Skip to content

තායිලන්තයේ පාසැල් දරුවන්ට ලැබුණු උපකාරය

තායිලන්තයේ පාසැල් දරුවන්ට ලැබුණු උපකාරය

තායිලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2012 දෙසැම්බර් මාසයේ මුලදී පාසැල් වැඩ හොඳින් කරගෙන යන්න ශිෂ්‍යයන්ට උදව් වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. වැඩිහිටි සාක්ෂිකරුවන් විසිදෙනෙක් බැංකොක් නගරය අවට ප්‍රදේශවල පාසැල්වලට ගියා. හැම පාසැලකම විදුහල්පතිවරයා එක්ක ඒ ගැන කතා කරලා “අධ්‍යාපනයෙන් උපරිම පල නෙළාගැනීමට” කියන ලිපි මාලාව තියෙන 2012 ඔක්තෝබර් ‘පිබිදෙව්!’ සඟරාව හැම ගුරුවරයෙක්ටම, හැම ශිෂ්‍යයෙක්ටම දුන්නා.

වැඩසටහන කොච්චර සාර්ථක වුණාද කියනවා නම් මුළු රටේම පාසැල්වලට මේ සඟරාව බෙදාහරින්න සාක්ෂිකරුවන් පියවර ගත්තා. ඊළඟ අවුරුදු එකහමාරෙදී ඔවුන්ට පුළුවන් වුණා පාසැල් 830කට යන්න. ඒ පාසැල්වල ශිෂ්‍යයන් සහ ගුරුවරුන් ‘පිබිදෙව්!’ සඟරාව කියවන්න ගොඩක් ආස වුණා. ඒ ඉල්ලුම සපයන්න වෙනදා ප්‍රමාණයට වඩා තුන් ගුණයක් සඟරා මුද්‍රණය කළා. 2012 ඔක්තෝබර් ‘පිබිදෙව්!’ සඟරාව මුලින් ඉල්ලුව ප්‍රමාණය 30,000ක් විතර. ඒත් ඒ සඟරාවේ කරුණු කොච්චර ප්‍රසිද්ධ වුණාද කියලා කියනවා නම් ඊටපස්සේ පිටපත් 6,50,000කට වඩා බෙදාහරින්න පුළුවන් වුණා.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ‘පිබිදෙව්!’ සඟරාවේ වටිනාකම දැනගෙන මෙහෙම කිව්වා. “ශිෂ්‍යයන්ට තමන්ගේ පවුලේ අය එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් හොඳ ඉලක්ක තියාගෙන ඒ අනුව වැඩ කරන්නත් මේ සඟරාව උදව් වෙයි.” සමහර පාසැල්වල ඉගැන්නුව පාඩම්වලටත් ඒ සඟරාවේ කරුණු ඇතුළත් කළා. තවත් පාසැල්වල කියවීමේ අභ්‍යාසවලටත් ඒ සඟරාව පාවිච්චි කළා. එක පාසැලක ශිෂ්‍යයන්ට සඟරාවේ තොරතුරු යොදාගෙන වාර්තාවක් ලියන්න පැවරුමක් දුන්නා. හොඳම වාර්තා ලිව්ව ළමයින්ට තෑගිත් දුන්නා.

එක ශිෂ්‍යාවක් ඒ සඟරාවේ තියෙන “හිතට බරක් වන ගතේ බර” කියන ලිපිය හුඟක් අගේ කළා. ඇය පැහැදිලි කළේ තරබාරුකම අද හුඟදෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා, යාළුවෝ ඒ ගැන කතා කරන්නත් කැමති නැහැ කියලයි. ඇය කියනවා “පහසුවෙන් තේරුම්ගන්නත් අදාළ කරගන්නත් පුළුවන් මඟ පෙන්වීම් දුන්නට ගොඩක් ස්තුතියි” කියලා.

දෙමව්පියනුත් ඒකේ තියෙන තොරතුරු හුඟක් අගේ කළා. එක මවක් ඇගේ නිවසට ආපු සාක්ෂිකාරියන්ට ස්තුති කරලා කිව්වා “මගේ දුවට ඉස්කෝලේ වැඩ හොඳින් කරන්න ඒකේ හොඳ යෝජනා තියෙනවා” කියලා.

තායිලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන පිචායි පෙට්රායොටින් මහතා මෙහෙම කිව්වා. “අවුරුදු ගාණකට කලින් ලිව්වත් බයිබලයේ තියෙන නැණවත් අදහස් අදටත් ප්‍රයෝජනවත් කියන එක ‘පිබිදෙව්!’ සඟරාවෙන් පෙන්වනවා. අධ්‍යාපනයේ වටිනාකමක් තියෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කිසිම අය කිරීමක් නොකර හැමෝටම මේක ලබා දෙන්න සතුටුයි.”