ටක්සීඩෝවල සිදු වෙන ගොඩනැඟීම්
නිව් යෝර්ක්, ටක්සීඩෝහි සුන්දර වටපිටාවක තියෙන තට්ටු හතරේ ගොඩනැඟිල්ලට උදෑසන 6.45 වෙද්දී තරුණ තරුණියන් ගොඩවෙන්නේ තම රාජකාරියට ගැළපෙන ඇඳුම්වලින් සැරසිලා. එම ස්වේච්ඡා සේවකයන් නතර වෙලා ඉන්නේ පැටර්සන්, වෝල්කිල් සහ බෘක්ලින් අවට තියෙන හෝටල් සහ කුලියට ගත් නිවෙස්වලයි. සමහර අය සේවය සඳහා එන්නේ කිලෝමීටර් 80ක් තරම් දුර ඈත ප්‍රදේශවල ඉඳලයි.
එම සේවකයන්ගෙන් හුඟදෙනෙක් ඇවිත් තියෙන්නේ ඇමරිකාවේ දුර ඈත පළාත්වලින් සහ වෙනත් රටවල්වලින්. සතියක්, සති හයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ඔවුන් ස්වේච්ඡාවෙන් සේවය කරනවා. ගමන් වියදම් පියවා ගන්නේ ඔවුන්මයි. මෙහි කරන සේවය සඳහා කිසිම මුදලක් ගෙවන්නෙත් නැහැ. නමුත් ඔවුන් සේවය කරන්නේ හිතේ සතුටින්.
මේ වෙනකොට ස්වේච්ඡා සේවකයන් 120දෙනෙක් සේවය කරනවා. ඉදිරි මාසවලදී මේ සංඛ්‍යා වැඩිවෙන්නත් පුළුවන්. ඔවුන් උදෑසන කෑම කාමරයට ඇවිත් කොපි කෝප්පයක රස විඳින්නේ මුළුතැන්ගෙයින් හමා එන ප්‍රණීත ආහාර පානවල සුවඳ විඳිමිනුයි. හරියටම උදෑසන 7ට බයිබල් සාකච්ඡාවක් කරන අතර එය රූපවාහිනී තිර හරහා හැමෝටම දකින්න අහන්න ලැබෙනවා. ඉන් විනාඩි 15කට පසු පෝෂ්‍යදායි උදෑසන ආහාර වේලක් ඔවුන්ට භුක්ති විඳින්න ලැබෙනවා.
උදෑසන ආහාර වේලට පසුව කරන යාච්ඤාවෙන් අනතුරුව ඔවුන් තම ආම්පන්නත් රැගෙන සේවය සඳහා පිටත් වෙන්නේ සිනා මුසු මුහුණෙන්.
ලෝක මුලස්ථානය ඉදි කරන්නේ ටක්සීඩෝ ඉඳන් කිලෝමීටර් කිහිපයක් එහායින් තිබෙන වෝර්වික්වලයි. එම ගොඩනැඟීමේ වැඩවලට උදව්වක් ලෙසට ටක්සීඩෝහි ගොඩනැඟිල්ල භාවිතා කරනවා. කලින් කඩදාසි කර්මාන්ත ශාලාවක් විදිහට යොදා ගත් එම ගොඩනැඟිල්ල නේවාසික කාමර, කාර්යාල, ගබඩා සහ නඩත්තු අංශ ලෙස භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට නැවත සකස් කරනවා. ඒ සඳහා අවසර ලැබුණේ 2013 මාර්තු 12 වෙනිදා.
මේ වැඩවලට උදව් කරන්න එන ස්වේච්ඡා සේවකයන්ව පිළිගත් විදිහ ගැන නිව් ජර්සිවලින් පැමිණි විලියම් මෙහෙම කියනවා. “අමුත්තන්ව පිළිගැනීමේ අංශයේ ඉන්න සහෝදරයන් හැම තොරතුරක්ම වගේ ලබා දෙනවා. අපේ කාමරය තියෙන තැන, එතැනට යන විදිහ, යතුරු පාවිච්චි කරන විදිහ ගැන කියලා දෙනවා.එහේ ඉන්න හැමෝම වගේ උදව් කරනවා. ටක්සීඩෝවලට ගියාට පස්සේ වැඩ භාර සහෝදරයා අපි කරන්න ඕන වැඩ ගැන විස්තර කරලා දෙනවා.”
මෙම ගොඩනැඟිමේ වැඩවලට උදව් කරන්න ලැබීම ගැන පෝටෝ රිකෝවලින් ඉඳන් ආව යජයිරා සහ ඇගේ සැමියා මෙහෙම කියනවා. “අපි උදේ 4.30ට නැඟිටලා කාමරය අස්පස් කරලා, ඉක්මනට ඇඳගෙන කොපි එකකුත් බීලා බස් එකට දුවගෙන එනවා. දවසේ වැඩ ඉවර වෙනකොට හරිම මහන්සියි. ඒත් දැනෙන සතුට ඊට වඩා වැඩියි. හැමෝම වැඩ කරන්නේ හරිම සතුටෙන්.”
වනාන්තරයකින් වට වුණු වෝර්වික්වල ගොඩනැඟිමේ වැඩවලට උදව් කරන සැක් සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙන්නේ මිනසෝටා නගරයේ. මේ ව්‍යාපෘතියට උදව් කරන්න ඔවුන් ආවේ ඇයි කියා ඇසූ විට ඔවුන් කිව්වේ මෙහෙමයි. “මේ කාලේ යෙහෝවා දෙවිට සේවය කරන එක තරම් වටිනා දෙයක් තවත් නැහැ. අපිට යම් හැකියාවක් තියෙනවා නම් ඒක යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් දෙන්නේ හරිම ආසාවෙන්.”