Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන සෙනඟක් - දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි

ශුභාරංචිය දේශනා කරන සෙනඟක් - දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ රාජ්‍යයේ රජු ශුභාරංචිය දේශනා කරන්න සේනාවක් එක් රැස් කරයි

1, 2. යේසුස් කිව්වේ මොන අනාවැකියද? අපිට මතු වෙන ප්‍රශ්නය මොකක්ද?

 පාලකයන් හුඟක් අවස්ථාවලදී යම් දේවල් කරන්න පොරොන්දු වුණත් ඒ අයට ඒවා ඉටු කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි යේසුස් ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔහු මොනවා හරි දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා.

2 යේසුස් මැරෙන්න ටික කාලෙකට කලින් මේ අනාවැකිය කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.” (මතෙ. 24:14) ඒ අනාවැකිය කියලා අවුරුදු 1,900කට විතර පස්සේ ඒ කියන්නේ ඔහු දෙවිගේ රාජ්‍යයේ රජු වුණාට පස්සේ ඒ පොරොන්දුව ඉටු කරන්න පියවර ගත්තා. ශුභාරංචිය පොළොව පුරා දේශනා කරන එක ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය හඳුනාගන්න දීපු ලකුණට අයිති එක වැදගත් අංගයක්. ඒත් මේ වගේ කාලෙක පොළොව පුරා ශුභාරංචිය දේශනා කරන්න සේනාවක් එක් රැස් කරන්න යේසුස්ට පුළුවන් වෙයිද? මොකද අපි දැන් ඉන්නේ අවසාන කාලයේ නිසා මිනිසුන් හුඟක් වෙලාවට හිතන්නේ තමන් ගැනම විතරයි, දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන්නෙත් නැහැ. (මතෙ. 24:12; 2 තිමෝ. 3:1-5) සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි ඒ ප්‍රශ්නයට උත්තරේ දැනගන්න එක හුඟක් වැදගත්.

3. යේසුස්ට තිබුණු විශ්වාසය මොකක්ද? ඔහුට ඒ තරම් විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

3 යේසුස් කියපු අනාවැකිය ගැන ටිකකට හිතන්න. ශුභාරංචිය “දේශනා කරනු ලබයි” කියලා කියද්දී ඒ දේ ගැන ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා කියලා පැහැදිලි වෙනවා. ඒත් අවසාන කාලයේදී ශුභාරංචිය දේශනා කරන්න දෙවිගේ සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා කියලා විශ්වාස කරන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? යේසුස් ස්වර්ගයේ ඉද්දී ඔහු හොඳින්ම දැක්කා ඔහුගේ පියාට තමන්ගේ සේවකයන් ගැන කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලා. (යොහ. 12:45; 14:9) උදාහරණයක් බලමු.

“ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය”

4. දෙවි ඊශ්‍රායෙල් සෙනඟගේ උදව් ගන්න කියලා කිව්වේ මොනවා කරන්නද? ඔවුන් කළේ මොනවාද?

4 ශුද්ධ කූඩාරම හදන්න කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්ව වෙලාවේ ඒකට ඊශ්‍රායෙල් සෙනඟගේ උදව් ගන්න කියලා දෙවි කිව්වා. ඒ නිසා මෝසෙස් සෙනඟට කිව්වා මේ වැඩේට හවුල් වෙන්න කැමති අය සතුටු සිතින් යෙහෝවා දෙවිට සම්මාදමක් ගේන්න කියලා. එහෙම කරන්න ඊශ්‍රායෙල්වරු කැමති වුණාද? ඔව්. “ඊශ්‍රායෙල් සෙනඟ දිගින් දිගටම සම්මාදම් ගෙනාවා. හැම උදෑසනකම කැමැත්තෙන්ම මෝසෙස්ට සම්මාදම් ගෙනැවිත් දුන්නා.” අන්තිමේදී “තවත් සම්මාදම් ගෙනෙන්න එපා” කියලා කියන්න මෝසෙස්ට සිද්ධ වුණා. (නික්. 35:5; 36:3, 6) ඊශ්‍රායෙල් සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි කියලා යෙහෝවා දෙවිට තිබුණු විශ්වාසය ඊශ්‍රායෙල් සෙනඟ කඩ කළේ නැහැ.

5, 6. ගීතාවලිය 110:1-3 සඳහන් වෙන විදිහට යෙහෝවා දෙවිට සහ යේසුස්ට අවසාන කාලයේ ජීවත් වෙන සැබෑ ක්‍රිස්තියානීන් ගැන තිබුණු විශ්වාසය මොකක්ද?

5 අවසාන කාලයේ ජීවත් වෙන දෙවිගේ සෙනඟත් ඒ වගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි කියලා යෙහෝවා දෙවිට විශ්වාසයක් තියෙනවාද? ඔව්. ක්‍රිස්තුස් පාලනය කරන්න පටන්ගන්න කාලය ගැන දාවිත් ලියපු අනාවැකිය ගැන ටිකක් හිතන්න. ඒ අනාවැකිය ලිව්වේ යේසුස් ඉපදෙන්න අවුරුදු 1,000කටත් කලින්. (ගීතාවලිය 110:1-3 කියවන්න.) ඒ අනාවැකියට අනුව යේසුස් රජ වුණාම සතුරන් ඔහුට විරුද්ධ වෙනවා. හැබැයි ඔහුට සහාය වෙන්න හමුදාවක් වගේ කණ්ඩායමක් ඉන්නවා කියලත් ඒ අනාවැකියේ සඳහන් වුණා. ක්‍රිස්තුස්ට සහාය වෙන්න කියලා කවුරුවත් ඒ අයට බල කරන්නේ නැහැ. ඒ කණ්ඩායමේ ඉන්න තරුණ අයත් ඒ දේට ඉදිරිපත් වෙන්නේ කැමැත්තෙන්මයි. ඒ අයගේ ගණන මොන තරම්ද කියනවා නම් පොළොව තෙමන පිනි බිඳුවලට ඔවුන්ව සමාන කරලා තියෙනවා. a

පොළොව තෙමන පිනි බිඳු හා සමාන විශාල සෙනඟක් දෙවිගේ රාජ්‍යයට සහාය වෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා (5 ඡේදය බලන්න)

6 ගීතාවලිය 110 සඳහන් අනාවැකිය තමන්ට අදාළ වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. (මතෙ. 22:42-45) ඒ නිසා මුළු පොළොව පුරාම දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන විශ්වාසවන්ත සේවකයන් පිරිසක් තමන්ට ඉඳියි කියලා විශ්වාස කරන්න ඔහුට ඕන තරම් හේතු තිබුණා. ගෙවුණු අවුරුදු 100 ඇතුළත සිද්ධ වෙලා තියෙන දේවලින් පැහැදිලි වෙන්නේ මොනවාද? මේ අවසාන කාලයේදී ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන සෙනඟක්ව ක්‍රිස්තුස් සූදානම් කරලා තියෙනවාද?

“වරප්‍රසාදයක් වගේම ලොකු වගකීමක්”

7. යේසුස් රජ වුණාට පස්සේ ඉදිරියේදී කරන්න තියෙන වැඩකට තම සෙනඟව සූදානම් කළේ කොහොමද?

7 යේසුස් රජ වෙලා වැඩි කාලයක් යන්න කලින් ඉදිරියේදී කරන්න තියෙන ලොකු වැඩකට ඔහුගේ සෙනඟව සූදානම් කරන්න පටන්ගත්තා. අපි 2වෙනි පරිච්ඡේදයෙන් දැනගත්ත විදිහට ක්‍රිස්තුස් 1914 ඉඳන් 1919 වෙන කල් ඔහුගේ සෙනඟව සෝදිසි කරලා ඒ අයව පවිත්‍ර කළා. (මලා. 3:1-4) ඊටපස්සේ 1919දී ඔහු තමන්ගේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න විශ්වාසවන්ත දාසයාව පත් කළා. (මතෙ. 24:45) එදා ඉඳන් දේශනා සේවයේ හවුල් වෙන්න ක්‍රිස්තියානීන් එක් එක් කෙනාට ලොකු වගකීමක් තියෙනවා කියලා දාසයා නිතර නිතර මතක් කරන්න පටන්ගත්තා. දාසයා ඒ දේ කළේ සමුළු, සඟරා වගේ දේවලින්.

8-10. දේශනා සේවයේ යන එක මොන තරම් වැදගත්ද කියලා සමුළුවලින් පැහැදිලි කළේ කොහොමද? උදාහරණයක් දෙන්න. (“ දේශනා සේවයට දිරිගැන්වීමක් වුණු සමුළු” යන කොටුවත් බලන්න.)

8 සමුළු. 1919 සැප්තැම්බර් 1වෙනිදා ඉඳන් 8වෙනිදා වෙන කල් පවත්වපු සමුළුවකට බයිබල් ශිෂ්‍යයන් සහභාගි වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්වල පවත්වපු ඒ සමුළුව තමයි පළවෙනි ලෝක මහා යුද්ධයට පස්සේ තිබුණු ලොකුම සමුළුව. ඒ සමුළුවේ දෙවෙනි දවසේ සහෝදර රදෆර්ඩ් ඉදිරිපත් කරපු දේශනයකදී ඔහු මෙහෙම කිව්වා. “මේ පොළොවේ ජීවත් වෙන ක්‍රිස්තියානියෙකුගේ මූලිකම වගකීම ස්වාමීන්ගේ රාජ්‍යය ගැන දේශනා කරන එකයි.”

9 සමුළුවේ තුන්වෙනි දවසේදී සහෝදර රදෆර්ඩ් ඉදිරිපත් කරපු දේශනයෙන් හැමෝම තේරුම්ගත්තා දේශනා සේවය කොච්චර වැදගත්ද කියලා. සහෝදර රදෆර්ඩ් මෙහෙම කිව්වා. “මං මේ පොළොවේ ජීවත් වෙන්නේ ඇයි කියලා ඕනම ක්‍රිස්තියානියෙක් හිතනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනෙ මේකයි. මිනිසුන්ට දෙවි එක්ක සමාදාන වෙන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන අනිත් අයට කියන්න ස්වාමීන් මාව තානාපතියෙක් විදිහට පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ පණිවිඩය අනිත් අයට කියන්න මට ලැබිලා තියෙන අවස්ථාව ඇත්තෙන්ම වරප්‍රසාදයක් වගේම ලොකු වගකීමක්.” ඔහු ඉදිරිපත් කරපු ඒ දේශනය ‘මුරටැඹ’ සඟරාවකත් පළ වුණා.

10 එදා සහෝදර රදෆර්ඩ් ඉදිරිපත් කරපු ඒ විශේෂ දේශනයේදී ඔහු කිව්වා මිනිසුන්ට බලාපොරොත්තුව තියන්න පුළුවන් එකම රාජ්‍යය දෙවිගේ රාජ්‍යය කියලා පැහැදිලි කරන්න අලුත් සඟරාවක් ප්‍රකාශයට පත් කරනවා කියලා. ඒ තමයි ‘රන්වන් යුගය’ (‘පිබිදෙව්!’) සඟරාව. ඒ ගැන කිව්වාට පස්සේ සහෝදර රදෆර්ඩ් ඇහුවා මේ සඟරාව මිනිසුන්ට බෙදන්න කැමති කවුද කියලා. “ඒ වෙලාවේදී එතන හිටිය 6,000දෙනාම එකපාරටම නැඟිටලා ඒකට කැමැත්ත පළ කළා” කියලා එක වාර්තාවක සඳහන් වුණා. b දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු සෙනඟක් ඒ රාජ්‍යයේ රජුට ඉඳලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

11, 12. ශුභාරංචිය දේශනා කරන්න ඕන කාලය ගැන 1920දී ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණේ මොනවාද?

11 සඟරා. දේශනා සේවය මොන තරම් වැදගත්ද කියලා ‘මුරටැඹ’ සඟරාවෙන් දිගින් දිගටම කාවැද්දුවා. උදාහරණයකට 1920 ගණන්වල ඒ සඟරාවේ සඳහන් වුණු තොරතුරු ගැන දැන් අපි බලමු.

12 මතෙව් 24:14 සඳහන් දේ ඉටු කරන්න නම් අපි දේශනා කරන්න ඕන පණිවිඩය මොකක්ද? ඒ දේ කරන්න ඕන මොන කාලයේදීද? ඒ ප්‍රශ්නවලට උත්තර 1920 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා. අපි දේශනා කරන්න ඕන පණිවිඩය ගැන ඒ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. “ඒ පදයේ සඳහන් වෙන ශුභාරංචිය තමයි ළඟදීම මේ දුෂ්ට සමාජය නැති වෙලා දෙවිගේ රාජ්‍යය, මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියන එක.” අපි ඒ පණිවිඩය දේශනා කරන්න ඕන කාලය ගැන ඒ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “පළවෙනි ලෝක මහා යුද්ධයත් ‘මහත් පීඩාවත්’ අතර කාලෙදී අපි දිගටම මේ පණිවිඩය දේශනා කරන්න ඕනේ. . . . ක්‍රිස්තියානියයි කියාගන්නා අයට ශුභාරංචිය ගැන දේශනා කරන්න තියෙන හොඳම කාලය දැනුයි.”

13. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දේශනා සේවයට කැමැත්තෙන්ම හවුල් වෙන එක ගැන 1921 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වෙලා තිබුණේ මොනවාද?

13 දේශනා සේවයේ යන්න දෙවිගේ සෙනඟට බල කරන්න ඕනෙද? නැහැ. 1921 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ ලිපියක මෙහෙම සඳහන් වුණා. “දේශනා සේවයේ හවුල් වෙන්න ලැබිලා තියෙන එක වරප්‍රසාදයක් වගේම ලොකු වගකීමක් විදිහට මම සලකනවාද? . . . මේ සේවයේ හවුල් වෙන්න ලැබිලා තියෙන එක වරප්‍රසාදයක් විදිහට සලකද්දී ඔබටත් යෙරෙමියාට හැඟුණු විදිහටම හැඟෙයි. යෙරෙමියාට ස්වාමීන්ගෙන් පණිවිඩය ලැබුණාම එයා කිව්වේ ඒ පණිවිඩය ‘ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය’ කියලයි. (යෙරෙ. 20:9) ඒ කියන්නේ යෙරෙමියාට ඒ පණිවිඩය ගැන අනිත් අයට කියන්න ලොකු වුවමනාවක් තිබුණා.” ඒ ලිපියේ සඳහන් වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම දේශනා සේවයේ හවුල් වෙන එක ගැනයි. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් අභිෂේක ලත් අය ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියලා ඒ ලිපියේ තොරතුරුවලින් පැහැදිලි වුණා.

14, 15. අනිත් අයට ශුභාරංචිය කියන්න අපි කරන්න ඕන දේ ගැන 1922 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් කරලා තිබුණේ මොනවාද?

14 සැබෑ ක්‍රිස්තියානීන් අනිත් අයට ශුභාරංචිය ගැන කියන්නේ කොහොමද? 1922 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ දේශනා සේවයේ යන්න අභිෂේක ලත් අයව දිරිගන්වලා තිබුණු ලිපියක මෙහෙම සඳහන් වුණා. “අපේ ප්‍රකාශන අරගෙන මිනිසුන්ගේ ගෙවල්වලටම ගිහිල්ලා ඒ අය එක්ක කතා කරන්න. ස්වර්ග රාජ්‍යය ළඟදීම මේ පොළොවේ පාලනය භාරගන්නවා කියලා ඒ අයට කියන්න.”

15 දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන්න ලැබිලා තියෙන එක වරප්‍රසාදයක් වගේම ලොකු වගකීමක් කියලා 1919 ඉඳන් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා නිතර නිතර මතක් කරලා තියෙනවා. අපි මේ වෙන කල් බලපු තොරතුරුවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.

“විශ්වාසවන්ත අය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා”

16. හැමෝම දේශනා සේවයේ හවුල් වෙන්න ඕනෙ කියලා කිව්වාම ඡන්දයෙන් පත් වුණු සමහර වැඩිමහල්ලන් කළේ මොනවාද?

16 හැම අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක්ම දේශනා සේවයේ යන්න ඕනෙ කියලා දාසයා කිව්වත් 1920 ගණන්වල සහ 1930 ගණන්වල හිටිය සමහර අය ඒකට කැමති වුණේ නැහැ. 1927 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන සඳහන් වුණේ මෙහෙමයි. “සභාවේ වගකීම් දරන සමහර වැඩිමහල්ලන් දේශනා සේවයේ යන්න අනිත් අයව දිරිගන්වන්නේවත් දේශනා සේවයේ යන්නේවත් නැහැ. . . . දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් ඒ රාජ්‍යයේ රජු ගැනත් ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න ඒ අය පොඩ්ඩක්වත් කැමති නැහැ. . . . ඒ වගේ අය කවුද කියලා දැනගෙන ඒ අයව වැඩිමහල්ලන් විදිහට පත් කරන්නේ නැතුව ඉන්න විශ්වාසවන්තව වැඩ කරන අයට දැන් වගකීමක් තියෙනවා.” c

17, 18. දාසයාගෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී සභාවල හිටිය හුඟක් අය කළේ මොනවාද? දැනට අවුරුදු 100ක විතර කාලයක් තිස්සේ මිලියන ගණන් දෙනෙක් කරලා තියෙන්නේ මොනවාද?

17 කොහොමවුණත් සභාවල හිටිය හුඟදෙනෙක් දාසයාගෙන් ලැබුණු මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගත්තා. දේශනා කරන්න ලැබිලා තියෙන එක ඒ අය සැලකුවේ වරප්‍රසාදයක් විදිහටයි. 1926 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන මෙහෙම සඳහන් වෙලා තිබුණා. “මේ පණිවිඩය දේශනා කරන්න . . . විශ්වාසවන්ත අය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.” ගීතාවලිය 110:3 සඳහන් විදිහටම ඒ අයත් දෙවිගේ රාජ්‍යයේ රජුට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.

18 දැනට අවුරුදු 100ක විතර කාලයක් තිස්සේ මිලියන ගණන් දෙනෙක් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අය ශුභාරංචිය දේශනා කරන්න පාවිච්චි කරපු ක්‍රම, ඒ වෙනුවෙන් පාවිච්චි කරපු දේවල් සහ ඒකෙන් ලැබුණු ප්‍රතිඵල ගැන අපිට ඉදිරි පරිච්ඡේදවලින් දැනගන්න පුළුවන්. දැන් අපි බලමු තමන්ගේම ආසාවන් ඉටු කරගන්න මිනිසුන් උත්සාහ කරන මේ වගේ කාලයක සමහර අය ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ ඇයි කියලා. ඒ දේවල් ගැන හොයලා බලන ගමන් මේ ගැනත් කල්පනා කරන්න. ‘ඇත්තටම මම ශුභාරංචිය ගැන අනිත් අයට කියන්නේ ඇයි?’

“නොකඩවා දෙවිගේ රාජ්‍යයට . . . මුල් තැන දෙන්න”

19. “නොකඩවා දෙවිගේ රාජ්‍යයට . . . මුල් තැන දෙන්න” කියලා යේසුස් කියපු දේට අපි කීකරු වෙන්න ඕන ඇයි?

19 “නොකඩවා දෙවිගේ රාජ්‍යයට . . . මුල් තැන දෙන්න” කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. (මතෙ. 6:33) අපි ඒ දේට කීකරු වෙන්න ඕන ඇයි? අපි දැනටමත් දන්නවා දෙවිගේ රාජ්‍යය මොන තරම් වැදගත්ද කියලා. ඒ රාජ්‍යය යොදාගෙන තමයි දෙවි තමන්ගේ අරමුණ ඉටු කරන්නේ. දෙවිගේ බලය මාර්ගයෙන් දෙවිගේ රාජ්‍යය ගැන හුඟක් වටින තොරතුරු ක්‍රමානුකූලව හෙළි වුණේ කොහොමද කියලා අපි කලින් පරිච්ඡේදයෙන් දැනගත්තා. ඒ සත්‍ය තොරතුරු හොඳින් තේරුම්ගත්තාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න අපි පෙලඹෙනවා.

දෙවිගේ රාජ්‍යය ගැන සත්‍යය දැනගන්න ලැබුණු එක ගැන ක්‍රිස්තියානීන් සතුටු වෙන්නේ තණබිමක හංගලා තිබුණු වස්තුව ලැබුණු මිනිසා සතුටු වුණු විදිහටමයි (20 ඡේදය බලන්න)

20. දිගටම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න කියලා දීපු උපදෙසට යේසුස්ගේ අනුගාමිකයන් කීකරු වෙන විදිහ, තණබිමක සඟවලා තිබුණු වස්තුව ගැන උපමාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

20 දිගටම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න කියලා දීපු උපදෙසට තමන්ගේ අනුගාමිකයන් කැමැත්තෙන්ම කීකරු වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. තණබිමක හංගලා තියෙන වස්තුව ගැන ඔහු කියපු උපමාවෙන් ඒක පැහැදිලි වෙනවා. (මතෙව් 13:44 කියවන්න.) ඒ උපමාවේ සඳහන් වෙන මිනිසා තණබිමේ හංගලා තිබුණු වස්තුව දැක්කාම ඒක හුඟක් වටිනවා කියලා තේරුම්ගත්තා. ඒ නිසා ඔහු කළේ මොනවාද? ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ඔහුට ඇති වූ ප්‍රීතිය කොතරම්ද කියනවා නම් ඔහු ගොස් තමා සතු සියල්ල විකුණා ඒ තණබිම මිල දී ගත්තා.” ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොනවාද? දෙවිගේ රාජ්‍යය ගැන සත්‍ය තොරතුරු දැනගන්න ලැබුණාම සහ ඒ රාජ්‍යයේ වටිනාකම තේරුම්ගත්තාම ඒ රාජ්‍යයට මුල් තැන දෙන්න අපිත් හරිම සතුටින් ඕනම කැප කිරීමක් කරන්න පෙලඹෙනවා. d

21, 22. දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා කියලා විශ්වාසවන්ත අය පෙන්වලා තියෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

21 දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා කියලා ඒ අය ක්‍රියා කරන විදිහෙන්ම ඔප්පු වෙනවා. ඒ අය දේශනා සේවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය, හැකියාවන් වගේම ඒ අයට තියෙන දේවල් කැප කරන්නේ කැමැත්තෙන්මයි. හුඟක් අය පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න තියෙන ආසාව නිසා වටින දේවල් කැප කරලා තියෙනවා. දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන අයට ආශීර්වාද කරනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව මොන තරම් ඇත්තක්ද කියලා ඒ අය අද්දකිනවා.

22 ඒවරි සහ ලෝවින්යා බ්‍රිස්ටෝගේ අද්දැකීම බලන්න. ඒ දෙන්නා 1920 ගණන්වල ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයේ පුරෝගාමීන් (“කෝල්පෝටර්”) විදිහට සේවය කරන්න පටන්ගත්තා. ඒ සේවය ගැන ලෝවින්යා මතක් කළේ මෙහෙමයි. “අපි දෙන්නා පුරෝගාමි සේවය කළේ හුඟක් සතුටින්. සමහර දවස්වල අපිට එදා දවසට ඕන කරන දේවල් ගන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවි අපිට ඕන කරන හැම දෙයක්ම දුන්නා. අපි දිගටම පුරෝගාමි සේවය කරගෙන ගියා. කොයි වෙලෙත් ඕනම කරන දේවල් ටික අපිට ලැබුණා.” ඒ දෙන්නා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෙන්සකෝලාවල සේවය කරද්දී දවසක් කෑම ටිකක් ගන්නවත් අතේ සල්ලි තිබිලා නැහැ. හැබැයි එයාලා ගෙදර එද්දී ගෙදරට ඕන කරන දේවලුත් කෑමත් දාලා ලොකු බෑග් මලු දෙකක් කවුරු හරි ගෙනත් තියලා. ඒවාත් එක්ක “මේ තෑග්ග පෙන්සකෝලා සභාවේ අයගෙන්” කියලා ලියලා තිබුණු පුංචි කාඩ් එකක් තිබිලා තියෙනවා. අවුරුදු ගාණක්ම කරපු සේවය ගැන ලෝවින්යා කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවි කවදාවත් අපිව අතහැරියේ නැහැ. අපිට යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය දෙවි කවදාවත් කඩ කරලා නැහැ.”

23. දෙවිගේ රාජ්‍යය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගන්න ලැබුණු එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

23 අපි එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් නිසා අපි හැමෝටම එකම විදිහට සේවය කරන්න බැහැ. හැබැයි මුළු හදවතින්ම ශුභාරංචිය දේශනා කරන්න ලැබෙන එක වරප්‍රසාදයක් විදිහට සලකන්න අපිට පුළුවන්. (කොලො. 3:23) දෙවිගේ රාජ්‍යයේ වටිනාකම අපි තේරුම් අරන් ඉන්න නිසා ඒ රාජ්‍යය ගැන දේශනා කරන්න ඕනම කැප කිරීමක් කරන්න අපි කැමැත්තෙන් ඉන්නවා. එහෙම කරන්න ඔබත් අධිෂ්ඨානයක් ගත්තාද?

24. අවසාන කාලයේදී දෙවිගේ රාජ්‍යයෙන් ඉටු වෙලා තියෙන විශිෂ්ට දේවල් අතරින් එක දෙයක් මොකක්ද?

24 ගෙවුණු අවුරුදු 100 දිහා බලද්දී අපිට පැහැදිලි වෙනවා දෙවිගේ රාජ්‍යයේ රජු මතෙව් 24:14 සඳහන් වෙලා තියෙන අනාවැකිය ඉටු කරලා තියෙන්නේ කොහොමද කියලා. තමන්ගේ ආසාවන් ගැනම හිතන මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට වඩා වෙනස්ව යේසුස්ගේ අනුගාමිකයන් කැමැත්තෙන්ම දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ විදිහට ලොව පුරාම සිද්ධ වෙන දේශනා සේවය යේසුස් රජු විදිහට පැමිණ සිටින කාලය හඳුනාගන්න ඔහු දීපු ලකුණට අයිති අංගයක්. දෙවිගේ රාජ්‍යයෙන් ඉටු වෙලා තියෙන විශිෂ්ට දේවල් අතරින් එකක් විදිහට ඒ සේවය හඳුන්වන්න පුළුවන්.

a බයිබලයේ පිනි කියන වචනය හුඟක් කියන අර්ථය දෙන්නත් පාවිච්චි කරලා තියෙනවා.—උත්. 27:28; මීකා 5:7.

b දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද කියන එක ගැන විස්තර කරපු පුංචි පොතක මෙහෙම සඳහන් වුණා. “දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන්න අපි ‘රන්වන් යුගය’ සඟරාව පාවිච්චි කරනවා. . . . මේ සඟරාව හැම මාසෙම තැපෑලෙන් ගෙන්නගන්න ගෙවල්වල ඉන්න අය කැමති වුණත් නැතත් සඟරාව කියවලා බලන්න කැමති නම් ඒ අයට සඟරාව දෙන්න.” ටික කාලෙකට පස්සේ ඒ සඟරාවට අමතරව ‘මුරටැඹ’ සඟරාවත් තැපෑලෙන් ගෙන්නගන්න පුළුවන් කියලා මිනිසුන්ට කියන්න කියලා සහෝදරයන්ව දැනුවත් කළා. 1940 පෙබරවාරි 1වෙනිදා ඉඳන් සේවයේ ගිහින් දෙන සඟරා ගණන වාර්තා කරන්න කියලා දෙවිගේ සෙනඟට දැනුම් දුන්නා.

c ඒ කාලයේදී වැඩිමහල්ලන්ව පත් කළේ ඡන්ද ක්‍රමයට. ඒ නිසා දේශනා සේවයේ යන්න අකමැති අයව වැඩිමහල්ලන් විදිහට පත් කරන්නේ නැතුව ඉන්න සභාවේ අයට පුළුවන් වුණා. වැඩිමහල්ලන්ව පත් කරන විදිහ වෙනස් වුණේ කොහොමද කියලා 12වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.

d අගනා මුතු ඇටයක් හොයාගෙන ගිය වෙළෙන්දෙක් ගැන කියපු උපමාවෙනුත් යේසුස් ඒ ගැන පැහැදිලි කළා. ඒ වෙළෙන්දාට මුතු ඇටය හම්බ වුණාම එයාට තිබුණු හැම දෙයක්ම විකුණලා ඒ මුතු ඇටය මිල දී ගත්තා. (මතෙ. 13:45, 46) සමහර අයට හරිම ලෙහෙසියෙන් දෙවිගේ රාජ්‍යය ගැන සත්‍යය දැනගන්න ලැබුණත් තවත් අයට සත්‍යය හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා කියලා ඒ උපමාවලින් පැහැදිලි වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ අපිට සත්‍යය ලැබුණේ කොහොමද කියන එක නෙවෙයි. ඒ වෙනුවට දෙවිගේ රාජ්‍යයට අපේ ජීවිතයේ මුල් තැන දෙන්න අවශ්‍ය කරන කැප කිරීම් කරන එකයි.