සියවසක් පුරා දෙවිට ප්‍රශංසාව ගෙන දුන් සංගීතය
“ඔයා නිව් යෝර්ක්වල තියෙන කොලොම්බියා ස්ටූඩියෝ එකට ගිහින් අපේ ගීතිකාවක් කියන්න. ඒගොල්ලන් ඒක රෙකෝඩ් කරයි. හැබැයි ඔයා මේ වගේ වැඩක් කරනවා කියලා කාටවත් කියන්න එපා.”
චාල්ස් ටේස් රසල් * කියපු විදිහටම 1913දී විලියම් මාක්රිජ්, ඒ ස්ටූඩියෝ එකට ගිහින් ගීතිකාව කිව්වා. ඒ ගීතිකාව rpm78ක වේගයකින් වාදනය වෙන විදිහට තැටිගත කළා. පස්සේ තමයි විලියම් දැනගත්තේ “දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” (“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්”) ආරම්භ වෙන්නේ ඒ ගීතිකාවෙන් කියලා. ඒ වැඩසටහනට බයිබල් දේශන, පටිගත කළ දර්ශන සහ වීදුරු කාචවලින් තිරයේ දිස් වන පින්තූර ඇතුළත් වුණා. ඒ පින්තූරවලට සමගාමීව පටිගත කරන ලද සංගීතයකුත් වාදනය කළා. ඒක ඉස්සෙල්ලාම ප්‍රදර්ශනය කළේ 1914 ජනවාරි මාසයේ නිව් යෝර්ක් නගරයේයි.
විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කරපු “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනේ විලියම් ගායනා කරපු ගීතිකාවට අමතරව තවත් ගීතිකා 50කට වඩා වැඩි ගණනක් තිබුණා. ඒවාවලින් ගොඩක් ඒවා නිෂ්පාදනය කරලා තිබුණේ බයිබල් ශිෂ්‍යයන් නොවන අයයි. නමුත් විලියම් ගායනා කරපු ගීතිකාව ඇතුළු තවත් ගීතිකා කිහිපයක් අරන් තිබුණේ ඒ කාලේ බයිබල් ශිෂ්‍යයන් පාවිච්චි කරපු ගීතිකා පොතෙනුයි.—ඒ ගීතිකා පොත, Hymns of the Millennial Dawn.
වචන ගැන සැලකිලිමත්
අවුරුදු ගණනාවක් පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම්වලදී ගායනා කළේ වෙනත් අය ලියපු ගීතිකායි. නමුත් සමහර අවස්ථාවලදී බයිබලය මත පදනම් ඔවුන්ගේ විශ්වාසයට අනුව ඒ ගීතිකාවල තිබුණු සමහර වචන ඔවුන් වෙනස් කළා.
උදාහරණයකට, “ෆොටෝ ඩ්‍රාමා” එකේ සමහර ගීතිකා වාදනය කරන්න කලින් ඒවාවල සමහර වචන වෙනස් කරන්න බයිබල් ශිෂ්‍යයන්ට සිද්ධ වුණා. එක ගීතිකාවක් පටන්ගත්තේ මෙහෙමයි. “ස්වාමීන්ගේ තේජවත් පැමිණීම මම දෑසින්ම දකිනවා.” නමුත් බයිබල් ශිෂ්‍යයන් ඒක “ස්වාමීන්ගේ තේජවත් පැමිණ සිටීම මම දෑසින්ම දකිනවා” කියලා වෙනස් කළා. ඔවුන් ඒ වගේ වෙනසක් කරන්න හේතුව යේසුස්ගේ පාලනය යම් කාල පරිච්ඡේදයක් පුරා පවතින දෙයක් මිස නිකම්ම පැමිණීම විතරක් නෙමෙයි කියලා බයිබලේ තියෙන නිසයි.—මතෙව් 24:3.
1966 ඉඳන් සාක්ෂිකරුවන්ම රචනා කරපු ගීතිකා 119ක් තියෙන ගීතිකා පොතක් ඔවුන් පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒ ගීතිකා පොතේ වෙනත් ආගම්වල අය ගායනා කරපු ගීතිකා ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ අවුරුද්දේම සාක්ෂිකරුවන් පොඩි වාදක කණ්ඩායමක් එකතු කරගෙන ඒ ගීතිකා පොතේ තියෙන ගීතිකා 119ම රෙකෝඩ් කළා. සාක්ෂිකරුවන් ඔවුන්ගේ සභා රැස්වීම්වලදී ගායනා කරන්න පාවිච්චි කළේ ඒ ගීතිකායි. ඒ වගේම සමහර සාක්ෂිකරුවන් ඔවුන්ගේ ගෙවල්වල ඒ ගීතිකාවලට ඇහුම්කන් දීලා ඒවා රස වින්දා.—ඒ ගීතිකා පොත, Singing and Accompanying Yourselves With Music in Your Hearts.
2009දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අලුත් ගීතිකා පොතක් මුදාහැරියා. ඒ තමයි ‘ගයමු ගී දෙවි යෙහෝවාට’ කියන ගීතිකා පොත. ගොඩක් භාෂාවලින් මේ ගීතිකා ගායනය එක්කත් පටිගත කරලා තියෙනවා. 2013 ඉඳන් සාක්ෂිකරුවන් කුඩා දරුවන් වෙනුවෙනුත් මියුසික් වීඩියෝ නිෂ්පාදනය කරන්න පටන්ගත්තා. ඒකෙන් එකක් තමයි යාච්ඤාව ගැන තියෙන වීඩියෝ එක. jw.org වෙබ් අඩවියට පිවිසෙන ගොඩක් අය හැම මාසෙම වීඩියෝ සහ ගීතිකා, මිලියනයකට වඩා වැඩි වාර ගණනක් ඩවුන්ලෝඩ් කරගන්නවා.
ගොඩක් අය මේ වීඩියෝ සහ ගීතිකා ගැන ඔවුන්ගේ අගය පළ කරලා තියෙනවා. ‘ගයමු ගී දෙවි යෙහෝවාට’ කියන ගීතිකා පොත ගැන ජූලී මෙහෙම කිව්වා. “අලුත් ගීතිකා හරිම ලස්සනයි. මං තනියම ඉන්නකොට මට ඇති වෙන හැඟීම් ගැන තියෙන ගීතිකා මං අහනවා. එතකොට යෙහෝවා දෙවි එක්ක තියෙන මගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා කියලා මට දැනෙනවා. මගේ උපරිමයෙන්ම දෙවිට සේවය කරන්නත් මාව පෙලඹෙනවා.”
යාච්ඤාව ගැන තියෙන වීඩියෝ එක බලපු පොඩි ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වේ මෙහෙමයි. “දැන් මගේ දුවයි පුතයි යාච්ඤා කරන්නේ උදේ නැඟිට්ටම නැත්තං අපිත් එක්ක ඉන්නකොට විතරක් නෙමෙයි. දෙවි එක්ක කතා කරන්න ඕනෙ කියලා හිතෙන ඕනම වෙලාවක ඒ දෙන්නා යාච්ඤා කරනවා.”
^ 3 ඡේ. බයිබල් ශිෂ්‍යයන් අතර පෙරමුණ අරන් වැඩ කළේ චාල්ස් ටේස් රසල්. (1852–1916) දැන් බයිබල් ශිෂ්‍යයන්ව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලයි.