Skip to content

පටුනට යන්න

48වෙනි පරිච්ඡේදය

ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න

ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න

ආදම්වයි ඒවවයි දෙවි පදිංචි කළේ ඒදන් උයනේ. ඒ දෙන්නා දෙවිට අකීකරු වුණ නිසා මැරුණත් එයාලාගෙන් පැවත එන අපි හැමෝටම පාරාදීසයේ ජීවත් වෙන්න දෙවි අවස්ථාව දීලා තියෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

“අලුත් අහසක්” ගැනත් “අලුත් පොළොවක්” ගැනත් බයිබලයේ තියෙනවා. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13) “අහස” කියන්නේ දැන් තියෙන ආණ්ඩුවලට. හැබැයි “අලුත් අහස” කියන්නේ යේසුස් ක්‍රිස්තුස් සහ එයා එක්ක පාලනය කරන්න හවුල් වෙන අයගේ ආණ්ඩුවට. දෙවිගේ ඒ ධර්මිෂ්ඨ ආණ්ඩුව මේ මුළු පොළොවම සමාදානයෙන් පාලනය කරන කාලය කොච්චර ලස්සන කාලයක් වෙයිද!

“අලුත් පොළොව” කියන්නේ මොකක්ද?— බයිබලයේ “පොළොව” කියලා කියද්දී සමහර වෙලාවට ඒකෙන් අදහස් වෙන්නේ මිනිසුන්ව, මේ මහ පොළොව නෙමෙයි. (උත්පත්ති 11:1; ගීතාවලිය 66:4; 96:1) එහෙමනම් දෙවිට ආදරේ කරන හොඳ මිනිසුන්ට තමයි අලුත් පොළොව කියලා කියන්නේ. ඒ හොඳ මිනිසුන් ජීවත් වෙන්න යන්නේ මේ පොළොවේමයි.

අද ඉන්න දුෂ්ට මිනිසුන් නැති වෙලා යනවා. නෝවාගේ කාලයේ ආපු ජලගැල්මෙන් විනාශ වුණෙත් දුෂ්ට මිනිසුන් කියලා අපි දැනගත්තා. ඒ වගේ තමයි හර්–මගෙදොන් යුද්ධයේදීත් විනාශ වෙන්නේ දැන් ඉන්න දුෂ්ට මිනිසුන්. හර්–මගෙදොන්වලින් පස්සේ අලුත් පොළොවේ ජීවිතය මොන වගේ තියෙයිද කියලා අපි දැන් බලමු.

ඔයා කැමතිද හැමදාටම පාරාදීසයේ ජීවත් වෙන්න?— කිසිම දොස්තර කෙනෙක්ට බැහැ අපිව හැමදාටම ජීවත් කරවන්න. මැරෙන්නේ නැතුව ඉන්න බෙහෙතක් නැහැ. හැමදාටම ජීවත් වෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. ඒ තමයි දෙවිට ළං වෙන එක. ඒක කරන විදිහ යේසුස් අපිට කියලා දෙනවා.

ඒ ගැන දැනගන්න අපි දැන් යොහන් 17:3ට පෙරළමු. එතැන යේසුස් මෙහෙම කියනවා. ‘සදාකාල ජීවනය ලබාගන්න නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ.’

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවා කරන්න ඕනෙ කියලාද යේසුස් කිව්වේ?— අපි යෙහෝවා දෙවිවයි අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීපු දෙවිගේ පුතාවයි හොඳින් දැන හඳුනා ගන්න ඕනේ. බයිබලයේ තියෙන දේවල් හොඳින් ඉගෙනගන්නේ නැතුව ඒක කරන්න බැහැ. ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන මේ පොත බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න අපිට උදව් වෙනවා.

යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න එක හැමදාටම ජීවත් වෙන්න උදව් වෙන්නේ කොහොමද?— ජීවත් වෙන්න නම් හැම දවසකම කෑම ඕනෙ වගේ යෙහෝවා දෙවි ගැනත් අපි හැම දවසකම ඉගෙනගන්න ඕනේ. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත විතරක් නෙවෙයි, යෙහෝවා දෙවි කියන දේවල් මතයි’ කියලා බයිබලයේ කියනවා.—මතෙව් 4:4.

අපි යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ. මොකද අපිව පාපයෙන් ගලවාගන්න දෙවි එව්වේ යේසුස්ව. ‘වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගන්න බැහැ’ කියලත් ‘පුතාව [යේසුස්ව] විශ්වාස කරන කෙනාට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා’ කියලත් බයිබලයේ තියෙනවා. (ක්‍රියා 4:12; යොහන් 3:36) යේසුස්ව විශ්වාස කරනවා කියන්නේ මොකක්ද?— ඒ කියන්නේ යේසුස් නැතුව අපිට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා විශ්වාස කරන එකටයි. අපි ඒක විශ්වාස කරනවාද?— එහෙමනම් අපි දිගටම යේසුස්ගෙන් ඉගෙනගන්නවා. ඒ වගේම යේසුස්ට කීකරු වෙනවා.

යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් හොඳ විදිහක් තමයි මේ පොත ආයෙ ආයෙත් කියවන එක. මේ පොතේ තියෙන පින්තූර බලලා ඒවා ගැන හිතන එකත් ඒකට උදව් වෙනවා. ඒ පින්තූර එක්ක තියෙන ප්‍රශ්නවලට උත්තරේ හිතන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි එක්ක මේ පොත කියවන්න. එයාලා ඔයා ළඟ නැත්නම් වෙන වැඩිහිටියෙක් එක්ක හරි වෙන ළමයෙක් එක්ක හරි පොත කියවන්න. අලුත් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න කරන්න ඕන දේ ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න අනිත් අයට උදව් කරන්න ලැබෙන එක, හුඟක් හොඳ දෙයක් කියලා ඔයා හිතන්නේ නැද්ද?—

‘ලෝකය නැති වෙලා යනවා’ කියලා බයිබලයේ කියනවා. හැබැයි අලුත් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලත් බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. ‘සදහටම ජීවත් වෙන්නේ දෙවිගේ කැමැත්ත කරන කෙනායි.’ (1 යොහන් 2:17) එහෙමනම් අලුත් පොළොවේ සදහටම ජීවත් වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?— යෙහෝවා දෙවිවත් යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් කරන්නත් ඕනේ. ඒකට මේ පොතෙන් ඉගෙනගත්ත දේවල් ඔයාට උදව් වෙනවා.