවදාවත් දැනිලා තිබුණේ නැහැ. මං ඒ හැටි අධ්‍යාපනයක් ලබලා තිබුණේ නැති නිසාත් මං දුප්පත් නිසාත් මට මං ගැනම ලැජ්ජ හිතුණා. කුණු ගොඩ ළඟ අවුරුදු තුනක් විතර ජීවත් වුණාට පස්සේ මං මෙක්සිකෝවේ වෙන ප්‍රාන්තයකට ගියා. එහෙදි මං වැඩ කළේ කෙත්වතුවල. මල් කඩන එක, පුළුන් එකතු කරන එක, උක් එකතු කරන එක, අල හාරන එක වගේ දේවල් තමයි මං එහෙදි කළේ.
අවුරුදු හතරකට පස්සේ මං ආයෙත් සියුඩෑඩ් ඔබ්රිගන්වලට ගියා. එහේ හිටිය මගේ නැන්දා කෙනෙක් මට නතර වෙන්න කාමරයක් දුන්නා. එයා කට්ටඩි වැඩ කරපු කෙනෙක්. එහේ ඉද්දී මං හැමදාම රෑට හීනෙන් බය වුණා. මට මොන තරම් මානසික පීඩනයක් දැනුණාද කියනවා නම් මට මගේ ජීවිතේ නැති කරගන්නත් හිතුණා. දවසක් මං දෙවියන්ට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “අනේ දෙවියනේ, ඔබ සැබෑ කෙනෙක් නම් මට ඔබ ගැන ඉගෙනගන්න උදව් කරන්න. එතකොට මං හැමදාටම ඔබට සේවය කරන්නම්. ඇත්ත ආගමක් තියෙනවා නම් ඒක මට පෙන්නලා දෙන්න.”
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
පොඩි කාලේ ඉඳලාම සැබෑ දෙවියන් ගැන දැනගන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. මට මතකයි පොඩි කාලේ මං එක එක පල්ලිවලට ගියා. ඒත් ඒ එකකින්වත් මං සෑහීමට පත් වුණේ නැහැ. අන්තිමේදී වුණේ මං තවත් කලකිරුණු එක විතරයි. ඒ පල්ලිවලින් බයිබලයේ තියෙන දේවල් ගැනවත් දෙවියන් ගැනවත් හරි හැටි ඉගැන්නුවේ නැහැ. සමහර පල්ලිවල පූජකයන් මිනිසුන්ගෙන් සල්ලි ගරාගත්තා. සමහර පල්ලිවලට ගිය මිනිස්සු අනාචාර ජීවිත ගත කළා.
මට වයස 19ක් වෙද්දී දවසක් මගේ මස්සිනා කෙනෙක් මට කිව්වා රූප නමස්කාර කරන එක ගැන බයිබලයේ තියෙන දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාට පෙන්නුවා කියලා. එයා බයිබලයේ නික්මයාම 20:4, 5 තියෙන දේ මට ඇහෙන්න කියෙව්වා. එතන කියනවා නමස්කාර කරන්න රූප හදාගන්න එපා කියලා. 5වෙනි පදයේ මෙහෙම කියනවා. “ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.” ඒක පෙන්නලා මස්සිනා මගෙන් ඇහුවා “ආශ්චර්යයන් කරන්න දෙවියන් රූප පාවිච්චි කරනවා නම්, අපි රූපවලට නමස්කාර කරනවාට ඔහු කැමතියි නම් රූප හදාගන්න එපා කියලා ඔහු කියලා තියෙන්නේ ඇයි” කියලා. මස්සිනා කියපු ඒ දේ නිසා මට ඒ ගැන තවත් දැනගන්න ආස හිතුණා. ඒ සිද්ධියෙන් පස්සේ බයිබලයේ තියෙන හුඟක් දේවල් ගැන අපි සාකච්ඡා කළා. ඒ දේවල් ගැන කතා කරද්දී වෙලාව යනවා මට දැනුණෙවත් නැහැ.
පස්සේ මස්සිනා මාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එක්කන් ගියා. එතනදී දැකපු දේවලුයි, ඉගෙනගත්ත දේවලුයි ගැන මට හිතාගන්නවත් බැරි වුණා. පොඩි ළමයිනුත් වේදිකාවට නැඟලා හරිම දක්ෂ විදිහට කොටස් ඉදිරිපත් කළා. මට හිතුණා ‘මෙතනට එන අය කොච්චර දේවල් ඉගෙනගන්නවාද’ කියලා. එදා මං හිටියේ කොණ්ඩේ දිගට වවාගෙන. ඇඳගෙන හිටියෙත් කිසි පිළිවෙළකට නැති ඇඳුමක්. ඒත් සාක්ෂිකරුවන් මාව හරිම ආදරෙන් පිළිගත්තා. එක පවුලක් මාව රෑ කෑමටත් එක්කන් ගියා.
සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී මං දැනගත්තා යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් කියලා. ඔහු ජාතිය, සමාජ මට්ටම, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම බලන්නේ නැතුව හැමෝටම එකම විදිහට සලකනවා. (ක්‍රියා 10:34, 35) සැබෑ දෙවියන් ගැන මට ඉගෙනගන්න තිබුණු ආසාව ඉටු වුණා. මගේ හිතේ තිබුණු වේදනාව ටිකෙන් ටික නැති වෙලා ගියා.
මං දැන් අද්දකින ආශීර්වාද
මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. සිගරට් බොන එක, මත්පැන් ගන්න එක විතරක් නෙවෙයි කුණුහරුප කියන එකත් මං නතර කළා. හැම දෙයක්ම එපා වෙලා තිබුණත් ටිකෙන් ටික ඒ තත්වයෙන් ගොඩ ආවා. දැන් මං හීනෙන් බය වෙන්නෙත් නැහැ. හරි හැටි අධ්‍යාපනයක් ලබලා තිබුණේ නැති නිසාත් ළමා කාලෙදි මං අද්දැකපු කටුක අද්දැකීම් නිසාත් මට හැම වෙලාවෙම හිතුණේ මං වටින්නේ නැහැ කියලයි. ඒත් දැන් නම් මට එහෙම හිතෙන්නේ නැහැ.
යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරේ කරන කෙනෙක් එක්ක මං විවාහ වුණා. එයාගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. දැන් මං චාරිකා සේවකයෙක් විදිහට සේවය කරනවා. ඒ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ඉන්න මගේම සහෝදර සහෝදරියන්ට උගන්වන්නත් දිරිගන්වන්නත් මං විවිධ ප්‍රදේශවලට යනවා. බයිබලය මාර්ගයෙනුත් සංවිධානය මාර්ගයෙනුත් යෙහෝවා දෙවියන් අපිට උගන්වන එක කොයි තරම් දෙයක්ද! ඒ දේවල් දැනගන්න ලැබුණු නිසා මගේ ජීවිතේට දැන් වටිනාකමක් තියෙනවා.