2වන ප්‍රශ්නය
ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?
අපගේ ශරීරය විශ්වයේ තිබෙන වඩාත් සංකීර්ණ දේවලින් එකක් ලෙස හැඳින්විය හැකියි. එය සැකසී තිබෙන්නේ කුඩා සෛල ට්‍රිලියන 100ක් පමණ එකතු වීමෙනුයි.7 ඒවා අස්ථි සෛල, රුධිර සෛල හා මොළයේ සෛල වැනි කාණ්ඩවලට බෙදිය හැකියි. ඒ අනුව බලන විට අපගේ ශරීරයේ විවිධ සෛල වර්ග 200කටත් වඩා තිබෙනවා.8
එම සෛලවල හැඩය හා ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස් වුණත් ඒ සෑම එකක්ම එකිනෙකට බැඳී ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් පුදුමාකාරයි. ඒ වගේම ඉතාමත් සංකීර්ණයි. ලොව පුරා මිලියන ගණනක් පරිගණක, අන්තර්ජාලය ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී තිබුණත් එම පද්ධතිය අපගේ සෛල එකිනෙකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන ආකාරය සමඟ කිසිවිටෙක සසඳන්න බැහැ. ඒ වගේම තාක්ෂණය අතින් බැලුවත් මිනිසා මෙතෙක් නිපදවා ඇති කිසිම දෙයක්, සරලයි කියා හඳුන්වන සෛලයක් තරම් දියුණු නැහැ. එසේනම් මෙවැනි සෛල බිහි වුණේ කෙසේද?
බොහෝ විද්‍යාඥයන් පවසන දේ. සියලුම ජීව සෛල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් ඉයුකැරියෝටික් (න්‍යෂ්ටියක් සහිත) සහ ප්‍රෝකැරියෝටික් (න්‍යෂ්ටියක් රහිත) සෛල ලෙසයි. මිනිසුන්, සතුන් හා ශාක අයත් වන්නේ ඉයුකැරියෝටික් ගණයට වන අතර බැක්ටීරියා අයත් වන්නේ ප්‍රෝකැරියෝටික් ගණයටයි. ප්‍රෝකැරියෝටික් සෛල ඉයුකැරියෝටික් සෛල තරම්ම සංකීර්ණ නැහැ. එමනිසා සමහර අය
පවසන්නේ බැක්ටීරියා සෛල ක්‍රමානුකූලව පරිණාමය වීමෙන් සත්ව හා ශාක සෛල බිහි වුණා කියායි.එය පදනම් කරගෙන බොහෝදෙනා පවසන්නේ අවුරුදු මිලියන ගණනක් පුරා “සරල” ප්‍රෝකැරියෝටික් සෛල වෙනත් සෛල ගිලගෙන ඒවා ජීරණය නොකර තබාගත් බවයි. ඉන්පසු සිදු වූ දේ ගැන ඔවුන් තවදුරටත් පවසන්නේ බැක්ටීරියා සෛල විසින් ගිලගත් සෛලවල ක්‍රියාකාරිත්වයෙහි වෙනස්කම් කිරීමට “සොබාදහම” පටන්ගත් බවයි. එමෙන්ම බැක්ටීරියා සෛල බෙදී යන විට ඒත් සමඟම ආගන්තුක සෛලත් බෙදී නව පිටපතක් බිහි වූ බවත් ඔවුන් පවසනවා.9 a
බයිබලයේ සඳහන් වන දේ. ජීවය, බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් බව බයිබලයේ සඳහන් වෙනවා. එය තහවුරු කිරීමට එහි මෙවැනි තර්කයක්ද ඉදිරිපත් කරනවා. “ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ. ලොකු කුඩා ජීවීහු එහි සැරිසරති.’—ගීතාවලිය 104:24, 25.
සාක්ෂිවලින් ඔප්පු වන දේ. ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති නිසා සරලයි කියා හඳුන්වන ප්‍රෝකැරියෝටික් සෛලයක ක්‍රියාකාරිත්වය පවා හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙනවා. එමනිසා පරිණාමවාදී විද්‍යාඥයන් පවසන්නේ මුල්ම ජීවී සෛල ප්‍රෝකැරියෝටික් සෛලවලට සමානකමක් තිබෙන්න ඇති කියායි.10
ජීවය ඇති වූයේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් නම් එය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. අනික් අතට ජීවය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් නම් ඒ බව ඔප්පු කිරීමටද සාක්ෂි තිබිය යුතුයි. එනම් සරලයි කියා හඳුන්වන සෛලයක පවා එය දැකගත හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රෝකැරියෝටික් සෛලයක් තුළ සංචාරයක් කිරීමට ඔබ කැමතිද? මෙවැනි සෛලයක් පවා අහම්බෙන් ඇති වෙන්න පුළුවන්ද කියා මේ සංචාරය අතරතුරේදී ටිකක් සිතා බලන්න.
සෛලයේ ආරක්ෂක පවුර
මෙම ප්‍රෝකැරියෝටික් සෛලය තුළට ඇතුල් වීමට නම් ඔබට මෙම වාක්‍ය අවසානයේ තිබෙන තිතට වඩා සිය ගුණයකටත් වැඩියෙන් කුඩා වීමට සිදු වෙනවා. දැන් ඔබ මේ දකින්නේ සෛලයේ පටලය හෙවත් නම්‍යශීලී පිටත ආවරණයයි. නමුත් එය නිකම්ම නිකම් ආවරණයක් නොවෙයි. එය කර්මාන්ත ශාලාවක ආරක්ෂක පවුරක් වගෙයි. එම පටලය කොතරම් සියුම්ද කියනවා නම් කඩදාසියක තරම් ගනකමක් ලබාගැනීමට එම පටල 10,000ක් පමණ එක මත එක තබන්න සිදු වෙයි. ඒ වුණත් මෙම පටලය විශාල පවුරකටත් වඩා සංකීර්ණයි. ඒ කොහොමද?
පවුරකින් කර්මාන්ත ශාලාවකට ආරක්ෂාව ලැබෙනවා හා සමානව මෙම පටලය මගින්ද සෛලයට ආරක්ෂාව ලැබෙනවා. එය සිදු වන ආකාරය ඉතාමත් පුදුමාකාරයි. එම පටලයේ තැනින් තැන කුඩා සිදුරු තිබෙනවා. ඒවා මගින් සෛලයට අවශ්‍ය ඔක්සිජන් වැනි කුඩා අණු ඇතුල් කරගැනීමත් පිට කිරීමත් සිදු වෙනවා. එමෙන්ම සෛලයට හානි කළ හැකි සංකීර්ණ අණු ඇතුල් වීම වැළැක්වීමටත් ප්‍රයෝජනවත් අණු සෛලය තුළම රඳවාගැනීමටත් එය වගබලා ගන්නවා. එවැනි දස්කමක් දැක්වීමට සෛල පටලයට හැක්කේ කෙසේද?
මෙසේ සිතන්න. කර්මාන්ත ශාලාවක සිටින ආරක්ෂක භටයින් එහි දොරටුවලින් ඇතුල් වන හා පිට වන පුද්ගලයන් හා දේවල් පරීක්ෂා
කරනවා. ඒ හා සමානව සෛල පටලයේ ඇති විශේෂිත ප්‍රෝටීන අණුද ආරක්ෂක භටයින් ලෙස ක්‍රියා කරනවා.ඒ කෙසේද කියා අපි බලමු. (1) සමහර ප්‍රෝටීනවල මැද සිදුරක් තිබෙනවා. ඒ තුළින් සෛලයට ඇතුල් වීමට සහ පිට වීමට හැක්කේ යම් විශේෂ වූ අණුවලට පමණයි. (2) තවත් ප්‍රෝටීනවල එක් පැත්තක් වැසී තිබෙන අතර අනික් පැත්ත විවෘත වී තිබෙනවා. (3) තවත් ප්‍රෝටීන සැකසී තිබෙන්නේ විශේෂිත වූ හැඩයකින් යුත් අණුවලට පමණක් ඇතුල් විය හැකි ආකාරයටයි. (4) එවැනි අණුවක් ප්‍රෝටීනයට ඇතුල් වූ විට එය අනික් දොරටුවෙන් සෛලයට මුදාහරිනවා. සරලයි කියා හඳුන්වන සෛල පටලයක පවා මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු වෙනවාද!
“කර්මාන්ත ශාලාවක්”
ඔබට එම සෛලය තුළට ඇතුල් වීමට එහි “ආරක්ෂක භටයින්” අවසර දුන්නා කියා සිතන්න. එහි පෝෂ්‍ය පදාර්ථ, ලවණ සහ වෙනත් ද්‍රව්‍යයන් සහිත දියරයක් තිබෙන බව ඔබ දකියි. සෛලයට අවශ්‍ය සෑම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ මෙම දියරය භාවිත කරමිනුයි. එය සිදු වන්නේ මනා පිළිවෙළකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවක් හා සමානවයි. ඇත්තෙන්ම සෛලයක් තුළ නිශ්චිත පිළිවෙළකට මෙන්ම නියමිත කාලසටහනකට අනුව රසායනික ප්‍රතික්‍රියාවන් දහස් ගණනක් සිදු වෙනවා.
සෛලයක් තුළ වැඩියෙන්ම සිදු වන්නේ ප්‍රෝටීන නිපදවීමයි. එය සිදු වන්නේ කෙසේද? මුලින්ම සෛලය තුළ විවිධ ඇමයිනෝ අම්ල වර්ග 20ක් පමණ නිපදවනවා. (5) ඉන්පසු ඒවා රයිබසෝමය වෙත යවනු ලබනවා. රයිබසෝමයක් කර්මාන්ත ශාලාවක තිබෙන ස්වයංක්‍රීය යන්ත්‍රයක් හා සමානයි. ඉන් සිදු වන්නේ එක් එක් ප්‍රෝටීනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල නිශ්චිත පිළිවෙළකින් එකිනෙකට සම්බන්ධ කිරීමයි. නවීන කර්මාන්ත ශාලාවක එහි වැඩි වැඩ කොටසක් පාලනය වන්නේ විශේෂිත වූ දත්ත ඇතුළත් කළ පරිගණක වැඩසටහනකිනුයි. (6) එලෙසම සෛලයකත් වැඩි වැඩ කොටසක් පාලනය වන්නේ එහි ඇති විශේෂිත වූ දත්ත ඇතුළත් DNA අණුව මගිනුයි. (7) නිපදවිය යුතු ප්‍රෝටීනය ගැනත් එය නිපදවිය යුතු ආකාරය ගැනත් සියලුම තොරතුරු ඇතුළත් පිටපතක් රයිබසෝමයට ලබා දෙන්නේ මෙම DNA අණුවයි.
ඊළඟට සිදු වන ක්‍රියාවලියද ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. (8) සෛලය විසින් නිපදවූ ප්‍රෝටීනය විශේෂිත වූ ත්‍රිමාන හැඩයකට සකස් වෙනවා. එක් එක් ප්‍රෝටීනය විසින් සිදු කළ යුතු කාර්යය කුමක්ද කියා තීරණය වන්නේ එහි හැඩය මගිනුයි. b එය තේරුම්ගැනීමට වාහන එන්ජිමක විවිධ කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගැන සිතන්න. වාහනයේ එන්ජිම නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් එන්ජිමේ සෑම කොටසක්ම ඉතාමත් නිවැරදිව නිම කළ යුතුයි. ඒ හා සමානව ප්‍රෝටීනයද නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් නිසියාකාර රසායනික සංයෝගයට මෙන්ම නියමිත හැඩයට අනුව සකස් විය යුතුයි. එසේ නොවුණොත් සෛලයට හානි සිදු විය හැකියි.
ප්‍රෝටීනය නිපදවූ ස්ථානයේ සිට එය යා යුතු නියමිත ස්ථානය හඳුනාගන්නේ කෙසේද? සෛලය මගින් එය යා යුතු “ලිපිනයද” ඊට ඇතුළත් කරනවා. ඒ නිසා සෛලයක් සෑම විනාඩියකදීම ප්‍රෝටීන දහස් ගණනක් නිපදවුවත් ඒ එකක්වත් කිසිවිටෙක වැරදි ස්ථානයකට යන්නේ නැහැ.
එම තොරතුරු වැදගත් වීමට හේතුව. සරල සෛලයක් තුළ තිබෙන සංකීර්ණ අණුවලට සෛලයෙන් පිටතදී කිසිවක් කළ නොහැකියි. ඊට හේතුව සෛලයෙන් පිටතදී අණුව විනාශ වන නිසයි. සෛලය තුළදී පවා එක් එක් අණුවට තවත් ඒවා නිපදවීම සඳහා අනිකුත් අණුවල සහයෝගය අත්‍යවශ්‍යයි. උදාහරණයකට ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් (ATP) නමැති ශක්තිය ලබා දෙන විශේෂ අණුව නිපදවීමට එන්සයිම අවශ්‍යයි. එමෙන්ම එන්සයිම නිපදවීමට ATP අණු අවශ්‍යයි. එලෙසම එන්සයිම නිපදවීමට DNA අණු අවශ්‍ය වන අතර DNA අණු නිපදවීමට එන්සයිම අවශ්‍යයි. (මෙම අණුව ගැන 3වන කොටසේ සාකච්ඡා කරයි.) ප්‍රෝටීන නිපදවිය හැක්කේ සෛලයක් තුළ පමණයි. එමෙන්ම සෛලයක් ඇති වීමට නම් ප්‍රෝටීන අවශ්‍යමයි. c
ජීවයේ ආරම්භය ගැන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ රාඩු පෝපා පැවසූ දෙය සලකා බලමු. ජීවයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වාර්තාව ඔහු පිළිගන්නේ නැහැ. ඒ වුණත් 2004දී ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “ජීවයක් ඇති විය හැකියි කියා සිතන සෑම පාරිසරික තත්වයක් යටතේදීම ඉතා හොඳින් අත්හදා බැලීම් කිරීමෙන් පසුවත් අපට ජීවයක් බිහි කිරීමට නොහැකි වුණා නම් සොබාදහම එය කරන්නේ කොහොමද?13 ජීව සෛලයක ක්‍රියාකාරිත්වය සඳහා මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු විය යුතුද කියා කල්පනා කරනකොට එය ඉබේ ඇති වුණා කියා කොහෙත්ම හිතන්න බැහැ.”14
ඔබ සිතන්නේ කුමක්ද? පරිණාමය විශ්වාස කරන අය උත්සාහ කරන්නේ ජීවය ආරම්භ වීමට දෙවි කෙනෙකු මැදිහත් වුණේ නැහැ කියා ඔප්පු කිරීමටයි. කෙසේනමුත් ජීවය පිළිබඳව විද්‍යාඥයන් වැඩි වැඩියෙන් තොරතුරු සොයාගන්නා තරමටම ඉන් ඔප්පු වන්නේ එය ඉබේ ඇති වුණා කියා විශ්වාස කිරීම අපහසු බවයි. එමනිසා සමහර අය උත්සාහ කරන්නේ ජීවීන්ගේ පරිණාමය එක් දෙයක් බවත් ජීවය ආරම්භ වූ ආකාරය ඊට අදාළ නැති ප්‍රශ්නයක් බවත් පවසමින් එය මඟහැර යෑමටයි. එසේ කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද?
ජීවය ආරම්භ වුණේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බවත් ජෛව විවිධත්වය ඇති වුණේ ඉන්පසුව සිදු වූ විස්මිත අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බවත් පරිණාමවාදයේ මූලික පදනමයි. නමුත් එය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි නැත්නම් ඒ මත ගොඩනඟා ඇති කෙළවරක් නැති අනිකුත් මතවාදයන් ගැන කුමක් කිව හැකිද? අත්තිවාරමක් නොමැතිව ඉදි කළ තට්ටු රැසක් සහිත ගොඩනැඟිල්ලක් අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා හා සමානව සාක්ෂි නැතුව ගොඩනඟා ඇති මතවාදයන්ද අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා.
මෙතෙක් කළ සාකච්ඡාවේදී “සරලයි” කියා හඳුන්වන සෛලයක සැකැස්ම හා ක්‍රියාකාරිත්වය ගැන ඔබ යම් අවබෝධයක් ලබන්න ඇති. දැන් ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? එය අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයක්ද? නැත්නම් බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක්ද? ඒ ගැන පැහැදිලි තීරණයක් ගැනීමට ඔබට තවත් සාක්ෂි අවශ්‍යද? එසේනම් සෑම සෛලයකම ක්‍රියාකාරීත්වය පාලනය කරන එහි ඇති “විශේෂිත වැඩසටහන” ගැන දැන් අපි සලකා බලමු.