Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

“වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:5.

1, 2. ඊශ්‍රායෙල් සෙනඟට හානියක් කිරීමට බාලාම් දියත් කළ සැලැස්ම කුමක්ද?

සාමාන්‍යයෙන් බිලි පිත්තකින් මාළු අල්ලන කෙනෙකු යම් විශේෂ මාළු වර්ගයක් අල්ලන විට ඇම හැටියට යොදාගන්නේ උන් කන්න කැමතිම දෙයයි. ඔහුගේ බිලි පිත්තට ඔහු සිතූ මාළු වර්ගයම හසු වූ විට ඔහුට මහත් සතුටක් දැනෙන අතර තම අරමුණ ඉටු කරගැනීමට තමන් භාවිත කළේ සුදුසුම ඇම බව ඔහුට හොඳින් තහවුරු වෙනවා.

2 ඒ මාළු අල්ලන්නා හා සමානව ක්‍රි.පූ. 1473 ජීවත් වූ බාලාම් නමැති පුද්ගලයාටත් යම් විශේෂ කොටසක්ව හසු කරගැනීමට වුවමනා වුණා. ඒ සඳහා සුදුසු ඇමක් තෝරාගැනීමට ඔහුටත් සිදු වුණා. ඔහුට හසු කරගැනීමට වුවමනා වුණේ මාළු වර්ගයක් නම් නොවෙයි. ඔහු උත්සාහ කළේ මෝවබ් පාළුකරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟව හසු කරගන්නයි. තමන් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙකු කියා බාලාම් කියා සිටියත් ඔහුගේ ක්‍රියාවලින් නම් එය දකින්න තිබුණේ නැහැ. ඇත්තටම ඔහු ධන සම්පත්වලට ඉතා කෑදර මිනිසෙක්. ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට ඔහුව කුලියට ගැනීමට හැකි වුණෙත් ඒ නිසයි. කෙසේවෙතත් දෙවි තම සෙනඟ වෙනුවෙන් මැදිහත් වූ නිසා බාලාම්ට ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට හැකි වුණේ නැහැ. ඒ වෙනුවට ඔහුට කිරීමට සිදු වුණේ ආශීර්වාදයි. නමුත් ඔහුට ලැබීමට නියමිතව තිබූ කුලිය කෙසේ හෝ ලබාගැනීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා යෙහෝවා දෙවිගෙන්ම ඊශ්‍රායෙල් සෙනඟට ශාපයක් ලැබීම සඳහා ඔහු සැලැස්මක් දියත් කළා. දෙවිට විරුද්ධව බරපතළ පාපයක් කිරීමට සෙනඟව පෙලඹෙව්වොත් තම අරමුණ සාර්ථක වන බව ඔහු හොඳින් දැන සිටියා. එය ඉටු කරගැනීමට ඔහු ඇම ලෙස යොදාගත්තේ රූමත් මෙන්ම කපටි මෝවබ් ස්ත්‍රීන්වයි.—ගණන් කතාව 22:1-7; 31:15, 16; එළිදරව් 2:14.

3. බාලාම්ගේ සැලැස්ම කොතරම් දුරට සාර්ථක වුණාද?

3 ඔහුගේ කූට සැලැස්ම සාර්ථක වුණාද? ඔව්. දහස් ගණනක් ඊශ්‍රායෙල් පුරුෂයන් ඔහු දැමූ ඇමට හසු වුණා. ඔවුන්, ‘මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදුණා’ පමණක් නොව සශ්‍රීකත්වයේ දෙවියන් ලෙස සැලකූ පෙයෝර්හි බාල් දෙවියාටත් මෝවබ්වරුන්ගේ අනිකුත් දෙවිවරුන්ටත් නමස්කාර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පොරොන්දු දේශයේ සීමාව අද්දරදීම ඊශ්‍රායෙල් සෙනඟගෙන් 24,000ක් මිය ගියා. ඊශ්‍රායෙල් සෙනඟට අත් වූ විපත මොන තරම්ද!—ගණන් කතාව 25:1-9.

4. ඊශ්‍රායෙල්වරුන් බාලාම්ගේ ඇමට හසු වීමට හේතු වුණේ කුමක්ද?

4 ඊශ්‍රායෙල් සෙනඟ බාලාම්ගේ ඇමට හසු වීමට හේතු වුණේ කුමක්ද? ඊජිප්තු දේශයෙන් ඔවුන්ව ගලවාගෙන ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කරමින් පොරොන්දු දේශයට ඔවුන්ව ආරක්ෂා සහිතව ගෙන යමින් සිටි යෙහෝවා දෙවිව ඔවුන් අත්හැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ හදවත් දුෂ්ට තත්වයකට පත්ව තිබුණා. එවන් විපතකට ඔවුන්ට මුහුණ දීමට සිදු වුණේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 3:12) ඔවුන්ට සිදු වූ දේ සිහිපත් කරමින් පාවුල් පසු කාලයක මෙසේ පැවසුවා. “ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම් කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි. එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.” *1 කොරින්ති 10:8.

5, 6. මෝවබ් පාළුකරයේ සිදු වූ සිද්ධිය අද දින අපට වැදගත් වන්නේ ඇයි?

5 එදා ඊශ්‍රායෙල් සෙනඟ මෙන් අද අප සිටින්නෙත් පොරොන්දු දේශයක් අද්දරයි. එය ඇත්තෙන්ම වඩා අගනා පොරොන්දු දේශයක්. එමෙන්ම මෝවබ් සෙනඟ මෙන් අද අප ජීවත් වන මුළු සමාජයම කාමුකත්වයෙන් මත්ව සිටිනවා. එදාට වඩා අද තත්වය සියදහස් ගුණයකින් අන්තයි. ඒ නිසා එදා ඊශ්‍රායෙල් පුරුෂයන් හසු වූ ඇමට සෑම අවුරුද්දකම දහස් ගණන් ක්‍රිස්තියානීන්ද හසු වෙනවා. (2 කොරින්ති 2:11) දුරාචාරයේ යෙදුණු පුරුෂයන් අතර සිටි සිම්රී, මිදියන් ජාතික ස්ත්‍රියක්ව කිසිම භයක් සැකක් නැතුව ඊශ්‍රායෙල් සෙනඟගේ කඳවුරටම ගෙන ආවා. ඒ හා සමානව දෙවිගේ සෙනඟ අතර සිටින සමහරදෙනෙක්ද කිසි භයක් සැකක් නැතුව දුරාචාරය වැනි අපවිත්‍ර ක්‍රියාවල යෙදෙමින් සභාවේ අන් අයට නරක බලපෑමක් ඇති කරනවා. (ගණන් කතාව 25:6, 14; යූද් 4) ඒ නිසා ගණන් කතාව පොතේ සඳහන් මෙම සිද්ධිය අද දින දෙවිගේ සෙනඟට ප්‍රබල අනතුරු ඇඟවීමක් සපයනවා.—1 කොරින්ති 10:11.

6 අද ඔබත් සිටින්නේ එදා ඊශ්‍රායෙල් සෙනඟ මෝවබ් පාළුකරයේ සිටි තත්වයට සමාන තත්වයක බව ඔබ තේරුම්ගෙන සිටිනවාද? ඇඟිලි ගනිමින් බලා සිටින පාරාදීස පොළොව අද්දරටම ඔබ පැමිණ සිටින බව ඔබට හැඟෙනවාද? ඔබට එලෙස හැඟෙනවා නම්, “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” නමැති දෙවිගේ ආඥාවට කීකරු වීමට ඔබට හැකි උපරිමය කරන්න. (1 කොරින්ති 6:18) එසේ කිරීමෙන් දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට ඔබට හැකි වෙයි.

මෝවබ් පාළුකරය

වේශ්‍යාකම යනු කුමක්ද?

7, 8. “වේශ්‍යාකම” යනු කුමක්ද? වේශ්‍යාකම් කරන අය අද්දකින හානිකර විපාක මොනවාද?

7 “වේශ්‍යාකම” නමැති වචනය, (ග්‍රීක බසින් පෝර්නියා) බයිබලයේ භාවිත කරන්නේ නීත්‍යනුකූලව විවාහ වී සිටින පුරුෂයෙකු හා භාර්යාවක අතර සිදු වන ලිංගික සම්බන්ධකම් හැර අනෙකුත් සියලුම ආකාරයේ ලිංගික සම්බන්ධකම් විස්තර කිරීමටයි. ගණිකා වෘත්තියේ නියැලීම, විවාහ සහකරු හෝ සහකාරිය නොවන කෙනෙකු අතර හා අවිවාහකයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් ඊට ඇතුළත් වෙනවා. එමෙන්ම විවාහ නොවූ අය මුඛය හෝ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගැනීමත් එකිනෙකාගේ ලිංගික අවයවයන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමත් ඊට ඇතුළත් වෙනවා. සමලිංගික ක්‍රියාවන් හා සතුන් සමඟ ලිංගිකව හැසිරීම විස්තර කිරීමටත් එම වචනය භාවිත කරනවා. *

8 වේශ්‍යාකම් කරන අයට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් විය නොහැකි බවත් ඔවුන්ට සදාකාල ජීවනය හිමි නොවන බවත් බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙනවා. (1 කොරින්ති 6:9; එළිදරව් 22:15) එමෙන්ම වේශ්‍යාකම් කරන අයට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයෙත් බොහෝ හානිකර විපාක අද්දැකීමට සිදු වෙනවා. උදාහරණ ලෙස අවිශ්වාසය, විවාහය දෙකඩ වීම, ආත්මගරුත්වය නැති වීම, සිත වද දීම, අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග හා ආයු කාලය පවා කෙටි වීම සඳහන් කළ හැකියි. (ගලාති 6: 7, 8 කියවන්න.) වේශ්‍යාකම් කිරීමෙන් ලැබෙන්නේ හානිකර ප්‍රතිඵල පමණක් බව හොඳින්ම දැන දැනත් ඊට යොමු වීම මොන තරම් අඥාන දෙයක්ද! බොහෝදෙනෙකු දුර දිග නොබලා ගන්නා යම් පියවරක් එම වරදට මඟ පෑදිය හැකියි. ඒ පියවර කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

වේශ්‍යාකමට මඟ පාදන කාමුක දර්ශන

9. කාමුක දර්ශන නැරඹීම හානිදායකද නැද්ද? පැහැදිලි කරන්න.

9 බොහෝ රටවල පුවත්පත්, ගීත හා රූපවාහිනිය හරහා කාමුක දර්ශන ප්‍රචාරය වෙනවා. එමෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි කාමුක දර්ශන නරඹන්නන්ට තෝතැන්නක්. * සමහරුන් සිතන්නේ එවැනි දර්ශන නැරඹීමෙන් කිසිම හානියක් සිදු නොවන බවයි. නමුත් එසේ සිතීම මොන තරම් අඥානකමක්ද! කාමුක දර්ශන නැරඹීම නිසා බොහෝදෙනෙකු ස්වයංවින්දනය තුළින් තම ආශාවන් සන්සිඳවා ගැනීමට පුරුදු වී සිටිනවා. * එමෙන්ම ඔවුන්ගේ මනස් පෝෂණය වන්නේ, ‘පිළිකුල්සහගත ලිංගික ආශාවන්ගෙන්’ නිසා ඔවුන් කාම උමතුවෙන් මත් වූ පුද්ගලයන් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කෙසේ හෝ තම ආශාවන් තෘප්තිමත් කරගැනීමට ඔවුන් තැත් කරනවා. ඔවුන් විවාහකයන් නම් විවාහය තුළ බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වීමටත් දික්කසාදය දක්වා එය දුර දිග යෑමටත් ඒ සෑම දෙයක්ම බලපානවා. (රෝම 1:24-27; එෆීස 4:19) කාමුක දේවලට ඇබ්බැහි වී සිටින අය ගැන පර්යේෂණ පවත්වන එක් තැනැත්තෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “කාම ආශාවන් හරියට පිළිකාවක් වගේ කෙනෙකු තුළ දිගින් දිගටම වර්ධනය වෙනවා. එය කොතරම් වේගයෙන් වර්ධනය වෙනවාද කියනවා නම් එය මර්දනය කරගැනීම ඉතා අපහසුයි. ශරීරය පුරා මුල් ඇද තිබෙන එය, මුලිනුපුටා දැමීම ඇත්තෙන්ම දුෂ්කර කාර්යයක්.”

ප්‍රඥාවන්ත දෙය වන්නේ නිතරම පවුලේ අය ගැවසෙන තැනක පමණක් අන්තර්ජාලය භාවිත කිරීමයි

10. යාකොබ් 1:14, 15හි වදන් අපට අදාළ කරගත හැක්කේ කෙසේද? (“ සටනින් මා ජය ගත් අයුරු” යන කොටුවද බලන්න.)

10 යාකොබ් 1:14 හා 15හි පවසන මේ වදන් සැලකිල්ලට ගන්න. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි. ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.” ඉන් පැහැදිලි වන්නේ අපේ සිත් තුළට නුසුදුසු ආශාවක් ඇතුල් වූ වහාම එය අපේ මනසින් ඉවත් කර දැමීමට පියවර ගත යුතු බවයි. උදාහරණයකට රූපවාහිනිය නරඹමින් සිටියදී හෝ අන්තර්ජාලය භාවිත කරමින් සිටියදී නොසිතූ ලෙස යම් කාමුක දර්ශනයක් ඔබේ නෙත ගැටුණොත් ඉක්මනින් ඔබේ දෑස් එයින් ඉවතට ගන්න. එසේත් නැත්නම් පරිගණකය නිවා දමන්න. නැත්නම් ඔබ නරඹමින් සිටි රූපවාහිනී වැඩසටහන වෙනස් කරන්න. කාම ආශාවකට හසු නොවී සිටීම සඳහා ඔබට ගත හැකි සෑම පියවරක්ම ගන්න. නැත්නම් ඒ ආශාව ඔබව පාලනය කිරීමට පටන්ගනියි.—මතෙව් 5:29, 30 කියවන්න.

11. නරක ආශාවකට විරුද්ධව සටන් කරන විට දෙවි කෙරෙහි රඳා සිටින බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

11 අපව හොඳින් තේරුම්ගෙන සිටින යෙහෝවා දෙවි මේ උපදෙස අපට ලබා දෙන්නේ හොඳ හේතු ඇතුවයි. “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.” (කොලොස්සි 3:5) දෙවි දී තිබෙන එම උපදෙස ක්‍රියාත්මක කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් අපේ පියාණන් ඉතා ප්‍රේමණීය මෙන්ම ඉවසිලිවන්ත දෙවි කෙනෙකු බව අපි අමතක නොකරමු. ඒ නිසා නරක සිතුවිල්ලක් අපේ සිතට ඇතුල් වූ විගස ඔහුගේ උපකාර ඉල්ලා අපට කන්නලව් කළ හැකියි. (ගීතාවලිය 68:19) එලෙස, “සාමාන්‍යය ඉක්මවූ බලය” ඉල්ලා අප දෙවිට යාච්ඤා කළ පසු යහපත් දේවල් වෙතට අපේ සිත යොමු කිරීමට අපේ පැත්තෙන් අප දැඩි උත්සාහයක් දැරිය යුතුයි.—2 කොරින්ති 4:7; 1 කොරින්ති 9:27; “ මම එය අත්හරින්නේ කෙසේද?” යන කොටුව බලන්න.

12. “සිත” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ආරක්ෂා කරගත යුත්තේ ඇයි?

12 ප්‍රඥාවන්ත සලමොන් රජද පැවසුවේ, “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය” කියායි. (හිතෝපදේශ 4:23) එහි, “සිත” යන්නෙන් අදහස් කළේ අපේ ඇතුළාන්තයයි. එනම් අපේ සැබෑ ස්වභාවයයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවිට වැදගත් වන්නේ අන් අය ඉදිරියේ අප කරන කියන දේවල් නොව අපේ ඇතුළාන්ත ස්වභාවයයි. වෙනත් ආකාරයකින් පවසනවා නම් අපට සදාකාල ජීවනය ලැබෙනවාද නැද්ද කියා තීරණය වන්නේ අපේ ඇතුළාන්ත ස්වභාවය මතයි. එය කිසිවිටක අමතක නොකළ යුතු බැරෑරුම් කාරණයක්. ඒ කාරණය දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ් හොඳින් තේරුම්ගෙන සිටියා. වැරදි චේතනාවකින් තරුණියක් දෙස නොබැලීමට ඔහු තම දෑස් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේ ඒ නිසයි. (යෝබ් 31:1) එමෙන්ම ගීතිකාකරුද දෙවිට යාච්ඤා කරමින් පැවසුවේ, “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න” කියායි. (ගීතාවලිය 119:37) ඔවුන් ඇත්තෙන්ම අපට හොඳ ආදර්ශ නොවේද!

දීනාගේ අවාදර්ශය

13. දීනා කාගේ කවුද? ඇය මිතුරියන්ව තෝරාගත්තේ අඥාන ලෙස බව පැවසිය හැක්කේ ඇයි?

13 තුන්වෙනි පරිච්ඡේදයෙන් අප ඉගෙනගත් ලෙස මිතුරන් අපේ හොඳට හෝ නරකට බලපෑ හැකියි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33 කියවන්න.) යාකොබ්ගේ දියණිය වූ දීනාට සිදු වූ දෙයින් එය සත්‍යයක් බව පැහැදිලි වෙනවා. ඇය හැදී වැඩුණේ යහපත් දෙමාපියන්ගේ රැකවරණය යටතෙයි. නමුත් ඇය අඥාන ලෙස කානාන් දේශයේ තරුණියන්ව ඉතා කිට්ටුවෙන් ඇසුරු කළා. කානාන්වරුන්ද මෝවබ්වරුන් මෙන් අනාචාර ජීවිත ගත කිරීමට ප්‍රසිද්ධ වූ අයයි. (ලෙවී කතාව 18:6-25) ඒ නිසා දීනා වැනි තරුණියන්ව ඔවුන් සැලකුවේ ඔවුන්ගේ ගොදුරු ලෙසයි. ‘අන් සියල්ලන්ට වඩා ගෞරවාන්විත කෙනෙකු’ ලෙස නම් දරා සිටි ෂීකෙම්ටද දීනා ගැන තිබුණේ එම ආකල්පයමයි.—උත්පත්ති 34:18, 19.

14. දීනා තෝරාගත් මිතුරියන් නිසා ඇයට මුහුණ දීමට සිදු වුණේ කුමනාකාර තත්වයන්ටද?

14 ෂීකෙම්ව හමු වී කතාබහ කළ විට ඔහු සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීම ගැන සමහරවිට දීනා සිතුවේවත් නැතුව ඇති. නමුත් ෂීකෙම් ඇයව ඇසුරු කළේ එවැනි අදහසක් ඇතුවයි. ඒ කාලයේ කානාන් දේශයේ පුරුෂයන්ට නම් තම ආශාවන් ඉටු කරගැනීම සඳහා එවැනි ඇසුරක් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. ෂීකෙම් තමාව ඇසුරු කළ හේතුව දීනා තේරුම්ගත් විට ඇය ඊට විරෝධය පෑවත් ඉන් කිසිම පලක් වුණේ නැහැ. ඔහු, ‘ඇයව ගෙන ගොස් දූෂණය කළා.’ පසුව ෂීකෙම්, “ඇයට ආදරය” කළත් ඔහු ඇයට කළ වරද සුළු කළ නොහැකියි. (උත්පත්ති 34:1-4 කියවන්න.) දීනා අඥාන ලෙස තෝරාගත් මිතුරියන් නිසා දුක් වින්දේ ඇය පමණක් නොවෙයි. ඇගේ මුළු පවුලටම එය නින්දාවක් වුණා. එමෙන්ම ඇගේ මුළු පවුලම අනතුරේ දැමූ සිද්ධියකට එය මුලපිරුවා.—උත්පත්ති 34:7, 25-31; ගලාති 6:7, 8.

15, 16. අපට දෙවිගේ ප්‍රඥාව අත් කරගත හැක්කේ කෙසේද? (“ ප්‍රයෝජනවත් වන බයිබල් පද කිහිපයක්” යන කොටුවද බලන්න.)

15 සිදු වූ දෙයින් දීනා වැදගත් පාඩමක් ඉගෙනගන්න ඇති. නමුත් ඇය එය ඉගෙනගත්තේ ඉතා අමිහිරි අද්දැකීමකට මුහුණ දීමෙන් පසුවයි. නමුත් දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබෙන, ඔහුට කීකරු වීමට ආශාවක් තිබෙන කෙනෙකුට ඒ අයුරින් පාඩම් ඉගෙනගැනීමට සිදු වන්නේ නැහැ. මන්ද එවැනි කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම්වලට සවන් දෙන නිසා ඔහු ඇසුරු කිරීමට තෝරාගන්නේ, ‘ප්‍රඥාවන්ත අයවයි.’ (හිතෝපදේශ 13:20අ) එමෙන්ම, “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල” ඔහු තේරුම්ගන්නා නිසා අනවශ්‍ය ගැටලු හා සිත්තැවුල් මඟහරවා ගැනීමට ඔහුට හැකි වෙනවා.—හිතෝපදේශ 2:6-9; ගීතාවලිය 1:1-3.

16 දෙවිගේ ප්‍රඥාව අත් කරගැනීමට දැඩි ආශාවක් අප තුළ තිබෙනවා නම්, “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල” අප සෑම කෙනෙකුටම අවබෝධ කරගත හැකියි. නොකඩවා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙන්ද බයිබලය හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන ප්‍රකාශන නිතිපතා අධ්‍යයනය කිරීමෙන්ද දෙවිගේ ප්‍රඥාව ලබාගැනීමට අප තුළ ආශාවක් තිබෙන බව පැහැදිලි වෙනවා. (මතෙව් 24:45; යාකොබ් 1:5) අප නිහතමානී පුද්ගලයන් වීමත් ඉතා වැදගත්. මන්ද දෙවි ලබා දෙන මඟ පෙන්වීම් පිළිපැදීමට අප තුළ නිහතමානිකම තිබීම අවශ්‍යයි. (2 රාජාවලිය 22:18, 19) උදාහරණයකට බයිබලයේ පවසන ආකාරයට සිත රැවටිලිකාර බවත් එය නිතරම තම ආශාව ඉටු කරගැනීමට උත්සාහ කරන බවත් කෙනෙක් පිළිගන්නවා විය හැකියි. (යෙරෙමියා 17:9) නමුත් ඔහුගේ රැවටිලිකාර සිතේ ආශාවට විරුද්ධව දෙයක් කිරීමට ඔහුට යම් ප්‍රේමණීය උපදෙසක් දුන් විට එය අදාළ කරගැනීමට නම් ඔහු තුළ නිහතමානිකම තිබිය යුතුයි.

17. පවුලක් තුළ ඇති විය හැකි ගැටලුවක් විස්තර කරන්න. පියා ගත් තීරණයට හේතු දියණියට පැහැදිලි කළ හැකි ආකාරය විස්තර කරන්න.

17 මේ සිද්ධිය ගැන ටිකක් සිතා බලන්න. එක් ක්‍රිස්තියානි පියෙක් තම දියණියට තරුණ සහෝදරයෙකු සමඟ තනියම ගමනක් යෑමට ඉඩ දෙන්නේ නැහැ. එවිට දියණිය තම පියාගෙන් මෙසේ අසනවා. ‘තාත්තේ, ඔයාට අපිව විශ්වාස නැද්ද?’ යෙහෝවා දෙවිට ප්‍රේම කරන ඔවුන් දෙදෙනා තනියම ගමනක් යෑමට සූදානම් වන්නේ නරක චේතනාවකින් නොවිය හැකියි. නමුත් ඇය හැසිරෙන්නේ ප්‍රඥාවන්තව කියා පැවසිය හැකිද? “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” නමැති බයිබල් ආඥාවට එකඟව ඇය කටයුතු කරනවා කියා පැවසිය හැකිද? එසේත් නැත්නම් ඇය කටයුතු කරන්නේ, ‘තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන’ අඥානයෙකු ලෙසද? (හිතෝපදේශ 28:26) එවැනි තත්වයකට අදාළ වන තව බොහෝ බයිබල් ප්‍රතිපත්ති ගැන ඔබටත් සිතා බැලිය හැකියි.—හිතෝපදේශ 22:3 හා මතෙව් 6:13; 26:41 බලන්න.

යෝසෙප්ගේ ආදර්ශය

18, 19. යෝසෙප් මුහුණ දුන්නේ කුමනාකාරයේ අසීරු අවස්ථාවකටද? ඔහු කටයුතු කළේ කෙසේද?

18 දීනාට වෙනස්ව කටයුතු කළ ඇගේ සහෝදරයෙකු වූ යෝසෙප් අපට කදිම ආදර්ශයක්. තම සහෝදරියගේ අඥාන ක්‍රියාවන් නිසා අද්දුටු ප්‍රතිඵල ඔහු හොඳින් දැන සිටි බවට සැකයක් නැහැ. (උත්පත්ති 30:20-24) ඒ සිද්ධියෙන් වසර ගණනාවකට පසු ඊජිප්තුවේ වහලෙකුව සිටි ඔහුට, තමන් සමඟ සයනය කරන්න කියා ඔහුගේ ස්වාමියාගේ භාර්යාව සෑම දිනකම ඔහුට ඇවිටිලි කළා. ඔහු වහලෙකුව සිටි නිසා ඔහුගේ සේවයෙන් ඉවත්ව යෑමට ඔහුට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ඔහුගේ සිතට තදින් කාවැදී තිබූ අතීත මතක සටහන් හා දෙවිගේ ප්‍රේමය දිගටම ලැබීමට ඔහු තුළ තිබූ ආශාව ඒ අවස්ථාවට ඥානවන්තව හා ධෛර්යවත්ව මුහුණ දීමට ඔහුට උපකාරවත් වූ බව නිසැකයි. ඔහු පොතිෆර්ගේ භාර්යාවගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළෙත් බැරිම තැන ඇය වෙතින් පලා ගියෙත් ඒ නිසයි.—උත්පත්ති 39:7-12 කියවන්න.

19 යෝසෙප් කාම ආශාවකින් ඒ ස්ත්‍රිය ගැන දිගින් දිගටම සිතසිතා සිටියා නම් හෝ ඔහු ලිංගික කාරණා ගැන නිතරම සිතන්න පුරුදුව සිටි කෙනෙක් නම් ඒ අවස්ථාවේදී දෙවිට කීකරුව කටයුතු කිරීමට ඔහුට පුළුවන් වෙයිද? ඔහු නොහොබිනා දේවලින් තම මනස පුරවාගන්නවා වෙනුවට යෙහෝවා දෙවි සමඟ ඔහුට තිබූ මිත්‍රත්වය ගැන ගැඹුරින් කල්පනා කළා. ඔහුගේ ජීවිතයේ වැදගත් තැනක් හිමි වුණේ එයටයි. ඒ බව ඔහු පොතිෆර්ගේ භාර්යාවට පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔබ ඔහුගේ [මගේ ස්වාමියාගේ] භාර්යාව නිසා ඔබ හැර අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්පත්ති 39:8, 9.

20. දෙවි මැදිහත් වී යෝසෙප්ට උපකාර කළේ කෙසේද?

20 තරුණයෙකුව සිටි යෝසෙප් ඔහුගේ පවුලෙන් ඈත්ව සිටියත් සෑම දිනකම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. ඒ ගැන දෙවිට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! (හිතෝපදේශ 27:11) පසුව දෙවිගේ මැදිහත් වීමෙන් යෝසෙප් සිරගෙයින් නිදහස් වූ අතර ඊජිප්තු දේශයේ අගමැති ලෙසත් ආහාර පරිපාලක ලෙසත් කටයුතු කළා. (උත්පත්ති 41:39-49) ගීතාවලිය 97:10හි සඳහන් මේ වදන් කොතරම් සැබෑද! “යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න. ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය. දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.”

21. අප්‍රිකාවේ ජීවත් වන තරුණ සහෝදරයාගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

21 එදා මෙන් අදත් දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක්, ‘දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන’ බව ඔවුන්ගේ ක්‍රියාවලින් පැහැදිලි වෙනවා. (ආමොස් 5:15) අප්‍රිකාවේ ජීවත් වන එක් තරුණ සහෝදරයෙකුගේ පන්තියේ සිටි සිසුවියක් කිසිම ලැජ්ජාවක් භයක් නැතුව දිනක් ඔහුට මෙසේ පවසා සිටියා. ‘ගණිත විභාගයට ඔයා මට උදව් කළොත් ඒ වෙනුවෙන් මම ඔයාට ඕනම දෙයක් දෙනවා. මාත් එක්ක එක රැයක් වුණත් ඔයාට ගත කරන්න පුළුවන්.’ ඔහු ඒ යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු පැවසුවේ දෙවිට විශ්වාසවන්තව සිටීම නිසා රන් රිදීවලට වඩා වටිනා තම ආත්මගරුත්වය රැකගැනීමට ඔහුට හැකි වූ බවයි. පව්කාර දේවල් කිරීමෙන්, “තාවකාලික සැප” භුක්ති විඳීමට හැකි වුණත් එහි අවසාන ප්‍රතිඵලය ඉතා වේදනාකාරීයි. (හෙබ්‍රෙව් 11:25) ඇත්තෙන්ම දෙවිට කීකරු වීමෙන් ලැබෙන සදාකාලික ආශීර්වාද ඒ තාවකාලික සැප සමඟ සැසඳීමට නොහැකි තරම් ඉහළයි.—හිතෝපදේශ 10:22.

දයාවන්ත දෙවි ලබා දෙන උපකාර පිළිගන්න

22, 23. (අ) කෙනෙකු අතින් යම් බරපතළ වරදක් සිදු වුණත් ඔහුට බලාපොරොත්තුවක් තබාගත හැකි බව පැවසිය හැක්කේ ඇයි? (ආ) එවැනි කෙනෙකුට දෙවි උපකාර කරන්නේ කෙසේද?

22 අපට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය නිසා වැරදි දේ කිරීමට අපට තිබෙන නැඹුරුවාව යටපත් කර දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට අපට ප්‍රබල සටනක් කිරීමට සිදු වෙනවා. (රෝම 7:21-25) “අපව දූවිල්ලෙන් සෑදූ බව” සිහි කරන යෙහෝවා දෙවි, ඒ බව හොඳින් දන්නවා. (ගීතාවලිය 103:14) සමහරවිට ක්‍රිස්තියානියෙකු අතින් යම් බරපතළ වරදක් සිදු විය හැකියි. ඉන් අදහස් වන්නේ ඔහුට දෙවිගෙන් කිසිදාක සමාවක් ලබාගත නොහැකි බවද? එසේ පැවසිය නොහැකියි. දාවිත් රජුට මෙන් ඔහුටත් ඔහු කළ වරදේ ඵලවිපාක විදින්න සිදු වෙයි. නමුත් තමන් කළ වරද ගැන පසුතැවිලි වී ඒ ගැන ‘විවෘතව කතා කරන’ අයට දෙවි, “සමාව දීමට” කැමැත්තෙන් සිටිනවා.—ගීතාවලිය 86:5; යාකොබ් 5:16; හිතෝපදේශ 28:13 කියවන්න.

23 උපකාර කිරීමට සූදානමින් සිටින අද්දැකීම් ලත් පුරුෂයන්වද දෙවි සභාවට “තෑගි වශයෙන්” ලබා දී තිබෙනවා. (එෆීස 4:8, 12; යාකොබ් 5:14, 15) ඔවුන්ගේ වගකීම වන්නේ වරද කළ තැනැත්තාට නැවතත් දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමයි. එම වරද නැවත නොකිරීමට අවශ්‍ය ‘ප්‍රඥාවන්ත සිතක්’ වර්ධනය කරගැනීමට උපකාර කිරීමත් ඔවුන්ගේ වගකීමට ඇතුළත් වෙනවා.—හිතෝපදේශ 15:32.

‘ප්‍රඥාවන්ත සිතක්’ වර්ධනය කරගනිමු

24, 25. (අ) හිතෝපදේශ 7:6-23 දක්වා විස්තර කර තිබෙන තරුණයා “අඥානයෙකු” බව ඔප්පු වන්නේ කෙසේද? (ආ) ‘ප්‍රඥාවන්ත සිතක්’ අපට වර්ධනය කරගත හැක්කේ කෙසේද?

24 අඥානකමින් වැළකී අප සියලුදෙනාම ‘ප්‍රඥාවන්ත සිතක්’ වර්ධනය කරගැනීමේ වැදගත්කම ගැන බයිබලයේ සඳහන් වෙනවා. “අඥානයෙකු” කියා බයිබලයේ හඳුන්වන්නේ මෝඩ කෙනෙකුව නොවෙයි. (හිතෝපදේශ 7:7) ඉන් අදහස් කරන්නේ අද්දැකීම් අඩු, පුළුල්ව නොසිතන කෙනෙකුවයි. එවැනි කෙනෙක් හොඳ අවබෝධයකින් කටයුතු නොකරන අතර හරි වැරැද්ද නිවැරදිව තෝරා බේරා ගැනීමටද ඔහුට හැකියාවක් නැහැ. හිතෝපදේශ 7:6-23 දක්වා විස්තර කර තිබෙන තරුණයා මෙන් ඉතා ලෙහෙසියෙන්ම බරපතළ වරදකට හසු වීමට ඔහුට තිබෙන ඉඩකඩ වැඩියි. නමුත් ඊට වෙනස්ව ‘ප්‍රඥාවන්ත සිතක්’ වර්ධනය කරගැනීමට උත්සාහ කරන කෙනෙක් නිතරම යාච්ඤාවෙන් හා බයිබලය අධ්‍යයනය කිරීමෙන් තම ඇතුළාන්තය පවිත්‍ර කරගැනීමට උත්සාහ කරනවා. එනම් ඔහුගේ සිතුවිලි, ආශාවන්, හැඟීම් හා ජීවිතයේ අරමුණු දෙවිගේ කැමැත්තට එකඟව හැඩගැස්වීමට ඔහුට හැකි උපරිමය ඔහු කරනවා. ඇත්තටම එසේ කිරීමෙන් ඔහු පෙන්වන්නේ, ‘ඔහු තම ජීවිතයට ඇලුම් කරන’ බවයි. එවැනි කෙනෙකුට, ‘යහපත් දේ සොයාගැනීමට’ එනම්, දෙවිගෙන් බොහෝ ආශීර්වාද ලබාගැනීමට හැකි වන බව නිසැකයි.—හිතෝපදේශ 19:8.

25 ඒ නිසා අප අපෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීම කොතරම් හොඳ දෙයක්ද! ‘දෙවිගේ ප්‍රමිති ගැන මට අල්පමාත්‍රයක හෝ සැකයක් තිබෙනවාද? ඒවාට විශ්වාසවන්තව ඇලී සිටීම සැබෑ සතුටට හේතු වන බව මට විශ්වාසද?’ (ගීතාවලිය 19:7-10; යෙසායා 48:17, 18) ඒ දේවල් ගැන ඔබට යම් සැකයක් හෝ තිබෙනවා නම් ඊට හේතුව කුමක්ද කියා කල්පනා කර බලන්න. එමෙන්ම දෙවිගේ ආඥා පිළි නොපැදීමෙන් අත් වන ප්‍රතිවිපාක ගැනද හොඳින් සිතන්න. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් හා අපේ මනස් යහපත් දේවල්වලින් එනම් සැබෑ, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන හා නිර්මල දේවලින් පුරවාගැනීමෙන්, “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.” (ගීතාවලිය 34:8; ෆිලිප්පි 4:8, 9) ඔබ ඒ දේවල් කරන තරමට දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය වැඩි වෙයි. දෙවි ඇලුම් කරන දේට ඔබත් තව තවත් ඇලුම් කරයි. ඔහු පිළිකුල් කරන දේට ඔබේ පිළිකුලත් වැඩි වෙයි. යෝසෙප්ට, “වේශ්‍යාකම වෙතින් පලා” යෑමට හැකි වුණේ ඔහුට අසාමාන්‍ය හැකියාවක් තිබූ නිසා නොවෙයි. ඔහුත් අප හා සමාන සාමාන්‍ය මිනිසෙක්. ඔහුට එසේ කටයුතු කිරීමට හැකි වුණේ දෙවිට කැමති අයුරින් ඔහුගේ සිත සකස් කිරීමට වසර ගණනාවක් පුරා ඔහු දෙවිට ඉඩහැරිය නිසයි. අපේ ආශාවත් එයම නොවෙයිද!—යෙසායා 64:8.

26. ඊළඟ පරිච්ඡේදවල සලකා බලන්නේ කුමක් ගැනද?

26 දෙවි අපට ප්‍රජනන ඉන්ද්‍රියන් ලබා දුන්නේ කිසි තැකීමක් නැතුව යම් වින්දනයක් ලබාගැනීමට භාවිත කළ හැකි භාණ්ඩ ලෙස නොවෙයි. ඒ වෙනුවට ඔහු ඒවා නිර්මාණය කළේ දරුවන් බිහි කිරීමට හා විවාහ ජීවිතය තුළ ප්‍රීතිය භුක්ති විඳීමටයි. (හිතෝපදේශ 5:18) අප ඊළඟ පරිච්ඡේද දෙකෙන්ම සලකා බලන්නේ දෙවි විවාහය සලකන ආකාරය ගැනයි.

^ 4 ඡේ. ගණන් කතාව පොතෙහි සඳහන් මිය ගිය අයගේ ගණනට විනිශ්චයකරුවන් අතින් පහර කෑ, “ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රධානීන්” (ඇතැම්විට 1,000ක් පමණ) හා දෙවි අතින් කෙළින්ම පහර කෑ අය ඇතුළත් වෙනවා.—ගණන් කතාව 25:4, 5.

^ 7 ඡේ. අපවිත්‍ර ක්‍රියාවන් හා නින්දිත හැසිරීම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2006 ජූලි 15 මුරටැඹ කලාපයේ, “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 9 ඡේ. ලිංගික හැඟීම් ඇවිස්සීම සඳහා කාමුක දර්ශන පමණක් නොව කියවීම සඳහා පිළියෙල කළ පොත් පත්ද තිබෙනවා. ඊට අමතරව හැඟීම් ඇවිස්සීමට යම් අයගේ කටහඬවල්ද අද යොදාගන්නවා. ඇතැම් දර්ශනවල කෙනෙකු ලිංගික හැඟීම් ඇවිස්සෙන ඉරියව්වකින් සිටින අතර සමහරක් දර්ශනවල දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු ඉතා පහත් ලිංගික ක්‍රියාවල නිරත වන ආකාර පෙන්වනවා.

^ 9 ඡේ. ස්වයංවින්දනය ගැන උපග්‍රන්ථයේ “ස්වයංවින්දනයේ ග්‍රහණයෙන් මිදීම” කියන ලිපිය බලන්න.