Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

දේශනා සේවයේ ප්‍රතිඵල - “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්”

දේශනා සේවයේ ප්‍රතිඵල - “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්”

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

යෙහෝවා දෙවි, රාජ්‍යය ගැන සත්‍යය කියන බීජය වර්ධනය වෙන්න සලස්වලා තියෙන විදිහ

1, 2. (අ) යේසුස් කියපු දේ ගැන ගෝලයන් කල්පනා කරන්න ඇත්තේ ඇයි? (ආ) යේසුස් ඇත්තටම කතා කළේ මොනවා ගැනද?

 “ඔබේ ඇස් ඇර බලන්න. . . . අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්” කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කියනවා. හැබැයි අස්වැන්න කපන්න තව මාස හතරක්ම තිබුණා. ඒ නිසා යේසුස් දැන් කියන්නේ ‘මොන අස්වැන්න ගැනද’ කියලා ඔහුගේ ගෝලයන් කල්පනා කරන්න ඇති.—යොහ. 4:35.

2 හැබැයි යේසුස් ඒ වෙලාවේදී කතා කළේ ඇත්තටම අස්වැන්න කපන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට ශුභාරංචිය දේශනා කරලා මිනිසුන්ව සත්‍ය නමස්කාරයට එක් රැස් කරන එක ගැනයි. යේසුස් ඒක අස්වැන්න නෙළන වැඩේට සමාන කළේ ගෝලයන්ට වැදගත් කාරණා දෙකක් උගන්වන්න. ඒ කාරණා දෙක ගැන දැනගන්න කලින් ඒ අවස්ථාවේදී වුණේ මොනවාද කියලා අපි බලමු.

ආරාධනාවක් සහ පොරොන්දුවක්

3. (අ) “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්” කියලා යේසුස් ගෝලයන්ට කියන්න ඇත්තේ ඇයි? (ආ) තමන් කියපු දෙයින් අදහස් වෙන දේ ගැන යේසුස් පැහැදිලි කළේ කොහොමද?

3 ක්‍රි.ව. 30දී සමාරියේ සිකාර් නුවරේදී තමයි ඒ සිද්ධිය වුණේ. ගෝලයන් දවල් කෑම ගේන්න ගියාම යේසුස් ළිඳක් ළඟින් ඉඳගත්තා. ඒ වෙලාවේදී එතැනට ආපු සමාරියේ ස්ත්‍රියකට ඔහු දෙවි ගැන කතා කළාම ඒ තොරතුරු හරිම වැදගත් කියලා ඇය තේරුම්ගත්තා. ගෝලයන් ආවට පස්සේ ඇය ඉක්මනින්ම ගිහින් යේසුස් කියපු දේවල් ගැන අනිත් අයටත් කිව්වා. ඒවා අහලා පුදුම වුණු සමරිතානුවන් හුඟදෙනෙක් ඒ වෙලාවේම යේසුස්ව හොයාගෙන ආවා. ඒ සෙනඟව යේසුස් දුර තියාම දකින්න ඇති. ඒ වෙලාවේදී තමයි “ඔබේ ඇස් ඇර බලන්න. . . . අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න” කියලා ඔහු ගෝලයන්ට කියන්න ඇත්තේ. තමන් කතා කරන්නේ මිනිසුන්ව එක් රැස් කරන එක ගැන කියලා පැහැදිලි කරන්න ඕන වුණ නිසා යේසුස් මෙහෙමත් කිව්වා. “අස්වැන්න නෙළන තැනැත්තා . . . නෙළමින් සිටින්නේ සදාකාල ජීවනයට මඟ පාදන පලදාවක්.”—යොහ. 4:5-30, 36.

4. (අ) අස්වැන්න නෙළන එක ගැන යේසුස් ඉගැන්නුවේ මොන කාරණා දෙකද? (ආ) උත්තර දැනගන්න ඕන මොන ප්‍රශ්නවලටද?

4 මිනිසුන්ව එක් රැස් කරන එක ගැන යේසුස් උගන්වපු කාරණා දෙක දැන් අපි බලමු. එක කාරණයක් තමයි පරක්කු කරන්නේ නැතුව ඒක කරන්න ඕනෙ කියන එක. ඒක කාවද්දන්න ඕන නිසයි “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්” කියලා ඔහු කිව්වේ. මොන තරම් ඉක්මනින් අස්වැන්න නෙළන්න ඕනෙද කියලා තවත් කාවද්දන්න ඔහු මෙහෙම කිව්වා. “අස්වැන්න නෙළන තැනැත්තාට මේ වන විටත් කුලියක් ලැබෙනවා.” ඒකෙන් පැහැදිලි වෙනවා ඒ වෙද්දීත් අස්වැන්න නෙළන්න පටන් අරන් තිබුණා කියලා. ඒ නිසා ඒ වැඩේ පරක්කු කරන්න බැහැ. යේසුස් උගන්වපු දෙවෙනි කාරණය තමයි වැඩකරුවන්ට හුඟක් සතුටු වෙන්න පුළුවන් කියන එක. වපුරන අයටත් අස්වැන්න නෙළන අයටත් “එකවරම ප්‍රීති විය හැකියි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (යොහ. 4:35ආ, 36) එදා “සමරිතානුවරු . . . බොහෝදෙනෙක් ඔහු පැවසූ දේ අසා ඔහු කෙරෙහි විශ්වාසය” තියන්න පටන්ගත්තාම යේසුස්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! අස්වැන්න නෙළන්න කැමැත්තෙන්ම හවුල් වෙද්දී ඔහුගේ ගෝලයන්ටත් පුළුවන් ඒ වගේම සතුටු වෙන්න. (යොහ. 4:39-42) අස්වැන්න නෙළන එක ඒ කියන්නේ මිනිසුන්ව එක් රැස් කරන එක වෙන කවදාටත් වඩා වැඩියෙන් සිද්ධ වෙන්නේ මේ කාලයේදී නිසා යේසුස් කියපු ඒ දේ අපිට හුඟක් වැදගත්. අපේ කාලයේදී අස්වැන්න නෙළන්න පටන්ගත්තේ කවදාද? ඒකට හවුල් වෙන්නේ කවුද? ඒකේ ප්‍රතිඵල මොනවාද?

රජු පොළොවේ අස්වැන්න නෙළන්න මූලිකත්වය ගනියි

5. අස්වැන්න නෙළන්න මූලිකත්වය අරන් වැඩ කරන්නේ කවුද? ඒ වැඩේ පරක්කු කරන්නේ නැතුව කරන්න ඕනෙ කියලා යොහන් දැකපු දර්ශනයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

5 අස්වැන්න නෙළන වැඩයේ මූලිකත්වය අරන් වැඩ කරන්න යෙහෝවා දෙවි පත් කරලා තියෙන්නේ යේසුස්ව. යොහන් දැකපු දර්ශනයකින් ඒක පැහැදිලි වෙනවා. (එළිදරව් 14:14-16 කියවන්න.) ඒ දර්ශනයේදී යොහන් දැක්කා යේසුස්ගේ “හිස මත රන් ඔටුන්නක්” තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා දෙවිගේ රාජ්‍යයේ රජු යේසුස් කියලා. ඒ වගේම යේසුස්ගේ “අතෙහි මුවහත් දෑකැත්තක්” තිබුණා කියලත් සඳහන් වුණා. ඒකෙන් තේරෙනවා අස්වැන්න නෙළන කෙනා යේසුස් කියලා. යෙහෝවා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් යේසුස්ට කිව්වා “පොළොවේ අස්වැන්න හොඳින් පැසී” තියෙනවා කියලා. ඒකෙන් යෙහෝවා දෙවි කාවැද්දුවේ අස්වැන්න නෙළන එක පරක්කු කරන්නේ නැතුව කරන්න ඕනෙ කියලයි. අස්වැන්න “නෙළීමට පැය පැමිණ” තිබුණු නිසා “දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න” කියලා යෙහෝවා දෙවි යේසුස්ට කිව්වාම ඔහු ඒකට කීකරු වෙලා පොළොවේ අස්වැන්න නෙළනවා. ඒ කියන්නේ යේසුස් මිනිසුන්ව ක්‍රිස්තියානි සභාවට එක් රැස් කරන්න පටන්ගන්නවා. ඒ දර්ශනයෙන් හොඳින්ම පැහැදිලි වෙනවා “කරල් පැසී” තියෙන නිසා අස්වැන්න නෙළන කාලය ඇවිත් කියලා. ලෝකය පුරාම සිද්ධ වෙන ඒ අස්වැන්න නෙළන වැඩේ පටන්ගත්තේ කවදාද කියලා තේරුම්ගන්න ඒ දර්ශනය උදව් වෙන්නේ කොහොමද?

6. (අ) අස්වැන්න “කපන කාලය” පටන්ගත්තේ කවදාද? (ආ) ‘පොළොවේ අස්වැන්න නෙළන්න’ පටන්ගත්තේ කවදාද? පැහැදිලි කරන්න.

6 අස්වැන්න නෙළන තැනැත්තා වන යේසුස් ඔටුන්නක් පැළඳගෙන ඉන්නවා යොහන් ඒ දර්ශනයෙන් දැක්කා. (එළි. 14:14) යේසුස් ඔටුන්නක් පැළඳගෙන ඉද්දී තමයි අස්වැන්න නෙළන්න කියලා ඔහුට කියන්නේ. (එළි. 14:15) ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස් අස්වැන්න නෙළන්න පටන්ගන්නේ ඔහු 1914දී රජ වුණාට පස්සේ කියලා. (දානි. 7:13, 14) තිරිඟු සහ කිරිඳි ගැන උපමාවේ තිරිඟු අස්වැන්න කපන එකට සම්බන්ධ සිද්ධීන් ඉටු වුණෙත් ඒ දර්ශනයේ සිද්ධීන් ඉටු වුණු අනුපිළිවෙළටමයි. ඒ උපමාවේදී යේසුස් කිව්වා “කපන කාලයෙන් අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලය” කියලා. අස්වැන්න ‘කපන කාලයත්’ මේ සමාජයේ අවසාන කාලයත් පටන්ගත්තේ 1914දියි. (මතෙ. 13:30, 39) ඒ අවුරුද්දේ ඉඳන් තමයි අස්වැන්න කපන කාලපරිච්ඡේදය පටන්ගත්තේ. හැබැයි ඇත්තටම අස්වැන්න කපන්න පටන් අරන් තියෙන්නේ යේසුස් රජ වෙලා ටික කාලයක් ගියාට පස්සෙයි. මොකද 1914 ඉඳන් 1919 මුල්භාගය වෙන කල් යේසුස් ඔහුගේ සේවකයන්ව පවිත්‍ර කළා. (මලා. 3:1-3; 1 පේතෘ. 4:17) 1919දී තමයි ඔහු ‘පොළොවේ අස්වැන්න නෙළන්න’ පටන්ගත්තේ. ඒ අවුරුද්දේදීම පත් කරපු විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් දේශනා සේවය මොන තරම් ඉක්මනින් කරන්න ඕන දෙයක්ද කියන එක තම සේවකයන්ට පැහැදිලි කරන්න යේසුස් පියවර ගත්තා.

7. (අ) දේශනා සේවය පරක්කු කරන්නේ නැතුව කරන්න ඕනෙ කියලා සහෝදරයන් තේරුම්ගත්තේ කොහොමද? (ආ) සහෝදරයන්ව දිරිගැන්නුවේ මොනවා කරන්න කියලද?

7 1920 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු දේ බලන්න. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන වරප්‍රසාදය පැවරිලා තියෙන්නේ අපිටයි කියලා බයිබලයේ තියෙන තොරතුරු අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා.” උදාහරණයකට යෙසායා පොතේ තියෙන තොරතුරුවලින් අපේ සහෝදරයන් තේරුම්ගත්තා ශුභාරංචිය ලෝකය පුරාම දේශනා කරන්න ඕනෙ කියලා. (යෙසා. 49:6; 52:7; 61:1-3) ඒත් ඒ තරම් ලොකු වැඩක් කරන්නේ කොහොමද කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. හැබැයි යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම උදව් කරයි කියලා ඒ අය විශ්වාස කළා. (යෙසායා 59:1 කියවන්න.) දේශනා සේවය පරක්කු කරන්නේ නැතුව කරන්න ඕන කියන එක අපේ සහෝදරයන් තේරුම්ගත්ත නිසා ඒ අය ඉක්මනින්ම ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් හැම දේම කළා. එහෙම කරන්න කියලා අනිත් අයවත් දිරිගැන්නුවා. ඒත් හැමෝම ඒකට කැමති වුණාද?

8. 1921දී අපේ සහෝදරයන් තේරුම්ගත්තේ මොනවාද?

8 1921 දෙසැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. “මේ අවුරුද්ද නම් හරිම විශේෂයි. වෙන කවදාටත් වඩා වැඩියෙන් මේ අවුරුද්දේදී හුඟදෙනෙක්ට ශුභාරංචිය දැනගන්න ලැබිලා තියෙනවා. හැබැයි තවත් ලොකු පිරිසකට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න ඕනේ. . . . ඒ නිසා අපි සතුටින් ඒ වැඩ කොටසත් කරමු.” ඒකෙන් අපිට තේරෙනවා එදා යේසුස් ඔහුගේ නියෝජිතයන්ට උගන්වපු වැදගත් කාරණා දෙක අපේ සහෝදරයනුත් තේරුම් අරන් හිටියා කියලා. ඒ තමයි දේශනා සේවය පරක්කු කරන්නේ නැතුව කරන්න ඕනෙ කියන එක සහ වැඩකරුවන්ට හුඟක් සතුටු වෙන්න පුළුවන් කියන එක.

9. (අ) අස්වැන්න නෙළන එක ගැන 1954 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මොනවාද? එහෙම සඳහන් වුණේ ඇයි? (ආ) පහුගිය අවුරුදු 50 තුළදී ලෝකය පුරාම ප්‍රචාරකයන්ගේ ගණන වැඩි වෙලා තියෙන්නේ කොහොමද? (“ ලොව පුරාම වර්ධනයක්” යන වගුව බලන්න.)

9 1930 ගණන්වලදී වෙනත් බැටළුවන්ට අයිති මහත් සමූහය ගැන අපේ සහෝදරයන් තේරුම්ගත්තාට පස්සේ දේශනා සේවය තවත් වැඩියෙන් කරන්න පටන්ගත්තා. (යෙසා. 55:5; යොහ. 10:16; එළි. 7:9) ප්‍රතිඵලයක් විදිහට ප්‍රචාරකයන් ගණන හුඟක් වැඩි වුණා. උදාහරණයකට 1934දී හිටියේ ප්‍රචාරකයන් 41,000යි. හැබැයි 1953 වෙද්දී ප්‍රචාරකයන් 5,00,000ක් හිටියා. 1954 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන සඳහන් වුණේ මෙහෙමයි. “ලෝකය පුරාම සාර්ථකව අස්වැන්න නෙළන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ උපකාරය සහ ඔහුගේ වචනය අපිට ලැබිලා තියෙන නිසයි.” aසෙක. 4:6.

 

ලොව පුරාම වර්ධනයක්

රට

1962

1987

2013

ඕස්ට්‍රේලියාව

15,927

46,170

66,023

බ්‍රසීලය

26,390

2,16,216

7,56,455

ප්‍රංශය

18,452

96,954

1,24,029

ඉතාලිය

6,929

1,49,870

2,47,251

ජපානය

2,491

1,20,722

2,17,154

මෙක්සිකෝව

27,054

2,22,168

7,72,628

නයිජීරියාව

33,956

1,33,899

3,44,342

පිලිපීනය

36,829

1,01,735

1,81,236

එක්සත් ජනපදය

2,89,135

7,80,676

12,03,642

සැම්බියාව

30,129

67,144

1,62,370

 

බයිබල් පාඩම්වල වර්ධනය

1950

2,34,952

1960

6,46,108

1970

11,46,378

1980

13,71,584

1990

36,24,091

2000

47,66,631

2010

80,58,359

අස්වැන්න නෙළන වැඩයේ ප්‍රතිඵල හෙළි කරපු උපමා

10, 11. අබ ඇටය ගැන උපමාවේ කැපීපෙනුණු කරුණු මොනවාද?

10 අස්වැන්න නෙළන වැඩෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලා දෙවිගේ රාජ්‍යය ගැන කියපු උපමාවලින් යේසුස් පැහැදිලි කළා. ඒ අතරින් උපමා දෙකක් ගැන අපි බලමු. අපි මූලිකවම බලන්නේ ඒ උපමාවලට අදාළ කරුණු මේ අවසාන කාලයේදී ඉටු වෙලා තියෙන්නේ කොහොමද කියලයි.

11 අබ ඇටය ගැන උපමාව. මිනිසෙක් අබ ඇටයක් පැළ කළා. ටික කාලෙකින් ඒක ලොකු අබ ගහක් වුණාම කුරුල්ලන් ඇවිත් ඒ ගහේ ලැගුම් ගත්තා. (මතෙව් 13:31, 32 කියවන්න.) අබ ඇටයේ වර්ධනය ගැන ඒ උපමාවේ කැපීපෙනුණු කරුණු තුනක් තිබුණා. (1) වර්ධනය වුණු විදිහ හරිම පුදුමයි. අබ ඇටය “සියලුම බීජවලට වඩා කුඩා වුණත්” ඒක වැඩුණාට පස්සේ “විශාල ගසක්” වුණා. (මාක් 4:31, 32) (2) වර්ධනය වෙන එක ගැන සැකයක් නැහැ. යේසුස් කිව්වේ ඒ බීජය සමහරවිට පැළ වෙයි කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු කිව්වේ “එය වැඩී සියලුම පලා ගස්වලට වඩා විශාල වෙයි” කියලයි. ඒක වර්ධනය වෙන එක නතර කරන්න කාටවත් බැහැ. (3) වර්ධනය වුණු ගහේ කුරුල්ලන් ලැගුම් ගත්තා. යේසුස් කිව්වේ “විශාල අතුවල අහසේ කුරුල්ලන් ලැගුම් ගෙන එහි සෙවණෙහි උන් වාසය කරයි” කියලයි. අද පොළොවේ සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේට ඒ කරුණු තුන සම්බන්ධ වෙන්නේ කොහොමද?

12. අද සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේට අබ ඇටයේ උපමාව සම්බන්ධ වෙන්නේ කොහොමද? (“ බයිබල් පාඩම්වල වර්ධනය” යන වගුවත් බලන්න.)

12 (1) වර්ධනය වුණු විදිහ: උපමාවෙන් පෙන්වන්නේ ශුභාරංචිය ව්‍යාප්ත වෙන එක සහ ක්‍රිස්තියානි සභාවේ වර්ධනය ගැනයි. 1919 ඉඳන් අස්වැන්න නෙළන අයව ක්‍රිස්තියානි සභාවට එකතු කරලා තියෙනවා. ඒ කාලෙදී අස්වැන්න නෙළන අය හිටියේ ටිකදෙනයි. හැබැයි ඒ අය ඉක්මනින්ම වර්ධනය වුණා. 1900 ගණන්වල මුල්භාගයේ ඉඳන් අද වෙනකොට ඒ අය වර්ධනය වෙලා තියෙන විදිහ හරිම පුදුමයි. (යෙසා. 60:22) (2) සැකයක් නැහැ: අබ ඇටය වර්ධනය වුණා වගේ ක්‍රිස්තියානි සභාවත් වර්ධනය වෙලා තියෙනවා. ඒක නතර කරන්න කාටවත් පුළුවන් වෙලා නැහැ. මුලදී පුංචි කණ්ඩායමක් හැටියට හිටිය දෙවිගේ සෙනඟට මොන තරම් සතුරු බලපෑම් ආවත් ඒ අය දිගින් දිගටම වර්ධනය වුණා. (යෙසා. 54:17) (3) ලැගුම් ගත්තා: ගහේ ලැගුම් ගත්ත කුරුල්ලන්ගෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය පිළි අරන් ක්‍රිස්තියානි සභාවට ඇවිත් ඉන්න අයව. ඒ අය රටවල් 240ක විතර විසිරිලා ඉන්නවා. (එස. 17:23) ක්‍රිස්තියානි සභාවෙන් ඒ අයට පෝෂණය, සහනය සහ රැකවරණය ලැබෙනවා.—යෙසා. 32:1, 2; 54:13.

ක්‍රිස්තියානි සභාවට එන අයට පෝෂණය, සහනය සහ රැකවරණය ලැබෙනවා කියලා අබ ඇටය ගැන උපමාවෙන් පැහැදිලි වෙනවා (11 සහ 12 ඡේද බලන්න)

13. මුහුන් ගැන උපමාවේ කැපීපෙනෙන කරුණු දෙක මොනවාද?

13 මුහුන් ගැන උපමාව. ස්ත්‍රිය පිටි පිඩට මුහුන් මිශ්‍ර කළාට පස්සේ මුළු පිටි පිඩම පිපුණා. (මතෙව් 13:33 කියවන්න.) ඒ උපමාවේ කැපීපෙනෙන කරුණු දෙකක් බලමු. (1) සම්පූර්ණ වෙනසක් වෙනවා. පිටිවලට මුහුන් මිශ්‍ර කරපු නිසා “මුළු පිටි පිඩම පිපුණා.” (2) හැම තැනම පැතිරෙනවා. මුහුන් ටික පිටි පිඩ පුරාම පැතිරුණා. ඒ නිසා “පිටි ඒකක තුනම” පිපුණා. ඒ කරුණු දෙක පොළොවේ සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේට සම්බන්ධ වෙන්නේ කොහොමද?

14. අද සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේට මුහුන් ගැන උපමාව සම්බන්ධ වෙන්නේ කොහොමද?

14 (1) සම්පූර්ණ වෙනසක් වෙනවා: මුහුන්වලින් නියෝජනය වෙන්නේ රාජ්‍යය ගැන ශුභාරංචිය. පිටිවලින් නියෝජනය වෙන්නේ මිනිසුන්ව. මුහුන් මිශ්‍ර කළාම පිටි පිඩ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේ කෙනෙක් ශුභාරංචිය පිළිගද්දී එයාගේ පෞද්ගලිකත්වයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. (රෝම 12:2) (2) හැම තැනම පැතිරෙනවා: මුහුන් පිටිවල පැතිරෙන එකෙන් නියෝජනය වෙන්නේ ශුභාරංචිය ලොව පුරාම පැතිරෙන එකයි. මුහුන් මුළු පිටි පිඩ පුරාම පැතිරුණා වගේ ශුභාරංචිය “පොළොවේ දුර ඈත කෙළවර” දක්වාම පැතිරිලා තියෙනවා. (ක්‍රියා 1:8) අපේ සේවය තහනම් කරලා තියෙන රටවලත් ශුභාරංචිය පැතිරෙනවා කියලා ඒ උපමාවෙන් පැහැදිලියි.

15. යෙසායා 60:5, 22 සඳහන් දේ අද ඉටු වෙලා තියෙන්නේ කොහොමද? (“ යෙහෝවා දෙවිට කරන්න බැරි දෙයක් නැහැ” සහ “ ‘සුළු තැනැත්තා බලවත් ජාතියක්’ වෙලා” යන කොටුත් බලන්න.)

15 යේසුස් ඒ උපමා කියන්න අවුරුදු 800කට විතර කලින් අස්වැන්න නෙළන එක කොයි තරම් පැතිරෙනවාද සහ ඒ සේවයෙන් මොන තරම් ප්‍රීතියක් ලැබෙනවාද කියන එක ගැන යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් කියලා තිබුණා. b “දුර ඈත සිට” මිනිසුන් තමන්ගේ සංවිධානයට ඇදිලා එනවා කියලා කියපු යෙහෝවා දෙවි ‘ස්ත්‍රියට’ ඒ කියන්නේ පොළොවේ ඉන්න අභිෂේක ලත් අයට මෙහෙම කියනවා. “එය දැක ඔබේ මුහුණ දීප්තිමත් වෙයි. ඔබේ සිත සතුටින් පිරී ඉතිරී යයි. මන්ද සමුද්‍රයේ සියලු සම්පත්ද ජාතීන්ගේ වස්තුද ඔබට හිමි වෙයි.” (යෙසා. 60:1, 4, 5, 9) ඒ වචන අද මොන තරම් ඇත්තක් වෙලා තියෙනවාද! අවුරුදු ගණනාවක්ම යෙහෝවා දෙවිට සේවය කරලා තියෙන අය ඒ අයගේ රටවල ප්‍රචාරකයන් දහස් ගණනින් වර්ධනය වෙලා තියෙන විදිහ දකිද්දී ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

යෙහෝවා දෙවිගේ සේවකයන්ට සතුටු වෙන්න තියෙන හේතු

16, 17. ‘වපුරන අයටත් නෙළන අයටත් එකට ප්‍රීති වෙන්න’ තියෙන හේතුවක් මොකක්ද? (“ පත්‍රිකා දෙකක් කළ වෙනසක්” යන කොටුවත් බලන්න.)

16 “අස්වැන්න නෙළන තැනැත්තා . . . නෙළමින් සිටින්නේ සදාකාල ජීවනයට මඟ පාදන පලදාවක්. ඒ නිසා වපුරන තැනැත්තාටයි අස්වැන්න නෙළන තැනැත්තාටයි එකවරම ප්‍රීති විය හැකියි.” (යොහ. 4:36) යේසුස් තමන්ගේ ගෝලයන්ට කියපු ඒ දේ අපි මේ පරිච්ඡේදය මුලදීම සාකච්ඡා කළා. යේසුස් කියපු විදිහට පොළොවේ අස්වැන්න නෙළද්දී ‘වපුරන අයටත් නෙළන අයටත් එකට ප්‍රීති වෙන්න’ හේතු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් හේතු තුනක් බලමු.

17 අපිට සතුටු වෙන්න තියෙන පළවෙනි හේතුව තමයි යෙහෝවා දෙවිත් අස්වැන්න නෙළන වැඩේට හවුල් වෙන එක. අපි ශුභාරංචිය ගැන අනිත් අයට කියද්දී අපි බීජ වපුරනවා. (මතෙ. 13:18, 19) කෙනෙක්ට යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න උදව් කරද්දී අපි අස්වැන්න නෙළනවා. යෙහෝවා දෙවි ‘බීජය පැළ වී උසට වැඩෙන්න’ සලස්වනවා දකිද්දී අපි ඒ ගැන කොච්චර සතුටු වෙනවාද! (මාක් 4:27, 28) අපි වපුරන සමහර බීජ පැළ වෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. ඒ නිසා වෙන කවුරු හරි කෙනෙක් තමයි ඒකේ අස්වැන්න නෙළන්නේ. උදාහරණයකට මීට අවුරුදු 60කට කලින් බව්තීස්ම වුණු බ්‍රිතාන්‍යයේ සහෝදරි ජෝන් කියපු දේ බලන්න. “සමහර අය මට කියනවා අවුරුදු ගාණකට කලින් මම එයාලගේ හදවත්වල සත්‍යය කියන බීජය පැළ කළා කියලා. ඒත් වෙන කෙනෙක් තමයි ඒ අයත් එක්ක බයිබල් පාඩමක් කරලා ඒ අයට සත්‍යයට එන්න උදව් කරලා තියෙන්නේ. මම වපුරපු බීජ පල දරලා වෙන කෙනෙක් ඒකෙන් අස්වැන්න කපාගත්තු එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්.”—1 කොරින්ති 3:6, 7 කියවන්න.

18. 1 කොරින්ති 3:8 පාවුල් කියපු දේට අනුව අපිට සතුටු වෙන්න තියෙන හේතුව මොකක්ද?

18 අපිට සතුටු වෙන්න තියෙන දෙවෙනි හේතුව මොකක්ද? පාවුල් කියපු මේ දෙයින් අපිට ඒක තේරුම්ගන්න පුළුවන්. “ප්‍රතිඵල ලැබෙන්නේ එකිනෙකා දැරූ වෙහෙසට අනුවය.” (1 කොරි. 3:8) ඒ කියන්නේ අපි එක් එක් කෙනාට ආශීර්වාද ලැබෙන්නේ අපි දරන වෙහෙස අනුව මිසක් අපි කීදෙනෙක්ට සත්‍යයට එන්න උදව් කරලා තියෙනවාද කියන එක අනුව නෙවෙයි. ශුභාරංචිය පිළිගන්නේ නැති ප්‍රදේශවල සේවය කරන අයට ඒක කොච්චර ලොකු දිරිගැන්වීමක්ද! මුළු හදවතින්ම සේවයේ හවුල් වෙන අයව යෙහෝවා දෙවි දකින්නේ ‘බොහෝ පල දරන’ අය විදිහටයි. ඒ ගැන අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්.—යොහ. 15:8; මතෙ. 13:23.

19. (අ) මතෙව් 24:14 සඳහන් අනාවැකිය අපේ සතුටට බලපාන්නේ කොහොමද? (ආ) මිනිසුන්ව සත්‍යයට ගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැති වුණත් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

19 අපිට සතුටු වෙන්න තියෙන තුන්වෙනි හේතුව තමයි අපි දේශනා සේවයේ යද්දී යේසුස් කියපු අනාවැකියක් ඉටු වෙන එක. “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියලා යේසුස්ගේ අනුගාමිකයන් ඇහුවාම ඔහු කියපු මේ අනාවැකිය ඔබට මතකද? “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.” (මතෙ. 24:3, 14) ඒ නිසා දේශනා සේවයේ යද්දී උනන්දුව තියෙන අයව මුණගැහුණේ නැති වුණත් දේශනා කරන එකම “සාක්ෂියක්” කියලා අපි මතක තියාගමු. c දේශනා සේවයේදී මිනිසුන් අපේ පණිවිඩය පිළිගත්තේ නැතත් අපි සේවයේ යද්දී යේසුස් කියපු අනාවැකිය ඉටු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට “දෙවිගේ හවුල් වැඩකරුවන්” වෙන්නත් පුළුවන් වෙනවා. (1 කොරි. 3:9) ඒ ගැන අපිට කොයි තරම් සතුටු වෙන්න පුළුවන්ද!

“පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා”

20, 21. (අ) මලාකි 1:11 සඳහන් අනාවැකිය අද ඉටු වෙන්නේ කොහොමද? (ආ) අද සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේ ගැන ඔබ ගත්ත අධිෂ්ඨානය මොකක්ද? ඒ ඇයි?

20 අස්වැන්න නෙළන එක මොන තරම් ඉක්මනින් කරන්න ඕනෙද කියලා තේරුම්ගන්න යේසුස් ඔහුගේ නියෝජිතයන්ට එදා උදව් කළා. ඒ විතරක් නෙවෙයි ඒක තේරුම්ගන්න 1919න් පස්සේ ඔහුගේ අනුගාමිකයන්ටත් උදව් කළා. ඒ අය දේශනා සේවය තවත් වැඩියෙන් කරන්න පටන් අරන් තියෙන්නේ ඒ නිසයි. ලෝකය පුරාම සිද්ධ වෙන අස්වැන්න නෙළන වැඩේ නතර කරන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙලා නැහැ. මලාකි අනාවැකි කියලා තිබුණු විදිහටම අද “පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා” දේශනා සේවය සිද්ධ වෙනවා. (මලා. 1:11) ඔව්, කොහේ හිටියත් බීජ වපුරන අයත් අස්වැන්න නෙළන අයත් එකට ප්‍රීතියෙන් සේවය කරනවා. පොළොවේ එක් සීමාවක ඉඳන් අනිත් සීමාව දක්වාම ඉන්න අපේ සහෝදරයන් උදේ ඉඳන් හවස් වෙන කල් දිගටම සේවය කරනවා. ඔවුන් ඒ සේවය ටිකකටවත් කල් දාන්නේ නැහැ.

21 පහුගිය අවුරුදු 100 පුරාම වෙලා තියෙන දේවල් ගැන බලද්දී පුංචි කණ්ඩායමක් විදිහට හිටිය දෙවිගේ සෙනඟ “බලවත් ජාතියක්” වෙලා තියෙන විදිහ හරිම පුදුමයි. ඒ ගැන හිතද්දී අපේ හිත් “සතුටින් පිරී ඉතිරී” යනවා. (යෙසා. 60:5, 22) ඒ සතුට නිසාත් “අස්වැන්නේ ස්වාමියා” වන යෙහෝවා දෙවි ගැන අපිට තියෙන ආදරේ නිසාත් අපි අස්වැන්න නෙළන වැඩේ දිගටම කරමු.—ලූක් 10:2.

a 1919 ඉඳන් 1992 වෙන කල් අස්වැන්න නෙළලා තියෙන්නේ කොහොමද කියලා Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom පොතේ 425-520 පිටුවල සඳහන් වෙනවා.

c බයිබල් ශිෂ්‍යයන් ඒ කාරණය තේරුම් අරන් තිබුණා කියලා 1895 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දෙයින් පැහැදිලි වෙනවා. “අපිට ලොකු අස්වැන්නක් නෙළාගන්න බැරි වුණත් දේශනා සේවයේ යද්දී අපිට සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්න ලැබෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. . . . අපි හැමෝටම පුළුවන් ශුභාරංචිය දේශනා කරන්න.”