Skip to content

පටුනට යන්න

1වෙනි කොටස

“මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”

“මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”

රංචුවත් එක්ක තණකොළ කමින් හිටපු බැටළුවා රැළෙන් මඟහැරෙනවා. අනිත් බැටළුවොත් එඬේරාත් පේන තෙක් මානෙක නැහැ. අඳුර වැටීගෙන එද්දී වනසතුන් සැරිසරන ඒ තැනිතලාවේ අතරමං වුණු බැටළුවා ඉන්නේ හුඟක් අසරණ වෙලයි. බයෙන් ගැහිගැහී ඉද්දී හුරු පුරුදු කටහඬක් ඇහෙනවා. ඒ එඬේරාගේ කටහඬයි. ඔහු ඇවිත් බැටළුවාව වඩාගෙන ඔහුගේ සළුවෙන් ඌව ඔතාගෙන ගෙදර අරන් යනවා.

යෙහෝවා දෙවි තමාව එඬේරෙක්ට සමාන කරලා තියෙනවා. ඔහු කියන්නේ ‘මම මාගේ බැටළුවන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි’ කියලයි.—එසකියෙල් 34:11, 12.

“මාගේ තණබිම්වල වෙසෙන බැටළුවන්”

යෙහෝවා දෙවිගේ බැටළුවෝ කවුද? ඒ ඔහුට ආදරේ කරන, ඔහුට නමස්කාර කරන අයයි. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඉදිරියේ දණ නමමු. මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.” (ගීතාවලිය 95:6, 7) බැටළුවෝ කැමැත්තෙන්ම එඬේරා පස්සෙන් යනවා වගේ දෙවිගේ සෙනඟත් ඔහුට කීකරු වෙන්නේ හරිම කැමැත්තෙන්. ඒ කියන්නේ ඔවුන් අතින් වැරදි, අඩුපාඩු වෙන්නේ නැහැ කියලද? නැහැ. මොකද දෙවිගේ සෙනඟව සමහර අවස්ථාවලදී “සීසීකඩ විසිර සිටින බැටළුවන්,” “නැති වුණු බැටළුවන්” සහ “මංමුළා වී ගිය බැටළුවන්” විදිහට බයිබලේ හඳුන්වනවා. (එසකියෙල් 34:12; මතෙව් 15:24; 1 පේතෘස් 2:25) කෙනෙක් දෙවිගෙන් ඈත් වුණත් ඒ කෙනා ආයෙත් එයි කියලා දෙවි බලාගෙන ඉන්නවා.

යෙහෝවා දෙවි ඔයාගේ එඬේරා කියලා තාමත් ඔයාට දැනෙනවද? ඔහු අදටත් අපේ එඬේරා කියලා ඔප්පු වෙන පැති 3ක් බලමු.

අපිව පෝෂණය කරනවා. යෙහෝවා දෙවි තම බැටළුවන් ගැන මෙහෙම කියනවා. ‘මම උන්ව ඉතා සරුසාර තණබිම්වලට ගෙනැවිත් පෝෂණය කරන්නෙමි. උන් සුරක්ෂිත වාසස්ථානවල සැතපෙනු ඇත.’ (එසකියෙල් 34:14) දෙවි අපිට ඕනම කරන වෙලාවට, එකිනෙකට වෙනස්, ප්‍රබෝධයක් ගෙන දෙන දේවලින් අපිව පෝෂණය කරනවා. ලිපියකින්, දේශනයකින්, වීඩියෝ එකකින් ඔයාගේ යාච්ඤාවලට උත්තර ලැබුණු විදිහ මතකද? යෙහෝවා දෙවි ඔයා ගැන සැලකිලිමත් වුණා කියලා ඒ වෙලාවේ ඔයාට දැනුණේ නැද්ද?

ඕන කරන උදව් දීලා අපිව රැකබලා ගන්නවා. “අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි” කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙනවා. (එසකියෙල් 34:16) කනස්සල්ලෙන්, දුකෙන් ඉන්න අයව ඔහු ශක්තිමත් කරනවා. තුවාල වුණු බැටළුවෙක්ට බෙහෙත් බඳිනවා වගේ හිත පෑරිලා වේදනාවෙන් ඉන්න අයට ඔහු සුවයක් දෙනවා. සමහරවිට හිත පෑරුණේ සභාවේ කෙනෙක් අතින් වෙන්න ඇති. දෙවි ඒක තේරුම්ගන්නවා. අධෛර්යය වෙලා ඉන්න අයව, අයාලේ ගිහින් ඉන්න අයව ඔහු තමන්ගේ තුරුලට ගන්නවා.

අපිව බලාගැනීම දෙවි සලකන්නේ තම වගකීමක් විදිහටයි. “ඒ මේ අත විසිර ගිය මාගේ බැටළුවන්ව නැවත සොයා මා වෙතට රැගෙන එන්නෙමි” කියලත් “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි” කියලත් දෙවි කියනවා. (එසකියෙල් 34:12, 16) රැළෙන් බැටළුවෙක් අඩු වුණාම දෙවිට ඒක දැනෙනවා. බැටළුවෙක් අයාලේ ගියා කියලා දෙවි කවදාවත් බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. දිගටම හොයාගෙන යනවා. හම්බ වුණාම හුඟක් සතුටු වෙනවා. (මතෙව් 18:12-14) ඔහු තමන්ගේ සේවකයන්ව හඳුන්වන්නේ “මාගේ තණබිම්වල වෙසෙන” නැත්නම් ‘මගේ රැකවරණයේ ඉන්න බැටළුවන්’ හැටියටයි. (එසකියෙල් 34:31) ඔයාත් ඒ බැටළුවන්ගෙන් කෙනෙක්.

බැටළුවෙක් අයාලේ ගියත් දෙවි බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ඒ බැටළුවාව හම්බ වුණාම හුඟක් සතුටු වෙනවා

“නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න”

යෙහෝවා දෙවි ඔයාව හොයාගෙන ඇවිත් ආයෙත් තමන් ළඟට එන්න කියලා ඔයාට ආයාචනා කරන්නේ ඇයි? ඒ ඔයා සතුටින් ඉන්නවට දෙවි කැමති නිසයි. “ආශීර්වාද නමැති වැස්ස කඩා හැළෙන්න සලස්වන්නෙමි” කියලා දෙවි පොරොන්දු වෙනවා. (එසකියෙල් 34:26) ඒක බොරු පොරොන්දුවක් නෙමෙයි කියලා ඔයාම අද්දැකලා තියෙනවා.

යෙහෝවා දෙවිව හඳුනගද්දී ඔයාගේ හිතට දැනුණ සතුට මතකද? දෙවිගේ නම, ඔහුගේ අරමුණ ගැන දැනගද්දී ඔයාට කොහොමද දැනුණේ? සමුළුවලදී එකිනෙකාව ආශ්‍රය කරලා ප්‍රබෝධවත් වුණු හැටි මතකද? ශුභාරංචිය ගැන උනන්දු වුණු කෙනෙකුට ඒ ගැන කියලා දීලා ආපහු ගෙදර ආවේ මොන තරම් තෘප්තියකින්ද කියලා මතකද?

ඒ සතුට ආයෙත් ලබන්න ඔයාට පුළුවන්. අතීතයේ හිටපු දෙවිගේ සෙනඟ කිව්වේ “අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න. අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න” කියලයි. (විලාප ගී 5:21) ඒ යාච්ඤාවට දෙවි සවන් දුන්න නිසා ආයෙත් සතුටෙන් සේවය කරන්න ඔවුන්ට පුළුවන් වුණා. (නෙහෙමියා 8:17) යෙහෝවා දෙවි ඔයා වෙනුවෙනුත් ඒ දේම කරයි.

ආයෙත් එන එක කියන තරම් ලේසි නැහැ කියලා ඔයාට හිතෙයි. ඒකට තියෙන අභියෝග ගැනත් ඒවා ජය ගන්න පුළුවන් විදි ගැනත් බලමු.