ජීවිත වෙනස් කළ පොතක්
මගේ ජීවිතේට මොනවා වෙනවාද කියලා මටම හිතාගන්න බැරි වුණා
ඉපදුණ අවුරුද්ද: 1971
රට: ටොංගා
අතීතයේදී: මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ, හිරේ ගිය කෙනෙක්
මගේ අතීතය
මං ඉපදුනේ ටොංගාවල. ඒක පැසිෆික් සාගරයේ නිරිතදිගට වෙන්න තිබුණ දූපත් 170ක් විතර අයිති රටක්. අපි ටොංගාවල ගත කළේ දුප්පත් ජීවිතයක්. අපිට විදුලි බලය, වාහන වගේ දේවල් තිබුණේ නැහැ. ඒත් අපේ ගෙදර ටැප් වතුර නම් තිබුණා. කුකුල්ලු ටිකදෙනෙකුත් අපිට හිටියා. ඉස්කෝලේ නිවාඩු කාලේ මම අයියායි, මල්ලියි එක්ක එකතු වෙලා තාත්තාගේ වගා වැඩවලට උදව් කරනවා. අපි කෙසෙල්, ටාරෝ, මඤ්ඤොක්කා සහ වෙනත් අල ජාති වගා කළා. තාත්තා කරපු පොඩි පොඩි රස්සාවලින් අතට ලොකු ගාණක් හම්බ වුණේ නැහැ. ඒ නිසා වගාවෙන් ලැබුණ ආදායම අපිට උදව් වුණා එදා දවස ගැටගහගන්න. පැසිෆික් දූපත්වල ජීවත් වුණ හුඟදෙනෙක්ට වගේ අපිටත් බයිබලය ගැන තිබුණේ ලොකු ගෞරවයක්. අපි නිතිපතා පල්ලි ගියා. ඒත් සැපපහසු ජීවිතයක් ගත කරන්න නම් ධනවත් රටකට පැනගන්න ඕනෙ කියන අදහස අපේ ඔළුවේ තිබුණා.
මට වයස 16දී අපේ පවුලේ අයට එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවට ගිහින් පදිංචි වෙන්න මගේ මාමා උදව් කළා. එහේ සංස්කෘතියට හැඩගැහෙන එක නම් අපිට ලේසි වුණේ නැහැ. කලින්ට වඩා අපේ ආර්ථිකය හොඳ අතට හැරුණත් අපි හිටියේ ටිකක් දුප්පත් පැත්තක. ඒ පැත්තේ අපරාධ, මත්ද්‍රව්‍ය වගේ දේවලත් අඩුවක් තිබුණේ නැහැ. රෑට නිතරම වගේ වෙඩි හඬවල් ඇහෙනවා. මැර කල්ලි නිසා ඒ පැත්තේ හුඟක් අය හිටියේ බයෙන්. ඒ නිසා එයාලා හුඟදෙනෙක් යන යන තැන තුවක්කු අරන් ගියා. එයාලා එහෙම කළේ එයාලගේ ආරක්ෂාවට වගේම ආරවුල් ඇති වුණාම ඒවා සමතයකට පත් කරන්න හිතාගෙනයි. දවසක් ඒ වගේ ආරවුලකට මැදි වෙලා මටත් වෙඩි වැදුණා. ඒ උණ්ඩය තාමත් මගේ පපුවේ තියෙනවා.
උසස් පෙළ කරන කාලේදී මට ඕනෙ වුණේ අනිත් ළමයි කරන දේවල්ම කරන්නයි. මං නිතරම වගේ පාටිවලට ගියා. හොඳට බිව්වා. රණ්ඩුවලටත් පැටලුණා. මත්ද්‍රව්‍යත් ගත්තා. ඔහොම යද්දී මං කොකේන්වලට ඇබ්බැහි වුණා. ඒවා ගන්න මං සල්ලි හොයාගත්තේ හොරකම් කරලා. මගේ පවුලේ අය පල්ලියට හුඟක් ළැදි අය වුණත් මං ගත කරපු නරක ජීවිතෙන් මාව ගොඩගන්න පුළුවන් මඟ පෙන්වීම් පල්ලියෙන් මට ලැබුණේ නැහැ. කීප සැරයක්ම පොලීසියෙන් මාව අත්අඩංගුවට ගත්තා. මගේ ජීවිතේ මටම පාලනය කරගන්න බැරි වුණා. අන්තිමේදී මං නතර වුණේ හිරේ.
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
1997දී දවසක් මං බයිබලයක් අතේ තියාගෙන ඉන්නවා මාත් එක්ක හිරේ හිටපු කෙනෙක් දැක්කා. ඒ නත්තල් කාලේ. හුඟක් ටොංගා ජාතිකයන් ඒ කාලය සැලකුවේ ශුද්ධ දවස් විදිහට. එයා මගෙන් ඇහුවා යේසුස්ගේ උපත ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද කියලා. මං ඒ ගැන මුකුත්ම දැනන් හිටියේ නැහැ. පස්සේ එයා යේසුස්ගේ උපත ගැන බයිබලයේ සඳහන් වෙන වාර්තාව මට පෙන්නුවා. නත්තලට සම්බන්ධ චාරිත්‍ර ඒ කොටසේ සඳහන් වෙලා නැහැ කියලා මං දැක්කා. (මතෙව් 2:1-12; ලූක් 2:5-14) ඒ ගැන මට පුදුම හිතුණා. ඊටපස්සේ මට ඕනෙ වුණා බයිබලය ගැන තව විස්තර දැනගන්න. ඒ කෙනා ඒ වෙනකොටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිරගෙදර සතිපතා පවත්වපු රැස්වීම්වලට සහභාගි වෙමින් හිටියේ. මමත් ඒ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. එයාලා රැස්වීම්වලදී ඒ වෙනකොට සාකච්ඡා කළේ එළිදරව් පොත ගැනයි. එයාලා කතා කරපු හුඟක් දේවල් මට තේරුණේ නැහැ. ඒත් එයාලා හැම දෙයක්ම ඉගැන්නුවේ බයිබලයෙන් කියලා නම් මං දැක්කා.
හිරගෙදර ඉන්න අතරේ බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා සාක්ෂිකරුවන් ඇහුවාම මං ඒකට හුඟක් ආසාවෙන් කැමති වුණා. මං මුල්ම වතාවට තමයි දැනගත්තේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙන පොරොන්දුව ගැන. (යෙසායා 35:5-8) දෙවියන්ව සතුටු කරන්න නම් මගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා. මං කරපු නරක දේවල් අත්හැරියේ නැත්නම් පාරාදීසයේ ජීවත් වෙන්න දෙවියන් මට අවස්ථාව දෙන්නේ නැහැ කියලා මට තේරුණා. (1 කොරින්ති 6:9, 10) ඒ නිසා කේන්තිය පාලනය කරගන්න ඕනෙ කියලා මං හිතුවා. සිගරට් බොන එක, වෙරි වෙන කල් බොන එක වගේම මත්ද්‍රව්‍ය ගන්න එක අත්හරින්න ඕනෙ කියලත් මං තීරණය කළා.
මට නියම වෙලා තිබුණ දඬුවම් කාලේ ඉවර වෙන්න කලින් 1999දී නිලධාරීන් මාව වෙන හිරකඳවුරකට මාරු කළා. ඒ නිසා අවුරුද්දකට වැඩි කාලයක් යන කල් මට සාක්ෂිකරුවන්ව හම්බ වුණේ නැහැ. ඒත් ජීවිතේ වෙනස්කම් කරගන්න මං අරන් තිබුණ අධිෂ්ඨානය මං අත්හැරියේ නැහැ. 2000දී ආණ්ඩුවෙන් තීරණය කළා එක්සත් ජනපදයේ මට තවදුරටත් ඉන්න බැහැ කියලා. ඊටපස්සේ මාව ටොංගාවලට යැව්වා.
ටොංගාවලට ආවාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මං හොයාගෙන ගිහින් එයාලත් එක්ක මං ආයෙත් බයිබල් පාඩමක් පටන්ගත්තා. මං ඉගෙනගත්ත දේවල් ගැන මගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙලයි තිබුණේ. එක්සත් ජනපදයේ හිටපු සාක්ෂිකරුවන් වගේම එයාලත් හැම දේම ඉගැන්නුවේ බයිබලයෙන් කියලා දැක්කාම ඒක මගේ හිතට වැදුණා.
අපි ජීවත් වුණ පැත්තේ තාත්තාට හොඳ පිළිගැනීමක් තිබුණා. මොකද එයාට පල්ලියේ ලොකු තනතුරක් තිබුණා. ඒ නිසා මං සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන එක ගැන මගේ පවුලේ අය මුලින් කොහොමටවත් කැමති වුණේ නැහැ. ඒත් නරක පුරුදු අත්හැරලා හොඳ ජීවිතයක් ගත කරන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මට උදව් කරනවා කියලා මගේ දෙමාපියන් දැක්කාම ඒ ගැන එයාලා සතුටු වුණා.
මට වෙනස් කරගන්න අමාරුම පුරුද්දක් වුණේ අපේ සංස්කෘතියේ හුඟදෙනෙක් පාවිච්චි කරපු බීමක් අත්හරින එක. හුඟක් ටොංගා ජාතික පිරිමින් හැම සතියකම එකතු වෙලා පැය ගාණක් කාවා කියන බීම බොන්න පුරුදු වෙලා හිටියා. ඒක ගහක මුලකින් හදන බීමක්. ඒකේ පොඩි මත් වෙන ගතියක් තියෙනවා. ටොංගාවලට ආවාට පස්සේ මං ආයෙත් හැම රෑකම වගේ ඒවා බොන තැන්වලට ගිහින් සිහි නැති වෙන කල්ම ඒවා බිව්වා. මං ඒ පුරුද්දට වැටෙන්න මගේ ආශ්‍රයත් බලපෑවා. මොකද මගේ යාළුවෝ කවුරුත් බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට ගරු කරපු අය නෙමෙයි. ඒත් අන්තිමේදී මට තේරුණා මගේ ඒ පුරුද්දට දෙවියන් කැමති නැහැ කියලා. ඉතින් මං ඒ පුරුද්ද අත්හැරියා. මට ඕනෙ වුණේ දෙවියන්ගේ අනුමැතිය දිනාගන්නයි.
මං සාක්ෂිකරුවන්ගේ හැම රැස්වීමකටම යන්න පටන්ගත්තා. දෙවියන්ව සතුටු කරන්න වෑයම් කරන අයව ආශ්‍රය කරන එක මට ලොකු උදව්වක් වුණා නරක පුරුදුවලට ආයෙත් වැටෙන්නේ නැතුව ඉන්න. 2002දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට මං බව්තීස්ම වුණා.
මං දැන් අද්දකින ආශීර්වාද
යෙහෝවා දෙවියන් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.” (2 පේතෘස් 3:9) දෙවියන්ගේ ඉවසීමෙන් මමත් ප්‍රයෝජන ලැබුවා. මේ දුෂ්ට සමාජය ඔහුට ඕනෙ නම් මීට කාලෙකට කලින් විනාශ කරන්න තිබුණා. ඒත් මං වගේ අයට ඔහු එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න අවස්ථාව දෙන්න නිසා ඔහු ඉවසීමෙන් බලන් ඉන්නවා. තවත් අයට උදව් කරන්න දෙවියන් මාවත් යොදාගනියි කියලා මං හිතනවා.
මගේ ජීවිතය විනාශ කරගන්න එක නවත්තන්න යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මට පුළුවන් වුණා. මත්ද්‍රව්‍යවලින් දැන් මං නිදහස්. මං කාගෙවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට මං උත්සාහ කරන්නේ දෙවියන්ගේ හොඳ යාළුවන් වෙන්න මගේ අසල්වැසියන්ටත් උදව් කරන්නයි. සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරද්දී තමයි මට මගේ බිරිඳ ටියා හම්බ වුණේ. දැන් අපි දෙන්නා අපේ පුංචි පුතාත් එක්ක සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා. ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා කියන ශුභාරංචිය අපි අනිත් අයට කියලා දෙන්නේ හරිම සතුටින්.