Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

කොඩියට ආචාර කිරීම, ඡන්ද දැමීම හා අනිවාර්ය සේවා

කොඩියට ආචාර කිරීම, ඡන්ද දැමීම හා අනිවාර්ය සේවා

කොඩියට ආචාර කිරීම. සාමාන්‍යයෙන් කොඩියට ආචාර කරන විට බොහෝදෙනෙක් එය කරන්නේ මහත් භක්තියකින්. එය ආගමික කටයුත්තකදී පෙන්වන භක්තියකට සමානයි. එමෙන්ම කොඩියට ආචාර කරන බොහෝ අවස්ථාවලදී ජාතික ගීයද වාදනය කරනු ලබනවා. ඒ සෑම දෙයකින්ම සිදු වන්නේ රටට හෝ එහි නායකයන්ට ගරුබුහුමන් දැක්වීමක්. කොඩියට ආචාර කිරීම ආගමික මුහුණුවරක් ගන්නා නිසාත් අප ගරුබුහුමන් දක්වන්නේ සැබෑ වූ එකම දෙවිට පමණක් නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොඩියට ආචාර කරන්නේ නැහැ. (යෙසායා 43:11; 1 කොරින්ති 10:14; 1 යොහන් 5:21) අතීතයේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ අයටත් ඒ හා සමාන ආකල්පයක් තිබූ බව හෙබ්‍රෙව් ජාතික තරුණයන් තිදෙනෙක් වූ ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, ඉතා දැවැන්ත රූපයක් ඉදි කර ඔහුගේ යටත්වැසියන්ව එතැනට එක් රැස් කළා. ඉන්පසු ජාතික ගීයක සංගීතයකට සමාන සංගීතයක් වාදනය කරන විට ඔවුන් සියලුදෙනාම එම රූපයට වැඳ වැටී නමස්කාර කළ යුතු බවට නියෝග කළා. එම නියෝගය නොසලකාහරින අයට මරණ දණ්ඩනය ලැබෙන බවත් පැවසුවා. ඔහු ඒ සෑම දෙයක්ම කළේ තමා උතුම් රජ කෙනෙකු බවත් තමා ආගම දහමට ඉතා ළැදි කෙනෙකු බවත් ජනතාවට පෙන්වීම සඳහායි. නමුත් මරණයට පවා බිය නොවී ඉතා නිර්භීතව කටයුතු කළ ඒ තරුණයන් තිදෙනා එම රූපය ඉදිරියේ වැඳ වැටුණේ නැහැ.—දානියෙල් 3වෙනි පරිච්ඡේදය.

ඉතිහාසඥයෙකු වන කාල්ටන් හේයිස් පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “ජාතිවාදය ආගමකට සමාන කළ හැකියි. එම ආගමේ ප්‍රධාන සංකේතය කොඩියයි. ජනතාව කොඩිය පසු කරගෙන යන විට තම හිස නමා ඊට ගරුබුහුමන් දක්වනවා. කොඩියට ආචාර කිරීමේ අරමුණින් බොහෝ ගීත රචනා කර තිබෙන අතර දරුවන් මහත් භක්තියකින් ඒවා ගායනා කරනවා.” බොහෝ ආගම්වල “ශුද්ධ දවස්” තිබෙනවා හා සමානව ජාතියට ගරුබුහුමන් දැක්වීම සඳහාත් විශේෂ දවස් තිබෙන බව ඔහු පැවසුවා. උදාහරණයකට එක්සත් ජනපදයේ ජාතික දිනය ලෙස ජූලි 4වෙනිදා වෙන් කර තිබෙනවා. ඔහු තවදුරටත් පැවසුවේ, “ආගම්වල සාන්තුවරුන්ව මහත් භක්තියකින් සලකනවා හා සමානව ජාතියට ළැදි අය ජාතික විරුවන්ව දේවත්වය ලා සලකනවා. එමෙන්ම පූජනීය ස්ථාන ලෙස සලකන බොහෝ ස්මාරකද තිබෙනවා” කියායි. බ්‍රසීලයේ සිටි හමුදාපති මහජන උත්සවයකදී මෙවැනි දෙයක් පැවසුවා. “අපි අපේ මව්බිමට ගරුබුහුමන් දක්වනවා වගේම කොඩියටත් ගරුබුහුමන් දක්වනවා.” එමෙන්ම, “කොඩිය, කුරුසිය තරම්ම ශුද්ධ සංකේතයක් ලෙස සලකනු ලබන” බව එක්තරා විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The Encyclopedia Americana.

එම විශ්වකෝෂයේම ජාතික ගීත ගැන තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “එම ගීතවලින් කෙනෙක් තම රටට කොතරම් ආදරේද කියා ඉතා ප්‍රබලව කියාපානවා. බොහෝදුරට මහජනයාට හා රටේ පාලකයන්ට මඟ පෙන්වීම්, පිහිට හා ආරක්ෂාව සපයන මෙන් දෙවියන්ට කරන අයැදීම්ද ඒවායේ ඇතුළත් වෙනවා.” එයින්ද පැහැදිලි වන්නේ කොඩියට ආචාර කිරීම හා ජාතික ගීය ගැයීම ආගමික මුහුණුවරක් ගන්නා බවයි. කොඩියට ආචාර කිරීම හා රටට ජාතියට තමන් පක්ෂ බව ප්‍රකාශ කිරීම ගැන තවත් පොතක මෙසේ සඳහන් වෙනවා. “දිනපතා සිදු කරන එම කටයුතු ආගමික මුහුණුවරක් ගන්නා බව එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙනවා.” (The American Character) එසේනම් පාසැල් යන සාක්ෂිකාර දරුවන් ඇතුළු සෑම සාක්ෂිකරුවෙකුම කොඩියට ආචාර නොකරන්නෙත් ජාතික ගී ගායනා නොකරන්නෙත් රටට ජාතියට තමන් පක්ෂ බව ප්‍රකාශ නොකරන්නෙත් හොඳ හේතු ඇතුවයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප ඒ දේවලට සහභාගි නොවන්නේ ඒවා ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට පටහැනි නිසයි. නමුත් ඒ දේවල් කිරීමට කැමැත්තක් දක්වන අයට එසේ නොකරන්න කියා අප බල කරන්නේ නැහැ. මන්ද එසේ කිරීමට ඔවුන් සතු අයිතියට අප ගරු කරනවා. ජාතික කොඩිය රටක සංකේතයක් බව අප පිළිගන්නා අතර අප එය කිසි ලෙසකින්වත් අගෞරවයට ලක් කරන්නේ නැහැ. එමෙන්ම රටේ පාලකයන්, “උසස් බලධාරීන්” බවත් ඔවුන් “දෙවි වෙනුවෙන් වැදගත් සේවයක්” ඉටු කරන බවත් අප පිළිගන්නවා. (රෝම 13:1-4) “රජවරුන් සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්” යාච්ඤා කරන්න කියා පවසා තිබෙන දේට එකඟවද අපි ක්‍රියා කරනවා. නමුත් අප එසේ කරන්නේ, “දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීම” අපේ ආශාව වන නිසයි.—1 තිමෝති 2:2.

ඡන්ද දැමීම. අන් අයට ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතියට සැබෑ ක්‍රිස්තියානීන් වන අපි ගරු කරනවා. මැතිවරණයක් සංවිධානය කර තිබෙන අවස්ථාවලදී අප ඊට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ. එමෙන්ම ඡන්දයෙන් පත් වන ආණ්ඩු බලධාරීන්ට අපි සහයෝගය දක්වනවා. නමුත් අප දේශපාලනය හා සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගි වන්නේවත් පැති ගන්නේවත් නැහැ. (මතෙව් 22:21; 1 පේතෘස් 3:16) යම් රටක ඡන්ද දැමීම අනිවාර්ය කර තිබෙනවා නම් හෝ ඡන්ද මධ්‍යස්ථානයකට නොයන අයව දැඩි අපහසුතාවකට පත් කරනවා නම් එවැනි අවස්ථාවකදී ක්‍රිස්තියානියෙකුට කළ හැක්කේ කුමක්ද? ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ක්‍රියා කළ ආකාරය මතක් කරගැනීම ඔහුට ප්‍රයෝජනවත් විය හැකියි. ඔවුන් තිදෙනා රූපයට නමස්කාර නොකළත් රූපය ඉදි කර තිබූ දූරා නම් සමභූමිය වෙතට ගියා. ඒ හා සමානව ක්‍රිස්තියානියෙකුටත් ඡන්ද මධ්‍යස්ථානය වෙතට යෑමට තීරණය කළ හැකියි. නමුත් ඔහු එසේ කළ යුත්තේ ඔහුගේ හෘදය සාක්ෂිය ඊට ඉඩ දෙනවා නම් පමණයි. එමෙන්ම එවැනි අවස්ථාවකදී බයිබලයට පටහැනි කිසිම දෙයක් නොකිරීමට ඔහු වගබලා ගත යුතුයි. ඒ සඳහා මෙම ප්‍රතිපත්ති හය මතකයේ තබාගන්න.

  1. යේසුස්ගේ ගෝලයන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙයි.’—යොහන් 15:19.

  2. සැබෑ ක්‍රිස්තියානීන් නියෝජනය කරන්නේ ක්‍රිස්තුස්ව හා ඔහුගේ රාජ්‍යයයි.—යොහන් 18:36; 2 කොරින්ති 5:20.

  3. ක්‍රිස්තියානි සභාවේ සෑම කෙනෙකුම ක්‍රිස්තුස් මෙන් එකිනෙකාට ප්‍රේමය පෙන්වන අතර ඔවුන් අතර කිසි භේදයක් නැහැ.—1 කොරින්ති 1:10; කොලොස්සි 3:14.

  4. ඡන්දයෙන් යම් කෙනෙකුව පත් කරන අයත් එම පුද්ගලයාගේ ක්‍රියාවලට යම් දුරකට හෝ වග කිව යුතුයි. —1 සාමුවෙල් 8:5, 10-18 හා 1 තිමෝති 5:22 යන බයිබල් පදවල තිබෙන තොරතුරු සැලකිල්ලට ගන්න.

  5. මිනිස් පාලකයෙකුව ඉල්ලා සිටීමෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඇත්තටම ප්‍රතික්ෂේප කළේ යෙහෝවා දෙවිවයි.—1 සාමුවෙල් 8:7.

  6. අපට තිබෙන එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව ඕනෑම දේශපාලන පක්ෂයකට අයත් කෙනෙකුට අවංකවම පැවසීමට අපට හැකිකම තිබිය යුතුයි.—මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 10:35.

අනිවාර්ය සේවා. සමහර රටවල හමුදා සේවයට බැඳීම අනිවාර්ය දෙයක්. එය ප්‍රතික්ෂේප කරන අයට යම් කාල පරිච්ඡේදයක් පුරා මහජනයා වෙනුවෙන් වෙනත් සේවයක් කිරීමට යම් රටවල ආණ්ඩු නියම කරනවා. ක්‍රිස්තියානියෙකුට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණොත් එම සේවය ඉටු කරනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට පෙර දෙවිට යාච්ඤා කිරීම ඉතා වැදගත්. අද්දැකීම් ලත් වෙනත් ක්‍රිස්තියානියෙකු සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමටත් ඔහුට හැකියි. ඒ ගැන නිසි අවබෝධයක් ලබාගත් පසු ඔහු තීරණයක් ගත යුත්තේ තම හෘදය සාක්ෂියට එකඟවයි.—හිතෝපදේශ 2:1-5; ෆිලිප්පි 4:5.

“ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව යටත්ව සිටීමටත් ඕනෑම යහපත් ක්‍රියාවක් කිරීමට සූදානම් වී සිටීමටත් . . . සාධාරණව කටයුතු කිරීමටත්” බයිබලයේ අපට දිරිගන්වා තිබෙනවා. (තීතස් 3:1, 2) ඒ නිසා අනිවාර්ය සේවයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර මෙම ප්‍රශ්න අපෙන්ම අසාගැනීම ඉතා වැදගත්. ‘මෙම සේවයේ මා නිරත වුණොත් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දෙයක් කිරීමට හෝ අන්‍යාගමික දෙයකට සම්බන්ධ වීමට මට සිදු වෙයිද?’ (මීකා 4:3, 5; 2 කොරින්ති 6:16, 17) ‘මෙම සේවයේ මා නිරත වුණොත් ක්‍රිස්තියානියෙකු ලෙස මට තිබෙන වගකීම්වලට එය බාධාවක් වෙයිද?’ (මතෙව් 28:19, 20; එෆීස 6:4; හෙබ්‍රෙව් 10:24, 25) ‘එසේත් නැතහොත් මෙම සේවයේ නිරත වීමෙන් දෙවිට වැඩි සේවයක්, සමහරවිට පූර්ණ කාලීන සේවය පවා කිරීමට මට අවස්ථාව උදා වෙයිද?’—හෙබ්‍රෙව් 6:11, 12.

එම කාරණා ගැන සිතා බැලීමෙන් පසු සිරදඬුවමක් විඳිනවා වෙනුවට අනිවාර්ය සේවයක් ඉටු කිරීමට යම් ක්‍රිස්තියානියෙකු ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව තීරණය කළොත් සෙසු ක්‍රිස්තියානීන් ඔහුගේ තීරණයට ගරු කළ යුතුයි. (රෝම 14:10) එමෙන්ම යම් කෙනෙකු එවැනි සේවයක් නොකිරීමට තීරණය කළොත් ඔහුගේ තීරණයටත් ගරු කළ යුතුයි.—1 කොරින්ති 10:29; 2 කොරින්ති 1:24.