Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සිටියි

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සිටියි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය මේ ලෝකයේ දේවලට සම්බන්ධ වෙන්නේ නැහැ

1, 2. (අ) යේසුස්ගේ අනුගාමිකයන්ට අදටත් ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ ඔහු කියපු මොන දේද? (ආ) සතුරන් දෙවිගේ සෙනඟට කරන්න උත්සාහ කරලා තියෙන්නේ මොනවාද? ප්‍රතිඵල මොනවාද?

 යුදෙව්වන් අතරේ හිටිය බලවත්ම විනිසුරුවා වුණු පිලාත් ඉදිරියේ ඉද්දී යේසුස් හුඟක් වැදගත් දෙයක් කිව්වා. ඒ දේ අදටත් ඔහුගේ අනුගාමිකයන්ට හුඟක් ප්‍රයෝජනවත්. ඔහු කිව්වේ මෙහෙමයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහ. 18:36) පිලාත් යේසුස්ව මරන්න තීන්දුවක් දුන්නත් සතුරන්ට ඒ ගැන සතුටු වෙන්න පුළුවන් වුණේ දින කිහිපයකට විතරයි. මොකද වැඩි දවසක් යන්න කලින් යේසුස්ව නැවත නැඟිටෙව්වා. රෝම අධිරාජ්‍යයේ හිටිය බලවත් පාලකයන් ක්‍රිස්තියානීන්ව විනාශ කරලා දාන්න හැදුවත් කිසිම පලක් වුණේ නැහැ. ක්‍රිස්තියානීන් පොළොව පුරාම ශුභාරංචිය පතළ කළා.—කොලො. 1:23.

2 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාට පස්සේ බලවත් හමුදාවන් දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒ උත්සාහයන් සාර්ථක වෙලා නැහැ. හුඟක් ආණ්ඩු සහ දේශපාලන පක්ෂ, ගැටුම් පවතින කාලවලදී දෙවිගේ සෙනඟව ඔවුන්ගේ පැත්තට නම්මවාගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ දේවලට අපිව පොලඹවලා අපේ එක්සත්කම නැති කරන්න ඔවුන්ට පුළුවන් වෙලා නැහැ. දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් විවිධ ජාතීන්වලට අයත් වුණත් එකම සහෝදර කැලක් විදිහට ඉන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන් කිසිම විදිහකින්වත් දේශපාලනයට හවුල් වෙන්නේ නැති නිසයි. අපි අතරේ තියෙන ඒ එක්සත්කම දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා කියලා කියන්නත් රජු වන ක්‍රිස්තුස් තම සෙනඟට මඟ පෙන්වනවා, ඔවුන්ව පවිත්‍ර කරනවා සහ ඔවුන්ව ආරක්ෂා කරනවා කියලා කියන්නත් හොඳ සාක්ෂියක් නෙවෙයිද? ක්‍රිස්තුස් ඒ දේවල් කරලා තියෙන්නේ කොහොමද කියලත් අපි “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී” ඉන්න උත්සාහ කරද්දී ඔහු අපිට අත් කරලා දීලා තියෙන නීතිමය ජයග්‍රහණයන් කිහිපයක් ගැනත් අපි දැන් බලමු.—යොහ. 17:14.

වැදගත් ප්‍රශ්නයක් මතු වෙයි

3, 4. (අ) දෙවිගේ රාජ්‍යය පිහිටුවපු කාලයේ සිද්ධ වුණේ මොන දේවල්ද? (ආ) දේශපාලනයට සහ යුද්ධවලට හවුල් නොවී ඉන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා දෙවිගේ සෙනඟ මුලදී තේරුම් අරන් හිටියාද? පැහැදිලි කරන්න.

3 දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාට පස්සේ ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. ප්‍රතිඵලයක් විදිහට සාතන්ව පොළොවට දැම්මා. (එළිදරව් 12:7-10, 12 කියවන්න.) ඒත් එක්කම පොළොවෙත් යුද්ධයක් ඇති වුණා. ඒක දෙවිට නමස්කාර කරපු අයගේ පක්ෂපාතකම සෝදිසියට ලක් කරපු යුද්ධයක්. යේසුස්ව ආදර්ශයට ගත්ත දෙවිගේ සෙනඟ මේ ලෝකයේ දේවලට සම්බන්ධ නොවී ඉන්න උපරිමයෙන් උත්සාහ කළා. හැබැයි දේශපාලනයට සහ යුද්ධවලට හවුල් නොවී ඉන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා ඔවුන් මුලදී තේරුම් අරන් හිටියේ නැහැ.

4 1904දී ප්‍රකාශයට පත් කරපු ‘සහස්‍රයේ උදාව’ කියන පොත් කාණ්ඩයේ 6වෙනි වෙළුමේ a පැහැදිලිවම කියලා තිබුණා ක්‍රිස්තියානීන්ට යුද්දෙට හවුල් වෙන්න එපා කියලා. හැබැයි ඒ පොතේ මෙහෙමත් පැහැදිලි කරලා තිබුණා. ක්‍රිස්තියානීන්ව බලෙන් හමුදා සේවයට බඳවාගත්තොත් යුද්දෙට යන්නේ නැතුව හමුදාවෙම වෙනත් සේවයක් කරන්න උත්සාහ කරන්න ඕනේ, ඒත් ඒකට අවසර නොදී යුද්දෙට යන්න කියලා බල කළොත් කිසිම කෙනෙක්ට වෙඩි තියන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ අදහස ගැන 1905දී බව්තීස්ම වුණු බ්‍රිතාන්‍යයේ හිටිය සහෝදර හර්බට් සීනිය කිව්වේ මෙහෙමයි. “යුද්දෙට නොගියත් වෙනත් සේවයක් කරන්න හරි හමුදාවට බැඳෙන එක සුදුසුද කියලා තේරුම්ගන්න නිශ්චිත මඟ පෙන්වීමක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා කරන්න ඕනෙ මොකක්ද කියලා සහෝදරයන්ට තේරුම්ගන්න බැරුවයි හිටියේ.”

5. හමුදා සේවයට බැඳෙන එක ගැන 1915 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ තවත් පැහැදිලි කරලා තිබුණේ මොනවාද?

5 හමුදා සේවයට බැඳෙන එක හරිද වැරදිද කියලා 1915 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ තවත් පැහැදිලි කරලා තිබුණා. ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන පොතේ ඒ ගැන සඳහන් වුණු අදහස සම්බන්ධයෙන් ඒ සඟරාවේ කියලා තිබුණේ මෙහෙමයි. “ඒ වගේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරද්දී ඒකෙන් අපේ ප්‍රතිපත්ති පාවා දීමක් වෙන්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක්.” හැබැයි හමුදා නිලඇඳුම ඇඳගෙන හමුදා සේවයට සම්බන්ධ වැඩවලට හවුල් වුණේ නැත්නම් වෙඩි තියනවා කියලා තර්ජනය කළොත් මොකද කරන්නේ? ඒ ගැන ඒ සඟරාවේම මෙහෙම සඳහන් වුණා. “වැඩියෙන්ම හොඳ සාමයේ කුමාරයාට විශ්වාසවන්තව ඉඳලා මැරෙන එකද නැත්නම් රජුට පිටුපාලා ලෝකයේ පාලකයන්ට සහයෝගය දෙන කෙනෙක් විදිහට මැරෙන එකද? අපි වැඩියෙන්ම කැමති අපේ රජුට විශ්වාසවන්තව ඉඳලා මැරෙන්නයි.” ඒ සඟරාවේ මෙහෙමත් සඳහන් කරලා තිබුණා. “මේ විදිහට කරන්න කියලා අපි කාටවත් බල කරන්නේ නැහැ. ඒක තනි තනිවම ගන්න ඕන තීරණයක්.”

6. සහෝදර හර්බට් සීනියගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගත්තේ මොකක්ද?

6 හමුදා සේවයට සම්බන්ධ ඕනෙම රාජකාරියක් කරන එක වැරදියි කියලා සමහර සහෝදරයන් තේරුම්ගත්තා. කලින් සඳහන් කරපු හර්බට් සීනිය කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “මට නම් නැවකින් වෙඩි උණ්ඩ බාන එකයි [හමුදා සේවයට සම්බන්ධ රාජකාරියක්] ඒවා තුවක්කුවකට දාලා වෙඩි තියන එකයි අතර වෙනසක් නැහැ.” (ලූක් 16:10) හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදර හර්බට් සීනියව හිරේ දැම්මා. බ්‍රිතාන්‍යයේ රිච්මන්ඩ් බන්ධනාගාරයේ හිටිය හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු විවිධ ආගම්වලට අයිති 16දෙනා අතර සහෝදර හර්බට් සහ තවත් සහෝදරයන් 4දෙනෙක් හිටියා. එක අවස්ථාවක සහෝදර හර්බට්වයි අනිත් අයවයි හොර රහසින්ම ප්‍රංශයේ යුධ බිමකට අරන් ගියා. එහෙදී ඒ අයට වෙඩි තියලා මරන්න තීරණය කරපු නිසා තුවක්කු තියාගෙන හිටිය හමුදා භටයන් ඉදිරියේ ඒ අයට පේළියට හිටගන්න කිව්වා. හැබැයි අන්තිමේදී ඒ අයට වෙඩි තියනවා වෙනුවට අවුරුදු දහයක හිරදඬුවම් නියම කළා.

“යුධ ගැටුම් තියෙන කාලෙක වුණත් දෙවිගේ සෙනඟ හැමෝම එක්ක සාමයෙන් ඉන්න ඕනෙ කියලා මම තේරුම්ගත්තා.”—සයිමන් ක්‍රැකර් (7 ඡේදය බලන්න)

7. දෙවෙනි ලෝක මහා යුද්ධය පටන්ගද්දී දෙවිගේ සෙනඟ තේරුම් අරන් හිටියේ මොනවාද?

7 යුද්ධවලට හවුල් වෙන්නේ නැතුව ඉන්න නම් කරන්න ඕන මොනවාද කියලත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද කියලත් දෙවෙනි ලෝක මහා යුද්ධය පටන්ගද්දී යෙහෝවා දෙවිගේ සෙනඟ තේරුම් අරන් හිටියා. (මතෙ. 26:51-53; යොහ. 17:14-16; 1 පේතෘ. 2:21) 1939 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන සඳහන් වුණු ලිපියක මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවිගේ විශේෂ සෙනඟ හැටියට අපි ජාතීන් අතර ඇති වෙන යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්න වගබලා ගන්න ඕනේ.” පස්සේ කාලෙක බෘක්ලින්වල මූලස්ථානයේ වැඩ කරපු සයිමන් ක්‍රැකර් ඒ ලිපිය ගැන කිව්වේ මෙහෙමයි. “යුධ ගැටුම් තියෙන කාලෙක වුණත් දෙවිගේ සෙනඟ හැමෝම එක්ක සාමයෙන් ඉන්න ඕනෙ කියලා මම තේරුම්ගත්තා.” ඒ අවබෝධය ලැබුණේ නියම වෙලාවට. මොකද දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව හිටිය ඒ අයට ඉදිරියේදී තවත් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

පීඩා “ගංගාවක්” ගලා එයි

8, 9. යොහන් කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද?

8 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාට පස්සේ දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අයව නැති කරන්න මකරා විදිහට හඳුන්වලා තියෙන සාතන් ඔහුගේ කටින් ගංගාවක් තරම් ජල කන්දරාවක් පිට කරනවා කියලා යොහන් අනාවැකියක් කියලා තිබුණා. b (එළිදරව් 12:9, 15 කියවන්න.) ඒක ඉටු වුණේ කොහොමද? 1920 ගණන්වල ඉඳන් දෙවිගේ සෙනඟ එක පිට එක පීඩා අද්දැක්කා. උදාහරණයකට දෙවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව හිටිය නිසා උතුරු ඇමරිකාවේ ජීවත් වුණු සහෝදරයන් හුඟදෙනෙක්ට වගේ සහෝදර ක්‍රැකර්ටත් හිරදඬුවම් ලැබුණා. ඒ කාලෙදී එක්සත් ජනපදයේ ආගමික හේතු නිසා යුද්ධයට හවුල් වෙන එක ප්‍රතික්ෂේප කරලා හිරදඬුවම් ලබපු අය අතරින් තුනෙන් දෙකක්ම හිටියේ සාක්ෂිකරුවන්.

9 ලෝකෙ වටේම ඉන්න දෙවිගේ සෙනඟ දෙවිගේ රාජ්‍යයට දක්වන පක්ෂපාතකම නැති කරන්න සාතන් සහ ඔහුගේ නියෝජිතයන් පුළුවන් හැම දේම කළා. උදාහරණයකට අප්‍රිකාවේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ හිටිය සහෝදරයන්ට අධිකරණවලට යන්න සිද්ධ වුණා. ඒ අය යුද්දෙට හවුල් වුණේ නැති නිසා ඔවුන්ව හිරේ දැම්මා, හොඳටම ගුටිබැට දුන්නා, සමහර අයව අබ්බගාතයන් කළා. ජර්මනියේ හිටිය අපේ සහෝදරයන් හිට්ලර්ට ජය වේවා කියලා කියන එක එහෙමත් නැත්නම් යුද්ධයට හවුල් වෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා පීඩා රැසකට මුහුණ දුන්නා. ඒ කාලයේදී සාක්ෂිකරුවන් 6,000ක් විතර නාට්සි හිරකඳවුරුවලට දැම්මා. ඒ අතර හිටිය ජර්මානු ජාතිකයන් සහ වෙනත් ජාතීන්වලට අයිති සාක්ෂිකරුවන් 1,600කට වඩා වැඩිදෙනෙක් වධකයන් අතින් මැරුම් කෑවා. ඒ මොන දේ වුණත් දෙවිගේ සෙනඟව සදහටම නැති කරන්න සාතන්ට පුළුවන් වුණේ නැහැ.—මාක් 8:34, 35.

“පොළොව . . . ගංගාව” ගිල දමයි

10. “පොළොවෙන්” නියෝජනය වෙන්නේ මොනවාද? දෙවිගේ සෙනඟට උපකාර කරන්න “පොළොව” මැදිහත් වෙලා තියෙන්නේ කොහොමද?

10 යොහන් කියපු අනාවැකියේ “පොළොව” තම කට ඇර “ගංගාව” ගිල දැම්මා කියලා සඳහන් වෙනවා. “පොළොවෙන්” නියෝජනය වුණේ නීතිය සහ සාමය රැකීමට කටයුතු කරන මිනිස් සමාජයේ තියෙන යම් ආයතන හෝ සංවිධාන. “ගංගාවෙන්” නියෝජනය වුණේ දෙවිගේ සෙනඟට මුහුණ දෙන්න වුණු පීඩාවන්. දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අයට උපකාර කරන්න දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ “පොළොව” මැදිහත් වෙලා තියෙනවා. (එළිදරව් 12:16 කියවන්න.) යුද්ධවලටත් රට ජාතිය උසස් කරලා පවත්වන සැමරීම්වලටත් හවුල් නොවී ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන අයිතිය අධිකරණවලින් තහවුරු කරලා තියෙන එකෙන් ඒක පැහැදිලි වෙනවා. දැන් අපි බලමු හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා පෙනී ඉන්න වුණු නඩු විභාගවලින් ජය ගන්න දෙවි තමන්ගේ සෙනඟට උපකාර කරලා තියෙන්නේ කොහොමද කියලා.—ගීතා. 68:20.

11, 12. සහෝදර සිකරෙල සහ ත්ලිමෙනොස් මුහුණ දුන්නේ මොන අභියෝගයටද? අන්තිමේදී සිද්ධ වුණේ මොනවාද?

11 එක්සත් ජනපදය. ඇන්තනී සිකරෙල කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පවුලක හැදී වැඩුණු කෙනෙක්. අවුරුදු 15දී ඔහු බව්තීස්ම වුණා. හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා ඔහු අවුරුදු 21දී අනිවාර්ය හමුදා සේවයට බඳවාගන්නා වූ කාර්යාලයේ ලියාපදිංචි වුණේ දේවගැතිවරයෙක් විදිහටයි. හැබැයි අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ 1950දී ඔහු, හෘදය සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන කෙනෙක් හැටියට ආපහු ලියාපදිංචි වෙන්න අයැදුම් කළා. ඇමරිකාවේ අපරාධ විමර්ශන අංශය ඔහුගේ ඉල්ලීමට විරුද්ධ වුණේ නැහැ. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුව ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කිහිප වතාවක්ම පහළ අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වුවත් පලක් වුණේ නැහැ. ඒ නිසා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපහු ඔහුගේ නඩුව විභාග කළා. ඒකෙදී සහෝදර සිකරෙලට පක්ෂව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව නිසා එක්සත් ජනපදයේ ඉන්න අනිත් අයටත් හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න හොඳ පදනමක් ලැබුණා.

12 ග්‍රීසිය. 1983දී හමුදා නිලඇඳුම අඳින්න අකමැති වුණු නිසා යාකෝවොස් ත්ලිමෙනොස්ට හිරදඬුවම් නියම වුණා. ඔහු හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ගණකාධිකාරවරයෙක් විදිහට රැකියාවකට ඉල්ලුම් කළා. හැබැයි ඔහු අපරාධකාරයෙක් කියලා පොලිස් වාර්තාවේ සඳහන් වෙලා තිබුණු නිසා ඒ රැකියාව ඔහුට ලැබුණේ නැහැ. ඔහු ඒ ගැන ග්‍රීසියේ අධිකරණවල නඩු ගොනු කළත් ඒ නඩුවලින් පැරදුණු නිසා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට ඒ ගැන අභියාචනයක් ඉදිරිපත් කළා. 2000දී විනිසුරුවන් 17දෙනෙක් ඇතුළත් මහා විනිසුරු මඬුල්ල ඔහුට පක්ෂව තීන්දුවක් දුන්නා. ඔවුන් කිව්වේ සාධාරණ හේතුවක් නැතුව මිනිසුන්ව අපරාධකරුවන් විදිහට හඳුන්වන්න එපා කියලයි. ඒ වෙද්දී හමුදා සේවය ප්‍රතික්ෂේප කරලා හිරදඬුවම් ලබපු තවත් සහෝදරයන් 3,500කට වඩා වැඩිදෙනෙක්වත් අපරාධකරුවන් විදිහට නම් කරලා තිබුණා. හැබැයි ත්ලිමෙනොස්ට පක්ෂව ලැබුණු තීන්දුවෙන් පස්සේ අපරාධකරුවන් විදිහට ඒ සහෝදරයන්ට විරුද්ධව නඟලා තියෙන චෝදනා ඉවත් කරන්න ග්‍රීසියේ රජයෙන් නීතියක් පැනෙව්වා. ඒ වගේම ඊට අවුරුදු කිහිපයකට පස්සේ හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට ඒ වෙනුවෙන් සිවිල් සේවයක් කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න නීතියක් පැනෙව්වා. සංශෝධනය කරපු ග්‍රීසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඒ නීතිය ඇතුළත් කරලා තියෙනවා.

“නඩු ශාලාවට ඇතුල් වෙන්න කලින් මම යෙහෝවා දෙවිට ගොඩක් යාච්ඤා කළා. එතකොට මට ලොකු සහනයක් දැනුණා.”—ඉවයිලො ස්ටෙෆානොෆ් (13 ඡේදය බලන්න)

13, 14. ඉවයිලො ස්ටෙෆානොෆ්ගේ සහ වාහාන් බයාට්යාන්ගේ නඩුවලින් අපිට පැහැදිලි වෙන්නේ මොනවාද?

13 බල්ගේරියාව. 1994දී අවුරුදු 19ක් වයස ඉවයිලො ස්ටෙෆානොෆ්ට හමුදාවට බැඳෙන්න කියලා නියෝග කළා. හැබැයි යුද්දෙට හවුල් වෙන්නවත් හමුදා සේවයට සම්බන්ධ වෙනත් සේවයක් කරන්නවත් කැමති වුණේ නැති නිසා ඔහුට මාස 18ක හිරදඬුවමක් නියම වුණා. ඒත් හෘදය සාක්ෂියට අනුව යුද්දෙට හවුල් නොවී ඉන්න තියෙන අයිතිය ගැන ඔහු නඩුවක් ගොනු කළා. ඔහුගේ නඩුව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයෙන් විභාග කරන්න කලින් 2001දී බල්ගේරියානු රජය ඔහු එක්ක සාකච්ඡා කරලා සමථයකට ආවා. සහෝදර ස්ටෙෆානොෆ්ව විතරක් නෙවෙයි හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු අනිත් අයවත් චෝදනාවලින් නිදහස් කළා. c

14 ආර්මේනියාව. අනිවාර්ය හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් 2001දී වාහාන් බයාට්යාන් වරදකරුවෙක් වුණා. d හෘදය සාක්ෂියට අනුව හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා ඔහුට ලැබුණු දඬුවම ගැන අභියාචනා ඉදිරිපත් කළත් ඒ කිසිම දේකින් පලක් වුණේ නැහැ. 2002 සැප්තැම්බර් මාසයේදී ඔහුට අවුරුදු දෙකහමාරක හිරදඬුවමක් ලැබුණත් මාස දහයහමාරකට පස්සේ ඔහුව නිදහස් කළා. ඔහු මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරපු නිසා ඒ අධිකරණයෙන් ඔහුගේ නඩුව විභාග කළා. හැබැයි 2009 ඔක්තෝබර් 27වෙනිදා ඔහුට විපක්ෂව තීන්දුවක් ලැබුණා. ඒ තීන්දුව නිසා ආර්මේනියාවේ ඒ ප්‍රශ්නයටම මුහුණ දීපු අනිත් සහෝදරයන්ගේ බලාපොරොත්තු සුන් වුණා. කොහොමවුණත් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ මහා විනිසුරු මඬුල්ල ඒ නඩුව විභාග කළා. ප්‍රතිඵලයක් විදිහට 2011 ජූලි 7වෙනිදා අධිකරණය වාහාන් බයාට්යාන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස නිසා කෙනෙක්ට හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයෙන් තීන්දු වුණු මුල්ම වතාව වුණේ ඒකයි. ඒ තීන්දුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වගේම යුරෝපා සංගමයට අයිති රටවල ඉන්න මිලියන ගණන් අයටත් ප්‍රයෝජනවත් වුණා. e

යුරෝපීය අධිකරණය ලබා දුන් තීන්දුව නිසා නිදහස ලැබුව ආර්මේනියාවේ සහෝදරයන්

රට ජාතිය උසස් කරලා පවත්වන සැමරීම්

15. රට ජාතිය උසස් කරලා පවත්වන සැමරීම්වලට අපි හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

15 දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත සෙනඟ රට ජාතිය උසස් කරලා පවත්වන සැමරීම්වලට සහභාගි වෙන්නේ නැහැ. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ තමන්ගේ රට ජාතිය උසස් කරලා සලකන්න ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් පෙලඹිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ රටට ජාතියට පක්ෂයි කියලා ප්‍රතිඥා දෙන එක, ජාතික ගීය ගායනා කරන එක සහ ජාතික කොඩියට ආචාර කරන එක ලෝකෙ පුරාම ඉන්න හැම රට වැසියෙක්ගෙන්ම බලාපොරොත්තු වෙනවා. හැබැයි යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන අය ඒ කිසිම දේකට හවුල් වුණේ නැහැ. (නික්. 20:4, 5) ඒ නිසා පීඩා රැල්ලකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. හැබැයි යෙහෝවා දෙවි ඒ වතාවේදීත් ඒ පීඩාවන් නැති කරලා දාන්න “පොළොව” පාවිච්චි කළා. ඒ වගේ තත්වයන්වලදී යෙහෝවා දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් අපිට ජයග්‍රහණ අත් කරලා දීලා තියෙන අවස්ථාවන් කිහිපයක් ගැන දැන් බලමු.—ගීතා. 3:8.

16, 17. ලිලියන් සහ විලියම් ගොබිටාස්ට සිද්ධ වුණේ මොනවාද? ඒ නඩු විභාගයෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

16 එක්සත් ජනපදය. 1940දී ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 9දෙනෙක්ගෙන් 8දෙනෙක්ම ‘මයිනර්ස්විල් කලාප අධ්‍යාපන කාර්යාලය එදිරිව ගොබයිටිස්’ නඩුවේදී සාක්ෂිකරුවන්ට විපක්ෂව තීන්දුවක් දුන්නා. අවුරුදු 12ක් වයස ලිලියන් ගොබිටාස් f සහ ඇගේ සහෝදරයා වුණු අවුරුදු 10ක් වයස විලියම් යෙහෝවා දෙවිට පක්ෂව හිටිය නිසා ජාතික කොඩියට ආචාර කරන්නවත් රට ජාතියට පක්ෂයි කියලා ප්‍රතිඥා දෙන්නවත් කැමති වුණේ නැහැ. ඒ නිසා ඒ දෙන්නාව ඉස්කෝලෙන් අස් කළා. ඒ ගැන තිබුණු නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සලකලා බැලුවාට පස්සේ තීන්දු වුණේ ඉස්කෝලෙන් අරන් තියෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි කියලයි. ඒ තීන්දුව ලැබුණාට පස්සේ වෙන කවදාකටත් වඩා වැඩියෙන් සාක්ෂිකරුවන්ට පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දරුවන්ව ඉස්කෝලවලින් අස් කළා. සමහර අයගේ රස්සාවල් නැති වුණා. ඒ විතරක් නෙවෙයි තවත් අයට මැර ප්‍රහාර එල්ල වුණා. “1941ත් 1943ත් අතර කාලයේදී සාක්ෂිකරුවන් විඳපු පීඩා තමයි ඇමරිකාවේ විසිවෙනි සියවසේදී ආගමික හේතු නිසා සිද්ධ වුණු ලොකුම අසාධාරණය වුණේ” කියලා එක පොතක සඳහන් වෙනවා.—The Lustre of Our Country.

17 දෙවිගේ සතුරන්ට සතුටු වෙන්න පුළුවන් වුණේ ටික කාලෙකට විතරයි. මොකද 1943දී ‘බටහිර වර්ජිනියාවේ අධ්‍යාපන මණ්ඩලය එදිරිව බානෙට්’ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාග කළා. ඒකත් ‘ගොබයිටිස්’ නඩුව හා සමානයි. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්න නිසා ‘ගොබයිටිස්’ නඩුවේ තීන්දුවත් ඒත් එක්කම වෙනස් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවක් ඒ තරම් කෙටි කාලයක් ඇතුළතදී වෙනස් කරපු මුල්ම වතාව වුණේ ඒකයි. ඒ තීන්දුව නිසා එක්සත් ජනපදයේ හිටිය සාක්ෂිකරුවන්ට මුහුණ දෙන්න වුණු පීඩා හුඟක් අඩු වුණා. ඒ වගේම එක්සත් ජනපදයේ හැම පුරවැසියෙක්ටම ඒ තීන්දුව හුඟක් වැදගත් වුණා.

18, 19. දිගටම දෙවිට පක්ෂව ඉන්න පුළුවන් වුණු හේතුව පබ්ලෝ බැරොස් විස්තර කළේ කොහොමද? ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න අපිට පුළුවන් කොහොමද?

18 ආර්ජන්ටිනාව. 1976දී කොඩිය එසවීමේ උත්සවයට හවුල් වුණේ නැති නිසා අවුරුදු අටක් වයස පබ්ලෝව සහ අවුරුදු හතක් වයස ඌගෝ බැරොස්ව ඉස්කෝලෙන් අස් කළා. විදුහල්පතිනිය පබ්ලෝව තල්ලු කරලා එයාගේ ඔළුවට ගැහුවා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙන් පස්සේ තවත් පැයකට ඒ අයව තියාගෙන ජාතිය උසස් කරලා පවත්වන සැමරීමකට බලෙන් සහභාගි කරවගන්න උත්සාහ කළා. ඒ පීඩාව ගැන පබ්ලෝ කිව්වේ මෙහෙමයි. “දිගටම යෙහෝවා දෙවිට පක්ෂව ඉන්න මට පුළුවන් වුණේ දෙවි මට උදව් කරපු නිසයි.”

19 ඒ නඩුව අධිකරණයේදී විභාග කළාම පබ්ලෝවත් ඌගෝවත් ඉස්කෝලෙන් අස් කරන්න අරන් තියෙන තීරණයට පක්ෂව විනිසුරු තීන්දුවක් දුන්නා. කොහොමවුණත් ඒ නඩුව ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළාට පස්සේ 1979දී තීන්දු වුණේ මෙහෙමයි. “දරුවන්ට දීලා තියෙන දඬුවමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය (14වෙනි වගන්තිය) උල්ලංගනය වෙලා තියෙනවා. ඒ වගේම හැම දරුවෙක්ටම මූලික අධ්‍යාපනයක් ලබා දෙන්න රජයට තියෙන වගකීමත් (5වෙනි වගන්තිය) නොසලකාහැරලා තියෙනවා.” ඒ තීන්දුව නිසා අපේ දරුවන් 1,000ක් විතර ප්‍රයෝජන ලැබුවා. දරුවන්ව ඉස්කෝලවලින් අස් කරන එකත් නතර වුණා. ඒ වගේම පබ්ලෝ සහ ඌගෝ වගේ අයට ආපහු තමන් ගිය ඉස්කෝලවලටම යන්න අවස්ථාව ලැබුණා.

පීඩා මැද අපේ දරුවන් විශ්වාසවන්තව ඉඳලා තියෙනවා

20, 21. රොඑල් සහ ඒමෙලි එම්බ්‍රාලීනාග්ගේ නඩු විභාගය ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වුණේ කොහොමද?

20 පිලිපීනය. 1990දී ජාතික කොඩියට ආචාර කළේ නැති නිසා අවුරුදු 9ක් වයස රොඑල් එම්බ්‍රාලීනාග් සහ ඔහුගේ සහෝදරිය වුණු අවුරුදු 10ක් වයස ඒමෙලි ඇතුළු තවත් දරුවන් 65කටත් වඩා වැඩි පිරිසක්ව ඉස්කෝලෙන් අස් කළා. රොඑල්ගේ තාත්තා ලෙනාඩෝ ඉස්කෝලේ ගුරු මණ්ඩලය එක්ක ඒ ගැන කතා කළත් පලක් වුණේ නැහැ. ඒ නිසා ලෙනාඩෝ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. හැබැයි ඔහුට සල්ලි තිබුණේ නැති නිසා තමාගේ පැත්තට කතා කරන්න නීතිඥයෙක් හිටියෙත් නැහැ. ඒ නිසා කරන්න ඕන දේ ගැන මඟ පෙන්වීම් ඉල්ලලා පවුලේ හැමෝම හරිම උනන්දුවෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ කාලය පුරාම දරුවන්ට නින්දා අපහාස විඳින්න සිද්ධ වුණා. නීතිමය කාරණා ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැති නිසා ඒ නඩුව දිනන්න බැරි වෙයි කියලා ලෙනාඩෝට හිතිලා තියෙනවා.

21 පිළිගත් නීතික ආයතනයක සේවය කරපු නීතිඥයෙක් වුණු ෆෙලිනෝ ගානාල්, ලෙනාඩෝගේ පවුල වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුණා. ඒ නඩුව විභාග කරන කාලයේදී සහෝදර ගානාල් ඒ සමාගමෙන් අයින් වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලයි හිටියේ. ඒ නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් දීලා දරුවන්ව ඉස්කෝලෙන් අස් කරන්න පනවලා තිබුණු නියෝගය අවලංගු කළා. ඒ වතාවේදීත් දෙවිගේ සෙනඟගේ පක්ෂපාතකම නැති කරන්න උත්සාහ කරපු සතුරන් පරාජය වුණා.

යුද්ධවලට හවුල් වෙන්නේ නැති නිසා එක්සත්කම වැඩි වෙයි

22, 23. (අ) හුඟක් වැදගත් නීතිමය ජයග්‍රහණ ලබන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) ලෝකෙ පුරාම විසිරිලා හිටියත් අපි එකමුතු සෙනඟක් විදිහට සාමකාමීව ඉන්න එකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?

22 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනඥයන්ගේ උදව් ගන්නේ නැහැ. ඒත් ඒ තරම් නඩු ගණනාවක් ජයග්‍රහණය කරන්න දෙවිගේ සෙනඟට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? හැම රටකම වගේ සාධාරණ විදිහට කටයුතු කරන විනිසුරුවන් අපිට සතුරුකම් කරන අයගෙන් අපිව ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම අපි වෙනුවෙන්ම යම් නීති පනවලා තියෙනවා. ඒ නීතිමය ජයග්‍රහණ ලබාගන්න අපි දරන වෑයමට ක්‍රිස්තුස් උපකාර කරලා තියෙනවා කියලා හොඳින්ම පැහැදිලියි. (එළිදරව් 6:2 කියවන්න.) ඒ වගේ කාරණාවලදී අපි නීතිය ඉදිරියට යන්නේ රටේ තියෙන නීති වෙනස් කරන්න නෙවෙයි. අපිට ඕනෙ කිසිම බාධාවක් නැතුව අපේ රජු වන ක්‍රිස්තුස්ට සේවය කරන්නයි.—ක්‍රියා 4:29.

23 අපි අද ජීවත් වෙන්නේ වෛරය දසත පැතිරිලා තියෙන දේශපාලනිකව මිනිසුන් බෙදිලා ඉන්න ලෝකයක. ඒ වුණත් දිගටම දෙවිට පක්ෂපාතව ඉන්න අපේ රජු වන ක්‍රිස්තුස් අපිට ආශීර්වාද කරලා තියෙනවා. අපි අතරේ බෙදීම් ඇති කරලා අපිව පරද්දන්න සාතන් කොච්චර උත්සාහ කළත් ඔහු සාර්ථක වෙලා නැහැ. “යුද්ධයට පුහුණු වන්නේ නැති” මිලියන ගණන් දෙනෙක්ව මේ වෙනකොටත් දෙවිගේ රාජ්‍යයෙන් එක් රැස් කරලා තියෙනවා. ලෝකෙ වටේම විසිරිලා හිටියත් දෙවිගේ සෙනඟ එකමුතු සෙනඟක් විදිහට සාමකාමීව ක්‍රියා කරනවා. ඇත්තටම ඒක ආශ්චර්යයක්. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා තියෙනවා කියලා කියන්න ඒක මොන තරම් කදිම සාක්ෂියක්ද!—යෙසා. 2:4.

a ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් වුණු මේ වෙළුම ‘අලුත් නිර්මාණයක්’ කියලත් හැඳින්නුවා. පස්සේ කාලෙක ‘සහස්‍රයේ උදාව’ කියන පොත් කාණ්ඩය ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන නමින් හැඳින්නුවා.

b මේ අනාවැකිය ගැන තව විස්තර දැනගන්න ‘එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි!’ පොතේ 27වෙනි පරිච්ඡේදයේ 184-186 පිටු බලන්න.

c හෘදය සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට සිවිල් පරිපාලනය යටතේ වෙනත් සිවිල් සේවාවන් ලබා දෙන්නත් බල්ගේරියානු රජය එකඟ වුණා.

d තව තොරතුරු දැනගන්න 2012 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 29-31 පිටු බලන්න.

e අවුරුදු 20ක් පුරා ආර්මේනියානු රජය තරුණ සාක්ෂිකරුවන් 450කට වඩා සිරගත කරලා තියෙනවා. ඒ අයගෙන් අන්තිම කෙනාව නිදහස් කළේ 2013 නොවැම්බර් මාසයේදියි.

f වාසගම ගොබිටාස් වුණාට නඩු වාර්තාවල සඳහන් වෙන්නේ ගොබයිටිස් විදිහටයි.