Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික කල්ලියක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික කල්ලියක්ද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි ආගමික කල්ලියක් නෙවෙයි. අපි යේසුස්ව ආදර්ශයට අරන්, ඔහුගේ ඉගැන්වීම් අනුව ජීවත් වෙන්න උපරිම උත්සාහයක් දරන ක්‍රිස්තියානීන්.

අපි ආගමික කල්ලියක් නෙවෙයි කියන්න හේතු

 අපි ආගමික කල්ලියක් කියලා සමහරු හිතන්නේ අපි ගැන තියෙන වැරදි මත නිසයි. ඒ වගේ වැරදි මත දෙකක් ගැන අපි බලමු.

  •   සමහර අය හිතන්නේ අපි අලුතෙන් පටන්ගත්ත ආගමක් කියලයි. අපි දෙවියන්ට නමස්කාර කරන්නේ අතීතයේ හිටපු යේසුස්ගේ මුල් අනුගාමිකයන් දෙවියන්ට නමස්කාර කරපු විදිහටමයි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි මෑත කාලයේ බිහි වුණු අලුත් ආගමක් කියලා කියන්න බැහැ. යේසුස්ගේ මුල් අනුගාමිකයන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ අයගේ ඉගැන්වීම් හා ඒ අය ක්‍රියා කරපු විදිහ ගැන බයිබලයේ වාර්තා වෙලා තියෙන නිසයි. (2 තිමෝති 3:16, 17) බයිබලයේ කියලා තියෙන විදිහට තමයි ක්‍රිස්තියානීන් දෙවියන්ට නමස්කාර කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.

  •   සමහර අය හිතන්නේ අපි මිනිස් නායකයෙක් යටතේ සේවය කරන භයානක ආගමික කල්ලියක් කියලයි. ඒක වැරදියි. අපි කිසිම මිනිසෙක්ව නායකයෙක් කරගෙන නැහැ. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කියපු මේ දේ අපිත් මුළු හිතෙන්ම පිළිගන්නවා. “ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.”—මතෙව් 23:10.

 අපෙන් සමාජයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ ආගමේ ඉන්න අයටත් සමාජයටත් අපෙන් ලොකු යහපතක් වෙනවා. උදාහරණයකට අපි කරන සේවයෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු අයට ඒකෙන් ගැලවෙන්න උදව් කරන්න. කියවන්න ලියන්න බැරි හුඟක් අයට අපි වෙනම පන්ති තියලා භාෂාව කියලා දෙනවා. හදිසි ආපදා හා ස්වාභාවික විපත්වලින් පීඩා විඳින අයට අපි සහනාධාර දෙනවා. යේසුස් කියපු විදිහට අපි නිතරම උත්සාහ කරන්නේ අන් අයට යහපත් ක්‍රියා කරන්නයි.—මතෙව් 5:13-16.