Skip to content

පාලක මණ්ඩලය රුසියාවේ සහ යුක්රේනයේ සාක්ෂිකරුවන්ව දිරිගන්වයි

පාලක මණ්ඩලය රුසියාවේ සහ යුක්රේනයේ සාක්ෂිකරුවන්ව දිරිගන්වයි

“අපිට මොන තරම් ප්‍රේමයක් පෙන්වනවාද කියලා දැනුණා.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට් විශේෂ ලියුමක් කියවද්දී ඒකට ඇහුම්කන් දීපු යුක්රේනයේ කාන්තාවක් කිව්වේ එහෙමයි. ඇය 2014 මැයි 10 සහ 11 සති අන්තයේ ඒ රටට ආව සහෝදර ලෙට් දීපු දේශනය අහගෙන හිටපු සාක්ෂිකරුවන් 1,65,000දෙනාගෙන් කෙනෙක්.

ඒ ලියුමත් බයිබල් දේශනත් භාෂා 5කට පරිවර්තනය කළා. ඒ වැඩසටහන යුක්රේනයේ නමස්කාර මධ්‍යස්ථාන 700කට විතර සම්බන්ධ කරලා තිබුණා.

ඒ සති අන්තයේම පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන් රුසියාවේ ඉන්න සහෝදරයන්ට ඉදිරිපත් කරපු වැඩසටහනකදී ඒ ලියුම කියෙව්වා. ඒ වැඩසටහනත් භාෂා 14කට පරිවර්තනය කරලා බෙලෝරුසියාවේ සහ රුසියාවේ සභා 2,500කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ කළා. 1,80,413දෙනෙක් ඒ ස්ථානවල රැස් වෙලා හිටියා.

පාලක මණ්ඩලයෙන් ඒ ලියුම එවලා තිබුණේ රුසියාවේ සහ යුක්රේනයේ හැම සභාවකටමයි. සහෝදර සැන්ඩසන් ඒක කියෙව්වේ රුසියානු භාෂාවෙන්. අගය පළ කරලා රුසියාවේ ශාඛා කාර්යාලය මේ විදිහට ලිව්වා. “පාලක මණ්ඩලය අපි ගැනත් මේ තරම් උනන්දුවක් දක්වන එක අපේ සහෝදර සහෝදරියන්ට හරිම සතුටක්. අපි හැමෝටම දැනුණේ පාලක මණ්ඩලය අපිව ආදරෙන් වැලඳගත්තා වගේ කියලා.”

දේශපාලන ගැටුම් තියෙන පැත්තක ඉන්න සාක්ෂිකරුවන්ව සනසන්නත් ශක්තිමත් කරන්නත් තමයි ඒ ලියුම ලියලා තිබුණේ. දේශපාලන පැති නොගෙන “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී” ඉන්න කියලා සහෝදරයන්ගෙන් ඒ ලියුමේ ඉල්ලලා තිබුණා.—යොහන් 17:16.

ඒ නිසා යාච්ඤාවෙන්, අධ්‍යයනයෙන්, දේවවචනය ගැඹුරින් කල්පනා කිරීමෙන් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න කියලා පාලක මණ්ඩලය සාක්ෂිකරුවන්ව දිරිගැන්නුවා. මොන පීඩාවකට මුහුණ දුන්නත් “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියලා දෙවියන් දුන්න පොරොන්දුව ගැන දැඩි විශ්වාසයක් තියාගන්න කියලා හැමෝටම මතක් කරලා දුන්නා.—යෙසායා 54:17.

පාලක මණ්ඩලය ඒ ලියුම අවසන් කරලා තිබ්බේ මේ විදිහට. “ඔයගොල්ලන් හැමෝටම අපි හුඟක් ආදරෙයි. ඔයාලව අපි නිතරම මතක් කරනවා කියලත් ඔයාලා වෙනුවෙන් අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා කියලත් අමතක කරන්න එපා.”

තමන්ව දිරිගන්වන්න ආපු එක ගැන අගය කරලා යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය ලිව්වේ මෙහෙමයි. “පාලක මණ්ඩලය පෙන්වන ප්‍රේමය හා සැලකිල්ල ගැන සහෝදරයන් හුඟක් සතුටු වෙනවා. සහෝදර ලෙට් සහ සහෝදර සැන්ඩසන් එකම සති අන්තයේ යුක්රේනයටයි රුසියාවටයි ආපු එකෙන් දෙවියන්ගේ සෙනඟ කොච්චර එකමුතුද කියලා ඔප්පු වුණා. ඒ වගේම යෙහෝවා දෙවියන් සහ යේසුස් තමන් ගැන කොච්චර සැලකිලිමත් වෙනවාද කියලා සහෝදරයන්ට තේරුම්ගන්නත් පුළුවන් වුණා. ඒ දෙන්නා ආවේ අත්‍යවශ්‍යම වෙලාවේ. අපි මොන ප්‍රශ්නෙකට මුහුණ දුන්නත් දෙවියන්ට දිගටම සේවය කරන්න අපිට ශක්තියක් ලැබුණා.”