Skip to content

පටුනට යන්න

4වන පාඩම

ඔබට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් වන්නේ කොහොමද?

ඔබට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් වන්නේ කොහොමද?

බයිබලය කියවීමෙන් ඔබට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන්. බොහෝ කාලයකට පෙර දෙවි ඔහුගේ අදහස් සහ සිතිවිලි ලිවීමට යම් විශේෂ පුද්ගලයන්ව යොදාගත්තා. එම පුද්ගලයන් ලියූ වාර්තාවන් හඳුන්වන්නේ බයිබලය කියායි. අදදින බයිබලය කියවීමෙන් අපි දෙවි ගැන ඉගෙනගන්නවා. බයිබලයේ අඩංගු වන්නේ යෙහෝවාගේ වචනය නැතහොත් පණිවුඩය නිසා, එය දෙවිගේ වචනය ලෙසද හඳුන්වනවා. යෙහෝවා කවමදාකවත් බොරු කියන්නේ නැති නිසා, බයිබලයේ පවසන දේ අපට විශ්වාස කරන්න පුළුවන්. ‘දෙවිට බොරු කියන්න බෑ.’ (හෙබ්‍රෙව් 6:18) දෙවිගේ වචනයේ අඩංගු වන්නේ සත්‍යයයි.—යොහන් 17:17, 18අ.

බයිබලය දෙවි අපට දී ඇති වටිනා තෑග්ගක්. එය හරියට ප්‍රේමනීය පියෙකු තම දරුවන්ට එවන ලියුමක් වගෙයි. දෙවිගේ පොරොන්දුව වන පොළොව ජීවත් වීමට පුළුවන් ලස්සන තැනක්, එනම් පාරාදීසයක් බවට පත් කිරීම ගැන එහි අපට පවසනවා. අතීතයේදී ඔහු කළ දේ, වර්තමානයේ ඔහු කරමින් සිටින දේ සහ තම විශ්වාසවන්ත දරුවන් වෙනුවෙන් අනාගතයේදී ඔහු කරන්න යන දේ එහි අපට පවසනවා. අපේ ගැටලු විසඳාගන්නත් සන්තෝෂය සොයාගන්නත් එය අපට උපකාර කරනවා.—2 තිමෝති 3:16.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ මිතුරන්. ඔවුන් ඔබට බයිබලයේ උගන්වන දේ තේරුම්ගන්න උපකාර කරනවා. ඔබට බයිබලය ඉගෙනගන්න ආසයි කියා ඔවුන්ට පවසන්න. ඒ සඳහා ඔවුන් මුදල් අය කරන්නේ නෑ. (මතෙව් 10:8) මෙයට අමතරව ඔබට ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමටත් පුළුවන්. මේවා පවත්වන්නේ රාජ්‍ය ශාලාව ලෙස හඳුන්වන නමස්කාරය සඳහා රැස් වෙන ස්ථානවලයි. ඔබ රැස්වීම්වලට යනවා නම්, දෙවි ගැන ඔබ සතු දැනුම ඉක්මනින්ම වර්ධනය වෙන්න යනවා.

දෙවි මවා ඇති දෙයින් ඔබට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන්. උදාහරණයක් හැටියට බයිබලයේ පවසනවා, ‘දෙවි අහසත් පොළොවත් මැව්වා’ කියලා. (උත්පත්ති 1:1) යෙහෝවා “අහස” මැවූ විට ඉරත් මැව්වා. එයින් අපට පවසන්නේ කුමක්ද? දෙවිට විශාල බලයක් තියෙන බව ඉන් අපට කියාපානවා. ඔහුට විතරයි ඉර වගේ බලවත් දෙයක් මැවීමට හැකියාවක් තියෙන්නේ. කිසිවිටකත් පහ නොවන ආලෝකය සහ උණුසුම ලබා දෙන ඉර ඔහුගේ ප්‍රඥාව ගැන අපට හෙළි කරනවා.

යෙහෝවාගේ මැවීම, අප සඳහා ඇති ඔහුගේ ප්‍රේමය පෙන්වනවා. පොළොව පුරා ඇති විවිධ වර්ගයේ පලතුරු ගැන ටිකක් හිතන්න. යෙහෝවාට තිබුණා අපට එකම වර්ගයක පලතුරු දෙන්න, එහෙම නැත්නම් කිසිම වර්ගයක් නොදී ඉන්න. එසේ නොකර ඔහු විවිධ හැඩයෙන්, ප්‍රමාණයෙන්, වර්ණයෙන් සහ රසයෙන් යුත් විවිධ වර්ගයේ පලතුරු අපට දී තිබෙනවා. මෙයින් පෙන්වන්නේ යෙහෝවා ප්‍රේමනීය දෙවි කෙනෙක් විතරක් නොවෙයි, ත්‍යාගශීලී, දූරදර්ශී, කරුණාවන්ත දෙවි කෙනෙක් බවයි.—ගීතාවලිය 104:24.