Skip to content

නිවාඩු පිට හිටිය ගිනි නිවන භටයෙක් ජීවිත බේරයි

නිවාඩු පිට හිටිය ගිනි නිවන භටයෙක් ජීවිත බේරයි

2014 ජනවාරි 5වෙනි ඉරිදා සර්ජ් ජෙරාඩින් ප්‍රංශයේ පැරිස් නගරය කිට්ටුව තිබුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට බස් එකකින් යමින් හිටියා. ඒ එක්කම ඔහු බිහිසුණු අනතුරක් වෙනවා දැක්කා. ඒ සිද්ධිය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි. “ගමන් කරමින් තිබුණ මෝටර් රථයක් පාලමක කොන්ක්‍රීට් එකේ හැප්පිලා උඩ විසි වුණා. ඊටපස්සේ ඒක රෝද හතර උඩ හිටින්න පාරට වැටුණා. එතකොටම ගිනි ගන්න පටන්ගත්තා.”

සර්ජ් අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ ගිනි නිවන භටයෙක් හැටියට සේවය කරනවා. ගිනි නිවන හමුදාවේ ප්‍රධානියෙක් වන සර්ජ් වහාම ක්‍රියාත්මක වුණා. ඔහු කිව්වේ මෙහෙමයි. “අපි අධිවේගී මාර්ගයේ ගියේ කාරෙක ආව පැත්තට නෙමෙයි අනිත් පැත්තට. අනතුර දැකපු ගමන් අපේ වාහනේ රියදුරාට කියලා ඒක නවත්තගෙන මම ඉක්මනටම ගිනි ගන්න වාහනේ ළඟට දිව්වා.” සර්ජ්ට ඇහුණා “අනේ මාව බේරගන්න, මාව බේරගන්න” කියලා කෑගහන හඬක්. ඔහු මෙහෙම කියනවා. “ඒ වෙලාවේ මම හොඳ සූට් එකක් ඇඳලා ටයි එකක් දාලා හිටියේ. මගේ ළඟ ආරක්ෂිත උපාංග මොකුත් තිබුණේ නැහැ. ඒ කෑගැහිල්ලෙන් මට දැනුණේ මට ඒගොල්ලන්ව බේරගන්න තාමත් අවස්ථාව තියෙනවා කියලයි.”

වාහනය ඇතුළේ කම්පනයට පත් වෙලා හිටපු එක් කෙනෙක්ව බේරගෙන ආරක්ෂිත තැනක තියන්න සර්ජ්ට පුළුවන් වුණා. “තවත් දෙන්නෙක් ඇතුළේ ඉන්නවා කියලා එයා මට කිව්වා. ආපු වාහන ගොඩක් ඒ වෙද්දී නවත්තලා තිබුණා. ඒත් රස්නෙයි ගින්දරයි නිසා කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා” කියලා සර්ජ් කිව්වා.

ට්‍රක් රථවලින් ආපු අය ඔවුන්ගේ ගිනි නිවන උපකරණ අරන් එතනට ආවා. සර්ජ්ගේ මූලිකත්වයෙන් ඔවුන්ගේ ගිනි නිවන උපකරණවලින් තාවකාලිකව ඒ ගින්න නිවන්න ඔවුන්ට පුළුවන් වුණා. කොහොමවුණත් රියදුරා ඒ රථය යට හිර වෙලයි හිටියේ. නතර වෙලා හිටිය කීපදෙනෙක් එක්ක එකතු වෙලා කාර් එක උස්සලා ඔහුව ඇදලා අරගෙන ඔහුවත් ආරක්ෂිත තැනකට ගෙනිච්චා.

“ඒ එක්කම වගේ සද්දයක් ඇහුණා. ආයෙත් ගින්න ඇවිලෙන්න පටන්ගත්තා” කියලා සර්ජ් කිව්වා. ඒත් තාමත් එක් කෙනෙක් සීට් බෙල්ට් එකේ මුනින් අතට එල්ලිලා ඉන්නවා. ඔය අතරේ නිවාඩු පිට ඉන්න තවත් ගිනි නිවන භටයෙක් එතනට ආවා. ඔහු බයිසිකලයෙන් යද්දී දාන ලෙදර් ඇඳුමක් ඇඳගෙන හිටියා. සර්ජ් කිව්වේ මෙහෙමයි. “තව ටිකකින් මේක පුපුරන්නයි යන්නේ කියලා මං එයාට පැහැදිලි කළා. ඊටපස්සේ අපි දෙන්නා කතා වෙලා හිර වෙලා හිටිය කෙනාගේ අත් දෙකෙන් ඇදලා කොහොමහරි එයාව එළියට ගත්තා.” විනාඩියක් යන්නත් කලින් කාර් එක පිපුරුවා.

ඊටපස්සේ ගිනි නිවන හමුදාව ඇවිත් ගින්න නිවද්දී ප්‍රතිකාර කරන්න ආපු අය අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. සර්ජ්ගේ අත් කැපිලා පිච්චිලා තිබුණා. ඒවාටත් ප්‍රතිකාර ලැබුණා. සමුළුවට යන්න සර්ජ් වාහනේට නගිද්දී කීපදෙනෙක් දුවගෙන ඇවිත් ඔහුට ස්තුති කළා.

ඒ වගේ උදව්වක් කරන්න තමන්ට ලැබුණු අවස්ථාව ගැන සර්ජ් මෙහෙම කියනවා. “මම නමස්කාර කරන යෙහෝවා දෙවියන් ඉදිරියේ මට එයාලගේ ජීවිත ගැන ලොකු වගකීමක් තියෙනවා කියලයි හැඟුණේ. එයාලගේ ජීවිත බේරන්න උදව් වෙන්න ලැබුණ එක ලොකු සතුටක්.”