Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු

යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු

මීට අවුරුදු දෙදහකට විතර කලින් හරිම විශේෂ දරුවෙක් ඉපදුණා. ඒ දරුවා තමයි පොළොවේ ජීවත් වුණු උතුම්ම මිනිසා වුණේ. ඒ කාලේ ප්ලේන්, කාර් තිබුණේ නැහැ. ටීවී, කොම්පියුටර්, ඉන්ටර්නෙට් වගේ දේවල් තිබුණෙත් නැහැ.

ඒ දරුවාගේ නම යේසුස්. පොළොවේ ජීවත් වුණු ප්‍රඥාවන්තම කෙනා වගේම හොඳම ගුරුවරයා වුණෙත් එයායි. තේරුම්ගන්න අමාරු දේවල් එයා හරිම ලේසි විදිහට පැහැදිලි කළා.

යේසුස් මිනිසුන්ව මුණගැහුණු හැම තැනකදීම එයාලාට ඉගැන්නුවා. මුහුදු වෙරළේදීත් ඔරුවලදීත් ගෙවල්වලදීත් ගමන්බිමන් යද්දීත් ඉගැන්නුවා. යේසුස්ට කාර් එකක් තිබුණේ නැහැ. එයා මිනිසුන්ට උගන්වන්න තැනින් තැනට ගියේ බස් එකෙන්වත් කෝච්චියෙන්වත් නෙමෙයි, ඇවිදගෙනයි.

අනිත් අයගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. හැබැයි වටිනාම දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන්නේ උතුම් ගුරුවරයා වන යේසුස්ගෙන්. එයා කියපු දේවල් බයිබලයේ තියෙනවා. ඒ දේවල් අපි කියවද්දී ඒක හරියට අපි යේසුස්ට ඇහුම්කන් දෙනවා වගෙයි.

යේසුස්ට උතුම් ගුරුවරයෙක් වෙන්න පුළුවන් වුණේ කොහොමද? එක හේතුවක් තමයි යේසුස් තව කෙනෙක්ගෙන් ඉගෙනගෙන තිබුණු එක. එයා ඇහුම්කන් දුන්නේ කාටද? එයාට ඉගැන්නුවේ කවුද?— යේසුස්ගේ තාත්තා ඒ කියන්නේ සැබෑ දෙවි තමයි යේසුස්ට ඉගැන්නුවේ. දෙවිට ඇහුම්කන් දෙන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් දැනගෙන හිටියා.

මිනිසෙක් විදිහට පොළොවට එන්න කලින් යේසුස් ජීවත් වුණේ දෙවි එක්ක ස්වර්ගයෙයි. වෙන කිසිම මිනිසෙක් පොළොවට එන්න කලින් ස්වර්ගයේ ජීවත් වෙලා නැති නිසා යේසුස් අනිත් මිනිසුන්ට වඩා හුඟක් වෙනස්. ස්වර්ගයේදීත් යේසුස් තාත්තාට ඇහුම්කන් දීලා කීකරුව ජීවත් වුණා. ඒ නිසා දෙවිගෙන් ඉගෙනගත්ත දේවල් මිනිසුන්ට හොඳින් කියලා දෙන්න යේසුස්ට පුළුවන් වුණා. ඔයාත් ඔයාගේ අම්මාටයි තාත්තාටයි ඇහුම්කන් දෙනවා නම් යේසුස් වගේ වෙන්න ඔයාටත් පුළුවන්.

යේසුස්ට උතුම් ගුරුවරයෙක් වෙන්න උදව් වුණු තවත් දෙයක් තමයි එයා මිනිසුන්ට ආදරය කරපු එක. මිනිසුන්ට දෙවියන් ගැන කියලා දෙන්න යේසුස්ට ලොකු උවමනාවක් තිබුණා. වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් යේසුස් ආදරේ කළා. එයා දරුවන් එක්ක කතා කළා. ඒ අය කියන දේවල් අහගෙන හිටියා. ඒ නිසා යේසුස් ළඟින් ඉන්න දරුවනුත් කැමති වුණා.

දරුවන් යේසුස් ළඟ ඉන්න කැමති වුණේ ඇයි?

දවසක් දෙමාපියන් කිහිපදෙනෙක් ඒ අයගේ දරුවන්ව යේසුස් ළඟට අරන් ආවා. හැබැයි ගෝලයන් හිතුවේ දරුවන් එක්ක කතා කරන්න යේසුස්ට වෙලාවක් නැහැ කියලයි. ඒ නිසා දරුවන්ට යේසුස් ළඟට යන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. ඒත් ඔයා දන්නවාද යේසුස් ඒ අයට කිව්වේ මොනවාද කියලා?— එයා මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න.” දරුවන් තමන් ළඟට එනවාට යේසුස් පොඩ්ඩක්වත් අකමැති වුණේ නැහැ. යේසුස් හුඟක් ප්‍රඥාවන්ත වැදගත් කෙනෙක් වුණත් පුංචි දරුවන්ටත් ආදරෙන් ඉගැන්නුවා.—මාක් 10:13, 14.

යේසුස් දරුවන්ට ඉගැන්නුවෙත් ඒ අයට ඇහුම්කන් දුන්නෙත් ඇයි කියලා ඔයා දන්නවාද? එක හේතුවක් තමයි දෙවි ගැන දරුවන්ට කියලා දීලා ඒ අයව සතුටු කරන්න යේසුස්ට ලොකු ආසාවක් තිබුණු එක. මිනිසුන්ව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?— දෙවි ගැන දන්න දේවල් අනිත් අයට කියලා දෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්.

දවසක් යේසුස් දරුවෙක් ගැන කියලා ගෝලයන්ට වටිනා පාඩමක් ඉගැන්නුවා. දරුවෙක්ව ගෝලයන් මැද්දෙන් හිටවලා යේසුස් එයාලාට කිව්වා හිතන විදිහ වෙනස් කරගෙන මේ දරුවා වගේ වෙන්න කියලා.

වැඩිහිටියන්ට පුංචි දරුවෙක්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද? වැඩිහිටියෙක්ට පුංචි දරුවෙක් වගේ වෙන්න පුළුවන් කොහොමද කියලා ඔයා දන්නවාද?— දරුවන් වැඩිහිටියන් තරම් දේවල් දන්නේ නැති නිසා ඒ අය ආසයි දේවල් ගැන ඉගෙනගන්න. ඒ නිසා යේසුස් ගෝලයන්ට කිව්වේ ඒ අයත් දරුවන් වගේ නිහතමානී වෙන්න ඕනෙ කියලයි. ඔව්, අපි හැමෝටම අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම අපේ අදහස්වලට වඩා යේසුස් උගන්වලා තියෙන දේවල් වැදගත් කියලා අපි මතක තියාගන්න ඕනේ.—මතෙව් 18:1-5.

අහන් ඉන්න ආස හිතෙන විදිහට උගන්වන්න යේසුස් දැනගෙන හිටිය එකත් හොඳ ගුරුවරයෙක් වෙන්න එයාට උදව් වුණා. යේසුස් හැම දෙයක් ගැනම ඉගැන්නුවේ හරිම සරල, පැහැදිලි විදිහට. දෙවියන් ගැන මිනිසුන්ට තේරුම්ගන්න උදව් වෙන විදිහට කුරුල්ලන්, මල් වගේ හැමෝම දන්න දේවල් ගැන යේසුස් කතා කළා.

දවසක් යේසුස් කන්දක ඉද්දී මිනිසුන් හුඟදෙනෙක් එතැනට ආවා. පින්තූරේ තියෙන විදිහට යේසුස් එදා දේශනයක් දුන්නා. ඒකට කියන්නේ කන්ද උඩ දේශනය කියලයි. යේසුස් ඒ අයට මෙහෙම කිව්වා. ‘අහසේ කුරුල්ලන් දිහා බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. හැබැයි ස්වර්ගයේ ඉන්න පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔයාලා උන්ට වඩා වටින්නේ නැද්ද?’

කුරුල්ලන් ගැනත් මල් ගැනත් කතා කරලා යේසුස් ඉගැන්නුවේ මොන පාඩමද?

යේසුස් මෙහෙමත් කිව්වා. ‘තණබිම්වල ලිලී මල් වැවෙන විදිහෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වෙලා වැඩ කරන්නේවත් තමන්ට ඇඳුම් හදාගන්නේවත් නැහැ. මේ මල්වල තියෙන ලස්සන සලමොන් රාජකීය තේජසින් ඇඳගෙන හිටිය ඇඳුම්වලවත් තිබුණේ නැහැ. අද තිබිලා හෙට පුච්චලා දාන තණබිමේ පැළෑටි දෙවි ඒ විදිහට සරසනවා නම් දෙවියන් ගැන යම් විශ්වාසයක් තියෙන ඔයාව පළඳවන්න දෙවි ඊටත් වඩා සතුටු වෙන්නේ නැද්ද?’—මතෙව් 6:25-33.

යේසුස් උගන්වපු පාඩම ඔයාට තේරුණාද?— යේසුස් අපිට කියන්නේ කෑම ගැනවත් ඇඳුම් ගැනවත් කනස්සලු වෙන්න එපා කියලයි. අපිට ඒ දේවල් ඕනෙ කියලා දෙවියන් දන්නවා. කෑම, ඇඳුම් හොයාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ නැහැ කියලා නෙවෙයි යේසුස් කිව්වේ. එයා කිව්වේ ඒ හැම දේකටම වඩා දෙවිට මුල් තැන දෙන්න කියලයි. අපි එහෙම කරද්දී අපිට ඕන කරන කෑම, ඇඳුම් ලබාගන්න දෙවියන් අනිවාර්යයෙන්ම උදව් කරයි. ඔයා ඒක විශ්වාස කරනවාද?—

යේසුස් උගන්වපු ඒ දේවල් ගැන මිනිසුන්ට හැඟුණේ කොහොමද?— බයිබලයේ කියන්නේ යේසුස් උගන්වපු විදිහ ගැන මිනිසුන් පුදුම වුණා කියලයි. යේසුස් උගන්වද්දී මිනිසුන් අහගෙන හිටියේ හරිම ආසාවෙන්. හරි දේ කරන්න ඒ තොරතුරු මිනිසුන්ට උදව් වුණා.—මතෙව් 7:28.

අපිත් යේසුස්ගෙන් ඉගෙනගන්න එක හුඟක් වැදගත්. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා ඔයා දන්නවාද?— යේසුස් උගන්වපු දේවල් එක පොතක තියෙනවා. ඔයා දන්නවාද ඒ පොත මොකක්ද කියලා?— ඒ තමයි ශුද්ධ බයිබලය. බයිබලයේ තියෙන දේවල් ගැන අපි හොඳට හිතනවා නම් යේසුස්ට ඇහුම්කන් දෙන්න අපිට පුළුවන්. යේසුස්ට ඇහුම්කන් දෙන්න කියලා දෙවිම කියපු අවස්ථාවක් ගැනත් බයිබලයේ තියෙනවා. අපි දැන් ඒ ගැන බලමු.

දවසක් යේසුස් යාකොබ්, යොහන් සහ පේතෘස් එක්ක කන්දකට ගියා. ඒ තුන්දෙනාම යේසුස්ගේ හොඳ යාළුවන්. ඒ අය ගැන අපිට තව විස්තර පස්සේ දැනගන්න පුළුවන්. පින්තූරේ තියෙන විදිහට ඒ වෙලාවේ යේසුස්ගේ මුහුණ ඉර වගේ බැබළෙන්න පටන්ගත්තා. එයාගේ ඇඳුම් දීප්තිමත් වෙන්න පටන්ගත්තා.

‘මේ මගේ ප්‍රේමණීය පුතා. මොහුට ඇහුම්කන් දෙන්න’

ඊටපස්සේ යේසුස්ටයි එයාගේ යාළුවන්ටයි ස්වර්ගයෙන් ආපු කටහඬකින් මෙහෙම කියනවා ඇහුණා. ‘මේ මගේ ප්‍රේමණීය පුතා. මොහුට මගේ අනුමැතිය තියෙනවා. මොහුට ඇහුම්කන් දෙන්න.’ (මතෙව් 17:1-5) ඔයා දන්නවාද ඒ දේ කිව්වේ කවුද කියලා?— තමන්ගේ පුතාට ඇහුම්කන් දෙන්න කියලා කිව්වේ දෙවියන්මයි.

අපිත් දෙවිට කීකරු වෙලා යේසුස්ට ඇහුම්කන් දෙන්න ඕනෙද?— අපි හැමෝම ඒක කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා ඔයාට මතකද?—

බයිබලයේ යේසුස් ගැන ලියලා තියෙන දේවල් අපි කියවනවා නම් දෙවිගේ පුතාට ඇහුම්කන් දෙන්න අපිට පුළුවන්. යේසුස්ගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. බයිබලයෙන් ඒ දේවල් ඉගෙනගද්දී ඔයාට හුඟක් සතුටු හිතෙයි. ඔයා ඉගෙනගන්න ඒ දේවල් යාළුවන්ටත් කිව්වොත් ඔයාට තවත් සතුටු වෙන්න පුළුවන් වෙයි.

යේසුස්ට ඇහුම්කන් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තවත් දැනගන්න මේ බයිබල් පද කියවලා බලමු. යොහන් 3:16; 8:28-30; ක්‍රියා 4:12.