Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන ක්‍රම - වැඩිදෙනෙක්ට දැනුම් දෙන්න පියවර ගනියි

ශුභාරංචිය දැනුම් දෙන ක්‍රම - වැඩිදෙනෙක්ට දැනුම් දෙන්න පියවර ගනියි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

වැඩි පිරිසකට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ පාවිච්චි කරපු විවිධ ක්‍රම

1, 2. (අ) වැඩිදෙනෙකුට ශුභාරංචිය කියන්න යේසුස් පාවිච්චි කරපු ක්‍රමය මොකක්ද? (ආ) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ඔහුගේ ආදර්ශය අනුගමනය කරලා තියෙන්නේ කොහොමද? ඒ ඇයි?

 දවසක් යේසුස් ගලීල මුහුද ළඟ ඉද්දී මිනිසුන් හුඟදෙනෙක් ඔහුගෙන් ඉගෙනගන්න ඔහු වටේට එකතු වුණා. ඒ වෙලාවේ යේසුස් ඔරුවකට නැඟලා වෙරළෙන් ටිකක් ඈතට ගියා. යේසුස් එහෙම කළේ ඇයි? ඒකට හේතුව මුහුදේ ඉඳන් කතා කරද්දී ලොකු සෙනඟකට ඔහුගේ කටහඬ ඇහෙනවා කියලා ඔහු හොඳින්ම දැනගෙන හිටිය නිසයි.—මාක් 4:1, 2 කියවන්න.

2 දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාට පස්සේ ඒ රාජ්‍යය ගැන අනිත් අයට දැනුම් දෙන්න ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් හුඟක් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒ ඇයි? යේසුස් කළා වගේ ඒ අයටත් ඕන කරන්නේ පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්නයි. ඒ නිසා යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ඒ දේ කරන්න අලුත්ම තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. අවසානය එන්න කලින් පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්නයි ඒ අය උත්සාහ කරන්නේ. (මතෙ. 24:14) ඒ දේ කරන්න දෙවිගේ සෙනඟ මේ වෙන කල් පාවිච්චි කරලා තියෙන ක්‍රම කිහිපයක් ගැන දැන් අපි බලමු. ඒ ගැන ඉගෙනගනිද්දී ඒ අයගේ ආදර්ශය අනුගමනය කරන්න ඔබට පුළුවන් කොහොමද කියලත් හිතලා බලන්න.

වැඩිදෙනෙකුට ශුභාරංචිය දැනගන්න ලැබෙයි

3. පුවත්පත්වල පළ වුණ දේවල් නිසා සතුරන්ගේ බලාපොරොත්තු කඩ වුණේ කොහොමද?

3 පුවත්පත්. 1879 ඉඳන් සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් ‘මුරටැඹ’ සඟරාව ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. ශුභාරංචිය හුඟක් අයට දැනුම් දෙන්න ඒක උදව් වුණත් ශුභාරංචිය තවත් වැඩියෙන් ව්‍යාප්ත කරන්න 1914ට කලින් ඉඳන් ක්‍රිස්තුස් මැදිහත් වෙලා තියෙනවා කියලා හිතන්න හේතු තියෙනවා. 1903දී රෙපරමාදු ආගමික කණ්ඩායමක් නියෝජනය කරමින් ඊ. එල්. ඊටන් බයිබල් විශ්වාසයන් ගැන විවාදයක් පවත්වන්න එන්න කියලා චාල්ස් ටේස් රසල්ට අභියෝග කළා. ඔහු සහෝදර රසල්ට ලියපු ලිපියක ඒ ගැන සඳහන් කළේ මෙහෙමයි. “බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන අපි දෙන්නාට තියෙන්නේ වෙනස් අදහස්. මට හිතෙනවා අපි ඒ ගැන ප්‍රසිද්ධියේම විවාදයක් පවත්වන එක හොඳයි කියලා. . . . හැමෝම ඒකට හුඟක් කැමති වෙයි.” මිනිසුන් ඒ දේට කැමති වෙයි කියලා හිතපු සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් ඒ විවාද පුවත්පතක පළ කරන්නත් සැලසුම් කළා. සහෝදර රසල් හරිම සරල විදිහට බයිබල් සත්‍යයන් ගැන පැහැදිලි කරපු නිසා ඒ ලිපි කියවන්න මිනිසුන් හුඟක් කැමති වුණා. ප්‍රතිඵලයක් විදිහට හැම සතියකම රසල්ගේ දේශන ඒ පුවත්පතේ පළ කරන්නත් අවස්ථාව ලැබුණා. ඔහුගේ සතුරන්ට ඒ ගැන කොහොම හැඟෙන්න ඇද්ද!

1914දී රසල්ගේ දේශන විවිධ පුවත්පත් 2,000කටත් වඩා වැඩි ප්‍රමාණයක පළ වුණා

4, 5. රසල් ක්‍රියා කරලා තියෙන විදිහෙන් ඔහු ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද? වගකීම් ඉටු කරන අයට ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

4 වැඩි කල් යන්න කලින් රසල්ගේ දේශන තවත් පුවත්පත්වලත් පළ වුණා. 1908 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණේ රසල්ගේ දේශන “පුවත්පත් 11ක දිගටම පළ වුණා” කියලයි. හැබැයි කාලයක් යද්දී පුවත්පත් කටයුතු ගැන අවබෝධයක් තිබුණු සහෝදරයන් රසල්ට කිව්වා මූලස්ථානය මිනිසුන් හුඟක් ගැවසෙන නගරයකට මාරු කළොත් තවත් පුවත්පත්වලිනුත් බයිබලයේ තියෙන තොරතුරු ගැන ප්‍රචාරය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ගැන හොඳින් හිතලා බැලුවාට පස්සේ රසල් ඒ දේට කැමති වුණා. 1909දී මූලස්ථානය නිව් යෝර්ක් නගරයේ බෘක්ලින්වලට මාරු කළේ ඒ නිසයි. වැඩි කාලයක් යන්න කලින් පුවත්පත් 400ක විතර රසල්ගේ දේශන පළ වෙන්න පටන්ගත්තා. 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටුවපු කාලයේදී රසල්ගේ දේශන සහ ඔහු ලියපු ලිපි භාෂා හතරකින් විවිධ පුවත්පත් 2,000කටත් වඩා වැඩි ප්‍රමාණයක පළ වුණා.

5 රසල් මොන තරම් නිහතමානී කෙනෙක්ද කියලා ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. දෙවිගේ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයන්ටත් පුළුවන් රසල්ව ආදර්ශයට ගන්න. ඔව්, වැදගත් තීරණ ගන්න වෙද්දී ඔබටත් පුළුවන් අනිත් අයගේ අදහස්වලට නිහතමානීව ඇහුම්කන් දෙන්න.—හිතෝපදේශ 15:22 කියවන්න.

6. පුවත්පත්වල පළ වුණු ලිපිවල තිබුණු බයිබල් සත්‍යය නිසා කෙනෙක්ගේ ජීවිතය වෙනස් වුණේ කොහොමද?

6 පුවත්පත්වල පළ වුණු බයිබල් සත්‍යයන් නිසා හුඟක් මිනිසුන්ගේ ජීවිත වෙනස් වුණා. (හෙබ්‍රෙ. 4:12) ඕරා හෙට්සෙල් ඒ අතරින් කෙනෙක්. එයා කියපු දේ බලන්න. “ඒ වෙනකොට මම විවාහ වෙලයි හිටියේ. දවසක් මම අම්මාව බලන්න යද්දී මම දැක්කා අම්මා පත්තරේක තිබුණු ලිපි වගයක් කපනවා. ඒ ලිපිවල තිබුණේ රසල්ගේ දේශන. ඒ දේශනවලින් මොන තරම් වටින තොරතුරු ඉගෙනගත්තාද කියලා අම්මා මට කිව්වා.” ප්‍රතිඵලයක් විදිහට බයිබලයේ තියෙන තොරතුරු ගැන හොයලා බලන්න පෙලඹුණු ඕරා 1917දී බව්තීස්ම වුණා. ඊටපස්සේ එයා අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් තිස්සේ දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයටත් දැනුම් දුන්නා.

7. පුවත්පත්වලින් ශුභාරංචිය ප්‍රචාරය කරන එක නතර කරන්න තීරණය කළේ ඇයි?

7 1916 ඉඳන් පුවත්පත්වලින් ශුභාරංචිය ප්‍රචාරය කරන එක නතර කරන්න සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන් තීරණය කළා. ඒ ඇයි? ඒකට මුල් වුණු හේතු දෙකක් තිබුණා. එක හේතුවක් තමයි පළවෙනි ලෝක මහා යුද්ධය නිසා මුද්‍රණ කටයුතුවලට ඕන කරන දේවල් හොයාගන්න අමාරු වුණු එක. බ්‍රිතාන්‍යයේ අපේ පුවත්පත් අංශය ඒ ගැන පැහැදිලි කළේ මෙහෙමයි. “මේ වෙද්දී රසල්ගේ දේශන පළ වෙන්නේ පුවත්පත් 30ක තරම් ප්‍රමාණයක විතරයි. ඉස්සරහට ඒකත් අඩු වෙයි. මොකද කොළවලට වැය කරන්න වෙන වියදම දවසින් දවස ඉහළ යනවා.” දෙවෙනි හේතුව වුණේ සහෝදර රසල්ගේ මරණය. ඒක සිද්ධ වුණේ 1916 ඔක්තෝබර් 31වෙනිදා. ඒ ගැන දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු දේ බලන්න. “දැන් සහෝදර රසල් අපිත් එක්ක නැති නිසා මින් ඉදිරියට ඔහුගේ දේශන පුවත්පත්වල පළ වෙන්නේ නැහැ.” කොහොමවුණත් පුවත්පත්වලින් ශුභාරංචිය ප්‍රචාරය කරන එක නතර වුණාට පස්සේ ඒ වෙනුවට වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න පටන්ගත්තා.

8. “දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” සකස් කරලා තියෙන්නේ කොහොමද?

8 පින්තූර සහ දර්ශන ඇතුළත් වැඩසටහන්. සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් “දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” (“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්”) සකස් කරන්න පටන්ගත්තා. වර්ණ ගැන්වූ වීදුරු කාච (ස්ලයිඩ්) සහ රූගත කරපු දර්ශනවලට අමතරව සංගීතය සහ දෙබස් ඒකට එකතු කරලා තිබුණා. ඒක හදන්න අවුරුදු තුනක් විතර ගත වෙලා තියෙනවා. 1914දී තමයි ඒක මුල්ම වතාවට ප්‍රදර්ශනය කළේ. (හිතෝ. 21:5) ඒ වැඩසටහනේ තිබුණු සමහර දර්ශනවලට මිනිසුන් සිය ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර සතුන්වත් ඒකට පාවිච්චි කරලා තියෙනවා. 1913දී එක වාර්තාවක සඳහන් වුණු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “නෝවාගේ කතාව රූගත කරන්න සත්ව උද්‍යානයක හිටිය හුඟක් සතුන්ව පාවිච්චි කළා.” ඒ වැඩසටහනේ තිබුණු සමහර වීදුරු කාච පාට කරන්න නිව් යෝර්ක්, පැරිස්, ලන්ඩන් සහ ෆිලදෙල්ෆියා කියන නගරවල හිටිය දක්ෂ චිත්‍ර ශිල්පීන් හුඟක් මහන්සි වුණා.

9. “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” හදන්න ඒ තරම් ලොකු කාලයක් සහ මුදලක් වැය කරලා තියෙන්නේ ඇයි?

9 “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” හදන්න ඒ තරම් මහන්සි වෙලා තියෙන්නේ ඇයි? 1913දී පවත්වපු සමුළු මාලාවකදී අරගෙන තියෙන සම්මුතියක සඳහන් වුණු මේ දෙයින් ඒකට හේතුව පැහැදිලි වෙනවා. “මිනිසුන්ට කියන්න ඕන පණිවිඩය ඉදිරිපත් කරන්න ඇමරිකාවේ පුවත්පත්වල පින්තූර පාවිච්චි කරන එක මොන තරම් සාර්ථක වෙලා තියෙනවාද කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම පටිගත කරපු දර්ශන බලන්න අද කාලේ ඉන්න අය කොයි තරම් කැමතිද කියලත් හොඳින්ම පැහැදිලියි. ඒ නිසා පින්තූර සහ පටිගත කරපු දර්ශන පාවිච්චි කළොත් බයිබල් ගුරුවරුන් විදිහට අපිටත් පුළුවන් වෙයි බයිබලයේ සඳහන් වෙලා තියෙන සත්‍ය තොරතුරු මිනිසුන්ට කාවදින විදිහට ඉදිරිපත් කරන්න.”

ඉහළ: “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” පෙන්වමින්; පහළ: වර්ණ ගැන්වූ වීදුරු කාච

10. “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” පෙන්වලා තියෙන්නේ මොන රටවලද?

10 1914දී “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” හැම දවසකම නගර 80ක ප්‍රදර්ශනය කරලා තියෙනවා. එක්සත් ජනපදයෙත් කැනඩාවෙත් හිටිය මිනිසුන් මිලියන අටක් විතර ඒ වැඩසටහන බලලා තියෙනවා. ඒ අවුරුද්දේම ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඩෙන්මාර්කය, නවසීලන්තය, නෝර්වේ, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ෆින්ලන්තය කියන රටවලත් ඒක පෙන්වන්න පටන්ගත්තා. ටික කාලයකට පස්සේ පුංචි නගරවලත් පෙන්වන්න පුළුවන් විදිහට පටිගත කරපු දර්ශන අයින් කරලා ඒ වැඩසටහන කෙටි කළා. ඒක හැඳින්නුවේ “යුරේකා වැඩසටහන” (“යුරේකා ඩ්‍රාමා”) කියලයි. ලෙහෙසියෙන් තැනින් තැනට ගෙනියන්න පුළුවන් වුණ ඒ වැඩසටහන හදන්න ඒ හැටි වියදමක් ගියෙත් නැහැ. 1916 වෙද්දී ආර්මේනියන්, ඉතාලි, ග්‍රීක, ජර්මන්, ඩැනෝ-නෝවීජියානු, පෝලන්ත, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ස්වීඩන කියන භාෂාවලින් “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” හෝ “යුරේකා වැඩසටහන” බලන්න පුළුවන් වුණා.

1914දී “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” බලන්න ආපු සෙනඟගෙන් ශාලා පිරිලා ඉතිරිලා ගියා

11, 12. “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” යෞවනයෙකුට බලපෑවේ කොහොමද? ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරපු “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” අවුරුදු 18දී බැලුව ෂාල් රෝන කියපු දේ බලන්න. “ඒ වැඩසටහන මං හිටපු නගරයේ ඒ කියන්නේ කෝල්මාවල පෙන්වද්දී මං දැක්කා ඒකෙ මුල ඉඳලම බයිබල් සත්‍යයන් කොච්චර සරල විදිහට පැහැදිලි කරලා තියෙනවාද කියලා. ඒ ගැන මට පුදුම හිතුණා.”

12 1922දී ෂාල් බව්තීස්ම වුණාට පස්සේ පූර්ණකාලීන සේවය පටන්ගත්තා. “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” ප්‍රංශයේ පෙන්වද්දී ඒකට උදව් කරන එක තමයි එයාට ලැබුණු මුල්ම වගකීම වුණේ. ඒක ගැන ෂාල් විස්තර කළේ මෙහෙමයි. “මට කරන්න වැඩ කිහිපයක් තිබුණා. ඒ තමයි වයලීනය වාදනය කරන එක, ගිණුම් අංශයේ වැඩ කරන එක සහ පොත් පත් භාරව කටයුතු කරන එක. වැඩසටහන පටන්ගන්න කලින් හැමෝවම නිහඬ කරන්න කියලත් මට දැනුම් දීලා තිබුණා. විවේක කාලය අතරතුරේදී එතැන හිටිය හැමෝටම අපේ ප්‍රකාශන බෙදන්න සහෝදර සහෝදරියන්ව පත් කරලා තිබුණා. ඇවිත් හිටිය අයට බෙදන්න අපි ළඟ ඇති තරම් සඟරා තිබුණා. ශාලාවට ඇතුල් වෙන තැන තිබුණු මේසවලත් පොත් පත් ඇති තරම් තියලා තිබුණා.” 1925 ඉඳන් නිව් යෝර්ක් නගරයේ බෘක්ලින්වල තිබුණු බෙතෙල් එකේ වැඩ කරන්න ෂාල්ට අවස්ථාව ලැබුණා. එහෙදී එයාගේ වගකීම වුණේ WBBR විදිහට හැඳින්නුව අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සංගීත කණ්ඩායම මෙහෙයවන කෙනා විදිහට වැඩ කරන එක. දැන් මෙහෙම හිතන්න. ‘ශුභාරංචිය තවත් ව්‍යාප්ත කරන්න ෂාල් වගේ මමත් ඕනෙම පැවරුමක් කැමැත්තෙන්ම භාරගන්නවාද?’—යෙසායා 6:8 කියවන්න.

13, 14. ශුභාරංචිය ප්‍රචාරය කරන්න ගුවන්විදුලිය පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? (“ WBBR ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන්” සහ “ අමතක නොවන සමුළුවක්” යන කොටුත් බලන්න.)

13 ගුවන්විදුලිය. 1920 ගණන්වලදී “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” පෙන්වන එක හුඟක් අඩු කළා. ඒත් ශුභාරංචිය දැනුම් දෙන එක නම් නතර වුණේ නැහැ. ගුවන්විදුලියෙන් දිගටම ශුභාරංචිය ප්‍රචාරය වුණා. උදාහරණයකට සහෝදර රදෆර්ඩ් 1922 අප්‍රේල් 16වෙනිදා පෙන්සිල්වේනියා ෆිලදෙල්ෆියාවල තියෙන ඔපෙරා රඟහලේදී ඉදිරිපත් කරපු ඓතිහාසික දේශනයක් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා. “දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන මාතෘකාවෙන් ඔහු ඉදිරිපත් කරපු ඒ ඓතිහාසික දේශනයට මිනිසුන් 50,000ක් විතර සවන් දීලා තියෙනවා. මුල්ම වතාවට සමුළුවක ඉදිරිපත් කරපු දේශන ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරන්න පටන්ගත්තේ 1923දියි. ඒ කාලෙදී තමයි වෙළඳ නාලිකාවලට අමතරව අපිටම කියලා ගුවන්විදුලි මධ්‍යස්ථානයක් තිබුණොත් හොඳයි කියලා මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයන් තීරණය කළේ. ප්‍රතිඵලයක් විදිහට WBBR නමින් අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානය නිව් යෝර්ක් නගරයේ ස්ටැටන් දූපතේ ඉදි කළා. ඒ මධ්‍යස්ථානයෙන් මුල්ම වතාවට අපේ තොරතුරු විකාශනය වුණේ 1924 පෙබරවාරි 24වෙනිදා.

ගුවන්විදුලියෙන් විකාශනය කරපු “දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන දේශනයට මිනිසුන් 50,000ක් විතර සවන් දුන්නා

14 WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානය ගැන 1924 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු දේ බලන්න. “ශුභාරංචිය දැනුම් දෙන්න අපි පාවිච්චි කරලා තියෙන ක්‍රමවලින් වඩාත් සාර්ථක, අඩුම මුදලක් වැය වෙන ක්‍රමය තමයි ගුවන්විදුලිය. අපිටම කියලා තවත් ගුවන්විදුලි මධ්‍යස්ථාන හදන එක සුදුසුයි කියලා ස්වාමීන් හිතනවා නම් ඒකට ඕන කරන මුදල ඔහු අනිවාර්යයෙන්ම ලැබෙන්න සලස්වයි.” (ගීතා. 127:1) 1926 වෙද්දී අපිටම කියලා ගුවන්විදුලි මධ්‍යස්ථාන හයක්ම තිබුණා. ඒ අතරෙන් දෙකක් තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙයි. නිව් යෝර්ක්වල WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානයත් චිකාගෝවලට කිට්ටුවෙන් WORD ගුවන්විදුලි මධ්‍යස්ථානයත් තිබුණා. අනිත් හතර තිබුණේ කැනඩාවේ ඇල්බර්ටා, ඔන්ටාරියෝ, බ්‍රිතාන්‍ය කොලොම්බියා සහ සස්කැචුවාන් කියන ප්‍රදේශවල.

15, 16. (අ) කැනඩාවේ පූජකයන් ගුවන්විදුලියෙන් ශුභාරංචිය ප්‍රචාරය කරන එක නතර කරන්න පියවර ගත්තේ කොහොමද? (ආ) ගුවන්විදුලියෙන් ශුභාරංචිය ප්‍රචාරය වුණු එක ගෙයින් ගෙට සේවයට බලපාලා තියෙන්නේ කොහොමද?

15 ගුවන්විදුලි නාලිකා හරහා ශුභාරංචිය ප්‍රචාරය කරනවාට පූජකයන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. කැනඩාවේ සස්කැචුවාන්වල තිබුණු ගුවන්විදුලි මධ්‍යස්ථානයේ වැඩ ගැන හොඳින් දැනගෙන හිටිය ඇල්බර්ට් හොෆ්මන් කියපු මේ දේ බලන්න. “ගුවන්විදුලියෙන් බයිබල් ශිෂ්‍යයන් [යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්] ගැන හුඟදෙනෙක්ට දැනගන්න ලැබුණා. ඒ නිසා ඒකෙන් හැමෝටම හොඳ සාක්ෂියක් දරන්න පුළුවන් වුණා. හැබැයි පූජකයන්ගේ බලපෑම නිසා බලධාරීන් 1928දී බයිබල් ශිෂ්‍යයන්ගේ බලපත්‍ර අහෝසි කළා.”

16 කැනඩාවේ තිබුණු අපේ ගුවන්විදුලි මධ්‍යස්ථාන වහන්න සිද්ධ වුණත් වෙළඳ නාලිකාවන් හරහා දිගටම ශුභාරංචිය ප්‍රචාරය වුණා. (මතෙ. 10:23) මිනිසුන්ට ඒ ගැන දැනුම් දෙන්න ඕන නිසා ‘මුරටැඹ’ සඟරාවෙත් ‘රන්වන් යුගය’ (‘පිබිදෙව්!’) සඟරාවෙත් ශුභාරංචිය ප්‍රචාරය වෙන වෙළඳ සේවාවල නම් ලැයිස්තුවක් සඳහන් වුණා. අපේ සහෝදරයනුත් ඒ නාලිකාවලට සවන් දෙන්න කියලා දේශනා සේවයේ මුණගැහුණු අයව දිරිගැන්නුවා. ඒක ප්‍රයෝජනවත් වුණාද? 1931 ජනවාරි “බුලටින් ” පත්‍රිකාවේ සඳහන් වුණු මේ තොරතුරුවලින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. “ගුවන්විදුලිය හරහා ශුභාරංචිය ප්‍රචාරය වෙන නිසා ගෙයින් ගෙට දේශනා සේවයේ හුඟක් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. සහෝදර රදෆර්ඩ්ගේ දේශනවලට ඇහුම්කන් දීලා තියෙන අය අපේ පොත් ඉදිරිපත් කරද්දී හරිම ආසාවෙන් ඒවා ගන්නවා කියලා හුඟක් අය අපිට දන්වලා තියෙනවා.” ඒ අවුරුද්දේ මාර්තු “බුලටින් ” පත්‍රිකාවේ මෙහෙම සඳහන් වුණා. “ස්වාමීන්ගේ සංවිධානය ශුභාරංචිය දැනුම් දෙන මූලිකම ක්‍රම දෙක ගුවන්විදුලිය සහ ගෙයින් ගෙට සේවයයි.”

17, 18. බාධා ආවත් දිගටම ශුභාරංචිය ප්‍රචාරය කරන්න ගුවන්විදුලිය දායක වෙලා තියෙන්නේ කොහොමද?

17 කොහොමවුණත් 1930 ගණන්වල මුහුණ දෙන්න වුණු විරුද්ධවාදීකම් නිසා වෙළඳ නාලිකාවලින් ශුභාරංචිය විකාශනය කරන එකත් නතර කළා. ඒ නිසා 1937 ඉඳන් ගෙයින් ගෙට දේශනා සේවයට තවත් වැඩියෙන් අවධානය දෙන්න පටන්ගත්තා. a හැබැයි ඒ වෙද්දී වෙන රටවල් එක්ක දේශපාලන බැඳීම් තිබුණේ නැති ඒ වගේම ඇමරිකාවට හුඟක් දුරින් තිබුණු රටවල ශුභාරංචිය ව්‍යාප්ත කරන්න ගුවන්විදුලිය දායක වෙලා තියෙනවා. උදාහරණයකට 1951 ඉඳන් 1991 වෙන කල් ජර්මනියේ බටහිර බර්ලින් නගරයේ වෙළඳ නාලිකාවකින් බයිබලයේ සඳහන් තොරතුරු විකාශනය වුණා. ඒ නිසා නැඟෙනහිර ජර්මනියේ හිටිය අයටත් දෙවිගේ රාජ්‍යය ගැන තොරතුරු දැනගන්න ලැබුණා. 1961 ඉඳන් දකුණු ඇමරිකාවේ සූරිනාමය කියන රටේ ජාතික ගුවන්විදුලි නාලිකාවකින් බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් තිස්සේ හැම සතියකම විනාඩි 15කට විකාශනය කළා. 1969ත් 1977ත් අතර කාලයේදී ගුවන්විදුලි නාලිකා මාර්ගයෙන් විකාශනය කරන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් ඇතුළත් වැඩසටහන් 350කටත් වඩා වැඩි ප්‍රමාණයක් සංවිධානයෙන් පටිගත කරලා තිබුණා. ඒවා හැඳින්නුවේ “මුළු ශුද්ධ ලියවිල්ලම ප්‍රයෝජනවත්” කියන නමින්. ඒ වැඩසටහන් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 48ක ගුවන්විදුලි මධ්‍යස්ථාන 291කින් විකාශනය කරලා තියෙනවා. ඒ වගේම 1996දී පැසිෆික් සාගරයේ සමොවා කියන දූපතේ අගනුවර වුණු අපියාවල තිබුණු ගුවන්විදුලි මධ්‍යස්ථානයකින් හැම සතියකම බයිබලයේ තියෙන ප්‍රශ්නවලට උත්තර ඇතුළත් වැඩසටහනක් විකාශනය කළා.

18 20වෙනි සියවසේ අගභාගය වෙද්දී ගුවන්විදුලිය හරහා ශුභාරංචිය විකාශනය කරන එක නතර වුණා. හැබැයි වැඩිදෙනෙකුට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න පටන්ගත්තා.

19, 20. යෙහෝවා දෙවිගේ සෙනඟ jw.org වෙඩ් අඩවිය නිර්මාණය කළේ ඇයි? ඒක කොයි තරම් දුරට සාර්ථක වෙලා තියෙනවාද? (“ JW.ORG” යන කොටුවත් බලන්න.)

19 අන්තර්ජාලය. 2013 වෙද්දී ලෝක ජනගහනයෙන් සියයට 40ක් විතර ඒ කියන්නේ බිලියන 2.7කටත් වඩා වැඩිදෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරලා තියෙනවා කියලා එක වාර්තාවක සඳහන් වුණා. ජංගම දුරකථන සහ ටැබ්ලට්වලින් බිලියන දෙකක් විතර අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා කියලත් සමහර වාර්තාවල සඳහන් වෙනවා. ඒ විදිහට අන්තර්ජාලයට සම්බන්ධ වෙන අයගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා. ඒ අතරින් කැපිලා පෙනෙන වර්ධනයක් තියෙන්නේ අප්‍රිකාවේ. මේ වෙද්දී ඒ රටේ ජංගම උපකරණ හරහා අන්තර්ජාල සබඳතා මිලියන 90කට වඩා තියෙනවා. ඒ වගේ ක්‍රමයන් නිසා කලින්ට වඩා හරිම පහසු විදිහට තොරතුරු දැනගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවා.

20 1997 ඉඳන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ඒ ක්‍රමය පාවිච්චි කරන්න පටන්ගත්තා. jw.org විදිහට හඳුන්වන අපේ වෙබ් අඩවිය 2013 වෙද්දී භාෂා 300කින් විතර තිබුණා. 520කටත් වඩා වැඩි භාෂා ගණනකින් බයිබලය ගැන තොරතුරු ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් වුණා. හැම දවසකම මිනිසුන් 7,50,000කට වඩා අපේ වෙබ් අඩවියට පිවිසෙනවා. ඒ වගේම හැම මාසයකම අපේ වෙබ් අඩවියෙන් වීඩියෝ බලනවාට අමතරව පොත් මිලියන 3කටත් වඩා වැඩි ගණනකුත් සඟරා මිලියන 4කුත් ඕඩියෝ ෆයිල් මිලියන 22කුත් ඩවුන්ලෝඩ් කරනවා.

21. සීනාගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

21 මේ වෙද්දී අපේ වෙබ් අඩවිය දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රචාරය කරන හුඟක් සාර්ථක ක්‍රමයක් වෙලා තියෙනවා. අපේ සේවය තහනම් කරපු රටවල ඉන්න අයටත් ශුභාරංචිය ගැන දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ වෙබ් අඩවිය නිසයි. උදාහරණයකට සීනාගේ අද්දැකීම බලන්න. සීනා පිටිසර ගමක ජීවත් වෙන මුස්ලිම් ආගමේ කෙනෙක්. එයා ජීවත් වෙන රටේ අපේ සේවයට තහංචිත් පනවලා තිබුණා. 2013දී සීනාට අපේ වෙබ් අඩවිය ගැන දැනගන්න ලැබුණා. එයාට බයිබලය ගැන දැනගන්න ඕන වෙලා තිබුණු නිසා එයා වෙබ් අඩවියේ තිබුණු අපේ මූලස්ථානයට කෝල් එකක් දුන්නා. දැන් එක්සත් ජනපදයේ ඉන්න සාක්ෂිකරුවෙක් සීනා එක්ක අන්තර්ජාලයෙන් සතියට දෙපාරක්ම බයිබල් පාඩමක් කරනවා.

එක් එක් පුද්ගලයාට උගන්වන එක

22, 23. (අ) ශුභාරංචිය ප්‍රචාරය කරන්න හුඟක් ක්‍රම පාවිච්චි කරලා තිබුණත් ගෙයින් ගෙට සේවයේ වටිනාකම අඩු වෙලා තියෙනවාද? (ආ) අපි පාවිච්චි කරලා තියෙන ක්‍රමවලට ක්‍රිස්තුස් ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද?

22 මේ පරිච්ඡේදයෙන් අපි බලපු විදිහට දෙවිගේ සෙනඟ පුවත්පත්, “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන,” ගුවන්විදුලි වැඩසටහන් සහ වෙබ් අඩවිය පාවිච්චි කරලා ශුභාරංචිය ප්‍රචාරය කරලා තියෙනවා. හැබැයි ඒ කිසිම ක්‍රමයක් නිසා ගෙයින් ගෙට සේවයේ වටිනාකම අඩු වෙලා නැහැ. ඒ ඇයි? අපි අනුගමනය කරන්නේ යේසුස්ගේ ආදර්ශය. යේසුස් විශාල කණ්ඩායම්වලට දේශනා කළා වගේම එක් එක් පුද්ගලයාටත් ඉගැන්නුවා. (ලූක් 19:1-5) ඒ විතරක් නෙවෙයි එහෙම කරන්න ඔහු තමන්ගේ අනුගාමිකයන්වත් පුහුණු කළා. කියන්න ඕන පණිවිඩය ගැනත් කියලා දුන්නා. (ලූක් 10:1, 8-11 කියවන්න.) අපි කලින් පරිච්ඡේදයෙන් දැකපු විදිහට එක් එක් පුද්ගලයා ළඟට ගිහින් ශුභාරංචිය ගැන ඒ අය එක්ක කතා කරන එක මොන තරම් වැදගත්ද කියලා මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන් දෙවිගේ සෙනඟට නිතර නිතර කාවද්දලා තියෙනවා.—ක්‍රියා 5:42; 20:20.

23 දෙවිගේ රාජ්‍යය පිහිටුවලා දැන් අවුරුදු 100ක් ගෙවිලා තියෙනවා. මේ වෙද්දී මිලියන 7.9කටත් වඩා වැඩි සෙනඟක් දෙවි ගැන අනිත් අයට කියලා දෙනවා. දෙවිගේ රාජ්‍යය ගැන දැනුම් දෙන්න අපි මේ වෙන කල් පාවිච්චි කරපු ක්‍රමවලට ක්‍රිස්තුස් ආශීර්වාද කරලා තියෙනවා කියලා පැහැදිලිව පෙනෙනවා. ඒ විතරක් නෙවෙයි ශුභාරංචිය සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් දැනුම් දෙන්න ඕන කරන දේවලුත් ඔහු අපිට දීලා තියෙනවා. ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.—එළි. 14:6.

a නිව් යෝර්ක්වල තිබුණු WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානය වහන්න 1957දී මූලිකත්වය අරන් වැඩ කරපු අය තීරණය කළා.