Skip to content

පටුනට යන්න

1වෙනි පාඩම

දැනගන්න ආසාවෙන් හිටපු රහසක්

දැනගන්න ආසාවෙන් හිටපු රහසක්

ඔයාට කවුරු හරි රහසක් කියලා තියෙනවද?— * බයිබලයෙත් රහසක් ගැන කතා කරනවා. ඒක හුඟක් වැදගත් රහසක්. ඒක කිව්වේ දෙවි. ඒ නිසා ඒකට “පරිශුද්ධ රහස” කියලා කියනවා. ඒ රහස ගැන හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. දේවදූතයනුත් ආසාවෙන් හිටියා ඒ ගැන දැනගන්න. ඒ රහස මොකක්ද කියලා දැනගන්න ඔයාත් කැමතිද?—

දේවදූතයෝ මේ ආසාවෙන් අහගෙන ඉන්නේ මොනවා ගැන කියලද ඔයා හිතන්නේ?

හුඟක් ඉස්සර කාලෙක දෙවි ආදම්වයි ඒවවයි හදලා ඒදන් කියන ලස්සන උයනේ පදිංචි කළා. ඒ දෙන්නා දෙවි කියන දේ අහලා වැඩ කළා නම් ඒගොල්ලන්ගේ දරුවොත් එක්ක මේ පොළොව පුරාම පදිංචි වෙලා මුළු පොළොවම ඒ උයන වගේ ලස්සන තැනක් කරන්න තිබුණා. හැමෝටම මැරෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙන්න පුළුවන්කමත් තිබුණා. ඒත් ආදම් සහ ඒව මොනවද කළේ කියලා ඔයාට මතකද?—

ඒ දෙන්නා දෙවි කියපු දේ ඇහුවේ නැහැ. ඒ නිසා තමයි අද මේ පොළොව ඒදන් උයන වගේ ලස්සන තැනක් වෙලා නැත්තේ. ඒත් මේ පොළොව හැමෝටම හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන උයනක් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. දෙවි ඒක කරන්නේ කොහොමද? හුඟක් කාලයක් යනකම් මිනිසුන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මොකද ඒක රහසක්.

යේසුස් පොළොවට ඇවිත් ඒ රහස ගැන කියලා දුන්නා. ඒ රහස තමයි දෙවි මේ පොළොව උයනක් වගේ ලස්සන තැනක් කරන්නේ දෙවිගේ රාජ්‍යයෙන් කියන එක. දෙවිගේ ඒ පාලනය මේ පොළොවට ගේන්න කියලා දෙවිට යාච්ඤා කරන්නත් යේසුස් ඉගැන්නුවා.

ඒ රහස ගැන දැනගත්ත නිසා ඔයාට සතුටුයිද?— යෙහෝවා දෙවි කියන දේ අහන අයට විතරයි ඒ ලස්සන පාරාදීසයේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. යෙහෝවා දෙවිට කීකරු වුණු හුඟක් අය ගැන විස්තර බයිබලයේ තියෙනවා. ඔයාත් කැමතිද ඒ අය ගැන දැනගන්න?— ඒ අයගෙන් ටිකදෙනෙක් ගැනත් ඒ අය වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

^ 3 ඡේ. මේ පොතේ සමහර ප්‍රශ්න ළඟ (—) සලකුණ තියෙනවා. ඒ තැන්වල ටිකක් නැවතිලා දරුවගේ හිතේ තියෙන දේ කියන්න එයාට ඉඩ දෙන්න.