Skip to content

පටුනට යන්න

13වෙනි පරිච්ඡේදය

දෙවි පිළිකුල් කරන උත්සව හා චාරිත්‍ර

දෙවි පිළිකුල් කරන උත්සව හා චාරිත්‍ර

“ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න.”—එෆීස 5:10.

1. තමා වෙතට ළං වීමට දෙවි පෙලඹීමක් ඇති කරන්නේ මොන වගේ අයටද? ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්ද කියා ඔවුන් නිතරම සොයා බැලිය යුත්තේ ඇයි?

දෙවි සතුටු වන්නේ, ‘තමා ලබා දෙන මඟ පෙන්වීමට හා තමා එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” මිනිසුන් ඔහුට නමස්කාර කරනවා දකින්නයි. ඒ නිසා යේසුස් පැවසුවේ එසේ නමස්කාර කිරීමට කැමැත්තක් ඇති අයව දෙවි ‘සොයමින් සිටින’ බවයි. (යොහන් 4:23) යේසුස් පැවසූ ඒ දෙයින් පැහැදිලි වන්නේ එසේ නමස්කාර කිරීමට කැමැත්තක් තිබෙන අයව දෙවි දකින විට තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් ළං වීමට දෙවි ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරන බවයි. (යොහන් 6:44) සැබෑ දෙවිට නමස්කාර කිරීමට ඔබ තුළත් එවැනි කැමැත්තක් තිබූ බවට කිසිම සැකයක් නැහැ. ඇත්තෙන්ම සැබෑ දෙවිට නමස්කාර කිරීමට ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! නමුත් අපේ සතුරා වන සාතන් සැබෑ නමස්කාරය වෙතින් මිනිසුන්ව නොමඟ යෑවීමට අතිදක්ෂයෙකු බව අපි දන්නවා. ඒ නිසා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කිරීමට කැමැත්තක් දක්වන අය ලෙස අප, ‘ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය අපටම තහවුරු කරගැනීමට’ වෙර දැරිය යුතුයි.—එෆීස 5:10; එළිදරව් 12:9.

2. දෙවිට කරන නමස්කාරය සමඟ අන්‍යාගමික දේවල් සම්බන්ධ කරගැනීම ගැන දෙවිට හැඟෙන ආකාරය පැහැදිලි කරන්න.

2 ඊශ්‍රායෙල් සෙනඟ සීනයි කන්ද අසල කඳවුරු බැඳ සිටි අවස්ථාවේදී සිදු වූ දෙයක් සලකා බලන්න. නමස්කාර කිරීම සඳහා දෙවි කෙනෙකුව සාදා දෙන්න කියා සෙනඟ ආරොන්ගෙන් ඉල්ලා සිටියා. ආරොන් ඔවුන්ගේ ඉල්ලීමට අනුව රන්වලින් වස්සෙකුගේ රූපයක් සාදා එමගින් යෙහෝවා දෙවිව නියෝජනය වන බව පැවසුවා. එමෙන්ම, “හෙට යෙහෝවා දෙවි වෙනුවෙන් අපි උත්සවයක් පවත්වමු” කියාත් ඔහු සෙනඟට කියා සිටියා. යෙහෝවා දෙවිට ඒ ගැන හැඟුණේ කෙසේද? සැබෑ නමස්කාරයට බොරු රූපයක් සම්බන්ධ කරගැනීම ගැන දෙවි සතුටු වුණාද? කොහෙත්ම නැහැ. එසේ පැවසීමට හොඳ හේතුවක් තිබෙනවා. ඒ රූපයට නමස්කාර කළ අය අතරින් මිනිසුන් 3,000දෙනෙක් පමණ දෙවිගේ නියෝගයකට අනුව මැරුම් කෑවා. (නික්මයාම 32:1-6, 10, 28) එම සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න කැමති නම්, “කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න” අප වගබලා ගත යුතුයි. (යෙසායා 52:11; එසකියෙල් 44:23; ගලාති 5:9) එමෙන්ම අපේ නමස්කාරය දිගටම ශුද්ධව තබාගැනීම සඳහා අප මහත් සෝදිසියකින් සිටිය යුතුයි.

3, 4. ජනප්‍රිය උත්සව හා චාරිත්‍ර ගැන සලකා බලන විට අප බයිබල් ප්‍රතිපත්ති මතකයේ තබාගත යුත්තේ ඇයි?

3 සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මුල් ක්‍රිස්තියානි සභාවට සිදු වූ දෙයින්ද තවත් පැහැදිලි වෙනවා. සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගැසූ අයගෙන් මුල් ක්‍රිස්තියානි සභාව ආරක්ෂා කරගැනීමට යේසුස්ගේ නියෝජිතයන්ට හැකි වුණා. නමුත් ඔවුන්ගේ මරණයෙන් පසුව සත්‍ය ඉගැන්වීම් කෙරෙහි අගයක් නැති ක්‍රිස්තියානීන්යයි කියාගත් අයගේ බලපෑමට සභාව ක්‍රමානුකූලව හසු වුණා. එවැනි අය අන්‍යාගමික චාරිත්‍ර වාරිත්‍ර, උත්සවයන් හා විශේෂ දිනයන් සැබෑ නමස්කාරයට සම්බන්ධ කළ අතර ඒවාට “ක්‍රිස්තියානි” මුහුණුවරක් දුන්නා. (2 තෙසලෝනික 2:7, 10) එවැනි උත්සවයන් ගැන තොරතුරු සලකා බැලීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත්. ඔබ එසේ කරන විට දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජයේ බලපෑමට ඒවා කොතරම් ප්‍රබල ලෙස හසු වී තිබෙනවාද කියා ඔබට වැටහේවි. ඇත්තෙන්ම ඒ සෑම උත්සවයකදීම සිදු වන්නේ මිනිසුන්ගේ පව්කාර ආශාවන් පිනවාගැනීමක්. අසත්‍යය උගන්වන ආගම්වල විශ්වාසයන් හා ‘මහ බැබිලෝනියේ’ ප්‍රධාන අංගයක් වන භූතවාදී දේවල්ද එම උත්සව මගින් ප්‍රචලිත කරනවා. * (එළිදරව් 18:2-4, 23) එමෙන්ම මේ කාරණයත් ඔබ මනසේ තබාගත යුතුයි. එනම් අද තිබෙන බොහෝ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වුණේ පිළිකුල්සහගත අසත්‍ය ආගම්වලින් බව යෙහෝවා දෙවි හොඳින් දන්නා බවයි. ඔහු ඒ දේවල් එදා මෙන් අදත් දැඩි ලෙස පිළිකුල් කරනවා. එසේනම් එවැනි උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔහුට තිබෙන ඒ ආකල්පය අපත් දැරිය යුතු නොවේද!—2 යොහන් 6, 7.

4 අද තිබෙන සමහරක් ජනප්‍රිය උත්සවයන් දෙවි අනුමත නොකරන බව සැබෑ ක්‍රිස්තියානීන් වන අපි හොඳින් දන්නවා. නමුත් ඒ කාරණය දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. එවැනි උත්සව හා චාරිත්‍ර වාරිත්‍රවලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවී සිටීමට අප තුළ දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතුයි. එවැනි දේවලට දෙවිගේ අනුමැතිය නැත්තේ ඇයි කියා ගැඹුරින් සලකා බැලීමෙන් දෙවි අකමැති කිසිම දෙයක් නොකර සිටීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙනවා.

මිථ්‍යා විශ්වාසයන් මත ආරම්භ වූ නත්තල

5. යේසුස් දෙසැම්බර් මාසයේ 25වෙනි දින ඉපදුණේ නැති බව ස්ථීරවම පැවසිය හැක්කේ ඇයි?

5 යේසුස්ගේ උපන් දිනය සැමරූ බවට බයිබලයේ කිසිම සඳහනක් නැහැ. ඇත්තටම ඔහු ඉපදුණේ කවදාද කියාවත් හරියටම පැවසිය නොහැකියි. නමුත් අධික ශීත දේශගුණයක් පවතින දෙසැම්බර් මාසයේ 25වෙනි දින ඔහු ඉපදුණේ නැති බව නම් ස්ථීරවම පැවසිය හැකියි. * ලූක්ගේ වාර්තාවේ පැහැදිලිවම පවසන්නේ යේසුස් ඉපදුණු රාත්‍රියේ, ‘එඬේරු එළිමහනේ බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටි’ බවයි. (ලූක් 2:8-11) දෙසැම්බර් මාසයේ සීතල වැසි සහිත, සමහර අවස්ථාවලදී හිම පවා වැටෙන කාලගුණයක් ඊශ්‍රායෙල් දේශයේ පවතින නිසා එඬේරුන් ඔවුන්ගේ බැටළු රැළවල් සමඟ “එළිමහනේ” සිටියි කියා කොහෙත්ම සිතිය නොහැකියි. ඔවුන් සීතල කාලයේ බැටළු රැළවල් තබාගන්නේ සත්ව මඩුවල උණුසුම්වයි. මේ කාරණය ගැනත් සිතා බලන්න. එඬේරු මුළු අවුරුද්ද පුරාම බැටළු රැළවල් සමඟ “එළිමහනේ” සිටිනවා නම් යේසුස්ගේ උපත ගැන සඳහන් කිරීමේදී ඒ කාරණය විශේෂයෙන්ම බයිබල් වාර්තාවට ඇතුළත් කිරීමට අවශ්‍ය නැහැ. ඒ සිද්ධිය හා සම්බන්ධ තවත් කාරණයක්ද අපි අමතක නොකළ යුතුයි. එනම් මරියා හා යෝසෙප් බෙත්ලෙහෙමට ගිය හේතුවයි. ඔවුන් එහි ගියේ සියලුදෙනාම ලියාපදිංචි විය යුතුයි කියා ඔගස්ටස් සීසර් නියෝගයක් නිකුත් කර තිබූ නිසයි. (ලූක් 2:1-7) අධික ශීත දේශගුණයක් පවතින කාලයක එවැනි දෙයක් කිරීමට නියෝගයක් නිකුත් කරයි කියා සිතිය නොහැකියි. මන්ද රෝම පාලනය ගැන යුදෙව්වන් සිටියේ අසතුටින්. ඒ නිසා සීතල කාලයක තම තමන්ගේ උපන් නගරයට ගොස් ලියාපදිංචි වෙන්න කියා රෝම පාලකයා අණක් නිකුත් කළා නම් ඉන් සිදු වන්නේ රෝම පාලනය තව තවත් එපා කරවීමක්. රෝම පාලකයෙකු එවැනි ක්‍රියාමාර්ගයක් කවදාවත් ගනියි කියා සිතිය නොහැකියි.

6, 7. (අ) නත්තල හා සම්බන්ධ බොහෝ චාරිත්‍ර ආරම්භ වුණේ කෙසේද? (ආ) නත්තල් සමයේ තෑගිබෝග දීම හා සැබෑ ක්‍රිස්තියානීන් අන් අයට යම් දේවල් දීම අතර තිබෙන වෙනස කුමක්ද?

6 ඇත්තෙන්ම නත්තල ආරම්භ වුණේ අන්‍යාගමික උත්සවවලිනුයි. රෝමවරුන් කෘෂිකර්මයට අධිපති දෙවියන් ලෙස සැලකූ සැටර්න් නම් දෙවියා වෙනුවෙන් දෙසැම්බර් 25වෙනිදා උත්සවයක් පැවැත්වූවා. එමෙන්ම මිත්‍රා නම් දෙවියාව ඇදහූ අය අපරාජිත හිරුගේ උපන් දිනය සැමරුවෙත් දෙසැම්බර් 25වෙනිදායි. එක් විශ්වකෝෂයක පවසන්නේ, ‘නත්තල ආරම්භ වුණේ හිරුට කළ වන්දනාව රෝමයේ ඉතා ජනප්‍රියව පැවති කාලයක’ කියායි. (New Catholic Encyclopedia) ඉන් පැහැදිලි වන්නේ යේසුස් මිය ගොස් අවුරුදු 300කට පමණ පසු නත්තල ආරම්භ වූ බවයි.

සැබෑ ක්‍රිස්තියානීන් අන් අයට යමක් දෙන්නේ ප්‍රේමයෙන් පෙලඹෙන නිසයි

7 තෑගි හුවමාරු කිරීම හා විශේෂ කෑම බීම පිළියෙල කිරීම වැනි නත්තල හා සම්බන්ධ චාරිත්‍ර ගැන පැවසිය හැක්කේ කුමක්ද? කලින් සඳහන් කළ අන්‍යාගමික උත්සවවලත් එවැනි චාරිත්‍ර දකින්න තිබුණා. අද නත්තල් සමයේ බොහෝ අය තෑගිබෝග හුවමාරු කරගන්නේ එය කළ යුතුම චාරිත්‍රයක් නිසයි. දෙවෙනි කොරින්ති 9:7හි සඳහන් මෙම ප්‍රතිපත්තිය ඔවුන් අදාළ කරගන්නේ නැහැ. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” නමුත් ඔවුන්ට වඩා වෙනස්ව සැබෑ ක්‍රිස්තියානීන් යම් දෙයක් කෙනෙකුට දෙන්නේ එම තැනැත්තා කෙරෙහි තිබෙන ප්‍රේමය නිසයි. ඒ නිසා තෑග්ගක් කෙනෙකුට දීමට විශේෂ දවසක් ඔවුන්ට අවශ්‍ය නැහැ. එමෙන්ම ඔවුන් එම තැනැත්තාගෙන් තෑග්ගක් බලාපොරොත්තු වන්නෙත් නැහැ. (ලූක් 14:12-14; ක්‍රියා 20:35 කියවන්න.) ඇත්තෙන්ම සැබෑ ක්‍රිස්තියානීන්ට නත්තල හා සම්බන්ධ චාරිත්‍රවලින් ඈත් වීමට ලැබීම ගෙන දෙන්නේ මොන තරම් නිදහසක්ද! නත්තල හා සම්බන්ධ අමතර වියහියදම් නැති නිසා ණය බරින් මිරිකීමටද ඔවුන්ට සිදු වන්නේ නැහැ.—මතෙව් 11:28-30; යොහන් 8:32.

8. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යේසුස්ට උපන් දින තෑගි දුන්නාද? පැහැදිලි කරන්න.

8 නමුත් යේසුස්ව බැලීමට ආ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයොත් ඔහුට උපන් දින තෑගි දුන් බව සමහර අය පැවසිය හැකියි. ඒ කාරණය සත්‍යයක් නොවෙයි. මන්ද ඒ කාලයේ විශේෂ පුද්ගලයෙකුට ගෞරවය පෙන්වීමක් ලෙස තෑගි දීම සාමාන්‍ය චාරිත්‍රයක් වුණා. (1 රාජාවලිය 10:1, 2, 10, 13; මතෙව් 2:2, 11) ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයොත් යේසුස්ව බැලීමට යන විට ඔහුට තෑගි රැගෙන ගියේ ඒ නිසයි. එමෙන්ම මේ කාරණයත් සැලකිල්ලට ගන්න. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යේසුස්ව බැලීමට ගියේ ඔහු ඉපදුණු දවසේ රාත්‍රියේ නොවෙයි. ඒ වන විට ඔහු මාස කිහිපයක් වයසැති දරුවෙකුව සිටියා. එමෙන්ම ඔවුන් ඔහුව දකින විට ඔහු සිටියේ ගවමඩුවේ ගවඔරුවක නොව නිවසකයි.

උපන් දින සැමරීම්

9. බයිබලයේ සඳහන් කර තිබෙන උපන් දින උත්සව දෙකේදීම සිදු වුණේ කුමක්ද?

9 දරුවෙකුගේ උපත ගෙන දෙන්නේ ප්‍රීතියක්. (ගීතාවලිය 127:3) නමුත් දෙවිට සේවය කළ අය තමන්ගේ උපන් දිනය සැමරූ බවට බයිබලයේ කිසිම සඳහනක් නැහැ. ඉන් අදහස් වන්නේ බයිබල් ලේඛකයන් අතින් අතපසු වීමක් සිදු වී ඇති බවද? එසේ පැවසිය නොහැකියි. මන්ද උපන් දින උත්සව දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ පාරාවෝගේ හා හෙරොද් රජුගේ උපන් දින උත්සවයි. (උත්පත්ති 40:20-22; මාක් 6:21-29 කියවන්න.) ඒ උපන් දින උත්සව දෙකේදීම සිදු වූ දේවල් දෙස බලන විට ඒවාට දෙවිගේ අනුමැතිය නොලැබුණු බවට සැකයක් නැහැ. උදාහරණයකට හෙරොද් රජුගේ උපන් දින උත්සවයේදී යොහන් බව්තීස්තගේ හිස ගසා දැමුවා.

10, 11. මුල් ක්‍රිස්තියානීන් උපන් දින උත්සව සැලකුවේ කෙසේද? ඊට හේතු මොනවාද?

10 “මුල් ක්‍රිස්තියානීන්ද උපන් දින සැලකුවේ අන්‍යාගමික චාරිත්‍රයක් ලෙස” බව එක් විශ්වකෝෂයක පවසා තිබෙනවා. (The World Book Encyclopedia) කෙනෙකු ඉපදෙන විට ඔහුගේ ජීවිත කාලය පුරා ඔහුට ආරක්ෂාව ලබා දීමට යම් දේවතාවියක් ඉදිරිපත් වන බව ග්‍රීකවරුන් විශ්වාස කළා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “දරුවෙකු ඉපදෙන දවසට යම් දෙවි කෙනෙකුගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. මිනිසුන් විශ්වාස කළේ දරුවාට ආරක්ෂාව සලසා දීමට ඉදිරිපත් වන දේවතාවිය හා එම දෙවියා අතර යම් සම්බන්ධයක් ඇති බවයි. ඒ නිසා ඒ දෙවියාගේ ආරක්ෂාව දරුවාට ලබා දුන්නේ ඒ දේවතාවිය මාර්ගයෙනුයි.” (The Lore of Birthdays) එමෙන්ම අතීතයේ සිට උපන් දිනය ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා හඳහන් බැලීම වැනි මිථ්‍යා දේවල් සමඟ බැඳී පවතිනවා.

11 ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ අතීතයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් උපන් දින උත්සවයන් නොපැවැත්වූයේඊට අන්‍යාගමික විශ්වාසයන් හා භූතවාදී දේවල් සම්බන්ධ නිසා බවයි. ඔවුන් එසේ උපන් දින උත්සව නොපැවැත්වීමට තවත් හේතුවක් තිබුණා. එනම් ඔවුන් නිතරම උත්සාහ කළේ නිහතමානීව කටයුතු කිරීමටයි. තමන්ගේ උපත උත්සවාකාරයෙන් සැමරීමට තරම් තමන් විශේෂ පුද්ගලයන් කියා ඔවුන් සිතුවේ නැහැ. * (මීකා 6:8; ලූක් 9:48) ඔවුන්ගේ කැමැත්ත වුණේ යෙහෝවා දෙවිගෙන් ඔවුන්ට ලැබී තිබෙන අනර්ඝ ජීවිතය වෙනුවෙන් දෙවිට ස්තුතිවන්ත වෙමින් ඔහුව ගෞරවයට පත් කිරීමයි. *ගීතාවලිය 8:3, 4; 36:9; එළිදරව් 4:11.

12. ඉපදුණු දවසට වඩා මිය යන දවස වැදගත් වන්නේ ඇයි?

12 දේශනාකාරයා 7:1හි පවසන දේ සැලකිල්ලට ගන්න. එහි පවසන්නේ, “හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය. උපන් දවසට වඩා මිය යන දවස හොඳය” කියායි. ඒ අනුව කෙනෙකු ඉපදෙන දවසට වඩා කෙනෙකු මිය යන දවස වැදගත්. මන්ද ඔහු මිය යන විට දෙවිට විශ්වාසවන්තව ජීවත් වී ඇත්නම් ඔහුට දෙවි ඉදිරියේ හොඳ නමක් තිබෙනවා. ඒ නිසා දෙවි ඔහුව කිසිදාක අමතක කරන්නේ නැහැ. දෙවි ඔහුව නැවත නැඟිටුවනවා. (යෝබ් 14:14, 15) එමෙන්ම බයිබලයේ සමරන්න කියා පවසා ඇති එකම දේ කෙනෙකුගේ මරණය හා සම්බන්ධයි. ඒ යේසුස්ගේ මරණයයි. මිනිස් වර්ගයාට ගැලවීම උදා කර දී තිබෙන්නේ ඒ මරණය නිසයි.—ලූක් 22:17-20; හෙබ්‍රෙව් 1:3, 4.

අලුත් අවුරුදු උත්සවය

13, 14. අලුත් අවුරුදු උත්සවය හා බැඳි චාරිත්‍රවලින් ක්‍රිස්තියානියෙකු සම්පූර්ණයෙන්ම ඈත් විය යුත්තේ ඇයි?

13 අලුත් අවුරුදු උත්සවය හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර පදනම් වී තිබෙන්නේ අන්‍යාගමික විශ්වාසයන් මතයි. මේ උත්සවයේ ආරම්භය ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “රෝමයේ පාලකයාව සිටි ජූලියස් සීසර් ක්‍රි.පූ. 46දී අලුත් අවුරුදු උත්සවය ජනවාරි 1වෙනිදාට යෙදුවා. රෝමවරු එම දිනය ජේනස් නම් දෙවියා වෙනුවෙන් කැප කළා. එදා ජේනස් දෙවියාව සැලකුවේ දොරටුවලට හා යම් දේවල ආරම්භයට අධිපති දෙවියා ලෙසයි. ජනවාරි යන මාසයට එම නම ලැබුණේ ජේනස් නම් එම දෙවියාව සිහි වීම සඳහායි. එම දෙවියාට මුහුණු දෙකක් තිබුණු අතර එක් මුහුණකින් ඉදිරියත් අනික් මුහුණින් පිටුපසත් බලා සිටියා.”—The World Book Encyclopedia.

14 අලුත් අවුරුදු උත්සවය පවත්වන දිනය හා ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණත් යම් පොදු ලක්ෂණ තිබෙනවා. “යුරෝපීය රටවල පරණ අවුරුද්ද ගෙවී යමින් අලුත් අවුරුද්දට ළඟා වන පැය කිහිපය මත්පැන් පානය කරමින් විනෝද වෙමින් ඝෝෂාකාරී උත්සව පවත්වනවා” කියා එක් පොතක සඳහන් වෙනවා. එහි තවදුරටත් පවසන්නේ, “යුරෝපීය නොවන රටවල්වලද අලුත් අවුරුද්දක් ආරම්භ වන අවස්ථාව වැදගත් අවස්ථාවක් ලෙස සලකමින් අධික ලෙස විනෝද වෙමින් උත්සව පවත්වනවා” කියායි. (Standard Dictionary of Folklore, Mythology, and Legend) එමෙන්ම අලුත් අවුරුද්දක් ලබන විට පොදුවේ දකින්න තිබෙන තවත් දෙයක් නම් රතිඤ්ඤා, මල්වෙඩි වැනි දෑ පත්තු කිරීමයි. එවැනි චාරිත්‍රයක් ආරම්භ වී තිබෙන්නේ භූතයන්ව පන්නා දැමීමේ අරමුණිනුයි. අලුත් අවුරුදු උත්සවය හා බැඳි සියලු චාරිත්‍ර සලකා බලන විට රෝම 13:13හි තිබෙන මෙම ප්‍රතිපත්තියද මතකයේ තබාගැනීම ඉතා වැදගත්. “මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු. එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම, අනාචාරය, නින්දිත ක්‍රියා, අඬදබර සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.”—1 පේතෘස් 4:3, 4; ගලාති 5:19-21.

අවමංගල්‍ය හා බැඳි චාරිත්‍ර

15. අවමංගල්‍ය හා බැඳි බොහෝ චාරිත්‍රවලින් සැබෑ ක්‍රිස්තියානීන් ඈත්ව සිටින්නේ ඇයි?

15 අවමංගල්‍ය හා බැඳි චාරිත්‍ර සම්බන්ධයෙන් සැබෑ ක්‍රිස්තියානීන් වන අප සැලකිලිමත් විය යුතුයි. මන්ද ඒවායින් බොහොමයක් ආරම්භ වී තිබෙන්නේ කෙනෙකු මිය ගියත් එම පුද්ගලයා යම් ආකාරයකින් හෝ දිගටම ජීවත් වන බවට වූ විශ්වාසය පදනම් කරගෙනයි. එවැනි චාරිත්‍ර සමහරක් නම් නිවසෙහි තිබෙන ඡායාරූප පිටුපස හරවා තැබීම, මුහුණ බලන කණ්ණාඩි රෙදි කඩකින් වසා තැබීම, දේහයේ හිස බටහිර දෙසට යොමු කර තැබීම, ඉටි පන්දම් හෝ පහන් නිවෙන්න නොදී දල්වා තැබීම හා රාත්‍රිය පුරා නිදි මැරීම යනාදියයි. කෙනෙකු මිය ගොස් දවස් හයකට පසු ආගමික වතාවන් නිවසේ සිදු කරන අතර හත්වෙනි දවසේදී පූජ්‍ය පක්ෂයට හෝ වෙනත් අයට ආහාර වේලක් ලබා දීමේ චාරිත්‍රයක්ද තිබෙනවා. මාස තුනකට පසු, අවුරුද්දකට පසු හා ඉන්පසුව වාර්ෂිකව එම චාරිත්‍රය අනුගමනය කරනවා. “දාන දීමේ චාරිත්‍රය සිදු කරන්නේ මිය ගිය පුද්ගලයා යම් වධ හිංසා විඳිමින් සිටිනවා නම් එම තත්වයෙන් මිදීමට අවශ්‍ය උපකාර ලබා දීමටයි” කියා එක් පොතක සඳහන් වෙනවා. (The People of Ceylon) නමුත් මිය ගිය අයගේ සැබෑ තත්වය අප හොඳින් දන්නා නිසා එවැනි මිථ්‍යා චාරිත්‍ර වාරිත්‍රවලින් අප සම්පූර්ණයෙන්ම ඈත්ව සිටිනවා.—දේශනාකාරයා 9:5, 10.

විවාහය හා බැඳි චාරිත්‍ර

16, 17. (අ) විවාහ දිනයට කලින් කුමන කාරණා ගැන සොයා බැලීම ඥානවන්තද? (ආ) නව යුවළ මතට වී පොරි, හාල් හෝ එහි ආදේශක ඉසීමේ චාරිත්‍රය ගැන කිව හැක්කේ කුමක්ද?

16 කනගාටුදායක ලෙස දෙවි ඇති කළ විවාහ සැලැස්මත් අසත්‍ය ආගමික විශ්වාසයන් හා මිථ්‍යා චාරිත්‍ර වාරිත්‍රවලින් දූෂ්‍ය වී තිබෙනවා. (මාක් 10:6-9) නමුත් ඉතාමත් ළඟදී මහ බැබිලෝනිය පිටට දෙවි විනාශයක් ගෙනෙන නිසා එහි චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ කර නොගත් විවාහයන් සිදු වන කාලයක් පැමිණෙනවා. (එළිදරව් 18:23) එතෙක් විවාහයන්වලදී පවත්වන චාරිත්‍ර ගැන අප කල්පනාකාරී විය යුතුයි.

17 විවාහය හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. සමහරක් චාරිත්‍ර බැලූ බැල්මට කිසි වරදක් නැති බව පෙනුණත් ඒවා ආරම්භ වී තිබෙන්නේ අසත්‍යය උගන්වන ආගම්වල විශ්වාසයන් පදනම් කරගෙන විය හැකියි. එමෙන්ම එවැනි චාරිත්‍ර බොහෝවිට සිදු කරන්නේ නව යුවළට ‘වාසනාව’ ගෙන දීම සඳහායි. (යෙසායා 65:11) උදාහරණයකට නව යුවළ මතට වී පොරි, හාල් හෝ එහි ආදේශක ඉසීමේ චාරිත්‍රය ගැන සිතන්න. එම චාරිත්‍රය සමහරවිට ආරම්භ වුණේ නව යුවළට යම් අනතුරක් කිරීමෙන් භූතයන්ව වැළැක්වීමේ අරමුණින් විය හැකියි. මන්ද වී පොරි වැනි ආහාරයක් භූතයන්ට ලබා දීමෙන් ඔවුන් සතුටට පත් වන නිසා ඔවුන් නව යුවළට අනතුරක් නොකරයි යන විශ්වාසය මිනිසුන් අතර තිබුණා. එමෙන්ම වී හා හාල්වලින් සමෘද්ධිමත් දිවියක් නියෝජනය වන බවත් ඇතමුන් විශ්වාස කරනවා. නමුත් දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට සතුටු අය ලෙස අපි, මිථ්‍යා විශ්වාසයන් හා බැඳි එවැනි චාරිත්‍ර වාරිත්‍රවලින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටිනවා.—2 කොරින්ති 6:14-18 කියවන්න.

18. විවාහයක් සැලසුම් කරන විටත් විවාහ උත්සවයකට සහභාගි වන විටත් අප මතක තබාගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

18 විවාහ උත්සවයක් අගෞරවනීය තත්වයකට පත් කළ හැකි, අන් අයව අපහසුතාවකට පත් කළ හැකි වෙනත් බොහෝ චාරිත්‍ර වාරිත්‍රද අද ජනප්‍රිය වී තිබෙනවා. නමුත් දෙවිගේ සේවකයන් වන අප, එවැනි දේවල් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා. උදාහරණයකට විවාහ උත්සවයකදී කතා ඉදිරිපත් කරන විට අන් අයව අපහසුතාවට පත් වන අයුරින් හෝ රිදවන අයුරින් අප අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. එමෙන්ම අන් අයව හිනාගැස්සවීම සඳහා අසභ්‍ය විහිළු ඇතුළත් කතාද අප ඉදිරිපත් කරන්නේ නැහැ. විවාහ යුවළ හා පැමිණ සිටින අමුත්තන් අපහසුතාවට පත් විය හැකි ක්‍රියාවලින්ද අපි වැළකී සිටිනවා. (හිතෝපදේශ 26:18, 19; ලූක් 6:31; 10:27) සැබෑ ක්‍රිස්තියානීන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ගේ විවාහ උත්සවය චාම් අයුරින් කිරීමට මිස, ‘තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමට’ නොවෙයි. (1 යොහන් 2:16) ඒ නිසා ඔබ විවාහ උත්සවයක් සැලසුම් කරමින් සිටිනවා නම් යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ අමතක කරන්න එපා. ඔහු කැමති වන්නේ ඔබ විවාහ වන අවස්ථාව සතුටින් පිරි අවස්ථාවක් වෙනවා දකින්නයි. එවිට ඔබට ඒ දවස ගැන කවදාවත් පසුතැවිලි වීමට සිදු වන්නේ නැහැ. *

සව්දිය පිරීම වැරදි චාරිත්‍රයක්ද?

19, 20. සව්දිය පිරීමේ චාරිත්‍රය ගැන එක් පොතක පවසා තිබෙන්නේ කුමක්ද? එම චාරිත්‍රය ක්‍රිස්තියානීන්ට නුසුදුසු වන්නේ ඇයි?

19 සව්දිය පිරීම බොහෝ විවාහ උත්සවයන්වල හා ප්‍රිය සාදවල අද දක්නට තිබෙන ජනප්‍රිය චාරිත්‍රයක්. නමුත් එම චාරිත්‍රය ආරම්භ වුණේ කෙසේද? ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “සව්දිය පිරීමේ චාරිත්‍රයට අද ආගමික මුහුණුවරක් නැති වුණත් එය ආරම්භ වුණේ ආගමික චාරිත්‍රයකින්. කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කරමින් පරිශුද්ධ පානයක් දෙවිවරුන්ට ඔප්පු කිරීමේ චාරිත්‍රයක් පුරාණයේ පැවතුණා. එම පානය දෙවිවරුන්ට ඔප්පු කළේ යම් කෙනෙකුට දිර්ඝායුෂ හෝ නිරෝගී සුවය පතමිනුයි.”International Handbook on Alcohol and Culture.

20 අද දින එම චාරිත්‍රයට සම්බන්ධ වන බොහෝදෙනෙක් එසේ කරන්නේ ආගමික හේතුවක් නිසාවත් මිථ්‍යා විශ්වාසයක් නිසාත් නොවන්න පුළුවන්. නමුත් යම් ප්‍රාර්ථනයක් කරමින් තමන් අතේ තිබෙන වීදුරුව ඉහළට ඔසවන විට කළ ප්‍රාර්ථනය සඳහා දෙවි දේවතාවන්ගේ පිහිට අයැද සිටින බව එය දකින කෙනෙක් සිතිය හැකියි. ඇත්තෙන්ම එසේ කිරීම ශුද්ධ ලියවිල්ලේ දී තිබෙන මඟ පෙන්වීම්වලට පටහැනියි.—යොහන් 14:6; 16:23. *

“යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න”

21. ක්‍රිස්තියානීන් සහභාගි නොවිය යුතු ජනප්‍රිය උත්සවයන්, සැණකෙළි හා සංදර්ශන මොනවාද? ඒ ඇයි?

21 ඇතැම් රටවල විවිධාකාර උත්සවයන්, සැණකෙළි හා ඉතා පහත් ආකාරයේ නැටුම් ගැයුම් ඇතුළත් සංදර්ශන දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඇතැම් සැණකෙළි හා සංදර්ශන සංවිධානය කර තිබෙන්නේ සමලිංගිකයන් වෙනුවෙන්මයි. එවැනි දේවලින් සමාජයේ දවසින් දවස පිරිහෙන සදාචාරය මනාව පිළිබිඹු වෙනවා. ඇත්තෙන්ම ඒ සෑම දෙයකටම කෙළින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ වී තිබෙන්නේ මහ බැබිලෝනියයි. ‘යෙහෝවා දෙවිට ප්‍රේම කරන කෙනෙක්’ එවැනි දේවලට සහභාගි වීම හෝ ඒවා නැරඹීම සුදුසු දෙයක් කියා පැවසිය හැකිද? කෙනෙක් එසේ කරනවා නම් ඔහු ඇත්තටම නපුරු දේට ද්වේෂ කරනවා කියා පැවසිය හැකිද? (ගීතාවලිය 1:1, 2; 97:10) ගීතිකාකරුට තිබූ මෙම ආකල්පය අපත් වර්ධනය කරගැනීම කොතරම් වැදගත්ද! ඔහු දෙවිගෙන් මෙසේ ඉල්ලා සිටියා. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.”—ගීතාවලිය 119:37.

22. තමන් සහභාගි වෙනවාද නැද්ද කියා ක්‍රිස්තියානියෙකුට තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත හැක්කේ මොන වගේ අවස්ථාවලදීද?

22 දෙවි අනුමත නොකරන උත්සවයක් යෙදී තිබෙන දවසක අප කරන කියන දේවල් නිසා අන් අයට අප ගැන වැරදි වැටහීමක් ඇති විය හැකියි. සමහරවිට අපත් එම උත්සවයට යම් අයුරින් හෝ සම්බන්ධ වෙනවා කියා ඔවුන් සිතීමට පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා එවැනි උත්සව යෙදී තිබෙන දවස්වල අපේ හැසිරීම ගැන කල්පනාකාරී වීම ඉතා වැදගත්. පාවුල් පැවසුවේ, “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න” කියායි. (1 කොරින්ති 10:31; “ ඥානවන්ත තීරණ ගනිමු” යන කොටුව බලන්න.) නමුත් අසත්‍යය උගන්වන ආගමික විශ්වාසයන්ට සම්බන්ධ නැති, දේශපාලනික මෙන්ම ජාතිවාදී පසුබිමක් නැති බයිබල් ප්‍රතිපත්ති කඩ නොකරන යම් උත්සවයක් හෝ චාරිත්‍රයක් ගැන පැවසිය හැක්කේ කුමක්ද? එවැනි උත්සවයකට හෝ චාරිත්‍රයකට සහභාගි වෙනවාද නැද්ද යන තීරණ අප එක් එක් කෙනා පෞද්ගලිකව ගත යුතුයි. නමුත් අප ගන්නා තීරණය අන් අයට කෙසේ බලපායිද කියා කලින්ම සිතා බැලීමට අමතක නොකළ යුතුයි.

කතාවෙන් හා ක්‍රියාවෙන් දෙවිව ගෞරවයට පත් කරමු

23, 24. යෙහෝවා දෙවිගේ උසස් ප්‍රමිති ගැන අපට හොඳ සාක්ෂියක් දැරිය හැකි අයුරු පැහැදිලි කරන්න.

23 බොහෝදෙනෙකු සිතන්නේ ඇතැම් ජනප්‍රිය උත්සව පවත්වන දවස් පවුලේ අයට හා හිතමිතුරන්ට එකට කාලය ගත කිරීමට කදිම අවස්ථාවන් ලෙසයි. එවැනි අවස්ථාවලට සහභාගි නොවීමට අප ගෙන තිබෙන ස්ථාවරය ඉතා අකාරුණික හෝ අන්තවාදී දෙයක් කියා යමෙක් අපට පැවසුවොත් කළ හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප, සුදුසු අවස්ථාවලදී පවුලේ අය හා හිතමිතුරන් සමඟ සතුටින් කාලය ගත කිරීම වැදගත් දෙයක් ලෙස සලකන බව එම තැනැත්තාට කාරුණිකව පැහැදිලි කර දිය හැකියි. (හිතෝපදේශ 11:25; දේශනාකාරයා 3:12, 13; 2 කොරින්ති 9:7) එමෙන්ම අප ආදරය කරන අය සමඟ කාලය ගත කිරීමට අපට විශේෂ දවස් අවශ්‍ය නැහැ. අවුරුද්දේ ඕනෑම සුදුසු අවස්ථාවක අපි එසේ කරනවා. නමුත් එවැනි ප්‍රීතිමත් අවස්ථා දෙවි අකමැති චාරිත්‍ර වාරිත්‍රවලින් දූෂ්‍ය වෙනවාට අප කැමති නැහැ. මන්ද දෙවිට ප්‍රේම කරන අය ලෙස අපේ ආශාව වන්නේ සෑම අවස්ථාවකදීම දෙවිගේ උසස් ප්‍රමිති රැකීම බවත් පැවසිය හැකියි.—“ සැබෑ දෙවිට නමස්කාර කිරීම ප්‍රීතියට මඟ පාදයි” යන කොටුව බලන්න.

24 අපේ ස්ථාවරය ගැන වැඩි විස්තර දැනගැනීමට අවංකව කැමති අය සමඟ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 16වෙනි පරිච්ඡේදයේ තොරතුරු සාකච්ඡා කළ හැකියි. * එසේ කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇති සාක්ෂිකරුවන් අප අතරේ සිටිනවා. එවැනි සාකච්ඡාවක් කරන විට, “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි” යන මඟ පෙන්වීම අමතක නොකරමු. (කොලොස්සි 4:6) මන්ද අපේ අරමුණ එම තැනැත්තා සමඟ තර්ක කිරීම නොව සැබෑ දෙවි වෙතට ළං වීමට ඔහුට උපකාර කිරීමයි.

25, 26. තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

25 අපි යම් දේවල් විශ්වාස කරන්නේ හා පිළිපදින්නේ ඇයි කියාත් යම් දේවලින් වැළකී සිටින්නේ ඇයි කියාත් හොඳින් තේරුම්ගෙන සිටින සෙනඟක්. (හෙබ්‍රෙව් 5:14) ඒ අවබෝධය අපේ දරුවන්ටත් තිබිය යුතුයි. ඒ නිසා දෙමාපියෙනි, බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති තේරුම්ගෙන ඒවා අදාළ කරගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. දෙවි කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ගොඩනඟා ගැනීමට එය ඔවුන්ට උපකාරයක් වන අතර ඔවුන් විශ්වාස කරන දේවල් ගැන ප්‍රශ්න කරන අයට බයිබලය පදනම් කරගෙන පැහැදිලි පිළිතුරු ලබා දීමටද ඔවුන්ට හැකි වෙයි. දෙවි සමඟ ඔවුන්ට තිබෙන මිත්‍රත්වයද එමගින් තව තවත් ශක්තිමත් වන බව නිසැකයි.—යෙසායා 48:17, 18; 1 පේතෘස් 3:15.

26 “දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” ඔහුට නමස්කාර කරන අය බයිබලයට පටහැනි උත්සව හා චාරිත්‍ර වාරිත්‍රවලින් වැළකී සිටිනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අවංකව කටයුතු කිරීමටත් උත්සාහ කරනවා. (යොහන් 4:23) බොහෝදෙනෙක් සිතන්නේ අවංකව කටයුතු කිරීමෙන් කිසි පලක් නැති බවයි. ඒ කාරණය සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීම කළ හැකි හොඳම දේ බව තේරුම්ගැනීමට ඊළඟ පරිච්ඡේදය අපට උපකාරවත් වෙයි.

^ 5 ඡේ. බයිබලයට හා ඉතිහාස වාර්තාවලට අනුව ක්‍රි.පූ. 2 ඒතානිම් නම් යුදෙව් මාසයේ යේසුස් ඉපදුණා විය හැකියි. අපේ දිනදර්ශනයට අනුව ඒතානිම් මාසය වැටී තිබෙන්නේ සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර කාලයේයි.

^ 11 ඡේ. මෝසෙස්ගේ නීතියට අනුව මවක් දරුවෙකුව බිහි කළ පසු ඇය දෙවිට පාප පූජාවක් ඔප්පු කළ යුතුයි. (ලෙවී කතාව 12:1-8) එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පව්කාර ස්වභාවය උරුම වන බව එම නීතිය මගින් සිහිගන්වනු ලැබුවා. (ගීතාවලිය 51:5) එම සිහිගැන්වීම කෙනෙකුගේ උපන් දවසට අනවශ්‍ය අවධානයක් නොදී සිටීමට ඊශ්‍රායෙල් සෙනඟට උපකාරවත් වූ අතර උපන් දිනය හා සම්බන්ධ අන්‍යාගමික චාරිත්‍රවලට ආකර්ෂණය නොවී සිටීමටද ඔවුන්ට උපකාර කළා.

^ 18 ඡේ. විවාහ උත්සවයන් හා ප්‍රිය සාද ගැන වැඩි විස්තර සඳහා 2006 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 18-31 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.

^ 20 ඡේ. වැඩි විස්තර සඳහා 2007 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 30-31 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.

^ 24 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.