Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

විනෝදය සම්බන්ධයෙන් ඥානවන්ත තේරීම් කරමු

විනෝදය සම්බන්ධයෙන් ඥානවන්ත තේරීම් කරමු

“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.”—1 කොරින්ති 10:31.

1, 2. විනෝදය සම්බන්ධයෙන් අප ඉදිරියේ තිබෙන තේරීම් මොනවාද?

ඔබේ අතේ රසවත් පලතුරක් තිබෙනවා කියා සිතන්න. ඔබ එය කටට ගනිද්දීම ඒ පලතුරේ කොටසක් කුණු වී තිබෙනවා ඔබ දකිනවා. දැන් ඔබ කරන්නේ කුමක්ද? කුණු වෙච්ච කොටස සමඟම එය කනවාද? නැත්නම් එය විසි කර දමනවාද? එසේත් නැත්නම් කුණු වී තිබෙන කොටස අයින් කර දමා ඉතුරු ටික කනවාද?

2 විනෝදයට අප නරඹන, අසන හෝ කියවන දේවල් ගැනත් අපට එවැනි තේරීම් කිරීමට සිදු වෙනවා. මන්ද විනෝද වීම සඳහා අද ලෝකයේ තිබෙන දේවලින් වැඩි හරියක්ම නොහොබිනා දේවල්. නමුත් සමහර අය සිතන්නේ බලන්නේ නැතුව විනෝද වීම සඳහා ඕනෑම දෙයක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට පුරුදුව සිටිනවා. තවත් සමහරුන් හානිකර ප්‍රතිඵලවලට තිබෙන බිය නිසා විනෝද වීම සඳහා තිබෙන සෑම දෙයකින්ම ඈත්ව සිටිනවා. එමෙන්ම තවත් සමහරුන් නොහොබිනා දේවලින් සම්පූර්ණයෙන්ම ඈත් වන අතර සුදුසු දේවලින් ප්‍රමාණවත් විනෝදයක් ලැබීමට උත්සාහ කරනවා. දෙවිගේ ප්‍රේමය දිගටම ලබන්න කැමති අය ලෙස අප කළ යුත්තේ කුමන තේරීමද?

3. අප දැන් සලකා බලන්නේ කුමක් ගැනද?

3 අපෙන් වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ නොහොබිනා දේවලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සුදුසු දේවලින් ප්‍රමාණවත් විනෝදයක් ලැබීමටයි. නමුත් සුදුසු දේ කුමක්ද නුසුදුසු දේ කුමක්ද කියා අප නිවැරදිව තෝරාගත යුතුයි. එසේ කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? ඒ ගැන දැන් අපි සලකා බලමු.

“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න”

4. කැප වූ අවස්ථාවේදී අප දෙවිට දුන් පොරොන්දුව විනෝදය සම්බන්ධයෙන් අප ගන්නා තේරීම්වලට බලපාන්නේ කෙසේද?

4 වර්ෂ 1946දී බව්තීස්ම වූ සහෝදරයෙකු පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. ‘මම වරද්දන්නේ නැතුව හැම බව්තීස්ම කතාවකටම සවන් දෙන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී මම හිතන්නේ ඒ කතාව ඉදිරිපත් කරන්නේ මට කියලයි. එහෙම කරද්දී මම දෙවිට කැප වූ කෙනෙකු බව නිතරම මගේ මනසේ තබාගන්න මට හැකි වෙලා තියෙනවා. දෙවිට දිගටම විශ්වාසවන්තව සිටින්න එය ඇත්තටම මට මහත් උපකාරයක්.’ කැප වූ අවස්ථාවේදී අප දෙවිට දුන් පොරොන්දුව නිතරම මනසේ තබාගැනීමෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අපටත් හැකි වෙනවා. (දේශනාකාරයා 5:4 කියවන්න.) මහත් උද්‍යෝගයෙන් දේවසේවයේ හවුල් වීමට එය උපකාරවත් වන අතර විනෝදය ඇතුළු ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ කැමැත්තට මුල් තැන දීමට එය අපව පොලඹවනවා. පාවුල්ද පැවසුවේ, ‘අප කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න’ කියායි.—1 කොරින්ති 10:31.

5. රෝම 12:1හි සඳහන් දෙය වඩාත් හොඳින් තේරුම්ගැනීමට ලෙවී කතාව 22:18-20හි සඳහන් දෙය අපට උපකාරවත් වන්නේ කෙසේද?

5 අප කරන සෑම දෙයක්ම දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කිරීමට අප උත්සාහ කළ යුත්තේ ඇයි? ඊට හේතුව අප කරන කියන හා සිතන පතන සෑම දෙයක්ම දෙවිට අප කරන නමස්කාරයට බලපාන නිසයි. (මාක් 12:30) පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේදී ඒ කාරණය ප්‍රබල ලෙස අවධාරණය කළා. ඔහු පැවසුවේ, ‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත’ කියායි. (රෝම 12:1) එහිදී ‘ශරීරය’ කීමෙන් ඔහු අදහස් කළේ අපේ මුළු හදවත, මනස හා ශක්තියයි. එය දෙවිට ඔප්පු කරන පූජාවක් හා සමාන බව ඔහු පැවසුවා. ඒ නිසා පූජාවක් ලෙස ඔප්පු කරන අපේ ශරීරය දෙවිට පිළිගත හැකි තත්වයක තිබීම ඉතා වැදගත්. සත්ව පූජාවක් ඔප්පු කරන විට යම් කැළැලක් තිබෙන සතෙකුව ඔප්පු කළොත් ඒ පූජාවට දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැති බව මෝසෙස්ට දුන් නීතියේ දෙවි පැහැදිලිව පවසා තිබුණා. (ලෙවී කතාව 22:18-20) ඉන් තවදුරටත් පැහැදිලි වන්නේ නමස්කාරය සඳහා යොදාගන්නා ‘අපේ ශරීරයේ’ යම් කැළැලක් තිබෙනවා නම් දෙවිට අප කරන නමස්කාරය ඔහු පිළි නොගන්නා බවයි.

6, 7. අපේ ශරීරය කැළැල් විය හැක්කේ කෙසේද? එයින් අත් වන ප්‍රතිඵලය කුමක්ද?

6 නමුත් අපේ ශරීරය කැළැල් විය හැක්කේ කෙසේද? පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවේ, “ඔබේ වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට ඔබේ ශරීරයේ අවයවයන් භාවිත නොකරන්න” කියායි. ඔහු තවදුරටත්, ‘ඔබේ වැරදි ක්‍රියාවන් නසා දමන්න’ කියා පැවසුවා. (රෝම 6:12-14; 8:13) මන්ද වැරදි ආශාවන් හා ක්‍රියාවන් නිසා අපේ ශරීරය කැළැල් විය හැකියි. ඔහු කතා කරමින් සිටියේ මොන වගේ වැරදි ආශාවන් හා ක්‍රියාවන් ගැනද? ඊට උදාහරණ කිහිපයක් ලෙස ‘ශාප කිරීම,’ ‘ලේ වැගිරීමට ඉක්මන් වීම’ හා ‘දෙවි කෙරෙහි කිසිම ගරුබියක් නැතිකම’ සඳහන් කළ හැකියි. (රෝම 3:13-18) අප එවැනි ක්‍රියාවල නිරත වෙනවා නම් හෝ එවැනි ආකල්ප අපට තිබෙනවා නම් අපේ ශරීරය කැළැල් විය හැකියි. එම කාරණය දැන සිටීම විනෝදය සම්බන්ධයෙන් අප කරන තේරීම්වලට බලපාන්නේ කෙසේද? උදාහරණයකට දෙවිට සේවය කරමින් සිටින කෙනෙකු කාමුක දර්ශන හෝ ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් දේවල් නැරඹීමට පුරුදු වී සිටිනවා නම් ඔහු කරමින් සිටින්නේ, ‘තම වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට’ ඔහුගේ ශරීරයේ යම් අවයවයන් භාවිත කිරීමයි. එසේ කිරීමෙන් ඔහුගේ මුළු ශරීරයම කැළැල් වෙනවා. ඒ නිසා දෙවිට තවදුරටත් ශුද්ධ හා පිළිගත හැකි පූජාවක් ඔප්පු කිරීමට ඔහුට හැකි වන්නේ නැහැ. (ද්විතීය කතාව 15:21; 1 පේතෘස් 1:14-16; 2 පේතෘස් 3:11) නොහොබිනා දේවල් නැරඹීමේ ප්‍රතිඵලය මොන තරම් භයානකද!

7 ඒ අනුව අප විනෝදය සඳහා තෝරාගන්නා දේවල් ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුයි. මන්ද අපි සියලුදෙනාගේම ආශාව වන්නේ දෙවිට ඔප්පු කරන අපේ ශරීරය කැළැල් නොවන ආකාරයේ තේරීමක් කිරීමයි. එසේ කිරීමට නම් විනෝදයක් ලැබීම සඳහා සුදුසු දේ කුමක්ද කියා අප නිවැරදිව හඳුනාගත යුතුයි. එය කළ හැක්කේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

“දුෂ්ට දේවල් පිළිකුල් කරන්න”

8, 9. (අ) විනෝදය සඳහා තිබෙන දේවල් බෙදිය හැකි කොටස් දෙක මොනවාද? (ආ) අප සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුත්තේ කුමන දේවලින්ද? ඒ ඇයි?

8 විනෝදය සඳහා නැරඹීමට, ඇසීමට හෝ කියවීමට තිබෙන දේවල් කොටස් දෙකකට බෙදිය හැකියි. එකක් නම් ක්‍රිස්තියානීන් වන අප, සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු දේවල්. අනික් එක නම් අපට පෞද්ගලිකව තේරීමක් කිරීමට සිදු වන දේවල්. මුලින්ම අප සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු දේවල් මොනවාද කියා සලකා බලමු.

9 අද සමහරක් වෙබ් අඩවිවල, චිත්‍රපටිවල, රූපවාහිනී වැඩසටහන්වල හා ගීතවල බයිබලයේ කෙළින්ම හෙළාදැක තිබෙන දේවල් ඇතුළත් වෙනවා. උදාහරණයකට පහත් ලිංගික ක්‍රියාවන්, සැහැසියාව හා අද්භූත දේවල් වැනි බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි අශික්ෂිත, පිළිකුල්සහගත ක්‍රියාවන් ඒවායේ උලුප්පා දක්වනවා. සැබෑ ක්‍රිස්තියානීන් වන අප, එවැනි දේවල් නැරඹීමෙන්, ඇසීමෙන් හෝ කියවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. (ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 6:9, 10; එළිදරව් 21:8) අප එසේ කරන විට, ‘දුෂ්ට දේවල්වලට අප පිළිකුල් කරන’ බවත් නිතරම “නපුරට පිටු පා” කටයුතු කරන බවත් දෙවිට ඔප්පු කර පෙන්වන්න අපට හැකි වෙනවා. එමෙන්ම ඉන් තහවුරු වන්නේ අප සතු විශ්වාසය, ‘කිසිම කුහකකමක් නැති විශ්වාසයක්’ බවයි.—රෝම 12:9; ගීතාවලිය 34:14; 1 තිමෝති 1:5.

10. පිළිකුල්සහගත දේවල් නැරඹීම, කියවීම හෝ එවැනි දේවලට සවන් දීම සම්බන්ධයෙන් කෙනෙකුට කුමක් සිතිය හැකිද? එය අනතුරුදායක වන්නේ ඇයි?

10 එවැනි පිළිකුල්සහගත දේවල් නැරඹීමෙන්, කියවීමෙන් හෝ ඒවාට සවන් දීමෙන් තමන්ට කිසිම හානියක් සිදු වන්නේ නැහැ කියා කෙනෙක් සිතන්න පුළුවන්. ‘ඒ දේවල් බැලුවට මම නම් කවදාවත් ඒවා කරන්නේ නැහැ’ කියා ඔහු තර්ක කරනවා විය හැකියි. නමුත් එසේ සිතීම අනතුරුදායකයි. එවැනි කෙනෙකු රවටාගන්නේ තමාවමයි. (යෙරෙමියා 17:9 කියවන්න.) යෙහෝවා දෙවි හෙළාදකින දේවලින් අප විනෝදයක් ලබනවා නම් අප ඇත්තටම ‘දුෂ්ට දේවල් පිළිකුල් කරනවා’ කියා පැවසිය හැකිද? එවැනි දේවල් නිතරම නැරඹීමෙන්, කියවීමෙන් හෝ ඒවාට සවන් දීමෙන් ඒ දේවල් පිළිකුල්සහගතයි යන හැඟීම ක්‍රමක්‍රමයෙන් අපෙන් නැති වී යා හැකියි. (ගීතාවලිය 119:70; 1 තිමෝති 4:1, 2) ඒ නිසා එවැනි ක්‍රියාවල නියැලීමට අප තුළ පෙලඹීමක් ඇති විය හැකි අතර වෙනත් කෙනෙකු එවැනි ක්‍රියාවල යෙදෙන විටත් එහි කිසි වරදක් අපට නොපෙනෙන්න පුළුවන්.

11. ගලාති 6:7හි සඳහන් ප්‍රතිපත්තිය සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

11 එය සත්‍යයක් බව සමහර ක්‍රිස්තියානීන්ගේ අමිහිරි අද්දැකීම්වලින් පැහැදිලියි. පුරුද්දක් ලෙස නැරඹූ දේවල් නිසා සමහරදෙනෙක් අනාචාරයට වැටී තිබෙනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” යන සත්‍යය ඔවුන් තම ජීවිතවල අද්දැක තිබෙනවා. (ගලාති 6:7) නමුත් අප අපේ මනස් යහපත් දේවලින් පෝෂණය කිරීමට වගබලා ගන්නවා නම් එවැනි අමිහිරි අද්දැකීම්වලට මුහුණ දීමට අපට සිදු වන්නේ නැහැ. එමෙන්ම අපට බොහෝ යහපත් ප්‍රතිඵලද නෙළාගත හැකියි.—“ ඔබේ තේරීම කුමක්ද?” යන කොටුව බලන්න.

බයිබල් ප්‍රතිපත්ති උපකාරයෙන් පෞද්ගලික තීරණ ගනිමු

12. ගලාති 6:5හි සඳහන් දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? යම් දෙයක් සුදුසුද නැද්ද කියා පෞද්ගලිකව තීරණය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

12 විනෝදය සඳහා තිබෙන සමහරක් දේවල්වල ඇතුළත් දේ බයිබලයේ කෙළින්ම හෙළාදැක නැති අතර ඒවා සුදුසුයි කියාද කෙළින්ම සඳහන් කර නැහැ. එවැනි දේවල් සම්බන්ධයෙන් අපට පෞද්ගලික තේරීමක් කිරීමට සිදු වෙනවා. (ගලාති 6:5 කියවන්න.) නමුත් එසේ කිරීම අපහසු දෙයක් කියා නොසිතන්න. යෙහෝවා දෙවි සිතන ආකාරය අප තේරුම්ගත්තොත් අපට නිවැරදි තේරීම් කළ හැකියි. ඒ සඳහා උපකාරවත් වන බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වී තිබෙනවා. අප එවැනි තොරතුරු හොඳින් තේරුම්ගැනීමට උත්සාහ කළොත් විනෝදය ඇතුළුව අනිකුත් සෑම කාරණයක් සම්බන්ධයෙන්ම, “යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා” වටහාගැනීමට අපට හැකියි.—එෆීස 5:17.

13. දෙවි අකමැති සෑම දෙයකින්ම වැළකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

13 කෙසේවෙතත් සියලුම ක්‍රිස්තියානීන් එක හා සමානව සිතන්නේ නැති බව අප මතක තබාගත යුතුයි. මන්ද එකිනෙකාගේ අද්දැකීම් හා දේවල් අවබෝධ කරගන්නා ආකාරය එකිනෙකට වෙනස්. (ෆිලිප්පි 1:9) එමෙන්ම අප එකිනෙකාගේ රුචි අරුචිකම්ද එකිනෙකාට වෙනස්. ඒ නිසා සියලුම ක්‍රිස්තියානීන් එක හා සමාන තේරීම් කරයි කියා අපි බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අප දිගින් දිගටම බයිබලයේ සඳහන් තොරතුරුවලින් අපේ මනස් පෝෂණය කරගන්නා විට යෙහෝවා දෙවි අකමැති සෑම දෙයකින්ම වැළකී සිටීමට වූ අපේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වන බවට සැකයක් නැහැ.—ගීතාවලිය 119:11, 129; 1 පේතෘස් 2:16.

14. (අ) විනෝදය සඳහා සුදුසු දේවල් තෝරාගන්නවාට අමතරව අප සලකා බැලිය යුත්තේ කුමක් ගැනද? (ආ) දෙවිට හා ඔහුට කරන සේවයට අප මුල් තැන දෙන්නේ කෙසේද?

14 විනෝදය සඳහා සුදුසු දේවල් තෝරාගන්නවාට අමතරව අප සලකා බැලිය යුතු තවත් දෙයක් තිබෙනවා. එනම් අප විනෝද වීම සඳහා වැය කරන කාලයයි. අප තෝරාගන්නා දේවලින් සුදුසුයි කියා අප සලකන්නේ මොන වගේ දේවල්ද යන කාරණය පැහැදිලි වෙනවා. නමුත් ඒ සඳහා අප වැය කරන කාලයෙන් හෙළි වන්නේ අපේ ජීවිතයේ වැදගත් තැනක් හිමි වී තිබෙන්නේ කුමකටද යන්නයි. ක්‍රිස්තියානීන් වන අප, අපේ ජීවිතයේ මුල් තැන දිය යුත්තේ දෙවිට හා ඔහුට කරන සේවයටයි. (මතෙව් 6:33 කියවන්න.) ඒ නිසා අප විනෝදය සඳහා වැය කරන කාලය සීමා කිරීමට නිශ්චිත පියවර ගත යුතුයි. එසේ කිරීමෙන්, “වඩා වැදගත් දේවල්” සඳහා එනම්, යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට දායක වන දේවල් සඳහා වැඩි කාලයක් වෙන් කරගැනීමට අපට හැකි වෙනවා. (ෆිලිප්පි 1:10) පාවුල් පැවසූ මේ වදන් මනසේ තබාගැනීම මොන තරම් වැදගත්ද! “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. . . . ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:15, 16.

15. විනෝදය සම්බන්ධයෙන් පෞද්ගලික තේරීමක් කරන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද?

15 විනෝදය සම්බන්ධයෙන් පෞද්ගලික තේරීමක් කරන විට තව දෙයක් අප මතක තබාගත යුතුයි. බයිබලයේ කෙළින්ම හෙළාදකින ක්‍රියාවන් සමහර ඒවායේ ඇතුළත් නොවුණත් අපට සැක සහිත යම් අංගයන් ඒවායේ ඇතුළත් විය හැකියි. නැත්නම් ඒවායේ තිබෙන සමහරක් දේවල් නිසා යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට යම් ආකාරයකින් හෝ හානියක් විය හැකියි කියා අපට සිතෙන්න පුළුවන්. එවැනි දේවල් නැරඹීමෙන්, කියවීමෙන් හෝ ඇසීමෙන් වැළකී සිටීමත් ඥානවන්තයි. එම කාරණය තවත් පැහැදිලි කරගැනීමට අප මුලින් සලකා බැලූ උදාහරණය ගැන නැවත ටිකක් සිතමු. පලතුරේ කුණු වී තිබෙන කොටස කපා ඉවත් කරන විට අප ඉවත් කරන්නේ කුණු වී තිබෙන කොටස පමණක් නොවෙයි. එය වටා තිබෙන යම් කොටසක්ද අප කපා ඉවත් කරනවා. අපේ ආරක්ෂාව සඳහා අප එම පියවර ගන්නේ කුණු වී තිබෙන කොටසෙන් යම් විෂබීජ ඒ අවට පැතිර ඇති බවට සැකයක් තිබෙන නිසයි. විනෝදය සම්බන්ධයෙන්ද අප යම් තේරීම් කරන විට එම ප්‍රතිපත්තිය අදාළ කරගැනීම ඥානවන්තයි. (හිතෝපදේශ 4:25-27) එසේ කිරීමට නම් බයිබලයේ දී තිබෙන උපදෙස් නිතරම අපේ මනසේ තබාගැනීම කොතරම් වැදගත්ද!

‘පවිත්‍ර දේවල්’ හඳුනාගනිමු

විනෝදය සම්බන්ධයෙන් තේරීමක් කරන විට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට හානියක් සිදු නොවෙයි

16. (අ) දෙවිට ප්‍රේම කරන අය ලෙස අප කළ යුත්තේ කුමක්ද? (ආ) දෙවි සිතන ආකාරයට සිතන්න අපට අවංක ආශාවක් තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?

16 විනෝදය සඳහා නැරඹීමට, ඇසීමට හෝ කියවීමට දේවල් තෝරාගන්නා විට යෙහෝවා දෙවි සිතන ආකාරය තේරුම්ගත යුතුයි. එසේ කළ හැක්කේ කෙසේද කියා අපි දැන් සලකා බලමු. සලමොන් රජ යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් සඳහන් කරමින් මෙසේ පැවසුවා. “බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්, දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද ඔහුට පිළිකුලකි.” (හිතෝපදේශ 6:16-19) එමෙන්ම බයිබලයේ අපට උනන්දු කරන්නේ, “යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න” කියායි. (ගීතාවලිය 97:10) එම තොරතුරු අපට බලපෑ යුත්තේ කෙසේද? දෙවිට ප්‍රේම කරන අය ලෙස අප යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවලට ද්වේෂ කළ යුතුයි. (ගලාති 5:19-21) ඒ කාරණය විනෝදය සම්බන්ධයෙන් අප කරන තේරීම්වලින්ද හෙළි විය යුතුයි. මෙහිදී වඩා වැදගත් වන්නේ අප ප්‍රසිද්ධියේ කරන දේට වඩා අප තනිව සිටින අවස්ථාවලදී කරන දේ බව අමතක නොකරමු. මන්ද අප ඇත්තටම මොන වගේ අයද යන කාරණය හෙළි වන්නේ එවැනි අවස්ථාවලදීයි. (ගීතාවලිය 11:4; 16:8) අප කරන සියල්ලේදී යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතා දේවල් කිරීමට අපට අවංක ආශාවක් තිබෙනවා නම් අප නිතරම බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව තේරීම් කිරීමට උත්සාහ කරනවා.—2 කොරින්ති 3:18.

17. විනෝදය සම්බන්ධයෙන් යම් තේරීමක් කිරීමට පෙර අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

17 යෙහෝවා දෙවි සිතන ආකාරය තේරුම්ගත් පසු ඊට එකඟව ක්‍රියා කිරීමට අපට කළ හැක්කේ කුමක්ද? ‘මගේ තේරීම මටත් දෙවි සමඟ මට තිබෙන මිත්‍රත්වයටත් කෙසේ බලපායිද’ යන කාරණය ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි. උදාහරණයකට යම් චිත්‍රපටියක් නැරඹීමට කලින්, ‘එහි අඩංගු දේවල් මගේ හෘදය සාක්ෂියට කෙසේ බලපායිද’ කියා අපෙන්ම අසාගත හැකියි. එසේ සිතා බලන විට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් දැන් අපි බලමු.

18, 19. (අ) විනෝදය සම්බන්ධයෙන් නිවැරදි තේරීමක් කිරීමට ෆිලිප්පි 4:8හි සඳහන් ප්‍රතිපත්තිය අපට උපකාරවත් වන්නේ කෙසේද? (ආ) අපට උපකාරවත් වන තවත් ප්‍රතිපත්ති මොනවාද? (පාදසටහන බලන්න.)

18 ෆිලිප්පි 4:8හි එක් වැදගත් ප්‍රතිපත්තියක් සඳහන් වී තිබෙනවා. එහි පවසන්නේ, “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න” කියායි. පාවුල් එහිදී කතා කරමින් සිටියේ විනෝදයට සම්බන්ධ දේවල් ගැන නොවුණත් අප නිතරම සිතන දේවල් දෙවිට සතුටක් ගෙන දෙන දේවල් විය යුතු බව ඔහු පැවසූ දෙයින් පැහැදිලි වෙනවා.—ගීතාවලිය 19:14.

19 එම ප්‍රතිපත්තිය මනසේ තබාගෙන අපට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මා තෝරාගන්නා චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා, ගීත යනාදිය ‘පවිත්‍ර දේවලින්’ මගේ සිත පුරවාගන්න මට උපකාර කරනවාද?’ උදාහරණයකට අප චිත්‍රපටියක් නැරඹූ පසු අපේ මනසේ වැඩියෙන්ම රැඳී තිබෙන්නේ මොන වගේ දේවල්ද? ඒ දේවල් අපේ සිතට සහනයක්, ප්‍රීතියක් හා ප්‍රබෝධයක් ගෙන දෙනවා නම් අපේ තේරීම ගැන අපට සෑහීමට පත් වන්න පුළුවන්. නමුත් එය නැරඹීමෙන් පසු අප නිතරම නොහොබිනා දේවල් ගැන සිතමින් සිටිනවා නම් අප ඥානවන්ත තේරීමක් කළා කියා පැවසිය නොහැකියි. (මතෙව් 12:33; මාක් 7:20-23) එය ඇත්තටම හානිකරයි. මන්ද අප නිතරම නොහොබිනා දේවල් ගැන සිතමින් සිටිනවා නම් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කර තිබෙන අපේ හෘදය සාක්ෂිය ක්‍රමානුකූලව හංවඩු ගැසූ හෘදය සාක්ෂියක් බවට පත් වෙනවා. එය යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට හානිකර ලෙස බලපානවා. (එෆීස 5:5; 1 තිමෝති 1:5, 19) එසේනම් එවැනි හානිකර දේවලින් ඈත් වී සිටීම මොන තරම් වැදගත්ද! * (රෝම 12:2) “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න” කියා යාච්ඤා කළ බයිබල් ලේඛකයා ලෙස කටයුතු කිරීමට අපිත් අදිටන් කරගනිමු.—ගීතාවලිය 119:37.

අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් වෙමු

20, 21. විනෝදය සම්බන්ධයෙන් යම් තේරීමක් කරන විට 1 කොරින්ති 10:23, 24හි සඳහන් ප්‍රතිපත්තිය අපට අදාළ කරගත හැක්කේ කෙසේද?

20 විනෝදය සම්බන්ධයෙන් තේරීම් කරන විට අප සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් දෙයක් පාවුල් මෙසේ සඳහන් කළා. “ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම අන් අය දිරිගැන්වීමක් ලබන බව කිව නොහැක. සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.” (1 කොරින්ති 10:23, 24) ඒ අනුව අප යම් තේරීමක් කරන විට එය අන් අයට බලපාන ආකාරය ගැනත් සිතා බැලිය යුතුයි.

21 ඇතැම් අවස්ථාවලදී යම් දෙයක් සුදුසුයි කියා නැතහොත් ඒ සඳහා අපට “අවසර” තිබෙනවා කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙකු ඔහුගේ හෘදය සාක්ෂියට අනුව එය නුසුදුසුයි කියා නිගමනය කරන බව අප දැනගත්තොත් අපේ කැමැත්තට අනුව කටයුතු නොකිරීමට අප තීරණය කළ හැකියි. අප එසේ කරන්න පෙලඹෙන්නේ ඇයි? දෙවිට විශ්වාසවන්තව සිටීමට අපේ සහෝදරයන් දරන උත්සාහයට බාධා කර, ‘ඔවුන්ට විරුද්ධව වැරදි කිරීමට’ අප අකමැති නිසයි. ඇත්තෙන්ම අප ඔවුන්ට විරුද්ධව කරන වරද ‘ක්‍රිස්තුස්ට විරුද්ධව කරන වරදක්’ හා සමානයි. පාවුල් පැවසූ ලෙස, ‘අනුන්ට හානියන් විය හැකි දෙයක් කිරීමෙන් වැළකී සිටීමට’ අප තීරණය කරන්නේ ඒ නිසයි. (1 කොරින්ති 8:12; 10:32) ඒ අනුව අපට තෝරාගැනීමට “අවසර” තිබෙන දෙයක් වුණත් එයින් ‘අන් අයට ප්‍රයෝජනයක් අත් නොවන’ බව දැනගත් විට ඉන් වැළකී සිටීමට සැබෑ ක්‍රිස්තියානීන් වන අප තීරණය කරනවා.—රෝම 14:1; 15:1.

22. තමන්ගේ තීරණයට අනුව කටයුතු කළ යුතුයි කියා කෙනෙක් අන් අයට බල නොකළ යුත්තේ ඇයි?

22 “අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත්” වීම යන ප්‍රතිපත්තිය අදාළ වන තවත් පැත්තක් තිබෙනවා. කෙනෙක් තම හෘදය සාක්ෂියට එකඟව යම් දෙයක් නැරඹීමෙන්, කියවීමෙන් හෝ ඇසීමෙන් වැළකී සිටීමට තීරණය කළ හැකියි. නමුත් සභාවේ සිටින අන් සියලුදෙනාම ඔහුගේ තීරණයට එකඟව කටයුතු කළ යුතුයි කියා ඔහු බල කිරීම සුදුසු නැහැ. කෙනෙකු එසේ බල කරනවා නම් ඔහු, තමන් නියම කරන වේගයට අනුව අනික් සියලුදෙනාම රිය පැදවිය යුතුයි කියා බල කරන රියැදුරෙකු හා සමානයි. අන් අයට එසේ බල කිරීම ඇත්තෙන්ම සාධාරණ නැහැ. ඊට වෙනස්ව ක්‍රිස්තුස්ට සමාන ප්‍රේමයක් ඇති කෙනෙක් තමන්ගේ තීරණය අන් අයගේ තීරණවලට වඩා වෙනස් වුණත් ඔවුන්ගේ තීරණවලට ගරු කරනවා. මන්ද තමා මෙන් ඔවුන්ද තීරණ ගෙන තිබෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව බව ඔහු තේරුම්ගන්නවා. එසේ කටයුතු කිරීමෙන් ඔහු, “සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි” වෙනවා.—ෆිලිප්පි 4:5; දේශනාකාරයා 7:16.

23. විනෝදය සඳහා සුදුසු දේවල් අපට තෝරාගත හැක්කේ කෙසේද?

23 මේ පරිච්ඡේදය පුරාම අප සලකා බැලූ කරුණුවලට අනුව විනෝදය සඳහා සුදුසු දේවල් අපට තෝරාගත හැක්කේ කෙසේද? මුලින්ම බයිබලයේ කෙළින්ම හෙළාදැක තිබෙන ක්‍රියා උලුප්පා දක්වන දේවල් නැරඹීමෙන්, ඇසීමෙන් හෝ කියවීමෙන් අප සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. අනික් අතට බයිබලයේ කෙළින්ම හෙළාදැක නැති දේවල් ඇතුළත් දේ සම්බන්ධයෙන් තේරීමක් කරන විට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උත්සාහ කළ යුතුයි. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කර තිබෙන ඔබේ හෘදය සාක්ෂියට විරුද්ධව කිසිවිටකත් තීරණ නොගන්න. එමෙන්ම අන් අයගේ, විශේෂයෙන්ම ඔබේ සහෝදරයන්ගේ හැඟීම් ගැනත් සිතා ඔවුන් වෙනුවෙන් ඔබේ තීරණය වෙනස් කිරීමට පසුබට නොවන්න. එසේ ඔබ ක්‍රියා කරන විට සියල්ලේදී දෙවිට ගෞරවයක් ගෙන දීමට ඔබට හැකි වන අතර ඔබටත් ඔබේ පවුලේ අයටත් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට හැකි වන බවට සැකයක් නැහැ.

^ 19 ඡේ. අපට උපකාරවත් වන තවත් ප්‍රතිපත්ති හිතෝපදේශ 3:31; 13:20; එෆීස 5:3, 4 හා කොලොස්සි 3:5, 8, 20 යන බයිබල් පදවලින් සොයාගත හැකියි.