Skip to content

පටුනට යන්න

20වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

විපත් සිද්ධ වුණාම ප්‍රේමණීයව උපකාර කරයි

1, 2. (අ) යුදයේ හිටිය ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද? (ආ) ඒ අය සහෝදර ප්‍රේමය අද්දැක්කේ කොහොමද?

 ක්‍රි.ව. 46දී විතර යූදා දේශයේ ඇති වුණු දරුණු සාගතයක් නිසා කෑමවල මිල ගණන් අහස උසටම නැග්ගා. කෑම වේලක්වත් ගන්න අතේ සල්ලි තිබුණේ නැති නිසා යුදෙව් ක්‍රිස්තියානීන් හිටියේ හාමතෙන්. හැබැයි ඒ අය හිතපු නැති විදිහට යෙහෝවා දෙවි ඒ අයට උදව් කළා. ක්‍රිස්තියානීන් ඊට කලින් කවදාවත් ඒ වගේ දෙයක් අද්දැකලා තිබුණේ නැහැ.

2 සිරියාවේ අන්තියෝකියේ හිටිය යුදෙව් සහ යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට ඒ ගැන ආරංචි වුණාම ඔවුන් සහනාධාර එකතු කරලා බානබස් සහ සාවුල් අතේ ඒවා යෙරුසලමේ වැඩිමහල්ලන්ට යැව්වා. (ක්‍රියා 11:27-30; 12:25 කියවන්න.) අන්තියෝකියේ සහෝදරයන් ඒ විදිහට පෙන්වපු ප්‍රේමය ගැන යුදයේ සහෝදරයන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

3. (අ) අන්තියෝකියේ හිටිය ක්‍රිස්තියානීන්ව අද අපි ආදර්ශයට ගන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (“ අපේ පළවෙනි විශාලම සහන සේවා වැඩසටහන” යන කොටුවත් බලන්න.) (ආ) අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?

3 එක පළාතක ජීවත් වුණු ක්‍රිස්තියානීන් තවත් පළාතක ජීවත් වුණු ක්‍රිස්තියානීන් වෙනුවෙන් සහනාධාර යවපු සිද්ධියක් හැටියට බයිබලයේ මුල්ම වතාවට වාර්තා වෙලා තියෙන්නේ ඒ අවස්ථාව ගැනයි. එදා අන්තියෝකියේ හිටිය අපේ සහෝදරයන්ගේ ඒ කදිම ආදර්ශය අදටත් අපි අනුගමනය කරනවා. වෙන පළාතක ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියන් විපතකට මුහුණ දීලා ඉන්නවා කියලා ආරංචි වුණාම අපි පුළුවන් ඉක්මනින් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. aඒ විදිහට සහන සේවාවන් සපයන එක යෙහෝවා දෙවිට කරන සේවයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපි මුලින්ම මේ ප්‍රශ්න තුනට උත්තර බලමු. සහන සේවා කටයුතු අපේ පරිශුද්ධ සේවයට අයිතියි කියලා කියන්න පුළුවන් ඇයි? සහන සේවා සපයන එකේ අරමුණු මොනවාද? සහන සේවා කටයුතුවලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

“පරිශුද්ධ සේවයක්” වෙන්නේ කොහොමද?

4. දෙවිට කරන සේවය ගැන පාවුල් කොරින්ති සභාවේ අයට කිව්වේ මොනවාද?

4 යෙහෝවා දෙවිට කරන සේවයට අයිති පැති දෙකක් ගැන පාවුල් කොරින්ති සභාවට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළා. පාවුල් ඒ ලියුම ලිව්වේ අභිෂේක ලත් අයට වුණත් ඒකේ සඳහන් වෙන දේවල් “වෙනත් බැටළුවන්ටත්” අදාළයි. (යොහ. 10:16) පාවුල් සඳහන් කරපු විදිහට අපේ සේවයට අයිති එක පැත්තක් තමයි “සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය.” (2 කොරි. 5:18-20) ඒකට දේශනා සේවය සහ මිනිසුන්ට සත්‍යය ගැන උගන්වන එක අයිතියි. (1 තිමෝ. 2:3-6) අපේ සේවයට අයිති අනිත් පැත්ත තමයි අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි කරන දේවල්. පාවුල් ඒක හැඳින්නුවේ “ශුද්ධ තැනැත්තන්ට උපකාර කිරීමේ සැලැස්ම [සේවය]” කියලයි. (2 කොරි. 8:4) “සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය” සහ “ශුද්ධ තැනැත්තන්ට උපකාර කිරීමේ සැලැස්ම” ගැන කතා කරද්දී ඒ තැන් දෙකේදීම පාවුල් පාවිච්චි කළේ “ඩීයාකොනීයා” කියන ග්‍රීක වචනය. ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් මොනවාද?

5. සහන සේවා කටයුතු ගැන කතා කරද්දී පාවුල් ඒක විස්තර කරන්න සේවය කියන වචනය පාවිච්චි කරපු එකේ තියෙන විශේෂත්වය මොකක්ද?

5 ඒ සේවයන් දෙකම විස්තර කරන්න පාවුල් එකම ග්‍රීක වචනය පාවිච්චි කරපු එකෙන් අදහස් වෙන්නේ අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න සහන සේවා සපයන එකත් සභාව මාර්ගයෙන් සිද්ධ වෙන සේවාවන්වලටම අයිති වෙනවා කියන එකයි. කලින් අවස්ථාවක පාවුල් මෙහෙම කියලා තිබුණා. “විවිධාකාර සේවාවන් ඉටු කළත් සිටින්නේ එකම ස්වාමීන්ය. සියලුදෙනා විවිධාකාර වැඩකටයුතු ඉටු කළත් . . . ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය.” (1 කොරි. 12:4-6, 11) සභාව මාර්ගයෙන් සිද්ධ වෙන හැම සේවයක්ම “පරිශුද්ධ සේවයක්” කියලා ඔහු සඳහන් කළා. (රෝම 12:1, 6-8) ඒ නිසා සහන සේවා සපයන එකත් පරිශුද්ධ සේවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. “ශුද්ධ තැනැත්තන්ට යම් උපකාර ලබා දෙන්න” ඔහු තම පෞද්ගලික කාලය කැමැත්තෙන්ම යෙදෙව්වේ ඒ නිසයි.—රෝම 15:25, 26.

6. (අ) සහන සේවා කටයුතු අපි කරන නමස්කාරයට අයිතියි කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) ලෝකෙ පුරාම අපේ සහන සේවා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. (“ හදිසි විපතක් සිද්ධ වුණාම කරන්න ඕන දේවල්” යන කොටුව බලන්න.)

6 සහන සේවා කටයුතු යෙහෝවා දෙවිට කරන නමස්කාරයට අයිති වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පාවුල් කොරින්තිවරුන්ට උදව් කළා. ඒක පැහැදිලි කරන්න ඔහු මෙහෙම කිව්වා. ක්‍රිස්තියානීන් අනිත් අයට සහන සේවා සපයන්නේ ඒ අය “ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට යටත්ව සිටින” නිසයි. (2 කොරි. 9:13) ක්‍රිස්තුස් උගන්වලා තියෙන දේවල් ඒ අය අදාළ කරගන්න නිසා අවශ්‍යතාව තියෙන සහෝදර සහෝදරියන්ට ඒ අය උදව් කරනවා. එහෙම කරන්න ඒ අය පෙලඹෙන්නේ “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” නිසයි. (2 කොරි. 9:14; 1 පේතෘ. 4:10) සහෝදරයන්ට සහන සේවා සපයන එක ගැන 1975 ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “මේ විදිහට කරන කාරුණික ක්‍රියාවන් යෙහෝවා දෙවි සහ ක්‍රිස්තුස් හුඟක් අගය කරනවා කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.” ඇත්තෙන්ම සහන සේවා කටයුතු අපේ පරිශුද්ධ සේවයට අයිති හුඟක් වැදගත් අංගයක්.—රෝම 12:1, 7; 2 කොරි. 8:7; හෙබ්‍රෙ. 13:16.

සහන සේවා කටයුතුවල අරමුණු

7, 8. අපි කරන සහන සේවා කටයුතුවල එක අරමුණක් මොකක්ද? පැහැදිලි කරන්න.

7 සහන සේවා සපයන එකේ අරමුණු ගැන පාවුල් කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළා. (2 කොරින්ති 9:11-15 කියවන්න.) “බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වන සේවය” විදිහට හඳුන්වලා තියෙන සහන සේවයේ අරමුණු තුනක් ගැන ඒ ලියුමෙන් දැනගන්න පුළුවන්. ඒ ගැන අපි දැන් බලමු.

8 සහන සේවා කටයුතුවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා. කලින් ඡේදයේ සඳහන් වෙන බයිබල් පද පහේ පාවුල් කී වතාවක් සහෝදරයන්ට යෙහෝවා දෙවි ගැන සඳහන් කළාද කියලා ටිකකට හිතන්න. “දෙවිට ස්තුති දීම” සහ “දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීම” ගැන පාවුල් ඒ අයට මතක් කළා. (2 කොරි. 9:11, 12) ඒ වගේම සහන සේවා නිසා “දෙවිට ප්‍රශංසාව හා ගෞරවය” දෙන්නත් “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” අගය කරන්නත් ක්‍රිස්තියානීන් පෙලඹෙනවා කියලා පාවුල් සඳහන් කළා. (2 කොරි. 9:13, 14) සහන සේවා ගැන කරපු සාකච්ඡාව ඔහු අවසන් කළේ ‘දෙවිට ස්තුති වේවා’ කියලයි.—2 කොරි. 9:15; 1 පේතෘ. 4:11.

9. සමහර අයට සාක්ෂිකරුවන් ගැන හිතපු විදිහ වෙනස් කරගන්න සහන සේවා කටයුතු උදව් වුණේ කොහොමද? උදාහරණයක් දෙන්න.

9 සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් ඔහුගේ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වන්නත් පුළුවන් කියලා පාවුල් වගේම අද ඉන්න ක්‍රිස්තියානීනුත් පිළිගන්නවා. (1 කොරි. 10:31; තීත. 2:10) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් මිනිසුන්ට තියෙන වැරදි අදහස් නැති කරගන්න සහන සේවා කටයුතු උදව් වෙලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නැති කාන්තාවක් එයාගේ ගෙදර දොරේ ගහලා තිබුණා “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් තට්ටු කරන්න එපා” කියලා. දවසක් එයා හිටිය පළාතේ චණ්ඩ මාරුතයක් ඇති වුණා. ඒ කාලෙදී එයා දැක්කා අලාභහානි වෙලා තිබුණු ගෙයක් හදන්න ඇවිත් හිටිය සෙනඟක් අනිත් අයට වඩා කොයි තරම් වෙනස්ද කියලා. ඒ අය කවුද කියලා දැනගන්න එතැනට ගියාම එයා දැනගෙන තියෙනවා එතැන ස්වේච්ඡා සේවකයන් විදිහට වැඩ කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. ඒ ගැන දැනගත්තාම එයා කොයි තරම් පුදුම වුණාද කියනවා නම් “මං මෙච්චර කල් ඔයගොල්ලන් ගැන හිතාගෙන හිටියේ වැරදි විදිහටනේ” කියලා එයා සාක්ෂිකරුවන්ට කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී දොරේ ගහලා තිබුණු දැන්වීමත් ගලවලා දැම්මා.

10, 11. (අ) සහන සේවා කටයුතුවලින් සහෝදරයන්ගේ අවශ්‍යතා ඉක්මනින්ම ඉටු වෙනවා කියලා ඔප්පු වෙන්නේ මොන උදාහරණවලින්ද? (ආ) සහන සේවකයන්ට උපකාරයක් වුණේ මොන සඟරාවද? (“ සහන සේවා කටයුතුවලට පහසුවක් වුණු සඟරාවක්” යන කොටුව බලන්න.)

10 සහන සේවා කටයුතුවලින් සහෝදර සහෝදරියන්ගේ ‘අවශ්‍යතා හොඳින් ඉටු වෙනවා.’ (2 කොරි. 9:12) අපේ සහෝදර සහෝදරියන් මොකක් හරි විපතකට මුහුණ දීලා තියෙනවා කියලා දැනගත්තාම අපි පුළුවන් ඉක්මනින් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ ඇයි? ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වන අපි හරියට “එකම ශරීරයක්” වගෙයි. ‘එක අවයවයකට වේදනාවක් ඇති වෙද්දී අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනෙනවා.’ (1 කොරි. 12:20, 26) දෙවිගේ සෙනඟ අතරේ ඉන්න හුඟක් අය තමන්ගේ වැඩ පැත්තකට දාලා විපතට පත් වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් කරන්න යන්නේ ඒ අය ගැන තියෙන දයානුකම්පාව සහ සහෝදර ස්නේහය නිසයි. (යාකො. 2:15, 16) උදාහරණයක් බලන්න. 2011දී ඇති වුණු සුනාමි තත්වය නිසා ජපානයේ නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කරන්න “අද්දැකීම් තියෙන සහෝදරයන් කිහිපදෙනෙක්ව” අවශ්‍යයි කියලා එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලය එහේ තිබුණු නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටුවලට දැනුම් දීලා තියෙනවා. සති කිහිපයක් ඇතුළත 600දෙනෙක් විතර තමන්ගේම වියදමින් ජපානයට ගිහින් ඒ වැඩවලට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් ඒ ගැන කිව්වේ “අපිට ඒක අදහාගන්නත් බැරි වුණා” කියලයි. ජපානයේ ඉන්න සහෝදරයෙක් ස්වේච්ඡා සේවකයෙක්ගෙන් අහලා තියෙනවා මෙහෙට ඇවිත් උදව් කරන්න හිතුණේ ඇයි කියලා. එතකොට ඒ සහෝදරයා මෙහෙම කියලා තියෙනවා. “ජපානයේ ඉන්න සහෝදරයනුත් ‘අපේම ශරීරයේ’ කොටසක් නිසා ඒ අය දුකෙන් ඉද්දී අපිටත් ඒක දැනෙනවා.” සහන සේවාවල හවුල් වෙන අය තමන්ගේ සහෝදරයන්ට උදව් කරන්න සමහර අවස්ථාවලදී ජීවිතයත් පරදුවේ තියලා තියෙනවා. b1 යොහ. 3:16.

11 සාක්ෂිකරුවන් නොවන අයත් අපි කරන සහන සේවා කටයුතු අගය කරනවා. උදාහරණයක් බලන්න. 2013දී එක්සත් ජනපදයේ ආර්කන්සාස් ප්‍රාන්තයේ ඇති වුණු විපතක් නිසා එහේ අයට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තිබුණු සාක්ෂිකරුවන් ගැන එක පුවත්පතක මෙහෙම සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳින් සංවිධානය වෙලා ඉන්න සෙනඟක් නිසා විපතක් වුණාම ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා ඒ අය දන්නවා. ඒ නිසා ඒ වගේ වෙලාවකදී ඒ අය හරිම දක්ෂ විදිහට අවශ්‍ය දේවල් ඉක්මනින්ම කරනවා.” ඇත්තෙන්ම පාවුල් කියපු විදිහටම අපිත් අපේ සහෝදරයන්ගේ “අවශ්‍යතා හොඳින් ඉටු කරනවා” කියලා කියන්න පුළුවන්.

12-14. (අ) විපත්වලට මුහුණ දෙන අයට නමස්කාර කටයුතුවලට හවුල් වෙන්න උදව් කරන එක මොන තරම් වැදගත්ද? (ආ) නමස්කාර කටයුතුවලට හවුල් වෙන එකේ වැදගත්කම කාවද්දන අද්දැකීම් මොනවාද?

12 විපත්වලට මුහුණ දෙන අයට ආයෙත් ඉක්මනින්ම නමස්කාර කටයුතුවල හවුල් වෙන්න සහන සේවා කටයුතු උදව් වෙනවා. ඒක වැදගත් ඇයි? පාවුල් කිව්වේ සහන සේවාවලින් ප්‍රයෝජන ලබන අය “දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීමට” පෙලඹෙනවා කියලයි. (2 කොරි. 9:12ආ) ඒ වගේ අයට දෙවිට ස්තුති කරන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ පුළුවන් ඉක්මනින් ආයෙත් නමස්කාර කටයුතුවලට හවුල් වෙන එක නෙවෙයිද? (ෆිලි. 1:10) 1945 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණු මේ දේ බලන්න. ‘සම්මාදම් එකතු කරන වැඩේට පාවුල් කැමති වුණා. මොකද ඒකෙන් ක්‍රිස්තියානි සහෝදරයන්ගේ අවශ්‍යතා ඉටු වෙන නිසා උද්‍යෝගයෙන් දේවසේවයේ යන්න ඒ අයට පුළුවන් වෙනවා.’ අද අපිත් උත්සාහ කරන්නේ ඒ දේම කරන්න තමයි. විපතකට මුහුණ දීලා ඉන්න සහෝදරයන් දේශනා සේවයේ හවුල් වෙද්දී දුකින් ඉන්න මිනිසුන්ව සනසන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක ඒ අයටත් ශක්තියක්.—2 කොරින්ති 1:3, 4 කියවන්න.

13 විපත්වලට මුහුණ දීලා සහන සේවාවලින් ප්‍රයෝජන ලබපු අය ඉක්මනින්ම ආයෙත් දේශනා සේවයේ හවුල් වුණු නිසා ප්‍රයෝජන ලබලා තියෙනවා. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “දේශනා සේවයේ ගිය එක අපේ පවුලේ හැමෝටම ලොකු ආශීර්වාදයක් වුණා. අපේම කාරණා ගැන හිතහිතා ළත වෙන්නේ නැතුව ඉන්න, සේවයේ ගිහින් අනිත් අයව සනසවපු එක අපිට උදව්වක් වුණා.” එක සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “සිද්ධ වුණු විපත ගැන මොහොතකට හරි අමතක කරන්න නමස්කාර කටයුතුවලට හවුල් වුණු එක මට උදව්වක් වුණා. මට ලොකු ආරක්ෂාවක් දැනුණා.” තවත් සහෝදරියක් මෙහෙම කිව්වා. “වෙච්ච දේවල් වෙනස් කරන්න අපි කාටත් බැහැ. හැබැයි අපි දේශනා සේවයේ ගිහින් අපේ බලාපොරොත්තුව ගැන අනිත් අයත් එක්ක කතා කරපු නිසා පාරාදීසය ගැන අපිට තිබුණු බලාපොරොත්තුව තවත් ශක්තිමත් වුණා.”

14 විපත්වලට මුහුණ දෙන අය පුළුවන් ඉක්මනින් රැස්වීම්වලට සහභාගි වෙන එකත් හුඟක් වැදගත්. සහෝදරි කියොකොගේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙනවා. වයස අවුරුදු පනස් ගණන්වල ඉද්දී සහෝදරි කියොකො සුනාමියකට මුහුණ දීපු නිසා අන්තිමේදී එයාට ඉතුරු වුණේ ඇඳන් හිටිය ඇඳුමයි සෙරෙප්පු දෙකයි විතරයි. ඒ නිසා කරන්න ඕන මොනවාද කියලවත් එයාට හිතාගන්න බැරි වුණා. හැබැයි එක වැඩිමහල්ලෙක් කියලා තියෙනවා ඒ සතියට නියමිත රැස්වීම ඒ සහෝදරයාගේ වාහනේ ඉඳන් පවත්වනවා කියලා. ඒ ගැන කියොකො කිව්වේ මෙහෙමයි. “වැඩිමහල් සහෝදරයයි එයාගේ බිරිඳයි මමයි තව සහෝදරියකුයි තමයි එදා ඒ රැස්වීමට හිටියේ. ඒ රැස්වීම තිබ්බේ ටික වෙලාවකට වුණත් ඒකෙන් මගේ මනසට ලොකු සහනයක් දැනුණා. මම මුහුණ දීපු කටුක අද්දැකීමත් මට අමතක වුණා. අපේ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එකෙන් කොයි තරම් ලොකු ශක්තියක් ලැබෙනවාද කියලා එදා මං අද්දැක්කා.” තවත් විපතකට මුහුණ දීපු සහෝදරියක් රැස්වීම්වලින් ලබපු ප්‍රයෝජන ගැන මෙහෙම කිව්වා. “ඒ නිසා තමයි මට මගේ දුක දරාගන්න පුළුවන් වුණේ.”—රෝම 1:11, 12; 12:12.

සහන සේවා කටයුතුවලින් ලැබෙන දිගුකාලීන ප්‍රයෝජන

15, 16. (අ) සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී ඒකෙන් කොරින්ති සභාවේ අය වගේම අනිත් ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? (ආ) සහන සේවාවලින් අදටත් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 සහන සේවාවලට හවුල් වෙද්දී ඒකෙන් කොරින්තිවරුන් සහ අනිත් ක්‍රිස්තියානීන් ලබන ප්‍රයෝජන ගැනත් පාවුල් සඳහන් කළා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කරන ඔවුහු [සහනාධාර ලබපු යෙරුසලමේ හිටිය යුදෙව්වන්], කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව අද්දකින ඔබව දැකීමටත් මහත් ආශාවකින් සිටිති.” (2 කොරි. 9:14) ඔව්, කොරින්තියේ හිටිය ක්‍රිස්තියානීන් සහනාධාර යවපු නිසා යුදෙව් ක්‍රිස්තියානීන් පෙලඹුණා ඒ අය වෙනුවෙනුත් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් වෙනුවෙනුත් යාච්ඤා කරන්න. ඒ වගේම යුදෙව් ක්‍රිස්තියානීන්ට ඒ අය ගැන ලොකු ආදරයකුත් ඇති වුණා.

16 සහන සේවාවලින් ලැබෙන ප්‍රයෝජන ගැන 1945 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “අවශ්‍යතාව තියෙන සහෝදරයන් වෙනුවෙන් හැකියාව තියෙන සහෝදරයන් උදව් කරද්දී ඒ අය අතර තියෙන බැඳීම කොයි තරම් ශක්තිමත් වෙනවාද!” සහන සේවා කටයුතුවලට හවුල් වෙන අය ඒක අද්දැකලා තියෙනවා. ගංවතුරෙන් විපතට පත් වුණු අයට උදව් කරන්න ගිය වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “සහන සේවාවලට හවුල් වෙද්දී සහෝදරයන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.” සහන සේවා නිසා ප්‍රයෝජන ලබපු සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “අපේ සහෝදරත්වය තමයි මේ පොළොවේ දැනට අපිට තියෙන පාරාදීසය.”—හිතෝපදේශ 17:17 කියවන්න.

17. (අ) යෙසායා 41:13 සඳහන් දේ සහන සේවා කටයුතුවලට අදාළ වෙන්නේ කොහොමද? (ආ) සහන සේවය නිසා යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙන විදිහ ගැනත් සහෝදරයන් අතර තියෙන බැඳීම ශක්තිමත් වෙන විදිහ ගැනත් පැහැදිලි කරන්න. (“ සහනය සලසන ස්වේච්ඡා සේවකයන්” යන කොටුවත් බලන්න.)

17 විපත්වලට මුහුණ දෙන අය සහන සේවාවලින් ප්‍රයෝජන ලබද්දී දෙවි දීලා තියෙන මේ පොරොන්දුව මොන තරම් ඇත්තක්ද කියලා ඒ අය අද්දකිනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.” (යෙසා. 41:13) ඒ ගැන එක සහෝදරියක් කියපු දේ බලන්න. “සිද්ධ වෙලා තිබුණු හානිය නිසා මම හිටියේ කිසිම දෙයක් කරකියාගන්න බැරුවයි. හැබැයි යෙහෝවා දෙවි මගේ අතින් අල්ලගත්තා. සහෝදරයන් මට උදව් කරපු විදිහ නම් මට වචනෙන් විස්තර කරන්න බැහැ.” විපතකට මුහුණ දීපු ප්‍රදේශයක හිටිය වැඩිමහල්ලන් දෙන්නෙක් සභාවේ හැමෝටම හැඟුණු විදිහ ගැන කිව්වේ මෙහෙමයි. “භූමිකම්පාව නිසා අපි හුඟක් දුක් වින්දත් යෙහෝවා දෙවි අපිට උපකාර කරන විදිහ අපි අපේ සහෝදරයන්ගෙන් අද්දැක්කා. සහන සේවා ගැන අපි කලින් කියවලා තිබුණා. හැබැයි ඒක ඇත්තටම සිද්ධ වෙන විදිහ අපි අපේ ඇස් පනාපිටම දැක්කා.”

ඔබටත් හවුල් වෙන්න පුළුවන්ද?

18. සහන සේවා කටයුතුවලට හවුල් වෙන්න කැමති නම් ඔබට කරන්න පුළුවන් මොනවාද? (“ ඔහුගේ ජීවිතය වෙනස් වුණා” යන කොටුවත් බලන්න.)

18 සහන සේවා කටයුතුවල හවුල් වෙන එකෙන් ලැබෙන සතුට අද්දකින්න ඔබත් කැමතිද? එහෙනම් ඒ ගැන ඔබේ සභාවේ වැඩිමහල්ලන් එක්ක කතා කරන්න. c සහන සේවා කටයුතු ගැන අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක් කිව්වා “සහන සේවා කමිටුවක මඟ පෙන්වීමක් නැතුව කවදාවත් ආපදාවක් වෙලා තියෙන තැනකට යන්න එපා” කියලා. ඒක සහන සේවා කටයුතු පිළිවෙළකට කරගෙන යන්න උදව් වෙනවා.

19. සහන සේවා කටයුතුවලට හවුල් වෙන අය නිසා අපි ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

19 සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී “එකිනෙකාට ප්‍රේම කළ යුතුයි” කියලා යේසුස් දීපු ආඥාවට කීකරු වෙන්න පුළුවන් වෙනවා. එහෙම කරද්දී අපි ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් කියලත් ඔප්පු වෙනවා. (යොහ. 13:34, 35) දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය විපත්වලට මුහුණ දෙද්දී ඒ අයට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අය යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා. ඒ වගේ හුඟදෙනෙක් අපි අතරේ ඉන්න එක මොන තරම් ලොකු ආශීර්වාදයක්ද!

a මේ පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ සාක්ෂිකරුවන් වෙනුවෙන් කරලා තියෙන සහන සේවා කටයුතු ගැනයි. හැබැයි සාක්ෂිකරුවන් නොවන අයත් ඒකෙන් ප්‍රයෝජන ලබලා තියෙනවා.—ගලා. 6:10.

b 1994 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 23-27 පිටුවල සඳහන් “බොස්නියාවේ අපගේ ඇදහිලිවන්තයන්ගේ පවුලට ආධාර කිරීම” යන ලිපිය බලන්න.

c සමහර රටවල සහන සේවා කටයුතුවලට හුඟක් අවස්ථාවලදී හවුල් කරගන්නේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන කණ්ඩායම්වල සේවය කරන අයවයි.