Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

‘මේ මගේ ආදරණීය පුතා’

‘මේ මගේ ආදරණීය පුතා’

දරුවන් හොඳ දේවල් කරද්දී අම්මායි තාත්තායි හුඟක් සතුටු වෙනවා. දුවෙක් හොඳ දෙයක් කළාම තාත්තා හරිම සතුටින් අනිත් අයට කියනවා “මේ මගේ දුව” කියලා. පුතෙක් හොඳ දෙයක් කළාමත් තාත්තා හරිම සතුටින් කියනවා “මේ මගේ පුතා” කියලා.

යේසුස් හැම තිස්සෙම කරන්නේ තාත්තා කැමති දේවල්. ඒ ගැන එයාගේ තාත්තා හුඟක් සතුටු වෙනවා. දවසක් යේසුස් ගෝලයන් තුන්දෙනෙක් එක්ක ඉද්දී සිද්ධ වුණු දේ ඔයාට මතකද?— එදා දෙවියන් ස්වර්ගයේ ඉඳන් මෙහෙම කිව්වා. ‘මේ මාගේ ආදරණීය පුතා. එයාට මගේ අනුමැතිය තියෙනවා.’—මතෙව් 17:5.

තාත්තා සතුටු වෙන දේවල් නිතරම කරන්න යේසුස් හරි කැමතියි. ඔයා දන්නවාද ඒ ඇයි කියලා? යේසුස් ඇත්තටම එයාගේ තාත්තාට හුඟක් ආදරේ නිසයි එහෙම කරන්නේ. කෙනෙක් මොනවා හරි වැඩක් කරන්නේ කැමැත්තෙන් නෙවෙයි නම් එයාට ඒක කරන්න ලේසි වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් මොනවා හරි වැඩක් කරන්නේ කැමැත්තෙන් නම් එයාට ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන්.

යේසුස් පොළොවට එන්න කලින් ඉඳලාම තාත්තා කියපු හැම දෙයක්ම කැමැත්තෙන් කළා. එයා එහෙම කළේ තාත්තාට ඒ කියන්නේ යෙහෝවා දෙවිට එයා හුඟක් ආදරේ නිසයි. යේසුස් ස්වර්ගයේදී තාත්තාත් එක්ක එකතු වෙලා හැම දෙයක්ම කළේ හරිම සතුටින්. හැබැයි දෙවි යේසුස්ට විශේෂ වැඩක් භාර දුන්නා. ඒ නිසා හැම දෙයක්ම අතහැරලා චූටි දරුවෙක් විදිහට පොළොවේ ඉපදෙන්න යේසුස්ට සිද්ධ වුණා. යේසුස් ඒක කැමැත්තෙන්ම කළේ එයාගේ තාත්තා ඒ දේ කරන්න කියලා කියපු නිසයි.

ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කිව්වේ මොනවාද?

යේසුස් චූටි දරුවෙක් විදිහට මේ පොළොවේ ඉපදුණා. ඔයා දන්නවාද එයාගේ අම්මාගේ නම මොකක්ද කියලා?— එයාගේ නම මරියා. යෙහෝවා දෙවි මරියා එක්ක කතා කරන්න ස්වර්ගයේ හිටිය ගාබ්‍රියෙල් දේවදූතයාව එව්වා. ගාබ්‍රියෙල් මරියාට කිව්වා එයාට පුතෙක් ඉපදෙයි කියලා. ඒ දරුවාට යේසුස් කියන නම දාන්න කියලත් කිව්වා. ඒ දරුවාගේ තාත්තා කවුද?— දේවදූතයා කිව්වේ දරුවාගේ තාත්තා යෙහෝවා දෙවි කියලයි. ඒ නිසා තමයි යේසුස්ට දෙවිගේ පුතා කියලා කියන්නේ.

දේවදූතයා කියපු දේවල් ගැන මරියාට කොහොම හිතෙන්න ඇද්ද?— “යේසුස්ගේ අම්මා වෙන්න මට බැහැ” කියලා එයා කියන්න ඇද්ද? නැහැ. දෙවියන් කියපු දේට එයා කැමති වුණා. ඒත් ස්වර්ගයේ ඉන්න යේසුස් කොහොමද චූටි දරුවෙක් විදිහට පොළොවේ ඉපදෙන්නේ? අනිත් හැම දරුවෙක්ටම වඩා යේසුස් ඉපදුණු විදිහ වෙනස් වුණේ කොහොමද? ඔයා ඒ ගැන දන්නවාද?—

දෙවියන් අපේ මුල්ම දෙමාපියන් වන ආදම්වයි ඒවවයි හැදුවේ ඒ දෙන්නාට එකතු වෙලා දරුවන්ව හදන්න පුළුවන් විදිහට. අම්මාගේ බඩේ තමයි දරුවන් හැදෙන්නේ. ඒක සිද්ධ වෙන විදිහ ගැන මිනිසුන් හුඟක් පුදුම වෙනවා. ඔයාටත් ඒ ගැන පුදුම හිතෙනවා ඇති.

ඊටත් වඩා පුදුම දෙයක් දෙවි කළා. ස්වර්ගයේ හිටිය තමන්ගේ පුතාගේ ජීවිතය මරියාගේ බඩ ඇතුළට දැම්මා. ඊට කලින්වත් ඊටපස්සෙවත් දෙවි ඒ වගේ දෙයක් කළේ නැහැ. දෙවි එහෙම කළාට පස්සේ අනිත් දරුවන් අම්මාගේ බඩේ හැදෙන විදිහටම යේසුස් මරියාගේ බඩේ හැදෙන්න පටන්ගත්තා. ඊටපස්සේ මරියා යෝසෙප් එක්ක විවාහ වුණා.

යේසුස් ඉපදෙන කාලය ළං වුණාම මරියාටත් යෝසෙප්ටත් බෙත්ලෙහෙමට යන්න සිද්ධ වුණා. හැබැයි එහෙට යද්දී හුඟක් මිනිසුන් ඇවිත් හිටිය නිසා ඒ දෙන්නාට නතර වෙන්න ගෙයක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. අන්තිමේදී නතර වෙන්න වුණේ සතුන්ව දාලා තිබුණු තැනක. එතැනදී තමයි යේසුස් ඉපදුණේ. පින්තූරෙත් පේන විදිහට සතුන්ට කෑම දෙන ගවඔරුවක මරියා යේසුස්ව තිබ්බා.

යේසුස්ව ගවඔරුවක තියන්න වුණේ ඇයි?

එදා රෑ හුඟක් පුදුම දේවල් සිද්ධ වුණා. බෙත්ලෙහෙමට කිට්ටුවෙන් හිටිය එඬේරුන් කට්ටියකට දේවදූතයෙක් කතා කළා. යේසුස් හරිම වැදගත් කෙනෙක් කියලා ඒ දේවදූතයා කිව්වා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. ‘මං ආවේ ශුභාරංචියක් කියන්න. ඒ ශුභාරංචිය සියලුම ජාතීන්වල අයට ලොකු සතුටක් ගෙන දෙනවා. අද ගැලවුම්කරුවෙක් ඉපදිලා ඉන්නවා.’—ලූක් 2:10, 11.

දේවදූතයෙක් එඬේරුන්ට කිව්වේ මොන ශුභාරංචිය ගැනද?

බෙත්ලෙහෙමට ගියොත් ගවඔරුවක දාලා ඉන්න යේසුස්ව දැකගන්න පුළුවන් කියලත් ඒ දේවදූතයා කිව්වා. ඒ වෙලාවෙම තවත් දේවදූතයන් හුඟදෙනෙක් ඒ දේවදූතයාට එකතු වුණා. ඒ හැමෝම දෙවිට ප්‍රශංසා කරමින් කිව්වේ ‘දෙවිගේ අනුමැතිය ලැබුව මිනිසුන්ට සමාදානය වේවා’ කියලයි.—ලූක් 2:12-14.

දේවදූතයන් ගියාට පස්සේ එඬේරු කට්ටිය යේසුස්ව බලන්න බෙත්ලෙහෙමට ගියා. ඊටපස්සේ දේවදූතයන් ඒ අයට කියපු හැම දෙයක්ම යෝසෙප්ටත් මරියාටත් කිව්වා. යේසුස්ගේ අම්මා වෙන්න කැමති වුණු එක ගැන ඒ වෙලාවේ මරියා කොච්චර සතුටු වෙන්න ඇද්ද!

ටික කාලෙකට පස්සේ යෝසෙප් මරියාවත් යේසුස්වත් අරන් නාසරෙත් කියන නුවරට ගියා. එහේ තමයි යේසුස් හැදුණේ වැඩුණේ. එයා ලොකු වුණාට පස්සේ අනිත් අයට දෙවියන් ගැන උගන්වන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා යේසුස් එහෙම කරයි කියලා. යේසුස් ඒ දේ කරන්න කැමති වුණේ එයා ස්වර්ගයේ හිටිය තමන්ගේ තාත්තාට හුඟක් ආදරේ කරපු නිසයි.

යේසුස් ගුරුවරයෙක් විදිහට එයාගේ වැඩ කොටස පටන්ගන්න කලින් යොහන් බව්තීස්ත යොර්දාන් ගඟේදී එයාව බව්තීස්ම කළා. හරිම පුදුම හිතෙන දෙයක් තමයි ඒ වෙලාවේ සිද්ධ වුණේ. යේසුස් වතුරේ ගිලිලා උඩට එද්දී යෙහෝවා දෙවි ස්වර්ගයේ ඉඳන් කතා කරලා මෙහෙම කිව්වා. ‘මේ මාගේ ආදරණීය පුතා, මම එයාව අනුමත කළා.’ (මතෙව් 3:17) අම්මායි තාත්තායි ඔයාට හුඟක් ආදරෙයි කියලා කියද්දී ඔයාට සතුටු හිතෙනවා නේද?— යේසුස්ටත් ඒ වෙලාවේ හුඟක් සතුටු හිතෙන්න ඇති.

යේසුස් හැම වෙලාවෙම කළේ හරි දේ. අනිත් අය ඉස්සරහා විතරක් හරි දේ කරන්න එයා උත්සාහ කළේ නැහැ. මම තමයි දෙවියන් කියලා මිනිසුන්ට කිව්වෙත් නැහැ. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කියලා තිබුණා යේසුස්ව හඳුන්වන්නේ දෙවිගේ පුතා විදිහට කියලා. යේසුස් තමන්ව හඳුන්වලා දුන්නෙත් ඒ විදිහටමයි. තාත්තාට වඩා දේවල් තමන් දන්නවා කියලා යේසුස් කිසිම වෙලාවක කිව්වේ නැහැ. එයා කිව්වේ ‘තාත්තා මට වඩා උතුම්’ කියලයි.—යොහන් 14:28.

ස්වර්ගයේ ඉද්දීත් තාත්තා දීපු හැම වැඩක්ම යේසුස් කළා. මුලින් කරන්නම් කියලා පස්සේ කරන්නේ නැතුව හිටියේ නැහැ. එයා තාත්තාට හුඟක් ආදරේ කරපු නිසා හැම වෙලාවෙම තාත්තාට ඇහුම්කන් දුන්නා. පොළොවට ආවාට පස්සෙත් ස්වර්ගයේ ඉන්න තාත්තා කියපු හැම දෙයක්ම යේසුස් ඒ විදිහටම කළා. තාත්තා කියපු නැති දේවල් කරන්න යේසුස් වෙලාව නාස්ති කළේ නැහැ. යේසුස් ගැන යෙහෝවා දෙවියන් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

අපිත් කැමති යෙහෝවා දෙවිව සතුටු කරන්න නේද?— එහෙමනම් අපිත් යේසුස් කළා වගේ දෙවි කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. දෙවියන් අපිට කතා කරන්නේ බයිබලය මාර්ගයෙන්. අපි දෙවිට ඇහුම්කන් දෙනවා වගේ ඉඳලා ඊටපස්සේ අපි කැමති විදිහට වැඩ කරන එක හරිද?— අපිට යෙහෝවා දෙවිව සතුටු කරන්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම එයාට ආදරෙයි නම් විතරයි.

යේසුස් ගැන අපි තේරුම් අරන් ඉන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. මතෙව් 7:21-23; යොහන් 4:25, 26; 1 තිමෝති 2:5, 6.