යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දේශනා සේවය කරන්න පුහුණුව ලැබෙන්නේ කොහොමද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ක්‍රිස්තියානීන් විදිහට ජීවත් වෙන්න ජීවිතේ හැම පැත්තකටම අවශ්‍ය පුහුණුව ලැබෙනවා. ඒකට දේශනා සේවයත් ඇතුළත්. දේශනා සේවය කියන්නේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිස්සුන්ට කියන එක සහ ඒ ගැන උගන්නන එක. (මතෙව් 24:14; 28:19, 20) ඒක යේසුස් භාර දුන්නේ ඔහුගේ අනුගාමිකයන්ට. ඒක කරන්න ඕන කරන පුහුණුව අපිට ලැබෙන්නේ සතිපතා පවත්වන රැස්වීම්වලින් සහ වාර්ෂිකව පවත්වන සමුළුවලින්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයෙයි, සභාවලයි පෙරමුණ අරන් වැඩ කරන අයට විශේෂ පාසැල්වලිනුත් පුහුණුව ලැබෙනවා.
මේ ලිපියෙන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද?
සභා රැස්වීම්. හැම සතියකම අපි නමස්කාර මධ්‍යස්ථානය කියලා හඳුන්වන තැන එකතු වෙලා රැස්වීම් දෙකක් පවත්වනවා. එක රැස්වීමක් අපි සාමාන්‍යයෙන් පවත්වන්නේ සති මැද. අනිත් එක පවත්වන්නේ සති අන්තයේ. ඒ රැස්වීම්වලට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. කිසිම අය කිරීමක් නැහැ.
සති මැද රැස්වීම. කියවන්න, කතාබහක් කරගෙන යන්න, කට්ටියක් ඉස්සරහා දේශන දෙන්න, දේශනා කරන්න සහ උගන්නන්න මේ රැස්වීමෙන් පුහුණු කරනවා. ඒ පුහුණුව ලබා දෙන්නේ දේශන, සාකච්ඡා, නිරූපණ සහ වීඩියෝ හරහා. බයිබලේ තියෙන පණිවිඩය අනිත් අයගේ හිතට කාවදින විදිහට උගන්නන්න මේ රැස්වීමෙන් පුහුණු කරනවා. ඒ වගේම බයිබලේ ඉගෙනගන්න ආස අයව හම්බ වෙලා බයිබල් පාඩම් පටන්ගන්නත් ඒකෙන් පුහුණු කරනවා. මේ රැස්වීමට එන හැමෝම ඒ පුහුණුවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ හැම දේටම වඩා මේ රැස්වීමෙන් දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් ගැනයි, මේ රැස්වීම්වලට එන අනිත් අය ගැනයි අපේ හිතේ තියෙන ආදරෙත් වැඩි කරනවා.
සති අන්ත රැස්වීම. මේ රැස්වීමට කොටස් දෙකක් ඇතුළත්. මුලින්ම බයිබලේ මත පදනම් දේශනයක් තියෙනවා. ඒ දේශනය විශේෂයෙන්ම දෙන්නේ බයිබලේ ගැන දැනගන්න උනන්දුවක් පෙන්නන අයට. ඊටපස්සේ ‘මුරටැඹ’ a පාඩම් කලාපයෙන් ලිපියක් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් විදිහට කරනවා. ඒ ලිපිවල තියෙන්නේ අපේ සේවයට සහ පෞද්ගලික ජීවිතයට උදව් වෙන බයිබල් විෂයන් සහ ප්‍රතිපත්ති ගැනයි.
සමුළු. අවුරුද්දකට තුන් වතාවක් විශාල රැස්වීම් තියෙනවා. ඒවාට සාක්ෂිකරුවන්ගේ සභා කීපයක්ම සහභාගි වෙනවා. ඒවා හරිම ප්‍රීතිමත් අවස්ථා. මේ හැම සමුළුවකටම බයිබලය මත පදනම් තේමාවක් තියෙනවා. ඒ වගේම ඒ සමුළුවල කෙටි නිරූපණ, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ තියෙනවා. සතිපතා පවත්වන රැස්වීම්වලදී වගේම මේ සමුළුවලදීත් බයිබලය ගැන අපිට තියෙන දැනුම තව වැඩි වෙනවා. ඒ වගේම ශුභාරංචිය දේශනා කරන, උගන්නන වැඩේටත් හොඳ පුහුණුවක් ලැබෙනවා. සතිපතා පවත්වන රැස්වීම්වලට වගේම මේවාටත් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. කිසිම අය කිරීමක් නැහැ.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන පාසැල්
වැඩිදුර පුහුණුවක් ලබන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් සමහරදෙනෙක්ට විශේෂ පාසැල්වලට ආරාධනා කරනවා. මොනවාද ඒ පාසැල්? ඒවායේ අරමුණ මොකක්ද? ඒවා කොච්චර කාලයක් තියෙනවාද? ඒවාට යන්න පුළුවන් කොයි වගේ අයටද?
පුරෝගාමි පාසැල
අරමුණ: දේශනා කරන සහ උගන්නන වැඩේ මීටත් වඩා හොඳින් කරන්න පුරෝගාමීන් b කියලා හඳුන්වන පූර්ණකාලීන සේවකයන්ව මේ පාසැලෙන් පුහුණු කරනවා. මේකට සාකච්ඡා, කෙටි නිරූපණ, දේශන සහ පුහුණු සැසිවාර ඇතුළත්.
කාලය: දවස් හයයි.
සහභාගි වෙන්න පුළුවන් අය: අවුරුද්දක් පුරෝගාමි සේවය කරපු අයට මේකට සහභාගි වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ පුරෝගාමි සේවය කරන, අවුරුදු පහකට කලින් මේ පාසැලට සහභාගි වුණ අයටත් ආයෙත් මේකට ආරාධනා කරනවා.
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල
අරමුණ: අද්දැකීම් තියෙන පූර්ණකාලීන සේවකයන්ට මේ පාසැලෙන් විශේෂ පුහුණුවක් ලැබෙනවා. මේ පාසැලේ ශිෂ්‍යයන්ට දේශනා කරන්න, උගන්නන්න එයාලට තියෙන හැකියාව තවත් වැඩි කරනවා. ඒ වගේම මේකෙදී බයිබලේ තියෙන විෂයන් ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. මේ පාසැලෙන් පුහුණුව ලබන අයව දේශනා කරන්න කට්ටිය මදි පැතිවලට යවනවා.
කාලය: මාස දෙකයි.
සහභාගි වෙන්න පුළුවන් අය: මේ පාසැලෙන් බලාපොරොත්තු වෙන සුදුසුකම් තියෙන, ඕනම තැනකට ගිහින් සේවය කරන්න කැමති පුරෝගාමීන්ට මේකට අයදුම් කරන්න පුළුවන්.
වැඩිමහල්ලන් සඳහා පාසැල
අරමුණ: සභාවේ වැඩිමහල්ලන්ට c තියෙන වගකීම් හොඳින් ඉටු කරන්න මේ පාසැලෙන් පුහුණුව ලැබෙනවා. ඒ වගකීම්වලට උගන්නන එක සහ සභාවේ අයව හොඳින් බලාගන්න එක ඇතුළත්. ඒ වගේම දෙවියන්ට සහ අනිත් අයට තියෙන ආදරේ වැඩි කරගන්නත් මේ පාසැල උදව් වෙනවා.—1 පේතෘස් 5:2, 3.
කාලය: දවස් පහයි.
සහභාගි වෙන්න පුළුවන් අය: අලුතින් වැඩිමහල්ලන් විදිහට පත් වුණ අයට සහ අවුරුදු පහකට කලින් මේ පාසැලට සහභාගි වුණ වැඩිමහල්ලන්ට මේකට ආරාධනා කරනවා.
චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල
අරමුණ: චාරිකා සේවකයන් d විදිහට හඳුන්වන සංචාරක සේවකයන්ට එයාලාගේ පැවරුම තවත් හොඳින් කරන්න මේ පාසැලෙන් පුහුණුව ලැබෙනවා. (1 තිමෝති 5:17) ඒ වගේම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට සහ එයාලාගේ භාර්යාවන්ට බයිබලේ තියෙන දේවල් ගැන වැඩි අවබෝධයක් ලබාගන්නත් මේ පුහුණුව උදව් වෙනවා.
කාලය: මාසයයි.
සහභාගි වෙන්න පුළුවන් අය: චාරිකා සේවකයන් විදිහට අලුතින් පත් වුණ අයව සහ එයාලාගේ භාර්යාවන්ව චාරිකා සේවය අවුරුද්දක් කළාට පස්සේ මේ පාසැලට ආරාධනා කරනවා. ඊටපස්සේ හැම අවුරුදු පහකට සැරයක්ම වගේ එයාලට මේ පාසැලට ආරාධනා ලැබෙනවා.
පත් කළ සහෝදරයන් සඳහා පාසැල
අරමුණ: සභාවේ අයට මේ ලෝකෙන් එන බලපෑම්වලට සහ අභියෝගවලට මූණ දෙන්නත් එයාලාගේ අවශ්‍යතා තේරුම් අරන් එයාලට උදව් කරන්නත් වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව e මේ පාසැලෙන් පුහුණු කරනවා. (2 තිමෝති 3:1) අවුරුදු කීපයකට සැරයක් මේ පාසැල පවත්වනවා.
කාලය: පාසැල පවත්වන කාලය වෙනස් වෙනවා. හුඟක් වෙලාවට ඒක තියෙන්නේ එක දවසයි.
සහභාගි වෙන්න පුළුවන් අය: චාරිකා සේවකයන්, වැඩිමහල්ලන් සහ සහායක සේවකයන්.
බෙතෙල් සේවකයන් සඳහා පාසැල
අරමුණ: බෙතෙල් f සේවකයන්ට එයාලාගේ පැවරුම හොඳට කරන්න මේ පාසැලෙන් පුහුණුව ලැබෙනවා. ඒ වගේම දෙවියන් ගැන, අනිත් අය ගැන තියෙන ආදරේ වැඩි කරගන්නත් මේ පාසැලෙන් ලැබෙන පුහුණුව උදව් වෙනවා.
කාලය: දවස් පහමාරයි.
සහභාගි වෙන්න පුළුවන් අය: බෙතෙල් එකට අලුතෙන් ආපු අය මේ පාසැලට සහභාගි වෙන්න ඕනේ. ඒ වගේම කාලයක් පුරා බෙතෙල් එකේ ඉන්න, පහුගිය අවුරුදු පහ ඇතුළත මේකට සහභාගි වුණේ නැති අයටත් මේ පාසැලට ආයෙත් ආරාධනා කරනවා.
ගිලියද් මුරටැඹ බයිබල් පාසැල
අරමුණ: බයිබලේ ගැන හිතේ තියෙන අගය තව වැඩි කරගන්නත් බයිබලේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගන්නත් මේ පාසැලෙන් පුහුණුව ලැබෙනවා. (1 තෙසලෝනික 2:13) මේ පාසැලට සහභාගි වෙන විශ්වාසවන්ත පුරුෂයන්ට සහ ස්ත්රීන්ට අවස්ථාව තියෙනවා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට සහ ලෝකේ පුරාම සිද්ධ වෙන බයිබල් අධ්‍යාපන වැඩකටයුතුවලට තව වැඩියෙන් උදව් කරන්න. මේ පාසැලෙන් පුහුණුව ලබන අයට එයාලාගෙම රටේ හරි වෙනත් රටක හරි දේශනා සේවය කරන්න පැවරුම ලැබෙනවා. එහෙම නැත්නම් ඒ වගේ රටක ශාඛා කාර්යාලයේ සේවය කරන්න පැවරුම ලැබෙනවා.
කාලය: මාස පහයි.
සහභාගි වෙන්න පුළුවන් අය: තෝරගත්ත පූර්ණකාලීන සේවකයන්ට මේකට අයදුම් කරන්න කියලා ශාඛා කාර්යාලයෙන් කියනවා. මේ පාසැල පවත්වන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැටර්සන්වල වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ.
ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල
අරමුණ: ශාඛා කාර්යාලයේ වැඩ සහ ශාඛා කාර්යාලය තියෙන රටේ හරි ඒ ශාඛා කාර්යාලය යටතේ තියෙන තවත් රටවල්වල හරි සාක්ෂිකරුවන්ගේ වැඩ බලාගන්න ශාඛා කමිටු g සාමාජිකයන්ව මේ පාසැලෙන් පුහුණු කරනවා.
කාලය: මාස දෙකයි.
සහභාගි වෙන්න පුළුවන් අය: තෝරගත්ත ශාඛා කමිටු සාමාජිකයන්ට සහ එයාලාගේ භාර්යාවන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් මේ පාසැලට සහභාගි වෙන්න කියලා ආරාධනා කරනවා. මේ පාසැල තියෙන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැටර්සන්වල වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ.
මේ හැම පුහුණුවක්ම ලබා දෙන්නේ මොකක් පදනම් කරගෙනද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හැම පුහුණුවක්ම ලැබෙන්නේ බයිබලය පදනම් කරගෙන. අපි විශ්වාස කරනවා බයිබලය කියන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලැබුණ පොතක් කියලා. ක්‍රිස්තියානියෙක්ට එයාගේ ජීවිතේ හැම පැත්තකටම ඕන කරන මඟ පෙන්වීම් ඒකේ තියෙනවා.—2 තිමෝති 3:16, 17.
ලැබෙන පුහුණුවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙවීමක් කරන්න ඕනෙද?
නැහැ. ඒ හැම පුහුණුවක්ම ලැබෙන්නේ නොමිලේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ හැම වැඩක්ම සිද්ධ වෙන්නේ කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්.—2 කොරින්ති 9:7.
a බයිබලයයි, වීඩියෝ ඇතුළුව බයිබලේ අධ්‍යයනය කරන්න උදව් වෙන හැම ප්රකාශනයක්මයි jw.org වෙබ් අඩවියේ තියෙනවා.
b බව්තීස්ම වෙලා ඉන්න, හැම මාසෙකම අනිත් අයට බයිබලේ තියෙන පණිවිඩය කියන්න නිශ්චිත පැය ගාණක් වෙන් කරලා තියෙන අයට පුරෝගාමීන් කියලා කියනවා.
c වැඩිමහල්ලන් කියන්නේ අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානි පුරුෂයන්ට. එයාලා බයිබලේ පාවිච්චි කරලා උගන්නනවා. ඒ වගේම දෙවියන්ගේ සෙනඟට අවශ්‍ය උදව්, දිරිගැන්වීම් දීලා එයාලව බලාගන්නවා. සභාව වෙනුවෙන් වැඩිමහල්ලන් කරන වැඩවලට ගෙවීමක් කරන්නේ නැහැ.
d චාරිකා සේවකයෙක් කියන්නේ සතිපතා එයාට පවරලා තියෙන චාරිකාවේ එක් එක් සභාවලට සේවේ කරන්න යන පූර්ණකාලීන සේවකයෙක්ට. එයා බයිබලේ මත පදනම් දේශන දීලා සභාවල ඉන්න අයව දිරිගන්වනවා. ඒ වගේම එයාලත් එක්ක සේවේ හවුල් වෙනවා.
e සහායක සේවකයන් සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ගොඩක් විදිවලින් මහන්සි වෙලා වැඩ කරනවා. එයාලා කරන වැඩ කොටස නිසා අනිත් අයට උගන්නන්න, එයාලව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට කාලේ ලැබෙනවා.
f බෙතෙල් කියලා කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට. ඒකේ වැඩ කරන අය ඒ ශාඛා කාර්යාලවලට අයිති ප්‍රදේශවල ඉන්න සාක්ෂිකරුවන්ගේ වැඩවලට උදව් කරනවා.
g ශාඛා කමිටුවක් හැදිලා තියෙන්නේ දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන, සුදුසුකම් තියෙන පුරුෂයන් තුන්දෙනෙක්ගෙන් හරි ඊට වැඩිදෙනෙක්ගෙන් හරි.