යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද?
අපිට ලැබෙන සම්මාදම් අපේ නමස්කාර කටයුතු වෙනුවෙන් සහ විපතට පත් වුණු අයට සහනාධාර ලබා දීම වෙනුවෙන් යොදාගන්නවා. ඒ කටයුතු කරන එක අපේ ප්‍රධානම කාර්යය වන මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එකට අයිති වෙනවා.—මතෙව් 28:19, 20.
අපි කවදාවත් අපේ සම්මාදම් පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහා යොදාගන්නේ නැහැ. අපි අතරේ පඩියට වැඩ කරන වැඩිමහල්ලන්වත් පූජකයන්වත් නැහැ. ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය දේශනා කිරීම වෙනුවෙන් සාක්ෂිකරුවන්ට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. පූර්ණකාලීන දේවසේවකයන් විදිහට සේවය කරන අපේ ශාඛා කාර්යාලවල ඉන්න අයටත් පාලක මණ්ඩලය ඇතුළු අපේ ලෝක මූලස්ථානයේ ඉන්න අයටත් පඩියක් ගෙවන්නේ නැහැ.
සම්මාදම් යොදාගෙන කරන දේවල්
ප්‍රකාශන සකස් කිරීම: හැම අවුරුද්දකම අපි බයිබල් සහ ඒ මත පදනම් ප්‍රකාශන විවිධ භාෂාවලට පරිවර්තනය කරනවා. ඊටපස්සේ ඒවා මිලියන ගාණක් මුද්‍රණය කරලා ලෝකේ පුරාම බෙදාහරිනවා. ඒ දේවලට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ jw.org වෙබ් අඩවියේ සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ ඩිජිටල් ප්‍රකාශන පළ කරනවා. ඒ වියදම් පියවගන්න කිසිම මුදලක් අය කරන්නෙවත් වෙළඳ දැන්වීම් පළ කරන්නෙවත් නැහැ.
ඉදි කිරීම් සහ නඩත්තු කටයුතු: ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදරයන්ට එකට රැස් වෙන්නත් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්නත් උදව් වෙන චාම් ගොඩනැඟිලි අපි ඉදි කරනවා. ඒවා නඩත්තු කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ශාඛා කාර්යාලත් පරිවර්තන කාර්යාලත් ඉදි කරලා ඒවා නඩත්තු කරනවා. ඒ වැඩවලින් වැඩි හරියක් අපේ සහෝදරයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරන නිසා වියදම් අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
අධීක්ෂණ කටයුතු: අපේ ලෝක මූලස්ථානයේ, ශාඛා කාර්යාලවල සහ පරිවර්තන කාර්යාලවල සිද්ධ වෙන වැඩකටයුතුවලට වගේම සංචාරක සේවකයන්ගේ වැඩකටයුතුවලට ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම් යොදාගන්නවා.
දේශනා සේවය: ශුභාරංචිය දේශනා කරන්නවත් බයිබලේ තියෙන දේවල් මිනිසුන්ට උගන්වන්නවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. (2 කොරින්ති 2:17) හැබැයි ශුභාරංචිය දේශනා කරන්න වැඩි කාලයක් වැය කරන විශේෂ පුහුණුවක් ලබපු සුළු පිරිසකට නවාතැන් සහ මූලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් ලබා දෙනවා. ඒ වගේ සැලැස්මක් මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවෙත් තිබිලා තියෙනවා.—ෆිලිප්පි 4:16, 17; 1 තිමෝති 5:17, 18.
ඉගැන්වීමේ කටයුතු: බයිබලය මත පදනම් ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන් සකස් කරන්නත් හැම අවුරුද්දකම පවත්වන සමුළුවල වියදම් පියවගන්නත් සම්මාදම් යොදාගන්නවා. ඒ වගේම වැඩිමහල්ලන්ට සහ පූර්ණකාලීන සේවකයන්ට එයාලගේ පැවරුම් තවත් හොඳින් කරන්න පුහුණුව ලබා දෙන පාසැල්වල වියදම් පියවගන්නත් සම්මාදම් යොදාගන්නවා.
සහන සේවා කටයුතු: ස්වාභාවික විපත් සහ යුද්ධ කෝලහල වගේ දේවල් නිසා විපතට පත් වෙලා ඉන්න අයට අපි කෑම, වතුර සහ ඉඳුම්හිටුම් ලබා දෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරක් නෙවෙයි සාක්ෂිකරුවන් නොවන අයත් අපේ සහන සේවා කටයුතුවලින් ප්‍රයෝජන ලබනවා.—ගලාති 6:10.