යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් බැඳීම් කඩනවාද නැත්නම් ශක්තිමත් කරනවාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි අපේ පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න විතරක් නෙමෙයි අනිත් අයගේ පවුල් බැඳීම් ශක්තිමත් කරන්නත් වෑයම් කරනවා. පවුල් සැලැස්ම ඇති කරපු නිර්මාතෘ දෙවියන්ට අපි ගරු කරනවා. (උත්පත්ති 2:21-24; එෆීස 3:14, 15) ඔහු බයිබලයේ දීලා තියෙන ප්‍රතිපත්ති ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක්ට ශක්තිමත් වගේම ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරන්න උදව් වෙලා තියෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් බැඳීම් ශක්තිමත් කරගන්නේ කොහොමද?
බයිබලයේ තියෙන උපදෙස් ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමව්පියන්ට තමන්ගේ වගකීම් හොඳින් ඉටු කරන්න උදව් වෙන නිසා අපි උත්සාහ කරන්නේ ඒ උපදෙස් පිළිපදින්නයි. (හිතෝපදේශ 31:10-31; එෆීස 5:22–6:4; 1 තිමෝති 5:8) පවුලේ සාමාජිකයන් ආගම් කීපයක හිටියත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බයිබලයේ තියෙන ඥානවන්ත මඟ පෙන්වීම් උදව් වෙනවා. (1 පේතෘස් 3:1, 2) සාක්ෂිකරුවන් නොවන අය ඔවුන්ගේ සහකාරිය හරි සහකරුවා හරි සාක්ෂිකරුවෙක් වුණ එක ගැන කියන දේ බලන්න.
“බැඳලා මුල් අවුරුදු 6දී අපි දෙන්නා අතර නිතරම රණ්ඩුසරුවල් ඇති වුණා. කලකිරුණු වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඉවෙටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණාට පස්සේ එයා හුඟක් කරුණාවන්ත ඉවසිලිවන්ත කෙනෙක් වුණා. ඒ විදිහට එයා වෙනස් වුණ හින්දා තමයි කැඩෙන්න ගිය විවාහය බේරුණේ.”—බ්‍රසීලයේ ක්ලෝයෙර්.
“මගේ මහත්තයා (චාන්ස) සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාම මං ඒකට විරුද්ධ වුණා. මං හිතුවේ එයාලා පවුල් කඩන අය කියලයි. ඒත් එයා බයිබලය පාඩම් කරද්දී බයිබලයේ තියෙන දේවල් අපේ විවාහය ශක්තිමත් කරගන්න උදව් වෙනවා කියලා මං තේරුම්ගත්තා.”—සැම්බියාවේ ඇග්නස්.
බයිබලයේ තියෙන ඥානවන්ත මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අනිත් අයට පෙන්වන්න දේශනා සේවයේ යද්දී අපිට පුළුවන් වෙනවා. මේ ඒවායින් කීපයක්.
ආගම වෙනස් කළොත් පවුල් ප්‍රශ්න ඇති වෙනවාද?
සමහරවිට එහෙම වෙනවා. උදාහරණයකට, පර්යේෂණ ආයතනයකින් 1998දී විවාහ යුවළයන් අතර ප්‍රශ්න ඇති වෙන්න හේතුව ගැන සමීක්ෂණයක් පැවැත්තුවා. විවාහ වෙලා ඉද්දී එක් කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණ නිසා ප්‍රශ්න උග්‍ර වුණේ විවාහ යුවළයන් 20කින් 1ක විතරයි කියලා ඒකෙන් හෙළි වුණා.—Sofres.
යේසුස් කලින්ම කිව්වා ඔහුගේ ඉගැන්වීම් අනුගමනය කරද්දී පවුලේ බෙදීම් ඇති වෙන්න පුළුවන් කියලා. (මතෙව් 10:32-36) ඉතිහාසඥ විල් ඩූරන්ට් කිව්වේ “රෝම අධිරාජ්‍යය තිබුණ කාලයේ ක්‍රිස්තියානි අය පවුල් කඩනවා කියලා ඒ අයට චෝදනාවක් එල්ල වුණා” කියලයි. a අද ඉන්න සමහර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් එල්ල වෙන්නේ ඒ චෝදනාවමයි. ඒකෙන් අදහස් කරන්නේ පවුල් ප්‍රශ්නවලට මුල සාක්ෂිකරුවන් කියන එකද?
මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය, සාක්ෂිකරුවන් පවුල් කඩනවා කියන චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඔවුන් කිව්වේ ගොඩක් වෙලාවට පවුල් ප්‍රශ්න ඇති කරන්නේ සාක්ෂිකරුවා නෙමෙයි අනිත් සාමාජිකයා කියලයි. ඒකට හේතුව ඒ සාමාජිකයා “සාක්ෂිකරුවාට තමන්ගේ ආගම අදහන්න තියෙන නිදහසට ගරු කරන්නෙත් ආගම අදහන්න තියෙන අයිතිය පිළිගන්නෙත් නැති නිසයි.” තවදුරටත් අධිකරණය කිව්වේ “සාමාන්‍යයෙන් එකම පවුලේ අය ආගම් කීපයක් අදහනවා නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කියලා විශේෂයක් නැහැ” කියලයි. b ආගම නිසා සාක්ෂිකරුවන්ට පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඔවුන් උත්සාහ කරන්නේ මේ බයිබල් පදය අදාළ කරගන්නයි. “කාටවත් නපුරට නපුර නොකරන්න. සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:17, 18.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගෙම ආගමේ අය එක්ක විවාහ වෙන්න ඕන කියලා තීරණයක් ගන්නේ ඇයි?
බයිබලයේ කියන්නේ විවාහ වෙන කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියලයි. (1 කොරින්ති 7:39) ඒ කියන්නේ තමන්ගේම ආගමික විශ්වාසයන් පිළිපදින කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕන කියලයි. බයිබලයේ තියෙන ඒ ආඥාව ඇත්තෙන්ම ප්‍රයෝජනවත්. 2010 සඟරාවක කියලා තියෙනවා “එකම ආගමක ඉන්න, එකම විදිහට ආගමික විශ්වාසයන් පිළිපදින විවාහ යුවළයන්” ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න පෙලඹෙනවා කියලා. c—Journal of Marriage and Family.
කොහොමවුණත් සාක්ෂිකරුවෙක් නොවන සහකරුගෙන් හරි සහකාරියගෙන් හරි වෙන් වෙන්න කියලා සාක්ෂිකරුවන් උනන්දු කරන්නේ නැහැ. මොකද බයිබලයේ මෙහෙම කියනවා. “සහෝදරයෙක් දෙවිට නමස්කාර නොකරන ස්ත්‍රියක් සමඟ විවාහ වී සිටියත් ඔහු සමඟ ජීවත් වෙන්න ඇය තුළ කැමැත්තක් ඇත්නම් ඔහු ඇයව අත් නොහැරිය යුතුයි. එලෙසම ස්ත්‍රියකට දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකු සිටියත් ඇය සමඟ ජීවත් වෙන්න ඔහු තුළ කැමැත්තක් ඇත්නම් ඇයත් තම ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි.” (1 කොරින්ති 7:12, 13) සාක්ෂිකරුවන් ඒ අණ ඒ විදිහටම පිළිපදිනවා.