Skip to content

පටුනට යන්න

3වෙනි කොටස

හිත් රිදවීම් - ‘අමනාපයක් ඇති වීමට අපිට සාධාරණ හේතු තිබෙන විට’

හිත් රිදවීම් - ‘අමනාපයක් ඇති වීමට අපිට සාධාරණ හේතු තිබෙන විට’

“දවසක් සභාවේ සහෝදරියක් මට චෝදනා කළා මං එයාගේ සල්ලි වගයක් හොරකම් කරලා කියලා. සභාවේ හැමෝම වගේ ඒ ගැන දැනගත්තා. ටික දවසකට පස්සේ එයාට දැනගන්න ලැබුණා ඒක කළේ මම නෙමෙයි කියලා. වුණු වරදට එයා ඇවිත් මගෙන් සමාව ඉල්ලුවත් ඒ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. වෙච්ච අවනම්බුව නිසා මං හිතුවා මට කවදාවත් එයාට සමාව දෙන්න බැරි වෙයි කියලා.”—ලින්ඩා.

ලින්ඩාගේ හිතේ වේදනාව තේරුම්ගන්න ඔයාට පුළුවන්ද? අනිත් අය කියපු කරපු දෙයක් නිසා සමහර අයගේ හිත හොඳටම රිදිලා තියෙනවා. ඒ නිසා එයාලා නමස්කාරයට සම්බන්ධ දේවල්වලින් ටිකෙන් ටික ඈත් වෙලා ගිහින්. ඔයාත් ඒ වගේ කෙනෙක්ද?

‘දෙවිගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න’ කාටවත් පුළුවන්ද?

සහෝදර සහෝදරියන් විදිහට එකිනෙකාට ආදරෙන් සලකන්න අපි බැඳිලා ඉන්නවා. (යොහන් 13:34, 35) සභාවේ කෙනෙක් අතින් අපේ හිත රිදෙන දෙයක් වුණාම ඒක අපේ හිතට ගොඩක් දැනෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 55:12) දැනෙන දුක නිසා සමාව දෙන්න අමාරුයි කියලා හිතෙන්නත් පුළුවන්.

දෙන්නෙක් අතරේ ‘අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තියෙන්න’ පුළුවන් කියලා බයිබලේ කියනවා. (කොලොස්සි 3:13) ඒක අපි කොච්චර හොඳට දැනගෙන හිටියත් ඒ වගේ දෙයක් අපිට වුණාම තමයි දරාගන්න මොන තරම් අමාරුද කියලා තේරෙන්නේ. ඒ වගේ වෙලාවලදී අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 3ක් ගැන බලමු.

අපේ දෙවි පියාණන් හැම දේම දකිනවා. අපි විඳින අසාධාරණකම් වගේම ඒකෙන් අපි විඳින වේදනාවත් දෙවි දකිනවා. (හෙබ්‍රෙව් 4:13) අපි දුකෙන් ඉද්දී ඒ දුක ඔහුටත් දැනෙනවා. (යෙසායා 63:9) “දෙවිගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න” ඔහු කිසිම දේකට, කිසිම කෙනෙකුට අඩු තරමේ ඔහුගේ සේවකයෙකුටවත් ඔහු ඉඩ දෙන්නේ නැහැ. (රෝම 8:35, 38, 39) දෙවි සහ අපි අතරට ඇවිත් අපිව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකටවත් කිසිම කෙනෙකුටවත් ඉඩ නොදී ඉන්න අපිත් අදිටන් කරගමු.

සමාව දෙනවා කියන්නේ වරද නොසලකා හරිනවා නෙමෙයි. අපිට වරදක් කරපු කෙනෙකුට සමාව දෙනවා කියන්නේ ඒ වරද අපි නොසලකාහරිනවා කියන එකවත් එයා කරපු දේ හරියි කියන එකවත් නෙමෙයි. යෙහෝවා දෙවි කවදාවත් වැරදි අනුමත කරන්නේ නැහැ. ඒත් ඒ වරදට සමාව දෙන්න සාධාරණ හේතු තියෙනවා නම් ඔහු සමාව නොදී ඉන්නෙත් නැහැ. (ගීතාවලිය 103:12, 13; හබක්කුක් 1:13) “ඔහු සදහටම අප සමඟ අමනාපයෙන් සිටින්නේ නැත” කියලා බයිබලේ කියනවා. දෙවි අපෙන් ඉල්ලන්නෙත් එහෙම කරන්න කියලයි.—ගීතාවලිය 103:9; මතෙව් 6:14.

අමනාපය හිතෙන් අයින් කරගද්දී ප්‍රයෝජන අපිටමයි. ඒ කොහොමද? හිතන්න ඔයා, කිලෝ 2, 3ක් බර ගලක් අතට ගන්නවා කියලා. ඊටපස්සේ ඒ ගල අල්ල උඩ තියාගෙන අත දිග ඇරගෙන ටික වෙලාවක් ඉන්නවා. මුලින් එච්චර අමාරු වෙන එකක් නැහැ. ඒත් දිගින් දිගටම එහෙම ඉන්න අමාරුයි. බරේ වෙනසක් වෙන්නේ නැති වුණත් එහෙම අල්ලගෙන ඉන්න ඉන්න ඒ ගලේ බර වැඩි වෙනවා වගෙයි ඔයාට දැනෙන්නේ. අමනාපයත් ඒ ගල වගේ. ඒක හිතේ තියාගෙන ඉන්න ඉන්න දැනෙන වේදනාවත් වැඩියි. සමහරවිට ඒක පුංචි අමනාපයක් වෙන්න පුළුවන් ඒත් කල් යද්දී ඒක මහ මෙරක් තරම් බරයි කියලා ඔයාට දැනෙයි. අමනාපය හිතෙන් නැති කරගන්න කියලා යෙහෝවා දෙවි කිව්වේ ඇයි කියලා දැන් ඔයාට තේරෙනවද? එහෙම කරන එකෙන් ප්‍රයෝජන අපිටමයි.—හිතෝපදේශ 11:17.

අමනාපය හිතෙන් අයින් කරගද්දී ප්‍රයෝජන අපිටමයි

“මට දැනුණේ යෙහෝවා දෙවි මං ළඟ ඉඳන් මට කියලා දෙනවා වගේ”

හිතෙන් අමනාපය අයින් කරගෙන ඒ සහෝදරියට සමාව දෙන්න ලින්ඩාට පුළුවන් වුණේ කොහොමද? එයා කරපු එක දෙයක් තමයි සමාව දීම ගැන බයිබලේ සඳහන් දේවල් අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතපු එක. (ගීතාවලිය 130:3, 4) එහෙම කරද්දී අපි අනිත් අයට සමාව දෙනවා නම් යෙහෝවා දෙවිත් අපිට සමාව දෙන්න සූදානමින් ඉන්නවා කියන දේ එයාගේ හිතට තදින්ම කාවැදුණා. (එෆීස 4:32–5:2) “මට දැනුණේ යෙහෝවා දෙවි මං ළඟ ඉඳන් මට කියලා දෙනවා වගේ” කියලා ලින්ඩා කියනවා.

කාලයත් එක්කම හිතෙන් අමනාපය නැති කරගෙන සමාව දෙන්න ලින්ඩාට පුළුවන් වුණා. දැන් ඒ සහෝදරිය එයාගේ හොඳ යාළුවෙක්. ලින්ඩා දිගටම දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා. ලින්ඩාට වගේ ඔයාටත් උදව් කරන්න යෙහෝවා දෙවි බලාගෙන ඉන්නවා.