Skip to content

පටුනට යන්න

2වෙනි පාඩම

දෙවිගේ හිත සතුටු කරපු රෙබෙකා

දෙවිගේ හිත සතුටු කරපු රෙබෙකා

රෙබෙකා යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරපු කෙනෙක්. එයා බැඳලා හිටියේ ඊසාක්ව. එයාට ඊසාක්ව හම්බ වුණේ කොහොමද? රෙබෙකා යෙහෝවා දෙවිගේ හිත සතුටු කළේ කොහොමද? ඒ ගැන දැන් බලමු.

ඊසාක්ගේ තාත්තා ආබ්‍රහම්. අම්මා සාරා. ඒගොල්ලො ජීවත් වුණේ කානාන්වල. එහෙ හිටියේ යෙහෝවා දෙවිට නමස්කාර කරපු අය නෙමෙයි. ආබ්‍රහම්ට ඕන වුණේ එයාගේ පුතා දෙවිට නමස්කාර කරපු කෙනෙක්ව බඳිනවටයි. ඒ නිසා ආබ්‍රහම් එයා ළඟ වැඩ කරපු එලියේසර්ට කිව්වා හාරාන් නුවරට ගිහින් ඊසාක්ට බිරිඳක් හොයන්න කියලා. මොකද හාරාන්වල හිටියේ දෙවිට නමස්කාර කරපු අය. ආබ්‍රහම්ගේ නෑදෑයොත් එහෙ හිටියා.

ඔටුවන්ට වතුර දෙන්න රෙබෙකා හුඟක් මහන්සි වුණා

එලියේසර් ඔටුවෝ දහදෙනෙක්ගේ පිටේ කෑම බීම, තෑගිබෝග පටවගෙන තව ටිකදෙනෙක් එක්ක ඒ ගමන යන්න පිටත් වුණා. ඒක හුඟක් දුර ගමනක්. කොහොමහරි ඒගොල්ලො හාරාන්වලට ඇවිත් එහෙ තිබුණු ළිඳක් ළඟ නැවතුණා. මොකද එලියේසර් දැනගෙන හිටියා වතුර ගන්න එතනට තරුණියන් එනවා කියලා. ඒ නිසා එයා යෙහෝවා දෙවිට යාච්ඤාවක් කරලා මෙහෙම කිව්වා. ‘මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා මම තරුණියකගෙන් ඇහුවම මට විතරක් නෙමෙයි මගේ ඔටුවන්ටත් වතුර දෙන්නම් කියලා කවුරු හරි කිව්වොත් ඊසාක්ගේ බිරිඳ හැටියට ඔබ තෝරගෙන තියෙන්නේ එයාව කියලා මං දැනගන්නවා.’

එයා යාච්ඤා කරලා ඉවර වෙනවත් එක්කම රෙබෙකා ආවා. එයා හුඟක් ලස්සන කෙනෙක්. එලියේසර් එයාගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවම එයා ඉක්මනින්ම වතුර දුන්නා. ඊටපස්සේ මෙහෙම කිව්වා ‘මං ඔයාගේ ඔටුවන්ටත් වතුර ගෙනත් දෙන්නම්’ කියලා. ඒ වෙනකොට තිබහෙන් හිටපු ඔටුවෝ හුඟක් වතුර බොන්න ඇති. එච්චර වතුර දෙන්න රෙබෙකාට හුඟක් සැරයක් ළිඳ ළඟට යන්නයි එන්නයි සිද්ධ වුණා. එයා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා ඔයාට මේ පින්තූරෙන් පේනවද?— යාච්ඤාවට උත්තර ලැබුණු විදිහ දැකලා එලියේසර් පුදුම වෙන්න ඇති.

එලියේසර් රෙබෙකාට එයා ගෙනාපු තෑගි දුන්නා. ඊටපස්සේ රෙබෙකා එයාගේ ගෙදරට ඒගොල්ලන්ව එක්කගෙන ගියා. ආබ්‍රහම් එයාව එව්වේ ඇයි කියලත් දෙවි එයාගේ යාච්ඤාවට උත්තර දුන්න විදිහ ගැනත් එලියේසර් කිව්වම රෙබෙකාගේ පවුලේ අය එයාව ඊසාක්ට බන්දලා දෙන්න කැමති වුණා.

රෙබෙකා එලියේසර් එක්ක කානාන්වලට ගියා

ඔයා මොකද හිතන්නේ, රෙබෙකා ඒ වෙලාවේ මොනවා කියන්න ඇද්ද?— එලියේසර්ව එව්වේ යෙහෝවා දෙවි කියලා රෙබෙකාට තේරුණා. කානාන්වලට ගිහින් ඊසාක්ව බඳින්න කැමතිද කියලා ඇහුවම ‘මං කැමතියි’ කියලා රෙබෙකා කිව්වේ ඒ නිසයි. ඊටපස්සේ එයා එලියේසර් එක්ක කානාන්වලට යන්න පිටත් වුණා.

දෙවි කැමති දේ රෙබෙකා කරපු නිසා දෙවි එයාට හුඟක් දේවල් දීලා එයාව බලාගත්තා. පස්සේ කාලෙක යේසුස්ගේ ආච්චි කෙනෙක් වෙන්නත් එයාට පුළුවන් වුණා. ඔයාත් රෙබෙකා වගේ යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට දේවල් කළොත් දෙවි ඔයාවත් ආදරෙන් බලාගනියි.

බයිබලයෙන් කියවන්න