Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවි තම අරමුණ හෙළි කරයි

යෙහෝවා දෙවි තම අරමුණ හෙළි කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දේවගරුබිය තියෙන අයට යෙහෝවා දෙවි ක්‍රමානුකූලව තම අරමුණ හෙළි කරනවා

1, 2. යෙහෝවා දෙවි තම අරමුණ ගැන මිනිසුන්ට දැනුම් දීලා තියෙන්නේ කොහොමද?

 පවුලේ කාරණා ගැන සාකච්ඡා කරද්දී හුඟක් දෙමව්පියන් දරුවන්වත් ඒකට හවුල් කරගන්නවා. ඒත් දරුවන්ට හැම දෙයක් ගැනම කියන්නේ නැහැ. දරුවන්ට කියන්නේ තේරුම්ගන්න පුළුවන් දේවල් ගැන විතරයි.

2 යෙහෝවා දෙවිත් ඒ වගේ. ඔහු මිනිසුන්ට තමන්ගේ අරමුණ ගැන හැම තොරතුරක්ම එකපාරටම හෙළි කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ ගැන හෙළි කරලා තියෙන්නේ සුදුසුම කාලයේදියි. ඔහු අතීතයේ ඉඳලම තම රාජ්‍යය ගැන ක්‍රමානුකූලව තොරතුරු හෙළි කළේ කොහොමද කියලා දැන් අපි බලමු.

දෙවිගේ රාජ්‍යය අවශ්‍ය වුණේ ඇයි?

3, 4. මුල් මිනිස් යුවළ තමන්ට අකීකරු වෙයි කියලා දෙවි කලින්ම නියම කළාද? පැහැදිලි කරන්න.

3 දෙවිගේ රාජ්‍යය පිහිටුවන එක දෙවිගේ මුල් අරමුණට අයිති වුණේ නැහැ. එහෙම කියන්නේ ඇයි? මුල් මිනිස් යුවළ තමන්ට අකීකරු වෙයි කියලා දෙවි කලින්ම නියම කළේ නැහැ. ඒ වෙනුවට දෙවි ඔවුන්ව නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුව. මිනිසුන් සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ ගැන පැහැදිලි කරමින් දෙවි ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්. 1:28) ඒ වගේම හරි වැරැද්ද තීරණය කරන්න දෙවිට තියෙන අයිතියට ඒ දෙන්නා ගරු කරයි කියලත් දෙවි බලාපොරොත්තු වුණා. (උත්. 2:16, 17) දෙවිට කීකරු වෙලා ජීවත් වෙන්න ආදම්ටත් ඒවටත් ඕන තරම් හේතු තිබුණා. ඒ දෙන්නත් ඒ දෙන්නාගෙන් පැවතෙන අයත් දෙවිට කීකරු වුණා නම් මේ වෙද්දී මුළු පොළොවම දෙවිට සේවය කරන පරිපූර්ණ මිනිසුන්ගෙන් පිරිලා තියෙයි. එතකොට දෙවිගේ අරමුණ ඉටු කරන්න දෙවිගේ රාජ්‍යය ඕන වෙන්නේ නැහැ.

4 සාතන්, ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැහුව නිසා පරිපූර්ණ මිනිසුන්ගෙන් මුළු පොළොවම පුරවන්න දෙවිට තිබුණු අරමුණ වෙනස් වුණාද? නැහැ. ඒ අරමුණ ඉටු කරන්න ඔහු වෙන විදිහකින් පියවර ගත්තා. ඔහු ඒ අරමුණ ඉටු කරන්නේ ගමනාන්තයකට යන කෝච්චියක් වගේ නම් නෙවෙයි. මොකද කෝච්චියකට යන්න පුළුවන් රේල් පාර දිගේ විතරයි. කවුරු හරි කෝච්චිය පීලි පැන්නුවොත් ගමන නතර වෙනවා. හැබැයි දෙවි යම් දෙයක් අරමුණු කළොත් ඒක නතර කරන්න කාටවත් බැහැ. (යෙසායා 55:11 කියවන්න.) ඔහුගේ අරමුණට බාධාවක් ඇති වුණත් ඔහු වෙන විදිහකින් හරි තම අරමුණ ඉටු කරනවා. a (නික්. 3:14, 15) ඒ විතරක් නෙවෙයි සුදුසු කාලයේදී ඔහු ඒ ගැන තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව දැනුවත් කරනවා.

5. ඒදන් උයනේදී සිද්ධ වුණු කැරැල්ල නිසා යෙහෝවා දෙවි කළේ මොනවාද?

5 ඒදන් උයනේදී සිද්ධ වුණ කැරැල්ල නිසයි රාජ්‍යයක් පිහිටුවන්න දෙවි පියවර ගත්තේ. (මතෙ. 25:34) සාතන් බල තණ්හාවෙන් ක්‍රියා කරපු නිසා මුළු මිනිස් වර්ගයාම අනතුරේ වැටුණා. ඒ නිසා මිනිසුන්ට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ කාලයේදීම තමයි දෙවිගේ රාජ්‍යය යොදාගෙන මිනිසුන්ව ගලවාගන්න විදිහ ගැන දෙවි දැනුම් දුන්නේ. (උත්. 3:14-19) ඒත් ඒ රාජ්‍යය ගැන හැම තොරතුරක්ම දෙවි එකපාරටම දැනුම් දුන්නේ නැහැ.

දෙවි තමන්ගේ රාජ්‍යය ගැන හෙළි කරන්න පටන්ගත්තා

6. දෙවි පොරොන්දු වුණේ මොනවාද? ඔහු හෙළි කළේ නැත්තේ මොනවාද?

6 යෙහෝවා දෙවි කියපු මුල් අනාවැකියෙන්ම දෙවි පොරොන්දු වුණා “පැවත එන තැනැත්තා” සර්පයාගේ හිස පොඩි කරනවා කියලා. (උත්පත්ති 3:15 කියවන්න.) හැබැයි ඒ පැවත එන තැනැත්තා කවුද කියලවත් සර්පයාගෙන් පැවත එන අය කවුද කියලවත් දෙවි ඒ වෙලාවේදී කිව්වේ නැහැ. අවුරුදු 2,000කට විතර පස්සේ තමයි දෙවි ඒ වගේ තොරතුරු හෙළි කරන්න පටන්ගත්තේ. b

7. දෙවි ආබ්‍රහම්ව තෝරාගත්තේ ඇයි? අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද?

7 කාලයක් ගියාට පස්සේ දෙවි පොරොන්දු වුණු ඒ පැවත එන තැනැත්තාව ආබ්‍රහම්ගේ පෙළපතින් බිහි කරන්න දෙවි තීරණය කළා. දෙවි ආබ්‍රහම්ව තෝරාගත්තේ ඔහු දෙවිගේ “හඬට සවන් දුන් නිසයි.” (උත්. 22:18) ඒකෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවි තමන්ගේ අරමුණ ගැන හෙළි කරන්නේ ඔහුට ගරුබියක් තියෙන අයට විතරයි.—ගීතාවලිය 25:14 කියවන්න.

8, 9. පැවත එන තැනැත්තා ගැන දෙවි ආබ්‍රහම්ට සහ යාකොබ්ට හෙළි කළේ මොනවාද?

8 යෙහෝවා දෙවි තම මිතුරා වුණු ආබ්‍රහම්ට දේවදූතයෙක් මාර්ගයෙන් කතා කරපු අවස්ථාවේදී තමයි පොරොන්දු වුණු තැනැත්තා මිනිසෙක් කියලා මුල්ම වතාවට හෙළි කළේ. (උත්. 22:15-17; යාකො. 2:23) ඒත් ඒ මිනිසා කොහොමද සර්පයාගේ හිස පොඩි කරන්නේ? සර්පයා විදිහට හඳුන්වලා තියෙන්නේ කාවද? දෙවි ක්‍රමානුකූලව ඒ තොරතුරු හෙළි කළේ කොහොමද කියලා අපි බලමු.

9 පැවත එන තැනැත්තාව ආබ්‍රහම්ගේ මුණුපුරෙක් වුණු යාකොබ්ගෙන් බිහි කරන්න දෙවි තීරණය කළා. යාකොබ් දෙවිට විශ්වාසවන්තව හිටිය කෙනෙක්. (උත්. 28:13-22) කාලෙකට පස්සේ දෙවි යාකොබ්ට හෙළි කළා පැවත එන තැනැත්තා එන්නේ ඔහුගේ පුත්‍රයෙක් වුණු යූදාගෙන් කියලා. පැවත එන තැනැත්තාට “රාජ යෂ්ටිය” දෙනවා කියලත් ජාතීන් ඔහුට කීකරු වෙනවා කියලත් දෙවි යාකොබ් මාර්ගයෙන් හෙළි කළා. (උත්. 49:1, 10) ඒකෙන් පැවත එන තැනැත්තා ගැන තවත් කාරණයක් දෙවි දැනුම් දුන්නා. ඒ ඔහු රජ කෙනෙක් වෙනවා කියන එකයි.

10, 11. දෙවි තම අරමුණ ගැන දාවිත්ටත් දානියෙල්ටත් දැනුම් දුන්නේ ඇයි?

10 යූදාගේ කාලයේ ඉඳන් අවුරුදු 650කට විතර පස්සේ ඔහුගෙන් පැවතෙන කෙනෙක් වුණු දාවිත් රජුට යෙහෝවා දෙවි තම අරමුණ ගැන තවත් තොරතුරු හෙළි කළා. දෙවි දාවිත්ව හැඳින්නුවේ “මාගේ සිත සතුටු කරන මිනිසෙක්” හැටියටයි. (1 සාමු. 13:14; 17:12; ක්‍රියා 13:22) දාවිත්ට දෙවි ගැන ගරුබියක් තිබුණු නිසා දෙවි ඔහු එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඔහුගෙන් පැවතෙන කෙනෙක් සදහටම රජකම් කරනවා කියලා පොරොන්දු වුණා.—2 සාමු. 7:8, 12-16.

11 අවුරුදු 500කට විතර පස්සේ මෙසියස් (අභිෂේක ලත් තැනැත්තා) පැමිණෙන අවුරුද්ද ගැන දෙවි, දානියෙල් මාර්ගයෙන් දැනුම් දුන්නා. (දානි. 9:25) දානියෙල් දෙවිට හුඟක් ගෞරව කළා. ඒ වගේම දිගටම ඔහුට සේවය කළා. ඒ නිසයි දෙවි ඔහුව “බොහෝ ප්‍රේම ලත්” කෙනෙක් විදිහට හැඳින්නුවේ.—දානි. 6:16; 9:22, 23.

12. දානියෙල්ට කරන්න කියලා දෙවි කිව්වේ මොනවාද? ඒ ඇයි?

12 යෙහෝවා දෙවි තමන්ට විශ්වාසවන්තව හිටිය දානියෙල් වගේ අයට පැවත එන තැනැත්තා ගැන හුඟක් තොරතුරු හෙළි කළත් ඒ හැම දේකම තේරුම ගැන හෙළි කළේ නැහැ. උදාහරණයකට දෙවිගේ රාජ්‍යය පිහිටුවීම ගැන දානියෙල්ට දර්ශනයකින් දැනුම් දුන්නත් නියමිත කාලය එන කල් ඒ තොරතුරු මුද්‍රා කරලා තියන්න කියලා දෙවි කිව්වා. ඒ නියමිත කාලයේදී තමයි නිවැරදි දැනුම “නොඅඩුව ලැබෙන්නේ.”—දානි. 12:4.

යෙහෝවා දෙවි තමන්ට විශ්වාසවන්තව හිටිය දානියෙල් වගේ අයට දෙවිගේ රාජ්‍යය ගැන හුඟක් තොරතුරු හෙළි කළා

දෙවිගේ අරමුණ ගැන යේසුස් පැහැදිලි කළා

13. (අ) පැවත එන තැනැත්තා කවුද? (ආ) උත්පත්ති 3:15 සඳහන් අනාවැකිය හොඳින් තේරුම්ගන්න යේසුස් උදව් කළේ කොහොමද?

13 පැවත එන තැනැත්තා යේසුස් කියලා යෙහෝවා දෙවි පැහැදිලිවම කිව්වා. දාවිත්ගෙන් පැවත එන, සදහටම රජකම් කරන තැනැත්තා ඔහුයි. (ලූක් 1:30-33; 3:21, 22) යේසුස් දේශනා සේවය පටන්ගත්තාම දෙවිගේ අරමුණට සම්බන්ධ තොරතුරු තවත් පැහැදිලිව තේරුම්ගන්න එදා හිටිය අයට පුළුවන් වුණා. ඒක හරියට අන්ධකාරයේදී නොපෙනුණු දෙයක් හිරු ආලෝකය නිසා පේන්න පටන්ගත්තා වගෙයි. (මතෙ. 4:13-17) උදාහරණයකට උත්පත්ති 3:14, 15 සඳහන් වෙන “සර්පයා” කවුද කියලා තේරුම්ගන්න යේසුස් උදව් කළා. ඔහු ඒක කළේ යක්ෂයාව “මිනී මරුවෙක්” සහ “බොරුවේ පියා” විදිහට හඳුන්වලයි. (යොහ. 8:44) කාලයක් ගියාට පස්සේ යේසුස් යොහන්ට පැහැදිලි කළා “මුල් සර්පයාගෙන්” නියෝජනය වෙන්නේ “යක්ෂයාව” එනම් “සාතන්ව” කියලා. c (එළිදරව් 1:1; 12:9 කියවන්න.) ඒ වගේම ඒදන් උයනේදී දෙවි කියපු අනාවැකිය ඉටු කරමින් පැවත එන තැනැත්තා විදිහට තමන් සාතන්ගේ හිස පොඩි කරන්නේ කොහොමද කියලත් යේසුස් පැහැදිලි කළා.—එළි. 20:7-10.

14-16. යේසුස් කියපු හැම දෙයක්ම ඔහුගේ ගෝලයන් තේරුම්ගත්තාද? පැහැදිලි කරන්න.

14 යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන හුඟක් දේවල් කතා කළා කියලා අපි 1වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. හැබැයි තවත් කාරණා ගැන දැනගන්න ගෝලයන්ට ආශාවක් තිබුණත් යේසුස් ඒ හැම දෙයක්ම හෙළි කළේ නැහැ. යේසුස් සමහර දේවල් විස්තරාත්මකව කිව්වත් ඔහුගේ අනුගාමිකයන්ට ඒ දේවල් හරියටම අවබෝධ කරගන්න සෑහෙන කාලයක්, සමහර අවස්ථාවලදී සියවස් ගණනාවක්ම ගත වුණා. ඒක තේරුම්ගන්න උදාහරණ කිහිපයක් බලමු.

15 ක්‍රි.ව. 33දී යේසුස් පැහැදිලිවම කිව්වා දෙවිගේ රාජ්‍යයේ පාලකයන්ව තෝරාගන්නේ පොළොවෙන් කියලා. හැබැයි ගෝලයන්ට ඒක තේරුණේ නැහැ. (දානි. 7:18; යොහ. 14:2-5) ඒ අවුරුද්දෙම තමයි යේසුස්, තමන් ස්වර්ගයට ගිය ගමන්ම දෙවිගේ රාජ්‍යය පිහිටුවන්නේ නැහැ කියලත් ඒකට කාලයක් ගත වෙනවා කියලත් උපමාවලින් පැහැදිලි කළේ. (මතෙ. 25:14, 19; ලූක් 19:11, 12) ඒත් ගෝලයන්ට ඒ ගැන හරියට අවබෝධ වුණේ නැති නිසා යේසුස් නැවත නැඟිටුණාට පස්සේ “ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියලා ඔවුන් යේසුස්ගෙන් ඇහුවා. හැබැයි යේසුස් ඒ වෙලාවේ ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. (ක්‍රියා 1:6, 7) තවත් අවස්ථාවකදී ස්වර්ගයට යන “කුඩා රැළට” අයිති නැති “වෙනත් බැටළුවන්” ගැන යේසුස් ඉගැන්නුවා. (යොහ. 10:16; ලූක් 12:32) ඒත් ඒ කණ්ඩායම් දෙකෙන් නියෝජනය වෙන්නේ කාවද කියලා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් තේරුම්ගත්තේ 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාටත් පස්සෙයි.

16 යේසුස් හුඟක් දේවල් දැනගෙන හිටියත් ඒ හැම දෙයක් ගැනම ඔහු ගෝලයන්ට කිව්වේ නැහැ. මොකද ඒ හැම දෙයක්ම කිව්වොත් ඔවුන්ට ඒවා දරාගන්න බැහැ කියලා ඔහු දැනගෙන හිටියා. (යොහ. 16:12) මුල් සියවසේදී දෙවිගේ රාජ්‍යය ගැන හුඟක් තොරතුරු හෙළි වුණත් දෙවිගේ රාජ්‍යය ගැන නිවැරදි දැනුම නොඅඩුව ලැබුණේ ඒ කාලයේදී නෙවෙයි.

‘අවසාන කාලයේදී’ නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා

17. දෙවිගේ රාජ්‍යය ගැන නිවැරදිව අවබෝධ කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ දේට නැතුවම බැරි මොනවාද?

17 ‘අවසාන කාලයේදී’ බොහෝදෙනෙක් දෙවිගේ අරමුණ ගැන “නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා” ඔවුන්ට එය නොඅඩුව ලැබෙනවා කියලා යෙහෝවා දෙවි දානියෙල්ට කිව්වා. (දානි. 12:4) කෙනෙක් දෙවිගේ රාජ්‍යය ගැන දැනගන්න කැමති නම් හුඟක් මහන්සි වෙලා බයිබලය අධ්‍යයනය කරන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. හැබැයි ඒ දේවල් තේරුම්ගන්න කොයි තරම් වෙහෙසුණත් දෙවි උදව් කළේ නැත්නම් කිසිම කෙනෙක්ට ඒවා තේරුම්ගන්න බැහැ.—මතෙව් 13:11 කියවන්න.

18. දෙවිට ගරුබිය පෙන්වන ඔහුගේ සේවකයන් විශ්වාසය සහ නිහතමානිකම පෙන්වලා තියෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය ගැන තොරතුරු 1914ට කලින් හෙළි කළා වගේ මේ අවසාන කාලය පුරාත් ඔහු ඒ ගැන තොරතුරු හෙළි කරනවා. මේ පොතේ 4වෙනි සහ 5වෙනි පරිච්ඡේදවල සඳහන් වෙලා තියෙන විදිහට ගෙවුණු අවුරුදු 100 පුරාම දෙවිගේ සේවකයන් බයිබල් සත්‍යයන් ගැන ඒ අයට තිබුණු අවබෝධය නිවැරදි කරගෙන තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දෙවිගේ සේවකයන්ට ඔහු මඟ පෙන්වන්නේ නැහැ කියලද? නැහැ. දෙවිට ගරුබිය පෙන්වන දෙවිගේ සේවකයන් ඔහුව විශ්වාස කරන නිසාත් නිහතමානීව කටයුතු කරන නිසාත් දෙවි දිගටම ඔවුන්ට මඟ පෙන්වනවා කියලා අපි දන්නවා. (හෙබ්‍රෙ. 11:6; යාකො. 4:6) දෙවි පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසය ඒ අයට තියෙනවා. දෙවි තම පොරොන්දු ඉටු කරන විදිහ ගැන ඒ අයට තිබුණු අවබෝධය නිවැරදි කරනකොට ඔවුන් නිහතමානීව ඒ දේවල් පිළිගන්නවා. ඔවුන් මොන තරම් නිහතමානී වුණාද කියලා 1925 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දෙයින් පැහැදිලි වෙනවා. “ස්වාමීන් කියන දේවල සැබෑ අර්ථය දන්නේ ඔහු විතරයි. නියමිත කාලය ආවාම ඔහු ඒ අර්ථය තමන්ගේ සේවකයන්ට හෙළි කරනවා.”

“ස්වාමීන් කියන දේවල සැබෑ අර්ථය දන්නේ ඔහු විතරයි. නියමිත කාලය ආවාම ඔහු ඒ අර්ථය තමන්ගේ සේවකයන්ට හෙළි කරනවා”

19. දෙවි අපිට අවබෝධ කරගන්න උදව් කරන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

19 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වාට පස්සෙත් ඒ රාජ්‍යයට සම්බන්ධ අනාවැකි ඉටු වෙන්නේ කොහොමද කියලා දෙවිගේ සෙනඟට හරියටම තේරුණේ නැහැ. (1 කොරි. 13:9, 10, 12) දෙවිගේ පොරොන්දු ඉටු වෙනවා දකින්න තිබුණු උනන්දුව නිසාම සමහර අවස්ථාවලදී ඒ අය වැරදි නිගමනවලට ආවා. 1925 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දේ කොයි තරම් ඇත්තක්ද! “අනාවැකියක් ඉටු වෙන්න පටන්ගන්න කල් එහෙමත් නැත්නම් ඒ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වෙන කල් අපිට ඒ ගැන හරියටම අවබෝධ කරගන්න බැහැ.” අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ නිසා මේ වෙද්දී දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ අනාවැකි හුඟක් ඉටු වෙලා තියෙනවා. තවත් ඒවා දැන් ඉටු වෙනවා. දෙවිගේ සෙනඟ නිහතමානී නිසාත් දෙවි ඔවුන්ගේ අවබෝධය නිවැරදි කරද්දී ඔවුන් ඒවා කැමැත්තෙන්ම පිළිගන්න නිසාත් දෙවි තම අරමුණ තේරුම්ගන්න ඔවුන්ට දිගටම උදව් කරනවා. ඇත්තෙන්ම මේ කාලයේදී ඔවුන්ට නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා.

අවබෝධය වඩාත් පැහැදිලි වෙද්දී විශ්වාසය සෝදිසියට ලක් වෙනවා

20, 21. දෙවි මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන්ගේ අවබෝධය නිවැරදි කළාම සිද්ධ වුණේ මොනවාද?

20 යෙහෝවා දෙවි අපේ අවබෝධය නිවැරදි කරද්දී අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙනවා. ඒ වගේ වෙලාවට අපි දෙවිව විශ්වාස කරලා නිහතමානීව ඒ දේවල් පිළිගන්නවාද? ටිකකට හිතන්න ඔබ මුල් සියවසේ ජීවත් වුණු යුදෙව් ක්‍රිස්තියානියෙක් කියලා. ඔබ මෝසෙස්ගේ නීතියට ගරු කරන ඒ වගේම ඊශ්‍රායෙල් ජාතිකයෙක් වෙන්න ලැබුණු එක ගැන හුඟක් සතුටින් ඉන්න කෙනෙක්. ඔබට දැනගන්න ලැබෙනවා පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියපු ලිපිවල සඳහන් කරපු මේ දේවල් ගැන. ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතියේ තියෙන දේවල් පිළිපදින්න අවශ්‍ය නැහැ කියලත් දෙවි ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට යුදෙව් සහ යුදෙව් නොවන ක්‍රිස්තියානීන් ඇතුළත් අලුත් ජාතියක් තෝරාගන්නවා කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. (රෝම 10:12; 11:17-24; ගලා. 6:15, 16; කොලො. 2:13, 14) දැන් ඔබ මොකද කරන්නේ?

21 එදා හිටිය නිහතමානී ක්‍රිස්තියානීන් නම් පාවුල් කියපු දේවල් පිළිගත්තා. ඒ නිසා දෙවි ඒ අයට ආශීර්වාද කළා. (ක්‍රියා 13:48) හැබැයි ඒ දේවල් පිළිගන්නේ නැතුව තමන්ගේම මතයේ හිටපු අයත් හිටියා. (ගලා. 5:7-12) ඒ අය හිතන විදිහ වෙනස් කරගත්තේ නැත්නම් ක්‍රිස්තුස් එක්ක දෙවිගේ රාජ්‍යයේ පාලකයන් වෙන්න ඒ අයට පුළුවන් වෙන්නේ නැහැ.—2 පේතෘ. 2:1.

22. දෙවිගේ අරමුණ ගැන කලින් තිබුණු අවබෝධය තවත් පැහැදිලි වෙද්දී ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

22 පහුගිය කාලයේදීත් දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල් ගැන අපිට තිබුණු අවබෝධය තවත් පැහැදිලි කරගන්න යෙහෝවා දෙවි උදව් කරලා තියෙනවා. උදාහරණයකට එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නේ කවදාද කියලා තේරුම්ගන්න ඔහු අපිට උදව් කළා. ඒ වගේම 1,44,000දෙනාව තෝරාගෙන අවසන් කරන කාලය තීරණය කරන්නේ තමන් කියලත්, දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් උගන්වපු උපමාවල තේරුම ගැනත්, පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගන්න අවස්ථාව ගැනත් අවබෝධ කරගන්න දෙවි උදව් කළා. d කලින් තිබුණු අවබෝධය තවත් පැහැදිලි වෙද්දී ඔබට ඒ ගැන හැඟුණේ කොහොමද? ඔබට දෙවි ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වුණාද? දෙවි දිගටම තමන්ගේ නිහතමානී සේවකයන්ට කාරණා පැහැදිලි කරනවා කියලා ඔබ තේරුම්ගත්තාද? දෙවි දිගටම තමන්ට ගරුබිය දක්වන අයට කාරණා පැහැදිලි කරගන්න ක්‍රමානුකූලව උදව් කරනවා. ඒ ගැන ඔබට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඊළඟ පරිච්ඡේදවල තියෙන තොරතුරු උදව් වෙයි.

a දෙවි ‘තම අරමුණ ඉටු කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරනවා’ කියන අදහසත් ඔහුගේ නමේ අර්ථයට ඇතුළත් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවි අනිවාර්යයෙන්ම ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියලයි. 4වෙනි පරිච්ඡේදයේ “දෙවිගේ නමේ අර්ථය” නමැති කොටුව බලන්න

b අවුරුදු 2,000ක් දීර්ඝ කාලයක් වගේ පෙනුණත් ඒ කාලයේ ජීවත් වුණු අයගේ ආයු කාලය අපිට වඩා හුඟක් වැඩියි කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒක තේරුම්ගන්න ආදම්ගේ කාලයේ ඉඳන් ආබ්‍රහම්ගේ කාලය වෙන කල් ජීවත් වුණු මේ පුද්ගලයන් හතරදෙනා ගැන හිතන්න. ආදම් ජීවත් වෙලා ඉද්දී නෝවාගේ තාත්තා, ලාමෙක් ඉපදුණා. ලාමෙක් ජීවත් වෙලා ඉද්දී නෝවාගේ පුතා, ෂෙම් ඉපදුණා. ෂෙම් ජීවත් වෙලා ඉද්දී ආබ්‍රහම් ඉපදුණා.—උත්. 5:5, 31; 9:29; 11:10, 11; 25:7.

c “සාතන්” කියන වචනය හෙබ්‍රෙව් ලියවිල්ලේ 20 වතාවක්වත් සඳහන් වෙන්නේ නැහැ. මොකද හෙබ්‍රෙව් ලියවිල්ල වැඩි අවධානයක් දීලා තියෙන්නේ මෙසියස් ගැන තොරතුරු හෙළි කරන්න මිසක් සාතන් ගැන හෙළි කරන්න නෙවෙයි. ඒත් මෙසියස් ආවාට පස්සේ සාතන් කවුද කියලා ඔහු හොඳින් පැහැදිලි කළා. ග්‍රීක ලියවිල්ලේ “සාතන්” කියන වචනය 30 වතාවකට වඩා සඳහන් වෙනවා.

d සමහර කාරණා ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන විදිහ ගැන දැනගන්න මේ ‘මුරටැඹ’ සඟරා බලන්න. 1995 ඔක්තෝබර් 15, 23-28 පිටු; 2008 ජනවාරි 15, 20-24 පිටු; 2008 ජූලි 15, 17-21 පිටු; 2013 ජූලි 15, 9-14 පිටු.