Skip to content

පටුනට යන්න

24වෙනි පරිච්ඡේදය

හොරෙක් වෙන්න එපා

හොරෙක් වෙන්න එපා

කවුරු හරි ඔයාට අයිති දෙයක් හොරකම් කරලා තියෙනවාද?— ඒ වෙලාවේ ඔයාට මොනවාද හිතුණේ?— ඒක ගත්තු කෙනා හොරෙක්. කවුරුත් හොරුන්ට කැමති නැහැ. ඔයා හිතන විදිහට කෙනෙක් හොරෙක් වෙන්නේ කොහොමද? ඉපදෙද්දිමද?—

අපි ඉගෙනගත්තා මිනිසුන් ඉපදෙන්නේ පව්කාරකම උරුම කරගෙන කියලා. හැබැයි කිසිම කෙනෙක් හොරෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. හොරෙක් හොඳ පවුලකින් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අවංක අය වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට සල්ලි ගැනත් සල්ලිවලින් ගන්න පුළුවන් දේවල් ගැනත් කෑදරකමක් ඇති වුණොත් එයා හොරෙක් වෙන්න පෙලඹෙයි.

මුල්ම හොරා කවුද කියලා ඔයා දන්නවාද?— යේසුස් ස්වර්ගයේ ඉන්න කාලේ ඉඳන් ඒ කෙනාව දැනගෙන හිටියා. ඒ හොරා කලින් දේවදූතයෙක්. දෙවි දේවදූතයන්ව හැදුවේ පරිපූර්ණ අය විදිහට. එහෙමනම් දේවදූතයෙක් හොරෙක් වුණේ කොහොමද?— අපි මේ පොතේ 8වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත විදිහට තමන්ට අයිති නැති දෙයක් ගන්න එයාට ඕන වුණා. ඔයාට මතකද ඒ මොකක්ද කියලා?—

දෙවි මුලින්ම හදපු පිරිමි කෙනායි, ගැහැනු කෙනායි දෙවිට කරපු නමස්කාරය තමන්ට ලබාගන්නයි ඒ දේවදූතයාට ඕන වුණේ. ඒකට එයාට කිසිම අයිතියක් තිබුණේ නැහැ. ඒ නමස්කාරය ලැබෙන්න ඕනෙ දෙවිට විතරයි. ඒත් එයා ආදම්වයි ඒවවයි තමන්ට නමස්කාර කරන්න පොලඹවාගත්තා. ඒ නිසා එයා හොරෙක් වුණා. එදා ඉඳන් එයාව සාතන් කියලත් යක්ෂයා කියලත් හැඳින්නුවා.

කෙනෙක් හොරෙක් වෙන්නේ ඇයි?— තමන්ට අයිති නැති දෙයක් ගන්න තියෙන ආසාව නිසයි. ඒක පාලනය කරගත්තේ නැත්නම් හොඳ අය වුණත් නරක දේවල් කරන්න පටන්ගන්නවා. හොරකම් කරන සමහර අය ඒ ගැන පසුතැවිලා ආයෙත් හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යූදස් ඉස්කාරියොත් ඒ වගේ කෙනෙක්.

පුංචි කාලේ ඉඳලාම දෙවිගේ නීතිය ගැන ඉගෙනගෙන තිබුණු නිසා යූදස් දැනගෙන හිටියා හොරකම් කරන එක වැරදියි කියලා. ‘හොරකම් කරන්න එපා’ කියලා දෙවියන්ම කියලා තියෙනවා කියලත් එයා දැනගෙන හිටියා. (නික්මයාම 20:15) පස්සේ කාලෙක එයා යේසුස්ගේ ගෝලයෙක් වුණා. යේසුස් එයාව නියෝජිතයන් 12දෙනා අතරටත් තෝරාගත්තා.

නියෝජිතයන් හිටියේ යේසුස් එක්කමයි. එයාලා කෑවෙත් එකට. එයාලාට ලැබුණු සල්ලි ඔක්කොම එක පෙට්ටියක තමයි දාලා තිබුණේ. යේසුස් ඒක යූදස්ට භාර දුන්නා. හැබැයි ඔයා දන්නවාද කාලයක් ගියාට පස්සේ යූදස් කළේ මොනවාද කියලා?—

යූදස් හොරකම් කළේ ඇයි?

එයා තමන්ට ඕන ඕන වෙලාවට අනිත් අයට හොරෙන් ඒ පෙට්ටියෙන් සල්ලි ගත්තා. ඊටපස්සේ ඒකට තව සල්ලි එකතු කරගන්න පුළුවන් විදි ගැනත් කල්පනා කළා. හැම වෙලාවෙම හිතුවේ සල්ලි ගැනමයි. ඒ ආසාව නිසාම යේසුස් මැරෙන්න දවස් කිහිපයකට කලින් එයා කළේ මොනවාද කියලා අපි බලමු.

මරියා කියන්නේ යේසුස්ගේ හොඳ යාළුවෙක් වුණු ලාසරුස්ගේ සහෝදරියක්. දවසක් එයා හුඟක් වටින තෙල් එකක් යේසුස්ගේ කකුල්වල ගාන්න පටන්ගත්තා. හැබැයි යූදස් ඒකට කැමති වුණේ නැහැ. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— එයා කිව්වේ ඒක විකුණලා ඒ සල්ලි දුප්පත් අයට දෙන්න තිබුණා කියලයි. හැබැයි ඇත්තටම එයාට ඕන වුණේ සල්ලි පෙට්ටියට තවත් සල්ලි එකතු කරගෙන ඒවා හොරකම් කරන්න.—යොහන් 12:1-6.

තමන්ට කාරුණිකව සලකන මරියාට පාඩුවේ ඉන්න දෙන්න කියලා යේසුස් යූදස්ට කිව්වා. ඒකට යූදස් කැමති වුණේ නැහැ. ඒ නිසා යේසුස්ට සතුරුකම් කරන උත්තම පූජකයන් ළඟට එයා ගියා. ඒ අය බලාගෙන හිටියේ යේසුස්ව අත්අඩංගුවට ගන්න. හැබැයි මිනිසුන්ට පේන්නේ නැති විදිහට රෑ වෙලාවක එහෙම කරන්න තමයි එයාලා උත්සාහ කළේ.

යූදස් පූජකයන්ගෙන් ඇහුවා ‘යේසුස්ව අල්ලගන්න පුළුවන් විදිහ ගැන මං කිව්වොත් ඔයාලා මට කීයක් ගෙවනවාද’ කියලා.

‘අපි ඔයාට රිදී කාසි තිහක් දෙන්නම්’ කියලා පූජකයන් කිව්වා.—මතෙව් 26:14-16.

යූදස් ඒ සල්ලි ටික ගත්තා. එයා කළේ හරියට යේසුස්ව විකුණනවා වගේ වැඩක්. කිසිම කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න පුළුවන්ද?— කෙනෙක් හොරකම් කරන්න පුරුදු වුණාම ඒ වගේ දෙයක් වුණත් කරන්න පෙලඹෙනවා. වෙන කාටත් ආදරේ කරනවාට වඩා වැඩියෙන් ඔව්, දෙවිට ආදරේ කරනවාටත් වඩා වැඩියෙන් එයා සල්ලිවලට ආදරේ කරනවා.

සමහරවිට ඔයා කියනවා ඇති ‘යෙහෝවා දෙවිට තරම් මං වෙන කිසිම දේකට ආදරේ නැහැ’ කියලා. ඒක හුඟක් හොඳයි. යූදස්ටත් මුලින් එහෙම හිතෙන්න ඇති. හොරකම් කරන්න පුරුදු වුණු අනිත් අයටත් මුලින් එහෙම හිතිලා ඇති.

ආකානුයි දාවිතුයි හිතන්නේ මොනවා ගැනද?

ඒ අතරින් කෙනෙක් තමයි යේසුස් පොළොවට එන්න හුඟ කාලෙකට කලින් ජීවත් වුණු ආකාන්. දවසක් එයා ලස්සන ඇඳුමකුයි, රත්තරන් පොල්ලකුයි, රිදී කාසි ටිකකුයි දැක්කා. ඒවා අයිති වෙලා තිබුණේ යෙහෝවා දෙවිට. හැබැයි ආකාන් ඒ දේවලට හුඟක් ආස කරපු නිසා එයා ඒ දේවල් හොරකම් කළා.—යොෂුවා 6:19; 7:11, 20-22.

ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට යෙහෝවා දෙවි පත් කරපු දාවිත් රජත් ඒ අතරින් කෙනෙක්. දවසක් බැත්-ෂෙබා කියන ලස්සන ගැහැනු කෙනාව දාවිත් දැක්කා. එයා දිහා දිගටම බලන් ඉද්දී එයාව අයිති කරගන්න දාවිත්ට ආස හිතුණා. හැබැයි ඒ වෙද්දී බැත්-ෂෙබා, උරියා එක්ක විවාහ වෙලයි හිටියේ. ඒ නිසා හරි නම් දාවිත් කරන්න තිබුණේ මොනවාද?—

බැත්-ෂෙබා ගැන හිතන එක නතර කරන්න තිබුණා. ඒත් දාවිත් එහෙම කළේ නැහැ. එයා බැත්-ෂෙබාව ගෙදරට ගෙන්නගත්තා. පස්සේ උරියාව මරලා දැම්මා. ඒ හැම දෙයක්ම කරන්න එයා පෙලඹුණේ ඇයි?— වෙන කෙනෙක්ට අයිති වෙලා හිටිය ගැහැනු කෙනෙක්ව අයිති කරගන්න තිබුණු ආසාව නිසයි.—2 සාමුවෙල් 11:2-27.

අබ්සලොම් හොරෙක් වුණේ කොහොමද?

දාවිත් ඒ ගැන පසුතැවුණු නිසා යෙහෝවා දෙවි එයාව මැරුවේ නැහැ. ඒත් එයාට හුඟක් කරදරවලට මුහුණ දෙන්න වුණා. එයාගේ පුතා අබ්සලොම් එයාගේ රජකම ගන්න හදපු එක ඒ අතරින් එකක්. මිනිසුන් දාවිත්ව මුණගැහෙන්න එද්දී අබ්සලොම් ඒ අයගේ කරට අත දාලා එයාලාව වැලඳගත්තා. බයිබලයේ කියන්නේ ‘අබ්සලොම් කපටි විදිහට ඊශ්‍රායෙල්වරුන්ගේ සිත් දිනාගත්තා’ කියලයි. අන්තිමේදී අබ්සලොම්ව රජකමට පත් කරන්න මිනිසුන් කැමති වුණා.—2 සාමුවෙල් 15:1-12.

ආකාන්, දාවිත්, අබ්සලොම් වගේ කවදා හරි දවසක ඔයාටත් මොනවා හරි දෙයක් ගන්න ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවාද?— ඒ දේ අයිති වෙන කෙනෙක්ට නම් එයාගෙන් අහන්නේ නැතුව ඒක ගත්තොත් ඔයා හොරෙක් වෙනවා. ඔයාට මතකද මුල්ම හොරා වුණු සාතන්ට ඕන වුණේ මොනවාද කියලා?— මිනිසුන් දෙවිට නමස්කාර කරනවා වෙනුවට තමන්ට නමස්කාර කරනවා දකින්නයි එයාට ඕන වුණේ. ආදම්වයි ඒවවයි ඒකට කැමති කරගත්තු වෙලේ ඇත්තටම සාතන් කළේ හොරකමක්.

දෙයක් අයිති කෙනා තමයි තීරණය කරන්නේ ඒක දෙන්නේ කාටද කියලා. හිතන්න දවසක ඔයා යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා. එහේ තියෙන මොනවා හරි දෙයක් ඔයාගේ ගෙදරට අරන් එන එක හරිද?— යාළුවාගේ අම්මා හරි තාත්තා හරි ඒක ඔයාට දුන්නේ නැත්නම් ඒක අරන් එන එක වැරදියි. ඒ අයගෙන් අහන්නේ නැතුව ඔයා මොනවා හරි අරන් ආවොත් ඒක හොරකමක්.

ඔයා හොරකම් කරන්න පෙලඹෙන්න පුළුවන් ඇයි?— අයිති නැති දෙයක් ගන්න ඔයාට ආසාවක් ඇති වෙන නිසයි. ඔයා ඒ දේ ගද්දී ඒක අයිති කෙනා දැක්කේ නැති වුණත් ඒක දකින්නේ කවුද?— යෙහෝවා දෙවි දකිනවා. හොරකම් කරන අයට දෙවි පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔයා ඇත්තටම දෙවිටත් අසල්වැසියන්ටත් ආදරෙයි නම් කවදාවත් හොරකම් කරන්න ඔයා පෙලඹෙන්නේ නැහැ.

හොරකම් කරන එක වැරදියි කියලා පෙන්වන මේ බයිබල් පද අපි කියවලා බලමු. මාක් 10:17-19; රෝම 13:9; එෆීස 4:28.