Skip to content

පටුනට යන්න

17වන පාඩම

මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔබ මිතුරෙක් වෙන්න ඕනේ

මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔබ මිතුරෙක් වෙන්න ඕනේ

මිතුරුකම පදනම් වී ඇත්තේ ප්‍රේමය මතයි. ඔබ යෙහෝවා ගැන ඉගෙනගන්න ඉගෙනගන්න ඔහු සඳහා ඇති ඔබේ ප්‍රේමය වැඩි වෙනවා. ඒ වගේම දෙවි සඳහා ඔබේ ප්‍රේමය වැඩි වන විට ඔහුට සේවය කිරීමට ඇති ඔබේ ආශාවත් වැඩි වෙනවා. ඇත්තෙන්ම මෙය ඔබව යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වීමට පොලඹවනවා. (මතෙව් 28:19) ප්‍රීතිමත් පවුලක් වැනි යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා එකතු වීමෙන් ඔබට දෙවි සමඟ මිතුරුකම සදහටම භුක්ති විඳින්න පුළුවන්. ඒ සඳහා ඔබ මොනවාද කරන්න අවශ්‍ය?

දෙවිගේ නීතිවලට කීකරු වීමෙන් ඔහු සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්විය යුතුයි. ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.’—1 යොහන් 5:3.

ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගන්න. මෙය නිදර්ශනය කිරීමට යේසුස් කතාවක් පැවසුවා. එක් නුවණ ඇති මිනිසෙක් තම නිවස පර්වතයක් මත ගොඩනැඟුවා. නමුත් මෝඩ මිනිසෙක් තම නිවස ගොඩනැඟුවේ වැලි මතයි. විශාල කුණාටුවක් පැමිණියා. එවිට පර්වතය මත ගොඩනඟා තිබුණු නිවසට කිසි විපත්තියක් සිදු වුණේ නෑ. නමුත් වැලි මත ගොඩනඟා තිබුණු නිවස කැඩී ගියා. යේසුස් පැවසුවේ, යමෙක් තම ඉගැන්වීම් අසා ඒ අනුව ක්‍රියා කරනවා නම්, ඔහු පර්වතයක් මත තම නිවස ගොඩනැඟූ නුවණ ඇති මිනිසාට සමාන වන බවයි. නමුත් ඔහුගේ ඉගැන්වීම් අසා ඒ අනුව ක්‍රියා නොකරන අයව වැලි මත තම නිවස ගොඩනැඟූ මෝඩ මිනිසාට සමාන කළා. ඔබ කැමති මෙම මිනිසුන් දෙදෙනාගෙන් කොයි මිනිසා වගේ වෙන්නද?—මතෙව් 7:24-27.

කැපවීම. යාච්ඤාව තුළින් යෙහෝවාට ළං වී සදහටම ඔහුගේ කැමැත්ත කිරීමට ඔබට අවශ්‍ය බව පැවසීම මෙයින් අදහස් කරනවා. දෙවිගේ කැමැත්ත කිරීම තුළින් ඔබ යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් බව පෙන්නුම් කරනවා.—මතෙව් 11:29.

බව්තීස්මය. ‘ඔහුගේ නාමයට යාච්ඤා කරමින්, බව්තීස්ම වී, නුඹේ පව් සෝදා දමන්න.’—ක්‍රියා 22:16.

පූර්ණ ලෙස දෙවිට සේවය කරන්න. “නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව [යෙහෝවාට] මෙන් සිතෙන් [මුළු ආත්මයෙන්, NW] කරන්න.”—කොලොස්සි 3:23.