ගිලියද් පාසැලේ 137වෙනි පන්තිය පැවරුම් ලැබූ දවස
2014 සැප්තැම්බර් 13වෙනිදා ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 137වෙනි පන්තියේ සිටි අයට විශේෂ දවසක්. නිව් යෝර්ක්හි පැටසන්වල පිහිටා තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානට රැස් වුණු ඔවුන්ට පැවරුම් පිරිනැමුවේ එදායි. මේ පාසැල මගින් සේවයේ අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ට ශාඛා කාර්යාලවල හා සභාවන්වල ඔවුන් කරන සේවය තවත් හොඳින් කරන්න පුහුණුවක් ලබා දුන්නා. මේ විශේෂ අවස්ථාව එම ස්ථානයේ සිට සහ වීඩියෝ මාර්ගයෙන් එක්සත් ජනපදය, කැනඩාව, ජැමෙයිකාව, සහ පෝටෝ රිකෝ යන රටවල සිටින අයට දැකබලා ගන්න පුළුවන් වුණා. ඒ අවස්ථාවට සහභාගි වූ මුළු සංඛ්‍යාව 12,333යි.
එදා සභාපති හැටියට කටයුතු කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර සැමුවෙල් හර්ඩ්. ඔහු කතාව ආරම්භ කළේ අපේ සිතුවිලිවලට වඩා දෙවිගේ සිතුවිලි මොන තරම් උසස්ද කියන කාරණය පෙන්වා දෙමිනුයි. (යෙසායා 55:8, 9) මාස 5ක් පුරා දෙවි හිතන විදිහ අධ්‍යයනය කරලා මනස් පුරව ගත්තත් ගිලියද් ශිෂ්‍යයන්ට දැනගන්න පුළුවන් වුණේ “දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්රයක් පමණයි” කියලා ඔහු පෙන්වා දුන්නා. (යෝබ් 26:14) අපි රැස් වෙන හැම අවස්ථාවකදීම දෙවි හිතන ආකාරය ගැන කතා කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. අපි මේ රැස්වීමෙදි කරන්නෙත් ඒකයි කියලා සහෝදර හර්ඩ් කිව්වා.
“කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට බොහෝ ඉවසිලිවන්තකම . . . දැකගත හැකියි.” (ගලාති 5:22) එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන ජෝන් ලාසන් ඉවසිලිවන්තකම ගැන කතා කළා. පීඩා කරදර එනකොට යෙහෝවා දෙවි ඔබව ශක්තිමත් කර ස්ථිර කරන තුරු ඉවසන්න වෙන එක ගැන ඔහු පෙන්වා දුන්නා. (1 පේතෘස් 5:10) ආබ්‍රහම් ඒකට හොඳ ආදර්ශයක්. දෙවි ඔහුව පුහුණු කර දෙවි දුන් පොරොන්දු ඉටු කරන තුරු ආබ්‍රහම්ට ඉවසීමෙන් බලා ඉන්න සිද්ධ වුණා.—හෙබ්‍රෙව් 6:15.
සමහර වෙලාවට ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබුවට පස්සේ ශිෂ්‍යයන් තමන්ගෙන්ම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අයට ලැබුණු පැවරුම හරියට කරගන්න බැරි වුණොත් ‘ඇයි මට පාසැලෙන් ඉගෙනගත්ත විදිහට වැඩ කරන්න බැරි’ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවටත් ඉවසනවා නම් හා දෙවි දෙන පුහුණුව අවසන් වෙන තුරු උනන්දුව දිගටම පවත්වාගන්නවා නම් අභියෝග ජය ගන්න පුළුවන් කියලා ඔහු කිව්වා. (හෙබ්‍රෙව් 6:11, 12) සහෝදර ලාසන් තමන්ගේ අද්දැකීම ගැන කියලත් ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා.
“ඔබේ සිත් සදහටම නිහතමානීව තිබේවා!” පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනි මොරිස්ගේ කතාව පදනම් වුණේ ගීතාවලිය 22:26 මතයි. ඒ පදයේ දෙවෙනි කොටසේ කියන්නේ “ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා” කියලයි. මේ ආශීර්වාදය භුක්ති විඳින්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ. අපි නිහතමානී වුණේ නැත්නම් අපෙන් කිසිම වැඩක් නැහැ. මොකද යෙහෝවා දෙවි ඔහුගේ සේවයට යොදාගන්නේ නිහතමානී අයවයි. බොහෝ කාලයක් සත්‍යයේ ඉන්න අයට පවා යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමේ ඇති වටිනාකම අමතක වෙන්න පුළුවන්.—2 පේතෘස් 1:9.
නිහතමානීව ක්‍රියා කළ අය හා එසේ නොවුණු අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට හෙරොද් අග්‍රිපා මිනිසුන් කළ බොරු ප්‍රශංසාවලට රැවටී දෙවිට දෙන්න ඕන ගෞරවය ඔහු ලබාගත්තා. ඒ නිසා දෙවිගේ දූතයෙක් ඔහුට පහර දුන් අතර “ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගියා.” (ක්‍රියා 12:21-23) පේතෘස් ඊට වඩා වෙනස්. “ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි” කියලා යේසුස් තදින් අවවාද කළත් ඔහු ඒ ගැන කේන්ති ගත්තේ නැහැ. (මතෙව් 16:21-23) ඔහු ඒ හික්මවීම පිළිගත් අතර අපි හැමෝටම නිහතමානිකම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබුවා.—1 පේතෘස් 5:5.
සමහර ශිෂ්‍යයන්ට ශාඛා කාර්යාලවල සේවය කරන්න පැවරුම ලැබෙන්න පුළුවන්. ඔවුන් නිහතමානී වුණේ නැත්නම් ඔවුන්ගේ පැවරුම හරියාකාරව කරගන්න බැරි වෙයි කියලා සහෝදර මොරිස් අනතුරු ඇඟෙව්වා. ඒත් තමන් තුළ උඩඟුකම තියෙනවා කියලා කෙනෙක්ට හොයාගන්න ලේසි නැහැ. ඒ කරුණ පැහැදිලි කරන්න ඔහු එක සහෝදරයෙකුට සිදු වුණු දෙයක් කිව්වා. ඒ සහෝදරයාට නිහතමානිකම අඩු නිසා අනිත් වැඩිමහල්ලන් උපදෙස් දීලා තිබුණා. තමන්ට සිදු වුණු දේ ගැන ඒ සහෝදරයා ශාඛා කාර්යාලයට ලිව්ව අතර “මම දන්න තරමට ඉන්න නිහතමානීම කෙනා මමයි” කියලත් ඒ ලියුමේ කියලා තිබුණා. ඒ වගේ ආකල්ප තියාගන්න එපා කියලා සහෝදර මොරිස් ශිෂ්‍යයන්ට කිව්වා. කෙනෙක් තමන් ගැන මහ ඉහළින් හිතන්නේ නැතුව තමන්ට ඉහළින් නිතරම යෙහෝවා දෙවි සහ යේසුස් ඉන්නවා කියලා හිතනවා නම් ඒ වගේ කෙනෙක්ට නිහතමානී වෙන්න ලේසියි.
‘දෙවි තම බලය නොඅඩුව ලබා දෙනවා.’ (යොහන් 3:34) කියන තේමාවෙන් ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන සහෝදර මයිකල් බර්නෙට් ඊළඟ දේශනය ඉදිරිපත් කළා. ශිෂ්‍යන්ට තමන්ගේ පැවරුම් ඉටු කරද්දී මතු වෙන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න යෙහෝවා දෙවි තමන්ගේ බලය ලබා දෙනවා කියලා ඔහු ශිෂ්‍යන්ට මතක් කළා. ශුද්ධ කූඩාරම හදන එක බෙසලෙල්ට ලොකු අභියෝගයක් වුණත් දෙවිගේ බලයෙන් ඔහුට අවශ්‍ය උපකාර ලැබුණා. (නික්මයාම 35:30-35) දෙවිගේ බලය නිසා ඔහුගේ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි අනිත් අයට උගන්වන්නත් හැකියාව ලැබුණා. පන්තියේ ඉගෙනගත්ත විදිහට බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට එකඟව වැඩ කරන තාක් කල් තමන්ගේ පැවරුම හොඳින් කරන්න දෙවිගේ බලයෙන් ගිලියද් ශිෂ්‍යයන්ටත් උදව් ලැබෙන බව ඔහු මතක් කළා.
ශුද්ධ කූඩාරම හදද්දී ඊශ්‍රායෙල් කාන්තාවනුත් විශාල වැඩ කොටසක් කළා. (නික්මයාම 35:25, 26) පන්තියේ හිටිය සහෝදරියන්ද සැමියන්ට සම්පූර්ණ සහයෝගය ලබා දීමෙන් එදා හිටිය කාන්තාවන් වගේ තමන්ද වැඩවලට දක්ෂයි කියන එක පෙන්නලා තියෙනවා. “නිහතමානීව හා කීකරුව ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න. එහෙම කරනවා නම් යෙහෝවා දෙවිත් තමන්ගේ බලය අඩුවක් නැතුව ඔබට ලබා දෙයි” කියමින් සහෝදර බර්නෙට් ඔහුගේ දේශනය අවසන් කළා.
“මාත් එක්ක නටන්න කැමතිද?” කියන තේමාවෙන් ඊළඟ දේශනය ඉදිරිපත් කළේ ඉගැන්වීම් කමිටුවට සහාය වන සහෝදර මාක් නියුමෙයා. ඔහු ඒ දේශනය දුන්නේ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනාව වෙලාවේ දාවිත් රජ සතුටු වූ විදිහ පදනම් කරගෙනයි. (2 සාමුවෙල් 6:12-14) දාවිත්, රජ කෙනෙක් වුණත් එදා සතුට බෙදාගන්න “සේවකයන්ගේ දාසියන්” එක්ක එකතු වෙලා නැටුවා. (2 සාමුවෙල් 6:20-22) රජතුමා ඒ අය එක්ක නටපු ඒ දවස දාසියන්ට ජීවිතේ කවදාවත් අමතක වෙන්න නැතුව ඇති. සහෝදර නියුමෙයා ශිෂ්‍යයන්ට කිව්වා ‘දාසියන් සමඟ නටන්න’ කියලා. ඒකෙන් ඔහු අදහස් කළේ අපි ගොඩක් නිහතමානී වෙන්න ඕනෙ කියන එකයි. ඊටපස්සේ ඔහු මෙහෙම ඇහුවා. “වැඩිය වගකීම් දරන්නේ නැති එහෙම නැත්නම් කොහොමටවත් වගකීම් දරන්නේ නැති අයට ඔබ උදව් කරනවාද? ඔබ කෙනෙක්ව වටිනා කෙනෙක් හැටියට සලකන්නේ ඒ තැනැත්තාට දෙවි එක්ක හොඳ බැඳීමක් තියෙන නිසාද?”
ශිෂ්‍යයන්ට යෙහෝවා දෙවිව අනුකරණය කරන්න පුළුවන් වෙන්නේ ඔවුන් සහෝදරයන්ට ඒ වගේ සලකනවා නම් විතරයි. (ගීතාවලිය 113:6, 7) අනිත් අය නිහතමානී නොවුණත් ඒ අවාදර්ශ ඔබ අනුකරණය කරන්න එපා. “ඔබ අනිත් අයට වඩා උසස් කියලා හිතන්න එපා. දෙවි ඔහුගේ රැළට සලකන විදිහට ඔබත් ඒ අයට සලකන්න” කියා කියමින් ඔහු දේශනය අවසන් කළා.
“ලැබෙන හැම අවස්ථාවකදීම සාක්ෂි දරන්න.” තමන්ට ලැබුණු හැම අවස්ථාවකදීම සාක්ෂි දරපු පාවුල්ගේ ආදර්ශය ගැන සහෝදර විලියම් සැමුවෙල්සන් පෙන්වා දුන්නා. (ක්‍රියා 17:17) ඒ දේශනය අතරතුර ගිලියද් පාසැලේ පුහුණුව ලබන කාලයේදී ශිෂ්‍යයන් සේවයේ ලබපු අද්දැකීම් කිහිපයක් නැවත රඟ දැක්වුවා. එක යුවළකට සුපිරි වෙළඳසැලකදී ඒකෙ වැඩ කරන ලාඕස් ජාතික කාන්තාවක් හම්බ වුණා. සෙනඟ ටිකක් අඩු වෙන කල් ඉඳලා මේ යුවළ ඒ කාන්තාවට ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පෙන්නුවා. jw.org වෙබ් අඩවියෙන් ඇගේම භාෂාවෙන් තියෙන ලිපි හොයාගන්න විදිහත් කියලා දුන්නා. ඊටපස්සේ තවත් දවසක ඒ කාන්තාව හම්බ වෙලා ඇගේ උනන්දුව වැඩි කරන්න මේ යුවළට පුළුවන් වුණා.
“සේවය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.” එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සේවා අංශයේ සේවය කරන විලියම් නොන්කීස් ශිෂ්‍යයන් 4දෙනෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුවා. ඔවුන් මේ වෙද්දිත් යෙසායා 6:8 කියන විදිහට දෙවිට සේවය කරන්න ඉදිරිපත් වෙලයි ඉන්නේ. ඒත් මේ පාසැලෙන් ඔවුන්ට දිගටම මේ සේවයේ රැඳී ඉන්න උපකාර කරලා තියෙනවා. ගිලියද් පාසැලෙන්, දියුණු වෙන්න ඕන පැති ගැන ඇය තවත් දැනගත්තා කියලත් විශේෂයෙන්ම සේවයෙන් පස්සේ, දවසේ ඉතුරු වෙලාවත් ඥානවන්තව පාවිච්චි කරන විදිහ දැනගත්තා කියලත් සහෝදරි ස්නෝල්යා මාසෙකො කිව්වා. ඇය මෙහෙමත් කිව්වා. “මෙච්චර කාලයක් මං හිතන් හිටියාට වඩා දේවල් මට කරන්න පුළුවන් කියලා මේ පුහුණුවෙදි මං තේරුම්ගත්තා.” සේවයේ යම් යම් අධෛර්යය වීම් ඇති වෙද්දි ඒවා එක්ක කටයුතු කරන විදිහ ගැන ඔහු ශෙපනියා 3:17න් ඉගෙනගත්තා කියලා සහෝදර නීල්සන් කිව්වා. “මං සේවයේ යද්දි බලාපොරොත්තු වුණු විදිහට ප්‍රතිඵල ලැබුණේ නැති වුණත් යෙහෝවා දෙවි මාත් එක්ක සතුටු වෙනවා කියලා මං දන්නවා” කියලත් ඔහු කිව්වා.
“අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න.” (මතෙව් 6:26) ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ස්ටීවන් ලෙට්. යේසුස් කළ ඉගැන්වීමක් ගැන කතා කරමින් ඔහු කිව්වේ අපි කුරුල්ලන් දිහා “හොඳින් බලන්න” ඕනේ කියලයි. කුරුල්ලන්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් කිහිපයක් ඔහු පෙන්වා දුන්නා.—යෝබ් 12:7.
යෙහෝවා දෙවි කුරුල්ලන්ට අවශ්‍ය ආහාර සපයනවා නම් ඔහු අපිටත් අවශ්‍ය දේවල් සපයන බව ස්ථිරයි කියලා ඔහු කිව්වා. මොකද අපි දෙවිගේ ගෘහයේ සාමාජිකයෝ නිසා දෙවි තමන්ගේ “පවුලේ සාමාජිකයන්ට” අවශ්‍ය දේවල් සපයනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (1 තිමෝති 3:15; 5:8) දෙවි ආහාර සැපයුවත් කුරුල්ලන් ඒවා සොයාගන්න මහන්සි වෙන්න ඕනේ වගේ අපිත් දෙවිගේ ආශීර්වාද ලබාගන්න නම් ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ ඕනේ.—මතෙව් 6:33.
ගොඩක් කුරුල්ලන් යම් අනතුරක් දැක්කාම අනිත් කුරුල්ලන්ට ඒ ගැන දන්වනවා. ඒ වගේ අපිත් “යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක්” ගත්තොත් ඒ ගැන අනතුරු අඟවනවා. (ගලාති 6:1) ඒ විතරක් නෙමෙයි ළඟදීම එන “යෙහෝවා දෙවිගේ මහත් දවස” ගැන අනිත් අයට දැනුම් දෙනවා. (ශෙපනියා 1:14) සංක්‍රමණය කරන කුරුල්ලන් කඳු උඩින් පියාඹා යනවා වගේ අපිටත් කඳු වගේ විශාල අභියෝග තිබුණත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒවා ජය ගන්න පුළුවන් කියලා සහෝදර ලෙට් පෙන්වා දුන්නා.—මතෙව් 17:20.
අවසානය. ශිෂ්‍යයන්ට පැවරුම් ලැබුණාට පස්සේ ශිෂ්‍යයන් අගය ප්‍රකාශ කරමින් ලියූ ලිපියක් එක් ශිෂ්‍යයෙක් කියෙව්වා. ඊළඟට සහෝදර හර්ඩ්, දෙවිගේ සිතුවිලි හිතේ රඳවාගන්න කෙනෙක්ට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා කියන එක පැහැදිලි කළා. ඒක හරියට රේල්පීලි සිල්බර කොටවලට සවි කරද්දී ඒවායෙ ඇණ ගැඹුරට බහින කල් කිහිප වතාවක්ම ගහන්න සිද්ධ වෙනවා වගේ වැඩක් කියලා ඔහු කිව්වා. ශිෂ්‍යයනුත් ගිලියද් පාසැලේදී ඉගෙනගත්ත දේවල් හිතට කාවදින කල් කිහිප වතාවක්ම ඒ ගැන හිතන්න ඕනේ. “දෙවි හිතන විදිහට හිතලා වැඩ කරනවා නම් ඔබ අනිත් අයට ආශීර්වාදයක් වෙයි” කියා කියමින් ඔහු කතාව අවසන් කළා.