Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙමු

මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙමු

‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙයි.’—යොහන් 15:19.

1. පොළොව මත ගත කළ අන්තිම රාත්‍රියේදී යේසුස් පැවසූ දේවලින් පැහැදිලි වන්නේ මොනවාද?

යේසුස් මිනිසෙකු ලෙස පොළොව මත ගත කළ අන්තිම රාත්‍රියේදී තම අනුගාමිකයන් වෙනුවෙන් තම පියාණන්ට මෙසේ කන්නලව් කළා. “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි. මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.” (යොහන් 17:15, 16) තම අනුගාමිකයන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් යේසුස් කළ ඒ යාච්ඤාවෙන් ඔහුට ඔවුන් කෙරෙහි තිබෙන ප්‍රේමය මොන තරම්ද කියා පැහැදිලි වුණා. එමෙන්ම එදින රාත්‍රියේ තවත් අවස්ථාවකදී ඔහු ඔවුන් ගැන පවසා තිබූ මේ වදන්වල වැදගත්කමත් එයින් කාවද්දනු ලැබුණා. ‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙයි.’ (යොහන් 15:19) ඇත්තෙන්ම තම අනුගාමිකයන් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටීම යේසුස් ඉතා වැදගත් දෙයක් ලෙස සැලකූ බව ඒ තොරතුරුවලින් අපට පැහැදිලි වෙනවා.

2. “මේ ලෝකයේ මිනිසුන්” කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

2 “මේ ලෝකයේ මිනිසුන්” කීමෙන් යේසුස් අදහස් කළේ යෙහෝවා දෙවිගෙන් ඈත්ව සාතන්ගේ පාලනයට යටත්ව සිටින මිනිසුන්වයි. සාතන්ගේ ආත්මාර්ථකාමී හා උඩඟු ස්වභාවය අද ජීවත් වන මිනිසුන් බහුතරයක් ක්‍රියා කරන ආකාරයෙන් පැහැදිලිව දකින්න තිබෙනවා. (යොහන් 14:30; එෆීස 2:2; 1 යොහන් 5:19) එම “ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව” අප මතක තබාගත යුතුයි. (යාකොබ් 4:4) නමුත් අප සෑම කෙනෙකුටම ජීවත් වීමට සිදු වී තිබෙන්නේ සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයෙයි. ඒ නිසා දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න කැමති අප, ලෝකයේ මිනිසුන් හා සමාන නොවී සිටීමට උපරිම උත්සාහයක් දරනවා. අප එසේ කරන බව (1) දේවරාජ්‍යයට පක්ෂව කටයුතු කිරීමෙන් හා ලෝකයේ දේශපාලන කටයුතුවලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවී සිටීමෙන්ද, (2) මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී සිටීමෙන්ද, (3) විනීතව ඇඳ පැළඳ සිටීමෙන්ද, (4) ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තබාගැනීමෙන්ද, (5) දෙවිගෙන් ලද මුළු යුද්ධායුධ කට්ටලය පැළඳ සිටීමෙන්ද පෙන්වනවා. දැන් අපි ඒ කාරණා පහ වෙන වෙනම සලකා බලමු.

දේශපාලනයට සම්බන්ධ නොවී දේවරාජ්‍යයට පක්ෂ බව පෙන්වමු

3. යේසුස් දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවුණේ ඇයි?

3 සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලන කටයුතුවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් යේසුස් අපට හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු මේ පොළොව මත සිටි කාලයේදී කිසිම ආකාරයකින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා රෝම ආණ්ඩුකාරයා වූ පිලාත් ඉදිරියේ ඔහු පැවසුවේ ඒ නිසයි. (යොහන් 18:36) නමුත් ස්වර්ගයේ සිට තමා පාලනය කිරීමට නියමිත දේවරාජ්‍යයට තමන් මුළුමනින්ම පක්ෂපාත බව ඔහු ජීවත් වූ ආකාරයෙන් පෙන්නුම් කළා. ඒ රාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කිරීමට ඔහු තම කාලය හා ශ්‍රමය වැය කළේ ඒ නිසයි. (දානියෙල් 7:13, 14; ලූක් 4:43; 17:20, 21) ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ද ලොව පුරා සිටින මිනිසුන්ට දේවරාජ්‍යය ගැන දේශනා කරනවා. (මතෙව් 24:14) එසේ කිරීමෙන් ඔවුන්ගේ රජු වන යේසුස්ට ඔවුන් පක්ෂපාත බව පැහැදිලිව ඔප්පු කර පෙන්වනවා. යේසුස්ගේ අනුගාමිකයන් කරන මෙම වැඩය ගැන තවදුරටත් පැහැදිලි කරමින් පාවුල් මෙසේ පැවසුවා. “අපි ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ, ‘දෙවි සමඟ සමාදාන වන්න’ කියාය.”—2 කොරින්ති 5:20.

4. (අ) අභිෂේක ලත් අය දේවරාජ්‍යයේ තනාපතීන් ලෙස ක්‍රියා කරන බව පැවසිය හැක්කේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) සැබෑ ක්‍රිස්තියානීන් දේවරාජ්‍යයට පක්ෂව සිටින බව පෙන්වන්නේ කෙසේද? (“ මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය” යන කොටුව බලන්න.)

4 දැන් අපි තනාපතියෙකුගේ කාර්යභාරය ගැන ටිකක් සලකා බලමු. තනාපතියෙක් සාමාන්‍යයෙන් විදේශ රටක සිට තම රට නියෝජනය කරනවා. නමුත් ඔහු විදේශගතව සිටින රටේ දේශපාලන කටයුතුවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු නියෝජනය කරන රට හා සම්බන්ධ කාරණාවලදී ඔහු පෙරමුණ ගෙන කටයුතු කරනවා. පාවුල් පැවසූ ලෙස, “ස්වර්ගයෙහි පුරවැසිභාවය” හිමි අයගේ එනම්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කාර්යභාරයත් ඒ හා සමානයි. (ෆිලිප්පි 3:20) දේවරාජ්‍යය නියෝජනය කරන ඔවුන්, මහත් උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ලොව පුරා දේශනා කරනවා. * එහි ප්‍රතිඵලයක් ලෙස, “වෙනත් බැටළුවන්” ලෙස යේසුස් හැඳින්වූ මිලියන ගණනක් අයට, “දෙවි සමඟ සමාදාන වන්න” හැකි වී තිබෙනවා. (යොහන් 10:16; මතෙව් 25:31-40) ඔවුන්ද යේසුස්ගේ තනාපතීන් ලෙස කටයුතු කරන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පැවරී තිබෙන කාර්යයට පූර්ණ සහයෝගය දෙනවා. එලෙස අභිෂේක ලත් අය හා වෙනත් බැටළුවන් යන දෙපිරිසම එක රැළක් ලෙස කටයුතු කරමින් දේවරාජ්‍යයේ රජු වන යේසුස්ට පක්ෂපාතකම පෙන්වනවා. ඔවුන් පක්ෂව සිටින්නේ දේවරාජ්‍යයට නිසා ලෝකයේ දේශපාලන කටයුතුවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වන්නේ නැහැ.—යෙසායා 2:2-4 කියවන්න.

5. සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනයට හා යුද්ධවලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවන්නේ ඇයි?

5 පුරාණයේ දෙවි තම සෙනඟ ලෙස තෝරාගත් ඊශ්‍රායෙල්වරුන් ජීවත් වුණේ එකම රටකයි. නමුත් අද දින සැබෑ ක්‍රිස්තියානීන් විවිධ රටවල ජීවත් වෙනවා. ඔවුන් ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක සාමාජිකයන්. (මතෙව් 28:19; 1 පේතෘස් 2:9) ඒ නිසා ඔවුන් එක රටකට හෝ ජාතියකට හෝ දේශපාලන පක්ෂයකට ළැදිව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් එසේ කළොත් මිනිස් වර්ගයාගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ලබා දිය හැකි එකම ආණ්ඩුව දේවරාජ්‍යය කියා අන් අයට පවසන්න ඔවුන්ට නොහැකියි. (1 කොරින්ති 1:10) එමෙන්ම ඔවුන් යුද්ධවලට සම්බන්ධ වන්නෙත් නැහැ. ඔවුන් එසේ කළොත් ප්‍රේම කරන්න කියා යේසුස් අණ කර තිබෙන ඔවුන්ගේම සහෝදරයන්ට විරුද්ධව යුද්ධ කරන්න ඔවුන්ට සිදු විය හැකියි. (යොහන් 13:34, 35; 1 යොහන් 3:10-12) යේසුස් තම අනුගාමිකයන්ට කඩු අතට නොගන්න කියාත් සතුරන්ට පවා ප්‍රේම කරන්න කියාත් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 5:44; 26:52; “ ඔබේ ස්ථාවරය කුමක්ද?” යන කොටුව බලන්න.

6. දෙවිට කැප වී සිටින අය ලෙස අප සීසර්ට කීකරු වන්නේ කොපමණ දුරකටද?

6 සැබෑ ක්‍රිස්තියානීන් වන අප, අපේ ජීවිත කැප කර තිබෙන්නේ යෙහෝවා දෙවිට මිස කිසි මිනිසෙකුට හෝ මිනිස් සංවිධානයකට හෝ රටකට නොවෙයි. පළමුවෙනි කොරින්ති 6:19 හා 20හි පවසන්නෙත්, “ඔබේ අයිතිකරු ඔබ නොවේ. මන්ද ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි” කියායි. නමුත් යේසුස් පැවසූ ලෙස “සීසර්ට” අයිති දේ සීසර්ට දීමට අපි අමතක කරන්නේ නැහැ. අප එසේ කරන්නේ අධිකාරියක් ඇති අයට ගෞරව කිරීමෙන් හා නියමිත බදු ගෙවීමෙනුයි. නමුත් දෙවිගේ නීතියක් කඩ කරමින් අධිකාරියක් ඇති අයට අප කිසිවිටක කීකරු වන්නේ නැහැ. “දෙවිට අයිති දේ දෙවිට” දීම අපේ ජීවිතයේ වැදගත්ම දෙයයි. (මාක් 12:17; රෝම 13:1-7) යෙහෝවා දෙවිට පමණක් අප භක්තිය පුද කරන්නෙත් සෑම අවස්ථාවකදීම ඔහුට කීකරු වන්නෙත් ඒ නිසයි. අප මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසා දෙවි වෙනුවෙන් අපේ ජීවිතය වුණත් පුද කරන්න අපි සූදානම්.—ලූක් 4:8; 10:27; ක්‍රියා 5:29; රෝම 14:8 කියවන්න.

“මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට” හසු නොවී සිටිමු

7, 8. “මේ ලෝකයේ සිටින අයගේ බලපෑම” කොතරම් ප්‍රබලද? ඊට හසු වීමේ ප්‍රතිඵලය කුමක්ද?

7 අප මේ ලෝකයේ සිටින මිනිසුන්ට සමාන නොවන බව පෙන්විය හැකි තවත් ආකාරයක් වන්නේ, ‘ඔවුන්ගේ බලපෑමට හසු නොවී දෙවිගේ බලය ලබා ඇති’ අය ලෙස කටයුතු කිරීමෙනුයි. (1 කොරින්ති 2:12) නමුත් එසේ කිරීම පහසු දෙයක් නොවන බව පාවුල් එෆීස සභාවට පැවසූ මේ දෙයින් පැහැදිලියි. “කලක් ඔබ ඔබේ ජීවිතය ගත කළේ මේ සමාජයේ සිටින අය ජීවත් වන ආකාරයටය. ඔබ හසු වී සිටියේ මේ සමාජයේ සිටින මිනිසුන්ට බලපෑම් කරන තැනැත්තාගේ බලපෑමටයි. ඔහුගේ එම බලපෑම අප හුස්ම ගන්නා වාතය මෙන් හාත්පස පැතිර පවතී. දෙවිට අකීකරු සියලුදෙනා එම බලපෑමට හසු වී සිටිති.”—එෆීස 2:2, 3.

8 මේ ලෝකය පුරාම පවතින්නේ ඉතා ප්‍රබල මෙන්ම නපුරු බලපෑමක්. ඊට හසු නොවී සිටීම පහසු දෙයක් නොවෙයි. නොදැනුවත්වම වුණත් කෙනෙකු ඊට හසු විය හැකියි. මන්ද පාවුල් පැවසුවේ එය අප හුස්ම ගන්නා “වාතය” මෙන් හාත්පස පැතිර පවතින බවයි. මිනිසුන් තුළ තණ්හාව, ස්වාධීනව කටයුතු කිරීමේ නැඹුරුවාව, ආත්මාර්ථකාමිත්වය, උඩඟුකම හා කැරලිකාර ස්වභාවයක් දකින්න තිබෙන්නේ සාතන්ගේ “එම බලපෑම” නිසයි. * යොහන් පවා පැවසුවේ, “තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්” දෙවිගෙන් පැමිණෙන දෙයක් නොව මේ ලෝකයේ පවතින බලපෑමේ ප්‍රතිඵලයක් බවයි. (1 යොහන් 2:16; 1 තිමෝති 6:9, 10) ඉන් පැහැදිලි වන්නේ එම නපුරු බලපෑම නිසා කෙනෙකු ක්‍රමානුකූලව යක්ෂයාගේ ගතිලක්ෂණ විදහාපෙන්වන අතර යෙහෝවා දෙවිට අකීකරුව ක්‍රියා කරන බවයි.—යොහන් 8:44; ක්‍රියා 13:10; 1 යොහන් 3:8, 10.

9. ලෝකයේ බලපෑම අපේ සිත්වලට ඇතුල් විය හැක්කේ කෙසේද?

9 එම බලපෑමට අපත් හසු විය හැකිද? ඔව්. අප කල්පනාකාරී නොවුණොත් නොදැනුවත්වම අප ඊට හසු විය හැකියි. (හිතෝපදේශ 4:23 කියවන්න.) උදාහරණයකට යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් නැති අයව කිට්ටුවෙන් ඇසුරු කිරීමෙහි කිසි වරදක් නැහැ කියා අපට සිතෙන්න පුළුවන්. සමහරවිට අප එසේ සිතන්නේ පිටාතරින් ඔවුන් හොඳ පුද්ගලයන් ලෙස පෙනෙන නිසා විය හැකියි. නමුත් අප දිගින් දිගටම එවැනි අයව ඇසුරු කළොත් ඔවුන්ගේ ආකල්ප ටිකෙන් ටික අපට බලපෑම් කරනවා. එලෙස නොදැනුවත්වම ලෝකයේ බලපෑම අපේ සිත්වලට ඇතුල් විය හැකියි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) අප නොහොබිනා දේවල් ඇතුළත් පොත් පත් හා සඟරා කියවනවා නම් හෝ කාමුක දර්ශන නරඹනවා නම් හෝ සැබෑ නමස්කාරයට විරුද්ධව කැරලිගසන අයගේ අදහස් කියවීමට අන්තර්ජාලය වෙතට පිවිසෙනවා නම් හෝ අප ඇත්තටම කරන්නේ ලෝකයේ නපුරු බලපෑමට අපේ ජීවිතය හසු කරගැනීමට ඉඩ දීමක්. එමෙන්ම වැරදි දේවලට අනුබල දෙන ගීතවලට සවන් දීමෙන්ද එවැනි ගීතවල පසුබිම් දර්ශන නැරඹීමෙන්ද දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි දේවල් ඇතුළත් චිත්‍රපටි නැරඹීමෙන්ද දැඩි තරඟකාරිත්වයක් තිබෙන ක්‍රීඩාවලට සහභාගි වීමෙන්ද අප කරන්නේ ඒ දේමයි. සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකයේ නපුරු බලපෑමට අපව හසු කරගත හැකි ඕනෑම දෙයකින් හෝ ඕනෑම කෙනෙකුගෙන් අප ඈත් වී සිටිය යුතුයි.

10. මේ ලෝකයේ බලපෑමට විරුද්ධව සිටිය හැක්කේ කෙසේද?

10 දෙවිගේ ප්‍රේමය දිගටම ලබන්න ආශාවෙන් සිටින අප, මේ ලෝකයේ බලපෑමට විරුද්ධව සිටීම සඳහා මහත් උත්සාහයක් දරනවා. යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය දිගටම රැකගැනීම සඳහා ඔහු සපයා තිබෙන දේවලින් අප උපරිම ප්‍රයෝජන ගන්නෙත් උපකාර ඉල්ලා නිරතුරුවම ඔහුට යාච්ඤා කරන්නෙත් ඒ නිසයි. යෙහෝවා දෙවි සාතන්ට හා ඔහුගේ පාලනය යටතේ තිබෙන ලෝකයට වඩා ශ්‍රේෂ්ඨ බව අප කිසිවිටක අමතක කරන්නේ නැහැ. (1 යොහන් 4:4) ඒ නිසා යාච්ඤාව මාර්ගයෙන් යෙහෝවා දෙවිට දිගටම ළංව සිටීම කොතරම් වැදගත්ද!

පිරිසිදුව හා විනීතව ඇඳ පැළඳ සිටිමු

11. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් තිබෙන ප්‍රමිතියට අද සිදු වී තිබෙන්නේ කුමක්ද?

11 ශාරීරිකව පිරිසිදුව සිටීමෙන්ද විනීතව ඇඳ පැළඳ සිටීමෙන්ද අප මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන බව පෙන්විය හැකියි. ඒ දේවල් ඇත්තටම අප මේ ලෝකයේ බලපෑමට හසු වී සිටිනවාද නැද්ද කියා පෙන්වන බාහිර ලකුණුයි. අද බොහෝ විලාසිතා නිර්මාණය වී තිබෙන්නේ විනීතකම ගණනකටවත් නොගෙනයි. ඒ නිසා බොහෝ රටවල ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් කිසි ප්‍රමිතියක් නැහැ. සමහර කාන්තාවන් අඳින පළඳින ආකාරය නිසා ඔවුන් කිසි හැදියාවක් නැති අය කියා ඔවුන්ව දකින අය සිතන බව එක් මාධ්‍යවේදියෙක් පැවසුවා. අද තිබෙන්නේ ශරීරය වැඩි හරියක් නිරාවරණය වී තිබෙන ඇඳුම්. එවැනි විලාසිතා බලපා තිබෙන්නේ කන්තාවන්ට පමණක් නොවෙයි. කුඩා දැරියන්ගේ ඇඳුම් පැළඳුම්වල පවා අද පහත වැටීමක් දක්නට තිබෙනවා. අපිළිවෙළකට ඇඳ පැළඳ සිටීමත් අද විලාසිතාවක්. ඒ සෑම දෙයකින්ම පිළිබිඹු වන්නේ මිනිසුන් තුළ තිබෙන කැරලිකාර ස්වභාවයයි.

12, 13. ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේදී අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

12 යෙහෝවා දෙවිගේ සේවකයන් වන අප, අඳින පළඳින ආකාරය ගැන නිතරම සැලකිලිමත් වන්නේ ඒ නිසයි. අපේ ඇඳුම් පැළඳුම්වලින් අප ‘විනීතව හා හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන’ බව අන් අය දැකිය යුතුයි. ඇත්තෙන්ම නිතරම පිළිවෙළකට, පිරිසිදුව, අවස්ථාවට ඔබින ලෙස හා අන් අයව අපහසුතාවට පත් නොවන අයුරින් ඇඳ පැළඳ සිටීම ඉතා වැදගත්. “යහපත් ක්‍රියා” මගින් අප අන් අයට ලබා දෙන සාක්ෂියට එය මැනවින් දායක වෙනවා. මන්ද අප, “දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක් පෙන්වන” බව එයින් පැහැදිලි වෙනවා. නමුත් අප ඒ සෑම දෙයක්ම කරන්නේ අපට පෞද්ගලිකව කීර්ති නාමයක් ලබාගැනීමට නොව යෙහෝවා දෙවිව සතුටට පත් කිරීම සඳහායි. එසේ කිරීමෙන් දෙවිගේ මිතුරන් ලෙස, “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට” අපට හැකි වෙනවා. (1 තිමෝති 2:9, 10; යූද් 21) නමුත් ‘දෙවිට බොහෝ සෙයින් වටින්නේ අපේ හදවත එනම් අපේ ඇතුළාන්තය’ අලංකාරවත්ව තබාගැනීම බව අපි කිසිවිටක අමතක නොකරමු. එසේ කිරීමට අපොහොසත් වුණොත් බාහිර පෙනුම ගැන අප කොතරම් සැලකිලිමත් වුණත් ඉන් පලක් නැහැ.—1 පේතෘස් 3:3, 4.

13 අප විලාසිතාවන් තෝරාගන්නා විට එය දෙවිගේ සේවකයෙකුට ගැළපෙනවාද කියා කල්පනා කර බැලිය යුතුයි. මන්ද අපේ ආශාව හැකි සෑම අවස්ථාවකදීම දෙවි ගැන හොඳ සාක්ෂියක් දැරීමයි. (2 කොරින්ති 6:3, 4) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ සේවකයන් ගැනත් හොඳ ආකල්පයක් මිනිසුන් තුළ ඇති කිරීමට අප ඇඳ පැළඳ සිටින ආකාරය උපකාරවත් වෙනවා. එමෙන්ම අප විනීතව අඳින පළඳින විට අප අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් බවත් පෙන්වනවා. කිසිවිටක අන් අයව අපහසුතාවට පත් කරන්න අප තුළ කැමැත්තක් නැහැ. ඒ නිසා විලාසිතා තෝරාගන්නා විට අපේ අයිතිය ගැන සිතනවාට වඩා අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම කොතරම් වැදගත්ද! අපේ හෘදයාංගම ආශාව නම් අප කරන සෑම දෙයකින්ම යෙහෝවා දෙවිට හා ඔහුගේ සෙනඟට ‘ප්‍රශංසාවක් හා ගෞරවයක්’ ලබා දීමයි.—1 කොරින්ති 4:9; 10:31; 2 කොරින්ති 7:1.

මගේ ඇඳුම් පැළඳුම්වලින් මම යෙහෝවා දෙවිට ගෞරවයක් ගෙන දෙනවාද?

14. අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

14 සෑම අවස්ථාවකදීම විනීතව ඇඳ පැළඳ සිටීම දෙවිගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අප දේවසේවයේ යන විට හා රැස්වීම්වලට සහභාගි වන විට පිරිසිදුකම ගැන හා අඳින පළඳින ආකාරය ගැන වෙනත් අවස්ථාවලට වඩා විශේෂ අවධානයක් දිය යුතුයි. ඒ නිසා අපට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘අන් අය මාව දකින්නේ අපිරිසිදු පුද්ගලයෙකු ලෙසද? මා අඳින පළඳින ආකාරය නිසා මට අනවශ්‍ය අවධානයක් ලැබෙනවාද? එයින් යම් අය අපහසුතාවකට පත් වෙනවාද? විලාසිතාවන් තෝරාගන්නා විට මා මුල් තැන දෙන්නේ මගේ අයිතියටද? නැත්නම් වැඩි සේවයක් කිරීමට තිබෙන ආශාව නිසා මගේ අයිතීන් වුණත් කැප කිරීමට මා කැමතිද?’—ගීතාවලිය 68:6; ෆිලිප්පි 4:5; 1 පේතෘස් 5:6.

15. සුදුසු ඇඳුම් මොනවාද කියා හෝ පිරිසිදුව සිටිය හැකි ආකාරය ගැන දීර්ඝ ලැයිස්තුවක් බයිබලයේ සඳහන් නොවන්නේ ඇයි?

15 යෙහෝවා දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. ඉන් අදහස් වන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කාරණා ගැන හොඳින් සිතා බලා තීරණ ගැනීමේ හැකියාව අප සතු බවයි. දෙවි සතුටු වන්නෙත් අප සතු ඒ හැකියාව භාවිත කර අප තීරණ ගන්නවා දැකීමටයි. පාවුල් පවා පැවසුවේ අප, “වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී” සිටිය යුතු බවයි. (හෙබ්‍රෙව් 5:14) ක්‍රිස්තියානීන් සඳහා සුදුසු හා නුසුදුසු විලාසිතාවන් මොනවාද කියා හෝ ශාරීරිකව පිරිසිදුව සිටිය හැකි අයුරු ගැන දීර්ඝ ලැයිස්තුවක් බයිබලයේ සඳහන් නොවන්නේ ඒ නිසයි. අප සතු තීරණ ගැනීමේ හැකියාව භාවිත කරන විට යෙහෝවා දෙවි කෙරෙහිත් අන් අය කෙරෙහිත් අපට තිබෙන ප්‍රේමය පදනම් කරගෙන තීරණ ගත යුතු බව අපි අමතක නොකරමු. (මාක් 12:30, 31 කියවන්න.) තීරණ ගැනීමේදී අප සලකා බැලිය යුතු එම කාරණා අපව කොටු කර තබන සීමාවන් ලෙස නොසිතිය යුතුයි. මන්ද එම කාරණා සැලකිල්ලට ගනිමින්ද අපට විවිධාකාර තේරීම් කළ හැකියි. ඒ බව විවිධාකාර විලාසිතාවන්ගෙන් සැරසී ප්‍රීතිමත්ව දෙවිට සේවය කරන ලොව පුරා සිටින ඔහුගේ සෙනඟගෙන් මනාව පැහැදිලි වෙනවා.

“ඇස එක දෙයක් කෙරෙහි” යොමු කර තබාගනිමු

16. යේසුස් පැවසූ දේ හා වැඩිදෙනා සිතන දේ අතර තිබෙන වෙනස කුමක්ද? අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

16 ලෝකයේ බලපෑම මොන තරම් රැවටිලිකාරද කියනවා නම් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් සිතන්නේ සතුටින් සිටින්න නම් සැප සම්පත් හා ධනය තිබිය යුතුම බවයි. නමුත් යේසුස් පැවසුවේ, “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියායි. (ලූක් 12:15) ඔහු ඉන් අදහස් කළේ අප තපස් ජීවිතයක් ගත කළ යුතු බවවත් කිසිම සැප සම්පතක් භුක්ති නොවිඳිය යුතු බවවත් නොවෙයි. ඒ වෙනුවට ඔහු ඉන් අදහස් කළේ ධනය හා සැප සම්පත් රැස් කිරීමට වෙහෙසීම කොතරම් නිෂ්ඵලද යන්නයි. එමෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කරමින් සැබෑ සතුට අද්දැකිය හැක්කේ කෙසේද කියාත් ඔහු පෙන්වා දුන්නා. ඒ සඳහා, ‘නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවක්’ තිබිය යුතු අතර අපේ “ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි” එනම්, දෙවිට කරන සේවය හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දිගටම රැකගැනීම කෙරෙහි යොමු කර තබාගත යුතු බව ඔහු පැවසුවා. (මතෙව් 5:3; 6:22, පාදසටහන) ඒ නිසා අප අපෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීම වැදගත්. ‘සැබෑ සතුට ලබාගත හැක්කේ යේසුස් පැවසූ දේවල් කිරීමෙන් පමණක් බව මම විශ්වාස කරනවාද? නැත්නම් බොරුවේ පියා වන යක්ෂයාගේ බලපෑමට මම හසු වෙලාද? (යොහන් 8:44) මම නිතරම කතා කරන්නේ කුමන දේවල් ගැනද? මගේ අනාගත සැලසුම් මොනවාද? මගේ ජීවිතයේ වැදගත්ම දේ කුමක්ද? මම ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද?’ එම ප්‍රශ්න ගැන අප අවංකවම කල්පනා කර බලන විට අප යම් දුරකට හෝ ලෝකයේ බලපෑමට හසු වී තිබෙනවාද නැද්ද යන කාරණය අපටම පැහැදිලි වෙනවා.—ලූක් 6:45; 21:34-36; 2 යොහන් 6.

17. ඇස වෙනතකට යොමු නොකිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

17 යේසුස් පැවසූ ආකාරයට ජීවත් වන කෙනෙකු ඇත්තෙන්ම “ප්‍රඥාවන්තයෙක්” කියා පැවසිය හැකියි. (මතෙව් 11:19) උදාහරණයකට දෙවිට කරන සේවය හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දිගටම රැකගැනීම තම ජීවිතයේ වැදගත්ම දේ ලෙස සලකන කෙනෙකු අද්දකින ආශීර්වාද ගැන ටිකක් සිතන්න. එවැනි කෙනෙකු ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්. (මතෙව් 11:29, 30) තමාට තිබෙන දෙයින් ඔහු සෑහීමට පත් වන නිසා විවිධ දේවල් ගැන කරදර වෙමින් කනස්සල්ලට පත් වන්නේ නැහැ. (1 තිමෝති 6:9, 10 කියවන්න.) එවැනි කෙනෙකුගේ නින්ද පවා මිහිරියි කියා බයිබලයේ පවසා තිබෙනවා. (දේශනාකාරයා 5:12) පවුලේ අය හා සභාවේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමටත් ඔහුට අවස්ථාව ලැබෙනවා. අන් අය වෙනුවෙන් දේවල් කිරීමෙන් ලැබෙන සන්තෝෂයද ඔහු අද්දකිනවා. (ක්‍රියා 20:35) එමෙන්ම දෙවි දී තිබෙන, “බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට” ඔහුට හැකි වන අතර ප්‍රීතිය හා සමාදානය ඔහු අද්දකිනවා. (රෝම 15:13; මතෙව් 6:31, 32) එසේනම් යේසුස් පැවසූ ආකාරයට ජීවත් වන කෙනෙකු අද්දකින ආශීර්වාද මොන තරම්ද! ඒවා කිසි දිනක මිල මුදල් දී ලබාගත නොහැකියි.

දෙවි ලබා දී තිබෙන “මුළු යුද්ධායුධ කට්ටලයම” පැළඳගනිමු

18. අපට කිරීමට සිදු වී තිබෙන සටන බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද?

18 සාතන් නිතරම උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට සේවය කරමින් අප අද්දකින ප්‍රීතිය හා අනාගතය ගැන අපට තිබෙන බලාපොරොත්තුව අපෙන් උදුරාගැනීමටයි. (1 පේතෘස් 5:8) පාවුල් පවා පැවසුවේ මෙසේයි. “අපට තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම, බලධාරීන් සහ ලෝක පාලකයන්ට විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.” (එෆීස 6:12) එම පදයෙහි සාතන්ව හා භූත සේනාවන්ව විස්තර කර තිබෙන්නේ, “පාලන ක්‍රම, බලධාරීන් සහ ලෝක පාලකයන්” ලෙසයි. ඉන් පැහැදිලි වන්නේ සාතන් හා ඔහුගේ භූත සේනාව අපට විරුද්ධව ක්‍රියා කිරීමට හොඳින් සංවිධානය වී ඇති බවයි. තවදුරටත් එම පදයෙහි අපට ඔවුන් සමඟ “පොරබැදීමට” සිදු වී තිබෙන බවත් සඳහන් වෙනවා. පොරබැදීමක් යනු යම් ආරක්ෂිත ස්ථානයක සිට ප්‍රහාර එල්ල කරමින් කරන සටනක් නොවෙයි. එය මුහුණට මුහුණ ලා කරන අසීරු සටනක්. ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ සාතන්ට විරුද්ධව අපට කිරීමට සිදු වී තිබෙන සටන කොතරම් ප්‍රබලද යන්නයි.

19. දෙවි අපට ලබා දී තිබෙන යුද්ධායුධ කට්ටලය කුමක්ද?

19 සාතන් හා ඔහුගේ භූත සේනාව සමඟ බලන විට අප දුර්වල අය ලෙස පෙනුණත් අප ඔවුන්ට භය විය යුතු නැහැ. මන්ද ඔවුන්ගේ බලපෑමට විරුද්ධව සිටීම සඳහා යෙහෝවා දෙවි අපට ‘යුද්ධායුධ කට්ටලයක්’ දී තිබෙනවා. (එෆීස 6:13) ඒ ගැන එෆීස 6:14-18හි පවසන්නේ මෙයයි. “එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න. එමෙන්ම පාවහන් පැළඳගෙන ගමනට සූදානම්ව සිටින්නා සේ සමාදානයේ ශුභාරංචිය නිතරම දේශනා කිරීමට සූදානම්ව සිටින්න. සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ. ගැලවීම නමැති හිස්වැස්මද [එනම් බලාපොරොත්තුවද] දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුවද එනම්, දේවවචනයද අතට ගන්න. ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න. හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න.”

20. අප නිරත වී සිටින සටන සාමාන්‍ය සෙබළුන් කරන සටනකට වඩා වෙනස් වන්නේ කෙසේද?

20 එම යුද්ධායුධ කට්ටලය අපට ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවි නිසා එය පැළඳ සිටීමෙන් අප ආරක්ෂා වන බව නිසැකයි. නමුත් අප ඒ “මුළු යුද්ධායුධ කට්ටලයම” නිතර පැළඳ සිටිය යුතුයි. අප නිරත වී සිටින සටන සාමාන්‍ය සෙබළුන් කරන සටනකට වඩා වෙනස් බව අප කිසිදා අමතක නොකළ යුතුයි. මන්ද සාමාන්‍ය සෙබළුන්ට එක දිගටම සටන් කිරීමට සිදු වන්නේ නැහැ. කලින් කලට ඔවුන්ට නිවාඩු ලැබෙනවා. ඊට වෙනස්ව අපේ සටන සෑම මොහොතකම අපට කිරීමට සිදු වෙනවා. අප නිරත වී සිටින ඉතා අවදානම් සහිත මේ සටන නිමා වන්නේ යෙහෝවා දෙවි සාතන්ගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට ලෝකය විනාශ කර දමා සාතන්ව හා ඔහුගේ භූත සේනාව අගාධයට හෙළූ පසුවයි. (එළිදරව් 12:17; 20:1-3) ඒ නිසා යෙහෝවා දෙවිගෙන් අපව ඈත් කළ හැකි වැරදි ආශාවකින් හෝ යම් දුර්වලකමකින් ගොඩ ඒමට අප දැඩි සටනක නිරත වෙනවා නම් අප එය කිසිවිටක අත් නොහැරිය යුතුයි. (1 කොරින්ති 9:27) ඇත්තෙන්ම යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමට ඔහුගේ සේවකයන් වන අප සෑම කෙනෙකුටම අවසානය දක්වාම දැඩි සටනක නිරත වීමට සිදු වෙනවා. අප ගෙවන්නේ සටනකින් තොර පහසු ජීවිතයක් නම් අපේ ජීවිතය තිබෙන්නේ අනතුරකයි!

21. සාතන්ට විරුද්ධව අප කරන සටනින් ජය ගැනීමට නම් අප කළ යුතු වැදගත් දේවල් මොනවාද?

21 අපට අපේම ශක්තියෙන් මේ සටනින් ජය ගත හැකියි කියා කිසිවිටක නොසිතිය යුතුයි. ඒ සඳහා අපට දෙවිගේ උපකාරය අත්‍යවශ්‍යයි. ‘දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා සෑම අවස්ථාවකදීම යාච්ඤා කරන්න’ කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. දෙවි අපට මඟ පෙන්වීම් ලබා දෙන බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීමත් ඉතා වැදගත්. එමෙන්ම අප හා සමාන සටනක නිරත වන අපේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ නිතරම ඇසුරු කිරීමෙන්ද අපට මහත් ශක්තියක් ලැබිය හැකියි. (ෆිලෙමොන් 2; හෙබ්‍රෙව් 10:24, 25) අපි සෑම කෙනෙකුගේම ආශාව වන්නේ සාතන්ට විරුද්ධව අප කරන මේ සටනින් අවසානයේදී ජය ගැනීමයි. නමුත් සටන් කරන අතරතුරේදී අප කළ යුතු තව වැදගත් දෙයක් ගැන දැන් අපි සලකා බලමු.

අපේ විශ්වාසයන් ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට සූදානමින් සිටිමු

22, 23. (අ) අපේ විශ්වාසයන් ගැන අසන අයට පිළිතුරු දීමට අප නිතරම සූදානම්ව සිටිය යුත්තේ ඇයි? අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද? (ආ) ඊළඟ පරිච්ඡේදයේ අප සලකා බලන්නේ කුමක් ගැනද?

22 “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා . . . ඔවුන් ඔබට වෛර කරනවා” කියා යේසුස් පැවසුවා. (යොහන් 15:19) ඉන් පැහැදිලි වන්නේ ලෝකයේ මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු සැබෑ ක්‍රිස්තියානීන් වන අපේ විශ්වාසයන්ට එතරම් කැමැත්තක් නැති නිසා ඔවුන් නිතරම ඒ සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්න කිරීමට යන බවයි. ඒ නිසා අපේ විශ්වාසයන් ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට අප නිතරම සූදානම්ව සිටිය යුතුයි. නමුත් අප එසේ කළ යුත්තේ මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමිනුයි. (1 පේතෘස් 3:15 කියවන්න.) අප හැමෝටම එවැනි අවස්ථාවකට කොයිම මොහොතක හෝ මුහුණ දීමට සිදු වන නිසා අපි අපෙන්ම මෙසේ අසාගනිමු. ‘ඇතැම් අවස්ථාවලදී සාක්ෂිකරුවන් පොදු පිළිගැනීමට වඩා වෙනස් ස්ථාවරයක සිටින්නේ ඇයි කියා මම තේරුම්ගෙන සිටිනවාද? එවැනි අවස්ථාවකට මා මුහුණ දුන්නොත් බයිබලයේ හා විශ්වාසවන්ත දාසයා ඒ ගැන දී ඇති මඟ පෙන්වීම් හරියි කියා මට සියයට සියයක් විශ්වාසද? (මතෙව් 24:45; යොහන් 17:17) වැඩිදෙනෙකුගේ විරෝධය මැද පවා දෙවි අණ කර තිබෙන දෙයක් කිරීමට මම සූදානම්ද? එමෙන්ම එවැනි දෙයක් කිරීමට හැකි වීම ගැන මම සතුටු වෙනවාද?’—ගීතාවලිය 34:2; මතෙව් 10:32, 33.

23 නමුත් ලෝකයේ බලපෑමට අපව කෙසේ හෝ හසු කරගැනීමට සාතන් සූක්ෂ්ම ක්‍රම යොදාගන්නවා. ඉන් එක් ක්‍රමයක් වන්නේ විනෝදය සඳහා නරඹන, අසන හා කියවන දේවලුයි. ඒ නිසා අප විනෝදය සඳහා දේවල් තෝරාගන්නා විට ඉතා කල්පනාකාරී විය යුතුයි. මන්ද අප එසේ නොකළොත් දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට එය බලපෑ හැකියි. එසේනම් ඒ සම්බන්ධයෙන් ඥානවන්ත තේරීමක් කරන්නේ කෙසේද? ඊළඟ පරිච්ඡේදයෙන් අපි ඒ ගැන සලකා බලමු.

^ 4 ඡේ. පෙන්තකොස්ත 33 සිට යේසුස් පොළොව මත සිටින අභිෂේක ලත් අයගේ රජු ලෙස ක්‍රියා කරනවා. (කොලොස්සි 1:13) වර්ෂ 1914දී ඔහුට දේවරාජ්‍යය භාර දෙනු ලැබුවා. ඒ නිසා පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දැන් දේවරාජ්‍යයේ තනාපතීන් ලෙසද ක්‍රියා කරනවා.—එළිදරව් 11:15.

^ 8 ඡේ. වැඩි විස්තර සඳහා 2008 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 20-24 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.