ඕක් ගහකින් නැඟුණු යාච්ඤා
“මං ඉපදෙද්දී මගේ අම්මායි, තාත්තායි දෙන්නාම යෙහෝවාට නමස්කාර කරකර හිටියේ.” ඩොමිනිකන් ජනරජයේ ඉන්න රේචල් එයාගේ කතාව පටන්ගත්තේ එහෙම. “ඒත් මට අවුරුදු හතක් වෙද්දී තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන එක නැවැත්තුවා. නැවැත්තුවා විතරක් නෙමෙයි, අපේ නමස්කාර වැඩවලටත් එයා තදින්ම විරුද්ධ වුණා. එයා කරපු දේවල් නිසා යෙහෝවාට සේවය කරන එක මට පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. යෙහෝවාව අත්ඇරියොත් මට එක එක දේවල් දෙන්නම් කියලා තාත්තා පොරොන්දු වුණා. උදාහරණෙකට මට හොඳ ෆෝන් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නම් නැත්නම් ඩිස්නිලෑන්ඩ් එක්කන් යන්නම් වගේ දේවල් එයා කිව්වා. එයා අත දිගඇරලා මට හොඳටම ගහපු වෙලාවලුත් තිබුණා. ගහන ගමන් එයා මට කියනවා ‘කතා කරන්න, ඇවිදගන්න බැරි වෙන්නම මම ඔයාට ගහනවා. එතකොටවත් රැස්වීම් යන්න බැරි වෙයිනේ’ කියලා. ඒ මොනවා කළත් මං රැස්වීම් යන එක නවත්තන්න එයාට බැරි වුණා.
“ඒත් තාත්තා කවදාවත් අම්මා ඉන්න කොට මට ගැහුවේ නැහැ. මට ගහන එක ගැන අම්මාට කිව්වොත් අම්මාට අනතුරක් කරනවා කියලා එයා මාව බය කළා. එයා ගහපු පාරවල් නිසා මගේ ඇඟේ සමහර තැන් කලු වෙලා තිබුණා. කවුරු හරි ඒවා දැකලා ඒ මොකද කියලා ඇහුවාම එයා කියනවා එයා මට ආත්ම ආරක්ෂක සටන් ක්‍රම පුහුණු කරනවා, ඒවා ඒ වෙලාවල වැදිච්ච පාරවල් කියලා. ඒ දවස්වල එයා බලෙන්ම වගේ ඒ දේවලුත් මට ඉගැන්නුවා.
“තාත්තා මට කරන දේවල් මං අම්මාට කියන්න ගියේ නැහැ. මොකද ඒ දවස්වල මං හුඟක් පොඩි නිසා තාත්තාට පණ බයයි. ඉතින් මං හැම දේම කිව්වේ යෙහෝවාට. ඇමරිකාවේ මේරිලෑන්ඩ්වල තිබුණ අපේ ගේ පිටිපස්සේ ලොකු කැලෑවක් තිබුණා. මං ඒ කැලෑවේ ගොඩක් වෙලා ඇවිද ඇවිද ඉන්නවා. ඒකේ තිබුණා ලස්සන ඕක් ගහක්. මං පුරුදු වෙලා හිටියා ඒකට නැඟලා හොඳ අත්තක ඉඳගෙන මගේ හිතේ තිබුණ දේවල්, මට හැඟෙන විදිහ අකුරක් නෑර යෙහෝවාට කියන්න. ලොකු වෙන කල් ජීවත් වෙන්න ඔහු මට උදව් කෙරුවොත් ඔහු වෙනුවෙන් මං කරන්න හිතන් හිටපු දේවල් ගැන මං යෙහෝවාට කිව්වා. පාරාදීසයේ මං කරන්න යන දේවල්, මගේ පවුල් ජීවිතය, වේදනාවක් බයක් නැතුව මං එදාට අද්දකින්න යන සතුට සමාදානය වගේ දේවල් ගැනත් මං යාච්ඤා කළා.
“තාත්තා මට එක එක දේවල් දීලා නැත්නම් හොඳටම ගහලා මාව යෙහෝවාගෙන් ඈත් කරන්න හදපු හැම වෙලාවකම මට දැනුණා යෙහෝවා මං ළඟින්ම ඉඳන් මට උදව් කරනවා කියලා. ඔහු මාව සනසලා, ශක්තිමත් කරලා ඔහුට විශ්වාසවන්තව ඉන්න මට උදව් කළා.
“බව්තීස්ම වෙද්දී මට අවුරුදු දහයයි. බව්තීස්ම වෙලා අවුරුදු දෙකකට පස්සේ මං පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. මුලදී ඒ කිසිම දෙයක් තාත්තා දැනන් හිටියේ නැහැ. හැබැයි ඒ ගැන දැනගත්ත දවසේ නම් එයා මගේ හක්ක පනින්නම පාරක් ගැහුවා.
“සමහරු මට කිව්වා පුරෝගාමී සේවය කරන්න මං පොඩි වැඩියි කියලා. එයාලා හිතුවේ මං එච්චර හිතන්නේ බලන්නේ නැතුවයි ඒ තරම් බැරෑරුම් තීරණයක් ගත්තේ කියලා. කාලයක් යද්දී මං දැක්කා සභාවේ හිටපු ගොඩක් යෞවන අය නමස්කාරයේ දේවල් ඔහේ කරගෙන යනවා කියලා. එයාලා වැඩිපුරම කළේ පාටි දාන එකයි, විනෝද වෙන එකයි. ඒවා දැක්කාම මටත් ලොකු ආසාවක් ආවා එයාලා කරපු දේවල් කරන්න. වෙලාවකට මට හිතුණා සේවයේ යන එක නවත්තලා මගේ වයසේ අනිත් අය වගේ විනෝදයෙන් ඉන්න. හැබැයි එහෙම හිතුණ හැම වෙලාවකම මං කළේ ඒ ගැන යෙහෝවාත් එක්ක කතා කරපු එක.
“වයස 15දී මට මෝස්තර නිරූපණ ශිල්පයට ප්‍රසිද්ධ ආයතනයකින් ආරාධනාවක් ආවා. ඉතාලියේ මිලාන්වලට ඇවිත් එයාලා එක්ක වැඩ කළොත් මට හොඳට ගෙවනවා කියලා එයාලා කිව්වා. මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න පුළුවන් කියද්දී නම් මට ආස හිතුණා. එයාලා කිව්වා විලාසිතා ගැන තියෙන සඟරාවල මගේ ෆොටෝ වැටෙනවා, හුඟක් ගණන් ඇඳුම් ඇඳගෙන විලාසිතා සංදර්ශනවල ඒවා ප්‍රදර්ශනය කරන්න මට පුළුවන් වෙනවා කියලා. මං ඒ වෙද්දී අවුරුදු 3ක් ස්ථාවර පුරෝගාමී සේවය කරලයි තිබුණේ. ඉතින් මං හිතුවා මේ රස්සාව කෙරුවොත් දිගටම පුරෝගාමී සේවය කරන්න ඒක උදව් වෙයි කියලා. ඒ වෙද්දී තාත්තාත් අපිව දාලා ගිහින් තිබුණේ. ඒ නිසා හම්බ වෙන සල්ලි ගෙදර වියදමට දුන්නොත් ඒක අම්මාට ලොකු සහනයක් වෙයි කියලත් මට හිතුණා.
“මං ඒ ගැන හුඟක් යාච්ඤා කළා. අම්මා එක්කත් කතා කළා. මොකද අම්මාත් අවුරුදු ගාණක් තිස්සේ පුරෝගාමී සේවය කරපු කෙනෙක්. මං ආදරෙන්, ගෞරවයෙන් සලකපු වැඩිමහල්ලෙක්ටත් ඒ ගැන කිව්වා. පුරුදු විදිහට මං මගේ ගහට නැඟලා තව ටිකක් යෙහෝවා එක්ක ඒ ගැන කතා කෙරුවා. මං කතා කරපු වැඩිමහල්ලා මට පෙන්නපු බයිබල් පදයකින් මට තේරුණා මගේ යාච්ඤාවලට යෙහෝවා උත්තර දුන්නා කියලා. එයා මට පෙන්නුවේ දේශනාකාරයා 5:4. එතන කියන්නේ ‘ඔබ දෙවිට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න’ කියලා. මම මගේ උපරිමයෙන්ම යෙහෝවාට සේවය කරනවා කියලා පොරොන්දු වෙලයි තිබුණේ. ඉතින් මේ රස්සාව භාරගත්තොත් මං යෙහෝවාගෙන් ඈත් වෙයි කියලා මට බය හිතුණා. ඒ නිසා මං ඒ රස්සාව භාරගත්තේ නැහැ.
“මං පොඩි කාලේ හුඟක් නරක අද්දැකීම්වලට මුහුණ දුන්නත් දැන් මං ඉන්නේ හරිම සතුටින්. මගේ මහත්තයා ජේසර් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරනවා. අපේ පුතා කොනර්ට දැන් අවුරුදු නමයයි. එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක්. මේ වෙද්දී මං අවුරුදු 27ක් තිස්සේ පූර්ණකාලීන සේවය කරනවා.
“ඕක් ගහේ ඉඳගෙන මං යෙහෝවා එක්ක පැය ගණන් කතා කරපු දේවල් ගැන මං හැම තිස්සෙම වගේ හිතනවා. ඒ කාලේ මං යෙහෝවාගෙන් ඉල්ලුවා මට උදව් කරන්න කියලා. මට හිතාගන්නවත් බැරි විදිහට ඔහු මට උදව් කළා. ඔහු කොච්චර නම් මාව ශක්තිමත් කළාද, සැනසුවාද! කී පාරක් නම් මට මඟ පෙන්නලා තියෙනවාද! ඔහු කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද කියලා මගේ ජීවිත කාලේ පුරාම යෙහෝවා මට පෙන්නලා තියෙනවා. මගේ මුළු හිතින්ම ඔහුට සේවය කරන්න ගත්ත තීරණය ගැන මං කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඒක තමයි මගේ ජීවිතේ මං ගත්ත හොඳම තීරණය.”