Skip to content

පටුනට යන්න

අමතර සටහන්

අමතර සටහන්

 1 ප්‍රතිපත්ති

බයිබල් ප්‍රතිපත්ති විදිහට හඳුන්වන්නේ බයිබලයේ සඳහන් මූලික සත්‍යයන්. ප්‍රතිපත්ති මත තමයි දෙවියන් දීලා තියෙන හැම නීතියක්ම පදනම් වෙලා තියෙන්නේ. ඕනම කාරණයක් ගැන දෙවියන් හිතන විදිහ ගැනත් ඔහු කැමති අකමැති දේවල් ගැනත් තේරුම්ගන්න ඒවා උදව් වෙනවා. ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගත්තොත් දෙවියන් සතුටු වෙන විදිහට තීරණ ගන්න පුළුවන්. යම් කාරණයක් හරිද වැරදිද කියලා බයිබලයේ කෙළින්ම සඳහන් නොවෙද්දී හරි තීරණයක් ගන්න ඒවා උදව් වෙනවා.

1වෙනි පරිච්ඡේදය, 8වෙනි ඡේදය

 2 කීකරුකම

යෙහෝවා දෙවියන්ට කීකරු වෙනවා කියන්නේ ඔහු කියන ඕනම දෙයක් කැමැත්තෙන්ම කරන එකට. දෙවියන් කැමති ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට කීකරු වෙනවාටයි. (1 යොහන් 5:3) අපි දෙවියන්ට ආදරෙයි නම්, ඔහුව විශ්වාස කරනවා නම් අමාරුම අවස්ථාවලදී වුණත් අපි ඔහුට කීකරු වෙනවා. මේ කාලෙදි සතුටින් ජීවත් වෙන්න අපි කරන්න ඕනෙ දේවල් ගැන ඔහු කියලා තියෙනවා. අනාගතයේදී අපිට ලස්සන කාලයක් ලබා දෙනවා කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—යෙසායා 48:17.

1වෙනි පරිච්ඡේදය, 10වෙනි ඡේදය

 3 තීරණ ගැනීමේ නිදහස

යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ රොබෝවරු වගේ නෙවෙයි. ඔහු අපිට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. (ද්විතීය කතාව 30:19; යොෂුවා 24:15) පරෙස්සම් වුණේ නැත්නම් අපි වැරදි තීරණ ගන්න ඉඩ තියෙනවා. තීරණ ගන්න නිදහස තියෙන නිසා දෙවියන්ට කීකරු වෙනවාද නැද්ද කියලා අපි එක් එක් කෙනා තීරණය කරන්න ඕනේ. ඒ ගන්න තීරණයෙන් අපි දෙවියන්ට ආදරෙයිද නැද්ද කියලා ඔප්පු වෙනවා.

1වෙනි පරිච්ඡේදය, 12වෙනි ඡේදය

 4 සදාචාර ප්‍රමිති

අපි හැසිරෙන්න ඕන විදිහ සහ කටයුතු කරන්න ඕන විදිහ ගැන යෙහෝවා දෙවියන් ප්‍රමිති දීලා තියෙනවා. ඒ ප්‍රමිති මොනවාද කියලත් අපේ සතුටට ඒවා දායක වෙන්නේ කොහොමද කියලත් බයිබලයෙන් දැනගන්න පුළුවන්. (හිතෝපදේශ 6:16-19; 1 කොරින්ති 6:9-11) දෙවියන් කැමති අකමැති දේවල් තේරුම්ගන්න ඒ ප්‍රමිති උදව් වෙනවා. අනිත් අයට ආදරෙන් සලකන්න පුළුවන් කොහොමද, හරි තීරණ ගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්නත් ඒවා උදව් වෙනවා. මිනිසුන්ගේ සාරධර්ම එන්න එන්නම පිරිහුණත් යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (ද්විතීය කතාව 32:4-6; මලාකි 3:6) ඒවාට කීකරු වෙන එක අපිට ලොකු ආරක්ෂාවක්.

1වෙනි පරිච්ඡේදය, 17වෙනි ඡේදය

 5 හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය කියන්නේ හරි වැරැද්ද අතර වෙනස අඳුනගන්න අපිට තියෙන හැකියාවට. යෙහෝවා දෙවියන් අපි හැමෝටම හෘදය සාක්ෂියක් දීලා තියෙනවා. (රෝම 2:14, 15) දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිතිවලට එකඟව ඒක පුහුණු කළොත් විතරයි ඔහු සතුටු වෙන තීරණ ගන්න අපිට පුළුවන් වෙන්නේ. (1 පේතෘස් 3:16) අපි වැරදි තීරණයක් ගන්න යද්දී හෘදය සාක්ෂිය ඒ ගැන දැනුම් දෙනවා වගේම වරදක් කළාම ඒක වධ දෙනවා. හෘදය සාක්ෂිය හරියට වැඩ කරන්නේ නැති තත්වයකට පත් වෙන්නත් පුළුවන්. ඒත් දෙවියන්ගේ උදව්වෙන් අපිට පුළුවන් ඒක හදාගන්න. නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගත්තොත් මනසේ සාමය අද්දකින්නත් අපි ගැනම සතුටු වෙන්නත් පුළුවන්.

2වෙනි පරිච්ඡේදය, 3වෙනි ඡේදය

 6 දේවගරුබිය

දේවගරුබිය කියන්නේ දෙවියන්ට තියෙන ආදරේ සහ ගෞරවය නිසා ඔහුගේ හිතට කිසිම දුකක් දෙන්න තියෙන අකමැත්තටයි. හරි දේ කරන්නත් වැරදි දේ නොකර ඉන්නත් දේවගරුබිය අපිට උදව් වෙනවා. (ගීතාවලිය 111:10) යෙහෝවා දෙවියන් අපිට උගන්වන හැම දේකටම හොඳින් ඇහුම්කන් දෙන්නත් දෙවියන්ට දෙන පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්නත් ඒක අපිට උදව් වෙනවා. දේවගරුබිය අපි හිතන විදිහට, අනිත් අයට සලකන විදිහට සහ එදිනෙදා ගන්න තීරණවලට බලපානවා.

2වෙනි පරිච්ඡේදය, 9වෙනි ඡේදය

 7 පසුතැවීම

පසුතැවෙනවා කියන්නේ කෙනෙක් තමන් අතින් වුණු වරදක් ගැන අවංකවම දුක් වෙන එකට. දෙවියන්ට ආදරේ කරන අය අතින් ඔහුගේ ප්‍රමිතියක් කැඩුණාම ඒ ගැන එයාලට ලොකු දුකක් දැනෙනවා. අපි අතින් ඒ වගේ වරදක් වුණොත් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන අපි දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. (මතෙව් 26:28; 1 යොහන් 2:1, 2) අපි වරද ගැන අවංකවම පසුතැවිලා ඒ වරද නොකර ඉන්නවා නම් යෙහෝවා දෙවියන් අපිට අනිවාර්යයෙන්ම සමාව දෙනවා. ඒ නිසා ඒ වරද ගැන අපි අනවශ්‍ය විදිහට ළත වෙන්න ඕනෙ නැහැ. (ගීතාවලිය 103:10-14; 1 යොහන් 1:9; 3:19-22) කරපු වරද ආයෙත් නොකර ඉන්නත් වැරදි සිතුවිලි අයින් කරගන්නත් දිගටම දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නත් අපි උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ.

2වෙනි පරිච්ඡේදය, 18වෙනි ඡේදය

 8 සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම

බරපතළ වරදක් කරලා තියෙන කෙනෙක් ඒ ගැන අවංකවම පසුතැවෙන්නේ නැත්නම් යෙහෝවා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් නොසලකාහරිනවා නම් ඒ කෙනාව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. එහෙම ඉවත් කරපු කෙනෙක්ව අපි මොන විදිහකින්වත් ඇසුරු කරන්නේ නැහැ. (1 කොරින්ති 5:11; 2 යොහන් 9-11) සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම නිසා දෙවියන්ගේ නමට කැළැලක් ඇති වෙන එක වැළකෙනවා වගේම සභාවේ අයට ආරක්ෂාවකුත් ලැබෙනවා. (1 කොරින්ති 5:6) ඒ විදිහට හික්මවන එක, වරද කරපු කෙනාට උදව් වෙනවා වරද ගැන පසුතැවිලා ආයෙත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න.—ලූක් 15:17.

3වෙනි පරිච්ඡේදය, 19වෙනි ඡේදය

 9 මඟ පෙන්වීම් සහ උපදෙස්

පාපය උරුම වෙලා තියෙන නිසා අපි හැමෝටම උපදෙස්, මඟ පෙන්වීම් ඕනේ. (යෙරෙමියා 17:9) යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආදරෙයි. ඒ නිසා බයිබලය මාර්ගයෙන් සහ ඔහුගේ සේවකයන් මාර්ගයෙන් අපිට උපදෙස්, මඟ පෙන්වීම් දෙනවා. දෙවියන් පත් කරලා තියෙන අයගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී අපි දෙවියන්ට ගරු කරනවා කියලත් ඔහුට කීකරු වෙන්න අපි කැමතියි කියලත් පෙන්වනවා.—හෙබ්‍රෙව් 13:7.

4වෙනි පරිච්ඡේදය, 2වෙනි ඡේදය

 10 උඩඟුකම සහ නිහතමානිකම

අපි අසම්පූර්ණ නිසා ආත්මාර්ථකාමී, උඩඟු විදිහට වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒත් අපි නිහතමානීව කටයුතු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. දෙවියන් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා හිතද්දී අපිට උඩඟු වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා පැහැදිලි වෙනවා. (යෝබ් 38:1-4) අපි ගැන හිතනවාට වඩා අනිත් අයගේ යහපත ගැන හිතන එකත් නිහතමානී වෙන්න උදව් වෙනවා. උඩඟු කෙනෙක් හිතන්නේ තමන් අනිත් අයට වඩා උසස් කියලයි. ඒත් නිහතමානී කෙනෙක් හදාගන්න ඕන දුර්වල පැති තමන්ට තියෙනවා කියලා තේරුම්ගන්නවා. වරදක් වුණාම ඒක පිළිගන්න, සමාව ඉල්ලන්න, උපදෙස් සහ මඟ පෙන්වීම් පිළිගන්න අදිමදි කරන්නෙත් නැහැ. හැම කාරණයකදීම දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලලා ඔහුට කීකරු වෙනවා.—1 පේතෘස් 5:5.

4වෙනි පරිච්ඡේදය, 4වෙනි ඡේදය

 11 අධිකාරිය

තීරණ ගන්න, අනිත් අයට අණ දෙන්න අධිකාරියක් තියෙන කෙනෙක්ට අයිතිය තියෙනවා. විශ්වයේ උසස්ම අධිකාරිය හිමි වෙන්නේ යෙහෝවා දෙවියන්ට. හැම දේකම නිර්මාතෘ ඔහු නිසා ඔහුට තරම් බලයක් වෙන කාටවත් නැහැ. ඔහු තම බලය කොයි වෙලෙත් යොදාගන්නේ අනිත් අයගේ යහපත ගැන හිතලයි. දෙමාපියන්, වැඩිමහල්ලන්, ආණ්ඩුවල නිලධාරීන් වගේ අයට ඔහු අධිකාරියක් දීලා තියෙනවා අපිව බලාගන්න. ඒ අයත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (රෝම 13:1-5; 1 තිමෝති 5:17) ඒත් මිනිසුන්ගේ නීතිවලට අපි කීකරු වෙන්නේ දෙවියන්ගේ නීති කඩ වෙන්නේ නැත්නම් විතරයි. (ක්‍රියා 5:29) දෙවියන් අධිකාරියක් දීලා තියෙන අයට අපි යටත් වෙද්දී අපි පෙන්වන්නේ ඔහුගේ තීරණවලට අපි ගරු කරනවා කියලයි.

4වෙනි පරිච්ඡේදය, 7වෙනි ඡේදය

 12 වැඩිමහල්ලන්

යෙහෝවා දෙවියන් සභාවන් රැකබලා ගන්න අද්දැකීම් තියෙන පුරුෂයන්ව වැඩිමහල්ලන් විදිහට පත් කරලා තියෙනවා. (ද්විතීය කතාව 1:13; ක්‍රියා 20:28) දිගටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්නත් හොඳින් සංවිධානය වුණු එකමුතු සෙනඟක් විදිහට දෙවියන්ට නමස්කාර කරන්නත් ඒ අය අපිට උදව් කරනවා. (1 කොරින්ති 14:33, 40) වැඩිමහල්ලන්ට තියෙන්න ඕන සුදුසුකම් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ සුදුසුකම් අත් කරගෙන ඉන්න අයව තමයි දෙවියන් තම බලය මාර්ගයෙන් වැඩිමහල්ලන් විදිහට පත් කරන්නේ. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9; 1 පේතෘස් 5:2, 3) දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් අපි විශ්වාස කරන නිසා අපි දිගටම වැඩිමහල්ලන් එක්ක සහයෝගයෙන්, සතුටින් වැඩ කරනවා.—ගීතාවලිය 138:6; හෙබ්‍රෙව් 13:17.

4වෙනි පරිච්ඡේදය, 8වෙනි ඡේදය

 13 පවුලේ මූලිකයා

දරුවන්ව බලාගැනීමේ වගකීම දෙවියන් දීලා තියෙන්නේ දෙමාපියන්ට. ඒත් ඔහු පවුලේ මූලිකයා විදිහට පත් කරලා තියෙන්නේ ස්වාමිපුරුෂයාව. තාත්තා නැති පවුලක මූලිකයා විදිහට කටයුතු කරන්න වෙන්නේ අම්මාට. පවුලේ මූලිකයාට තමයි පවුලේ අයට කෑම බීම, ඇඳුම් සහ ඉන්න තැනක් ලබා දෙන වගකීම තියෙන්නේ. එයා දෙවියන්ට නමස්කාර කරන්න පවුලේ අයට උදව් කරන්නත් ඕනේ. උදාහරණෙකට පවුලක් විදිහට නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන එක, සේවයේ යන එක සහ බයිබලය අධ්‍යයනය කරන එක අතපසු නොකරන්න එයා වගබලා ගන්න ඕනේ. පවුලට අදාළ තීරණ ගද්දීත් එයා මුල් තැන ගන්න ඕනේ. සැරපරුෂ වෙන්නේ නැතුව යේසුස් වගේ කාරුණිකවත් සාධාරණවත් වැඩ කරන එක වැදගත්. පවුලේ බැඳීම ශක්තිමත් කරගන්නත් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ඒ දේවල් උදව් වෙනවා.

4වෙනි පරිච්ඡේදය, 12වෙනි ඡේදය

 14 පාලක මණ්ඩලය

තම සෙනඟට මඟ පෙන්වීම් ලබා දීමේ වගකීම දෙවියන් දීලා තියෙන්නේ පාලක මණ්ඩලයට. ඒ හැමෝම අභිෂේක ලත් අය. මුල් සියවසේදීත් දෙවියන් පාලක මණ්ඩලයක් මාර්ගයෙන් තමයි නමස්කාර කටයුතු සහ සේවයේ කටයුතු හොඳින් කරගෙන යන්න ඕන කරන මඟ පෙන්වීම් ලබා දුන්නේ. (ක්‍රියා 15:2) මේ කාලෙදිත් දෙවියන් තම සෙනඟට මඟ පෙන්වීම් සහ රැකවරණය ලබා දෙන්නේ පාලක මණ්ඩලයේ සහෝදරයන් මාර්ගයෙන්. එයාලා ඕනම තීරණයක් ගන්න කලින් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ගැන හොයලා බලනවා. දෙවියන්ගේ බලයේ උපකාරය ඉල්ලනවා. යේසුස් එයාලව හැඳින්නුවේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහටයි.—මතෙව් 24:45-47.

4වෙනි පරිච්ඡේදය, 15වෙනි ඡේදය

 15 හිස වසාගැනීම

සාමාන්‍යයෙන් සභාව්දී සහෝදරයෙක් ඉටු කරන වගකීමක් ඉටු කරන්න කියලා සහෝදරියකට කියන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒ සහෝදරිය යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගරු කරමින් හිස වසාගන්න ඕනේ. හැබැයි හැම අවස්ථාවකදීම එහෙම කරන්න ඕනෙ නැහැ. සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී එතැන එයාගේ ස්වාමිපුරුෂයා හරි බව්තීස්ම ලත් සහෝදරයෙක් හරි ඉන්නවා නම් හිස වසාගන්න ඕනේ.—1 කොරින්ති 11:11-15.

4වෙනි පරිච්ඡේදය, 17වෙනි ඡේදය

 16 දේශපාලන කාරණාවලදී පැති නොගැනීම

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ යේසුස් වගේ දේශපාලන කාරණාවලටවත් මතගැටුම්වලටවත් හවුල් වෙන්නේ නැහැ. (යොහන් 17:16) එයාලා සහයෝගය දෙන්නේ දේවරාජ්‍යයට.

“ආණ්ඩුවල බලධාරීන්ට කීකරු” වෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට අණක් දීලා තියෙනවා. (තීතස් 3:1, 2; රෝම 13:1-7) හැබැයි මිනී මරන්න එපා කියලත් බයිබලයේ කියනවා. ඒ නිසා ක්‍රිස්තියානීන් යුද්ධවලට සහභාගි වෙන්නේ නැහැ. හමුදා සේවය වෙනුවට වෙනත් පොදු සේවාවක් කරන්න කෙනෙක්ට අවස්ථාව ලැබුණොත් ඒකට තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ දෙනවාද නැද්ද කියලා හිතලා බලන්න ඕනේ.

යෙහෝවා දෙවියන් තමයි අපේ නිර්මාතෘ. ඒ නිසා අපි නමස්කාර කරන්නේ ඔහුට විතරයි. ජාතික සංකේතවලට අපි ගරු කරනවා. ඒත් අපි ජාතික කොඩියට ආචාර කරන්නෙවත් ජාතික ගීය ගායනා කරන්නෙවත් නැහැ. (යෙසායා 43:11; දානියෙල් 3:1-30; 1 කොරින්ති 10:14) යෙහෝවා දෙවියන්ගේ සෙනඟ පක්ෂව ඉන්නේ දේවරාජ්‍යයට. ඒ නිසා මැතිවරණයකදී කිසිම පක්ෂයකටවත් පුද්ගලයෙකුටවත් මනාපව ඡන්දේ නොදා ඉන්න එයාලා පෞද්ගලිකව තීරණය කරලා තියෙනවා.—මතෙව් 22:21; යොහන් 15:19; 18:36.

5වෙනි පරිච්ඡේදය, 2වෙනි ඡේදය

 17 ලෝකයේ බලපෑම

දෙවියන්ට ආදරේ නැති ඔහුගේ ප්‍රතිපත්ති නොසලකාහරින මේ ලෝකයේ මිනිසුන් අපිව දිරිගන්වන්නේ සාතන් හිතන විදිහට හිතන්නයි. (1 යොහන් 5:19) ලෝකයේ බලපෑම විදිහට බයිබලයේ හඳුන්වලා තියෙන්නේ ඒ අයගෙන් එන බලපෑමයි. (එෆීස 2:2) ඒ බලපෑමට අහු නොවී ඉන්න දෙවියන්ගේ සෙනඟ උපරිමයෙන් වෑයම් කරනවා. (එෆීස 6:10-18) යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට හුඟක් ඇලුම් කරන නිසා අපි කොයි වෙලෙත් උත්සාහ කරන්නේ ඔහු හිතන විදිහට හිතන්නයි.

5වෙනි පරිච්ඡේදය, 7වෙනි ඡේදය

 18 සත්‍යයට විරුද්ධව කැරලිගැසීම

බයිබල් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන, ඒවාට විරුද්ධව වැඩ කරන අයට තමයි සත්‍යයට විරුද්ධව කැරලිගහන අය කියලා කියන්නේ. ඒ අය යෙහෝවා දෙවියන්ටත් දේවරාජ්‍යයේ රජු වන යේසුස්ටත් විරුද්ධව කැරලිගහනවා. එයාලා හදන්නේ අනිත් අයවත් තමන්ගේ පැත්තට නම්මගන්න. (රෝම 1:25) දෙවියන්ට ආදරේ කරන අයගේ හිත්වල ඔහු ගැන සැකයක් ඇති කරන්නයි එයාලට ඕනේ. ඒ වගේ අය මුල් සියවසේදී වගේම අදත් ඉන්නවා. (2 තෙසලෝනික 2:3) යෙහෝවා දෙවියන්ට පක්ෂව ඉන්න අය එයාලා එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ. කුතුහලය නිසා හරි අනිත් අයගේ බලපෑම නිසා හරි අපි එයාලගේ අදහස් කියවන්නෙවත් ඒවාට සවන් දෙන්නෙවත් නැහැ. අපි නමස්කාර කරන්නේ දෙවියන්ට විතරයි.

5වෙනි පරිච්ඡේදය, 9වෙනි ඡේදය

 19 පව්වලට සමාව ලබාගැනීම

මෝසෙස්ගේ නීතිය යටතේ හිටිය ඊශ්‍රායෙල්වරු පව්වලට සමාව ලබාගන්න ධාන්‍ය, තෙල් සහ සතුන්ව දේවමාලිගාවට අරන් ගිහින් යෙහෝවා දෙවියන්ට පූජා කළා. ඒ සැලැස්මෙන් දෙවියන් පෙන්නුවේ ඊශ්‍රායෙල්වරුන්ට ජාතියක් හැටියටත් තනි තනි පුද්ගලයන් හැටියටත් සමාව දෙන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලයි. හැබැයි යේසුස් තමන්ගේ ජීවිතය පූජා කළාට පස්සේ අපේ පව්වලට සමාව ලබාගන්න ඒ වගේ පූජාවන් ඕන වුණේ නැහැ. මොකද පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස්ගේ ජීවිත පූජාව හැමදාටම වලංගුයි.—හෙබ්‍රෙව් 10:1, 4, 10.

7වෙනි පරිච්ඡේදය, 6වෙනි ඡේදය

 20 සතුන් ගැන සැලකිලිමත් වීම

ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස්ගේ නීතියට අනුව සතුන්ව කෑමට ගන්න අවසර තිබුණා. සතුන්ව පූජා කරන්න කියලත් කියලා තිබුණා. (ලෙවී කතාව 1:5, 6) ඒත් සතුන්ට හිංසා කරන්න එයාලට අවසර තිබුණේ නැහැ. (හිතෝපදේශ 12:10) සතුන්ගේ ආරක්ෂාවට දෙවියන් සමහර නීතිත් දාලා තිබුණා. ඒ වගේම තමන් ඇති කරන සතුන්ව හොඳින් බලාගන්න කියලත් දෙවියන් එයාලට කියලා තිබුණා.—ද්විතීය කතාව 22:6, 7.

7වෙනි පරිච්ඡේදය, 6වෙනි ඡේදය

 21 රුධිරයේ අනුකොටස් සහ වෛද්‍ය ප්‍රතිකාර

රුධිරයේ අනුකොටස්. රුධිරය හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් හතරකින්. ඒ තමයි රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා සහ ප්ලාස්මාව. ඒ ප්‍රධාන කොටස් අනුකොටස්වලට වෙන් කරන්නත් පුළුවන්. *

ක්‍රිස්තියානීන් රුධිරයත් රුධිරයේ ප්‍රධාන කොටස් හතරත් ශරීරගත කරන්නේ නැහැ. ඒත් රුධිරයේ අනුකොටස් ශරීරගත කරන්න පුළුවන්ද? ඒ ගැන බයිබලයේ නිශ්චිතව කියලා නැති නිසා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු හෘදය සාක්ෂියට එකඟව එක් එක් කෙනා තීරණයක් ගන්න ඕනේ.

සමහර අය රුධිරයේ අනුකොටස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එයාලා ඒ තීරණය අරන් තියෙන්නේ සතෙක්ව කෑමට ගන්න කලින් උගේ ලේ “බිමට වත් කරන්න” කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතිය නිසා වෙන්න ඇති.—ද්විතීය කතාව 12:22-24.

තවත් අය සමහර අනුකොටස් ශරීරගත කරන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයාලා ඒ තීරණය අරන් තියෙන්නේ පුංචි අනුකොටසකින් කෙනෙකුගේ ජීවිතය නියෝජනය වෙන්නේ නැහැ කියලා හිතන නිසා වෙන්න පුළුවන්.

රුධිරයේ අනුකොටස් ගැන තීරණයක් ගන්න කලින් මේ ගැන හිතන්න.

  • රුධිරයේ අනුකොටස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළොත් ලේ ගැලීම නවත්වන නැත්නම් ප්‍රතිශක්තිය වැඩි කරන සමහර බෙහෙත් වර්ගත් ප්‍රතික්ෂේප කරන්න වෙනවා කියලා මං තේරුම් අරන්ද ඉන්නේ?

  • රුධිරයේ සමහර අනුකොටස් ගන්න එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප කරන්න මං අරන් තියෙන තීරණය ගැන වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්න මට පුළුවන්ද?

වෛද්‍ය ප්‍රතිකාර. අපි ලේ පරිත්‍යාග කරන්නෙවත් ශල්‍යකර්මයක් අතරතුරේදී ප්‍රයෝජනයට ගන්න අපේම ලේ ගබඩා කරලා තියන්නෙවත් නැහැ. හැබැයි තමන්ගෙම ලේ යොදාගෙන කරන්න පුළුවන් වෙනත් ප්‍රතිකාර තියෙනවා. ශල්‍යකර්මයක්, වෛද්‍ය පරීක්ෂණයක් නැත්නම් අලුතින් හඳුන්වලා දීලා තියෙන ප්‍රතිකාර ක්‍රමයක් ගැන තීරණයක් ගන්න කලින් තමන්ගේ රුධිරය පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ කොයි විදිහටද කියලා ක්‍රිස්තියානීන් පෞද්ගලිකව හිතන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී රෝගියාගේ රුධිරය යම් වේලාවකට ශරීරයෙන් ඉවතට ගන්න ඉඩ තියෙනවා.—තව විස්තර දැනගන්න 2000 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 30-31 පිටු බලන්න.

හීමෝඩයිලූෂන් කියන්නේ ඒ වගේ එක ප්‍රතිකාර ක්‍රමයක්. ඒකෙන් වෙන්නේ රුධිර පරිමාව වඩාත් දියාරු කරන එකයි. රෝගියාගේ රුධිරය ශරීරයෙන් පිටතට අරන් රුධිරය අඩංගු නැති ද්‍රාවණයක් ශරීරගත කරනවා. පිටතට ගත්ත රුධිරය ශල්‍යකර්මය අතරතුරේදී හරි ශල්‍යකර්මය අවසන් වුණු ගමන්ම හරි ආපහු ශරීරයට ඇතුල් කරනවා.

සෙල් සැල්වෙජ් කියලා තවත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒකෙන් කෙරෙන්නේ ශල්‍යකර්මයක් අතරතුරේදී අපතේ යන රුධිරය එකතු කරගෙන ඒවා පවිත්‍ර කරලා ශල්‍යකර්මය අතරතුරේදීම හරි ශල්‍යකර්මය අවසන් වුණු ගමන්ම හරි නැවතත් ශරීරයට ඇතුල් කරන එකයි.

වෛද්‍යවරු ඒ ප්‍රතිකාර ක්‍රම කරන විදිහේ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඕනෑම වෛද්‍ය ප්‍රතිකාරයක්, වෛද්‍ය පරීක්ෂණයක් නැත්නම් අලුතින් හඳුන්වලා තියෙන ප්‍රතිකාර ක්‍රමයක් කරන්න තීරණයක් ගන්න කලින් ඒ ප්‍රතිකාරයන් අතරතුරේදී තමන්ගේ රුධිරය පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳින් හොයලා බලන්න ඕනේ.

ඔයාගෙම ලේ පාවිච්චි කරලා කරන වෛද්‍ය ප්‍රතිකාරයක් ගැන තීරණයක් ගන්න කලින් මේ ගැන හොඳට හිතන්න.

  • මගේ ලේවලින් යම් කොටසක් ශරීරයෙන් ඉවතට ගද්දී කෙටි වේලාවකට හරි ඒ ක්‍රියාවලිය ඇණහිටියොත් ඒ ලේ ආයෙත් මගේ ශරීරයට ඇතුල් කරන්න හෘදය සාක්ෂිය මට ඉඩ දෙයිද? නැත්නම් ශරීරයෙන් ඉවතට ගිය ලේ විදිහට ඒක “බිමට වත් කරන්න” ඕනෙ කියලා මට හිතෙයිද?—ද්විතීය කතාව 12:23, 24.

  • ප්‍රතිකාරයක් කරද්දී මගේ ලේ ඉවතට අරන් ඒකට යම් ද්‍රව්‍යය එකතු කරලා හරි ඉවත් කරලා හරි ආයෙත් ශරීරයට ඇතුල් කළොත් (නැත්නම් මගේ තුවාල මත තවරන්න ඒකෙන් යම් ද්‍රව්‍යයක් හැදුවොත්) ඒ ගැන මගේ හිත වධ දෙයිද?

  • මගේම රුධිරය යොදාගෙන කරන හැම ප්‍රතිකාර ක්‍රමයක්ම ප්‍රතික්ෂේප කළොත් රුධිර පරීක්ෂණයක් කරන්නවත් යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කරන්නවත් (හීමෝඩයලිසිස්) බයිපාස් සැත්කමකදී කෘත්‍රිම හෘද/ශ්වසන යන්ත්‍රයක් පාවිච්චි කරන්නවත් බැරි වෙනවා කියලා මං දන්නවාද?

රුධිරයේ අනුකොටස් සහ තමන්ගේ රුධිරය පාවිච්චි කරලා කරන ප්‍රතිකාර ගැන තීරණයක් ගන්න කලින් දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලන්න. ඒ ප්‍රතිකාර ගැන හොඳින් හොයලා බලන්න. (යාකොබ් 1:5, 6) ඊටපස්සේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කරපු හෘදය සාක්ෂියට අනුව තීරණයක් ගන්න. ඒ වගේ ප්‍රතිකාරයක් ගන්න එක හරිද වැරදිද කියලා අනිත් අයගෙන් අහන එකවත් වෙන කෙනෙක්ට ඒ වගේ තීරණයක් ගන්න වෙද්දී ඒකට බලපෑම් කරන එකවත් සුදුසු නැහැ.—රෝම 14:12; ගලාති 6:5.

7වෙනි පරිච්ඡේදය, 11වෙනි ඡේදය

 22 සදාචාරමය පවිත්‍රකම

සදාචාරමය පවිත්‍රකම කියන්නේ දෙවියන් කැමති විදිහට අපේ කතාව සහ හැසිරීම පවත්වාගන්න එකටයි. ඒකට අපි කරන, කියන සහ හිතන දේවල් ඇතුළත් වෙනවා. අපවිත්‍ර ලිංගික ක්‍රියාවලින් සහ අනාචාරයට සම්බන්ධ හැම දේකින්ම වළකින්න කියලා දෙවියන් පැහැදිලිවම කියලා තියෙනවා. (හිතෝපදේශ 1:10; 3:1) වැරදි පෙලඹීම් එන්න පුළුවන් අවස්ථා ගැන හිතලා ඒවා ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියලා කලින්ම තීරණය කරන්න. මනස පවිත්‍රව තියාගන්න නිතරම දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. අනාචාරයේ යෙදෙන්න එන පෙලඹීම් ප්‍රතික්ෂේප කරන්නත් අදිටන් කරගන්න.—1 කොරින්ති 6:9, 10, 18; එෆීස 5:5.

8වෙනි පරිච්ඡේදය, 11වෙනි ඡේදය

 23 නින්දිත හැසිරීම සහ අපවිත්‍ර හැසිරීම

දෙවියන්ගේ ප්‍රමිති තුට්ටුවකටවත් මායිම් නොකර කිසිම ලැජ්ජාවක් බයක් නැතුව පහත් විදිහට කතා කරන එකටත් හැසිරෙන එකටත් තමයි නින්දිත හැසිරීම කියලා කියන්නේ. කෙනෙක් නින්දිත හැසිරීමක යෙදෙනවා නම් විනිශ්චය කමිටුවකින් ඒ කාරණය හසුරුවයි. අපවිත්‍ර හැසිරීම කියද්දී ඒකට වැරදි ක්‍රියාවන් ගණනාවක්ම ඇතුළත්. අපවිත්‍ර හැසිරීමක් සභාවක විනිශ්චය කමිටුවකින් හසුරුවනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ වරදේ බරපතළකම අනුවයි.—ගලාති 5:19-21; එෆීස 4:19; තව විස්තර දැනගන්න 2006 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 29-31 පිටු බලන්න.

9වෙනි පරිච්ඡේදය, 7වෙනි ඡේදය; 12වෙනි පරිච්ඡේදය, 10වෙනි ඡේදය

 24 ස්වයංවින්දනය

ලිංගික සම්බන්ධකම්, විවාහ වුණු යුවළක් අතරේ විතරක් වෙන්න ඕනෙ දෙයක් කියලත් ඒකෙන් එකිනෙකාට ආදරේ පෙන්වන්න පුළුවන් කියලත් බයිබලයේ කියලා තියෙනවා. ඒත් කෙනෙක් ස්වයංවින්දනයේ යෙදෙනවා නම් ඒ කියන්නේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න අරමුණින් තම ලිංගේන්ද්‍රය අතපත ගානවා නම් යෙහෝවා දෙවියන් ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් පව්කාර ලිංගික ආශාවන්වලට වහල් වෙලා පහත් ලිංගික ක්‍රියාවල යෙදෙන්නත් ඉඩ තියෙනවා. (කොලොස්සි 3:5) ස්වයංවින්දනයේ යෙදෙන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ පුරුද්දෙන් ගොඩ එන්න බැහැ කියලා. (ගීතාවලිය 86:5; 1 යොහන් 3:20) ඔයාත් ඒ නරක පුරුද්දෙන් ගොඩ එන්න උත්සාහ කරන කෙනෙක් නම් දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. කාමුක දර්ශන බලන එක වගේ නරක සිතුවිලි ඇති කරන දේවලින් වළකින්න. දෙවියන්ට නමස්කාර කරන ඔයාගේ දෙමාපියන් එක්ක හරි අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක් එක්ක හරි ඒ ගැන කතා කරන්න. (හිතෝපදේශ 1:8, 9; 1 තෙසලෝනික 5:14; තීතස් 2:3-5) පවිත්‍රව ජීවත් වෙන්න ඔයා දරන වෑයම දෙවියන් අගය කරනවා කියලා අමතක කරන්න එපා.—ගීතාවලිය 51:17; යෙසායා 1:18.

9වෙනි පරිච්ඡේදය, 9වෙනි ඡේදය

 25 කිහිපදෙනෙක් එක්කම විවාහ වීම

කිහිපදෙනෙක් එක්කම විවාහ වෙන එක වැරදි නැහැ කියලා සමහරු හිතනවා. හැබැයි යෙහෝවා දෙවියන් විවාහ සැලැස්ම ඇති කළේ ඒ අරමුණින් නෙවෙයි. ඔහු මුල්ම පුරුෂයාට දුන්නේ එක භාර්යාවයි. අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ට ස්ත්‍රීන් කිහිපදෙනෙක්වම විවාහ කරගන්න ඉඩහැරලා තිබුණා. ඒත් මේ කාලෙදි තමන්ගේ සෙනඟට එහෙම කරන්න දෙවියන් ඉඩ දීලා නැහැ. පුරුෂයෙකුට ඉන්න ඕනෙ එක භාර්යාවක් වගේම භාර්යාවකට ඉන්න ඕනෙ එක පුරුෂයෙක් විතරයි කියලා බයිබලයේ කියනවා.—මතෙව් 19:9; 1 තිමෝති 3:2.

10වෙනි පරිච්ඡේදය, 12වෙනි ඡේදය

 26 දික්කසාදය සහ වෙන් වීම

විවාහ යුවළක් ජීවත් වෙලා ඉන්න කල් එකට ඉඳියි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. (උත්පත්ති 2:24; මලාකි 2:15, 16; මතෙව් 19:3-6; 1 කොරින්ති 7:39) දික්කසාද වෙන්න ඔහු අවසර දීලා තියෙන්නේ සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් විතරයි. ඒ වගේ අවස්ථාවකදීත් දික්කසාද වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න වරදක් නොකරපු කෙනාට ඔහු අවස්ථාව දීලා තියෙනවා.—මතෙව් 19:9.

සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදිලා නැති අවස්ථාවලදීත් සමහර ක්‍රිස්තියානීන් වෙන් වෙන්න තීරණය කරලා තියෙනවා. (1 කොරින්ති 7:11) ක්‍රිස්තියානියෙක් වෙන් වෙන්න තීරණය කරන්න හේතු වෙන්න පුළුවන් කාරණා තුනක් ගැන බලමු.

  • හිතාමතාම පවුල රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කිරීම: පුරුෂයා මූලික අවශ්‍යතා සපුරන එක මඟහරින නිසා පවුලේ අය අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.—1 තිමෝති 5:8.

  • දරුණු විදිහට පහර දීම: ජීවිතය අනතුරේ වැටෙන තරමට දිගටම පහර දෙනවා.—ගලාති 5:19-21.

  • යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට ලොකු හානියක් වෙන විදිහට හැසිරීම: දෙවියන්ට සේවය කරන්න බැරි වෙන තරමට සැමියා හරි බිරිඳ හරි දරුණු විදිහට බලපෑම් කරනවා.—ක්‍රියා 5:29.

11වෙනි පරිච්ඡේදය, 19වෙනි ඡේදය

 27 අගය කිරීම සහ දිරිගැන්වීම

අනිත් අය අපිව අගය කරනවාට, දිරිගන්වනවාට අපි හැමෝම කැමතියි. (හිතෝපදේශ 12:25; 16:24) ආදරෙන්, කරුණාවෙන් කතා කරලා එකිනෙකාව සනසවන්නත් දිරිගන්වන්නත් අපිට පුළුවන්. අසීරුම තත්වයකදී වුණත් විඳදරාගනිමින් දෙවියන්ට සේවය කරන්න ඒක අපේ සහෝදරයන්ට උදව් වෙයි. (හිතෝපදේශ 12:18; ෆිලිප්පි 2:1-4) කෙනෙක් අධෛර්යය වෙලා කියලා දැනුණොත් එයා කියන දේවල් ඉවසීමෙන් අහන් ඉඳලා එයාව තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. එයාට උදව් කරන්න පුළුවන් විදිහ තේරුම්ගන්න ඒක උදව් වෙයි. (යාකොබ් 1:19) සහෝදරයන්ව හොඳින් හඳුනාගන්න උත්සාහ කරන්න. එතකොට එයාලට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා තේරෙයි. සියලු සැනසිල්ලේ දෙවියන්ගෙන් සැබෑ සහනයක් ලබාගන්න එයාලට උදව් කරන්නත් පුළුවන් වෙයි.—2 කොරින්ති 1:3, 4; 1 තෙසලෝනික 5:11.

12වෙනි පරිච්ඡේදය, 16වෙනි ඡේදය

 28 විවාහ උත්සව

විවාහ උත්සවයන් පවත්වන්න ඕන විදිහ ගැන බයිබලයේ නිශ්චිතවම කියලා නැහැ. විවාහයකට අදාළ චාරිත්‍ර සහ නීත්‍යනුකූල කටයුතු රටින් රටට වෙනස් වෙනවා. (උත්පත්ති 24:67; මතෙව් 1:24; 25:10; ලූක් 14:8) විවාහයකදී වැදගත්ම දේ වෙන්නේ යුවළ යෙහෝවා දෙවියන් ඉදිරියේ දෙන පොරොන්දුවයි. ඒ පොරොන්දුව දෙන අවස්ථාවට හුඟක් යුවළයන් පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරනවා. එදාට බයිබලයේ මඟ පෙන්වීම් ඇතුළත් දේශනයක් දෙන්න එයාලා වැඩිමහල්ලෙක්වත් තෝරාගන්නවා. විවාහ උත්සවයක් පවත්වනවාද ඒක පවත්වන්නේ කොහේද සහ කීදෙනෙක්ට ආරාධනා කරනවාද කියලා තීරණය කරන්න ඕනෙත් මනාල යුවළ. (ලූක් 14:28; යොහන් 2:1-11) උත්සවය කොහොම පැවැත්වුවත් දෙවියන්ව ගෞරවයට පත් වෙන විදිහට ඒක සැලසුම් කරන්න ඒ දෙන්නා වගබලා ගන්න ඕනේ. (උත්පත්ති 2:18-24; මතෙව් 19:5, 6) ඒකට බයිබල් ප්‍රතිපත්ති එයාලට උදව් වෙයි. (1 යොහන් 2:16, 17) උත්සවයේදී මත්පැන් දෙන්න තීරණය කළොත් ඒ වැඩකටයුතු අධීක්ෂණය කරන්න කෙනෙක්ව පත් කරන්න ඕනේ. (හිතෝපදේශ 20:1; එෆීස 5:18) සංගීතය ඇතුළු විනෝද වෙන්න දේවල් සැලසුම් කරද්දී දෙවියන්ව ගෞරවයට පත් වෙන විදිහට ඒවා කරන්න මනාල යුවළ වගබලා ගන්න ඕනේ. යුවළක් වැඩි අවධානයක් දෙන්න ඕනෙ විවාහ වෙන දවසට නෙවෙයි, දෙවියන් එක්ක තියෙන බැඳීම සහ ඒ දෙන්නාගේ බැඳීම ශක්තිමත් කරගන්න එකටයි.—හිතෝපදේශ 18:22; තව තොරතුරු දැනගන්න 2006 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 18-31 පිටු බලන්න.

13වෙනි පරිච්ඡේදය, 18වෙනි ඡේදය

 29 ඥානවන්ත තීරණ ගැනීම

බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන විදිහේ තීරණ ගන්න අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් නත්තල වගේ උත්සවයක් සමරන දවසකදී නෑදෑයෙක්ගේ ගෙදරකට කෑමකට යමු කියලා දෙවියන්ට නමස්කාර කරන්නේ නැති සැමියා හරි බිරිඳ හරි ඔයාට ආරාධනා කළොත් ඔයා මොකද කරන්නේ? ඔයා යන්න තීරණය කළොත් එහෙදි සිද්ධ වෙන අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්නේ නැහැ කියලා කලින්ම කියන්න. ඔයා එහේ ගියා කියලා අනිත් අය දැනගත්තොත් ඒක එයාලගේ හෘදය සාක්ෂියට කොහොම බලපායිද කියලත් හිතලා බලන්න.—1 කොරින්ති 8:9; 10:23, 24.

හිතන්න නත්තල් කාලේ ඔයාගේ රැකියාවේ ස්වාමියා අමතර දීමනාවක් දෙන්න තීරණය කරනවා කියලා. ඔයා ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෙද? ඒ ගැන තීරණයක් ගන්න කලින් මේ ගැන හොඳට හිතන්න. රැකියාවේ ස්වාමියා ඒ දීමනාව දෙන එක සලකන්නේ නත්තල් උත්සවයට දෙන තෑග්ගක් හැටියටද? නැත්නම් එයා ඒක දෙන්නේ එයාට සේවය කරන අයව අගය කරන්නද? ඒ විදිහට ඒ ගැන හොඳට හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න ඔයාට පුළුවන්.

හිතන්න කෙනෙක් ඔයාට මෙහෙම කියනවා කියලා. “මං දන්නවා ඔයා නත්තල සමරන්නේ නැහැ කියලා. ඒත් මං කැමතියි ඔයාට මේ තෑග්ග දෙන්න.” එයා ඒක දෙන්නේ අවංකවමද? නැත්නම් එයාට ඕනෙ ඔයාගේ විශ්වාසය පරීක්ෂා කරන්නද? එයා හදන්නේ ඔයාවත් නත්තල සමරන්න හවුල් කරගන්නද? ඒ දේවල් ගැන හොඳට හිතලා එයාගේ තෑග්ග ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. අපිට ඕනෙ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉඳිමින් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න. ඒ නිසයි දෙවියන් සතුටු වෙන විදිහට අපේ ජීවිතේ හැම තීරණයක්ම ගන්න අපි උත්සාහ කරන්නේ.—ක්‍රියා 23:1.

13වෙනි පරිච්ඡේදය, 22වෙනි ඡේදය

 30 ව්‍යාපාර කටයුතු සහ නීතික කාරණා

එකඟ නොවීමක් ඇති වුණාම ඒක සාමකාමීව විසඳගන්නවා නම් ඒක අනවශ්‍ය විදිහට දුර දිග යන්නේ නැහැ. (මතෙව් 5:23-26) ක්‍රිස්තියානීන් විදිහට අපි මූලිකවම උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න සහ සභාවේ සාමය රැකගන්නයි.—යොහන් 13:34, 35; 1 කොරින්ති 13:4, 5.

සහෝදරයෙක් එක්ක ගනු දෙනුවක් කරද්දී යම් ප්‍රශ්නයක් මතු වුණොත් නඩු මඟට බහිනවා වෙනුවට ඒ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන්න ඕනේ. සහෝදරයෙක්ට විරුද්ධව නඩු කියන එක ගැන පාවුල් දීපු උපදෙස 1 කොරින්ති 6:1-8 පදවල සඳහන් වෙනවා. සහෝදරයෙක්ට විරුද්ධව නඩු කියන එකෙන් යෙහෝවා දෙවියන්ගේ නමටත් සභාවටත් කැළැලක් ඇති වෙන්න පුළුවන්. චරිත ඝාතනයක්, වංචාවක් වගේ බරපතළ වරදක් කෙනෙක් අතින් වුණොත් ගන්න ඕන පියවර තුනක් ගැන මතෙව් 18:15-17 සඳහන් වෙනවා. (1) සිද්ධියට අදාළ පාර්ශ්ව දෙකේම අය ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන්න ඕනේ. (2) ප්‍රශ්නය විසඳගන්න බැරි වුණොත් එයාලට පුළුවන් සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් හරි දෙන්නෙක්ගෙන් හරි උදව් ඉල්ලන්න. (3) ඒකත් අසාර්ථක වුණොත් ප්‍රශ්නේ ගැන සභාවේ වැඩිමහල්ලන්ට කියන්න පුළුවන්. එතකොට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ප්‍රශ්නේ විසඳගන්න වැඩිමහල්ලන් එයාලට උදව් කරයි. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එයාලා අකමැති වුණොත් වැඩිමහල්ලන් ඒ කාරණය විනිශ්චය කමිටුවක් මාර්ගයෙන් හසුරුවන්න පියවර ගනියි.

සමහර කාරණාවලදී නීතිමය පියවර ගන්නම වෙනවා. දික්කසාද වෙන්න, දරුවන්ගේ භාරකාරත්වය ලබාගන්න, දික්කසාදයකදී හරි වෙන් වීමකදී හරි නඩත්තු මුදල තීරණය කරන්න, රක්ෂණ වන්දි ලබාගන්න, ව්‍යාපාරයක් බංකොලොත් වුණාම ආයෝජනය කරපු මුදල ලබාගන්න සහ අවසන් කැමති පත්‍රය වලංගු කරගන්න වගේ කාරණා ඒ අතරට අයිතියි. කෙනෙක් ඒ වගේ කාරණයක් සාමකාමීව විසඳගන්න නීතිමය පියවර ගත්තොත් ඒක පාවුල් දීපු උපදෙස නොසලකාහැරීමක් වෙන්නේ නැහැ.

ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, දරුණු පහර දීමක්, සොරකමක් නැත්නම් මිනී මැරීමක් වගේ බරපතළ කාරණයක් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දෙන එකත් වැරදි නැහැ.

14වෙනි පරිච්ඡේදය, 14වෙනි ඡේදය

 31 සාතන් අටවන උගුල්

ඒවව රවට්ටපු දවසේ ඉඳන් මේ වෙනකනුත් සාතන් උත්සාහ කරන්නේ මිනිසුන්ව රවට්ටන්න. (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) සාතන් දන්නවා අපි හිතන විදිහට බලපෑම් කළොත් ලේසියෙන්ම වරදක් කරන්න අපිව පොලඹවගන්න පුළුවන් කියලා. (2 කොරින්ති 4:4; යාකොබ් 1:14, 15) ඒ නිසා සාතන් උත්සාහ කරන්නේ දේශපාලනය, ආගම්, ව්‍යාපාර, විනෝදාංශ, අධ්‍යාපනය වගේ දේවල් යොදාගෙන තමන් හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්නයි.—යොහන් 14:30; 1 යොහන් 5:19.

සාතන් දන්නවා තමන්ට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ කියලා. මොන ක්‍රමයකින් හරි පුළුවන් තරම් දෙනෙක්ව රවට්ටන්නයි සාතන් උත්සාහ කරන්නේ. සාතන්ට විශේෂයෙන් ඕනෙ යෙහෝවා දෙවියන්ගේ සෙනඟව රවට්ටන්නයි. (එළිදරව් 12:12) පරෙස්සම් වුණේ නැත්නම් සාතන් අපි හිතන විදිහ ටිකෙන් ටික වෙනස් කරයි. (1 කොරින්ති 10:12) උදාහරණෙකට යෙහෝවා දෙවියන් කැමති විවාහ යුවළක් ජීවත්ව ඉන්න තාක් කල් එකට ඉන්නවාට. (මතෙව් 19:5, 6, 9) ඒත් පුංචි හේතු නිසාත් දික්කසාද වෙන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. හුඟක් චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන්වලිනුත් පෙන්වන්නේ එහෙම කරන එකේ කිසි වරදක් නැහැ කියලයි. ඒ වගේ ආකල්ප සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරමු.

හිතුමතේට වැඩ කරන්න අපිව පොලඹවන්නත් සාතන් උත්සාහ කරනවා. (2 තිමෝති 3:4) පරෙස්සම් වුණේ නැත්නම් දෙවියන් පත් කරලා තියෙන සහෝදරයන් ගැන අපේ හිතේ තියෙන ගෞරවය ටිකෙන් ටික නැති වෙලා යයි. උදාහරණෙකට වැඩිමහල්ලන් දෙන උපදෙස් නොසලකාහරින්න සහෝදරයෙක් පෙලඹෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:5) පවුලේ මූලිකයා විදිහට ස්වාමිපුරුෂයන්ව දෙවියන් පත් කරලා තිබුණත් ඒ සැලැස්මට විරුද්ධ වෙන්න බිරිඳක් පෙලඹෙන්න පුළුවන්.—1 කොරින්ති 11:3.

අපි හිතන විදිහට බලපෑම් කරන්න සාතන්ට කිසිම ඉඩක් නොදී ඉන්න අදිටන් කරගමු. යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්නත් නිතරම ‘ස්වර්ගයේ තියෙන දේවලට මනස යොමු කරන්නත්’ අපි උත්සාහ කරමු.—කොලොස්සි 3:2; 2 කොරින්ති 2:11.

16වෙනි පරිච්ඡේදය, 9වෙනි ඡේදය

 32 වෛද්‍ය ප්‍රතිකාර

නිරෝගී සෞඛ්‍යයක් ඇතුව ඉන්නත් ලෙඩ වුණාම හොඳම ප්‍රතිකාරයක් ගන්නත් අපි හැමෝම කැමතියි. (යෙසායා 38:21; මාක් 5:25, 26; ලූක් 10:34) බෙහෙත් වර්ග සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අද ඕන තරම් තියෙනවා. අපි තෝරාගන්නේ මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා තීරණය කරන්න වෙද්දී බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඒ තීරණය ගන්න ඕනේ. අපිට සදහටම සුවයක් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි. ඒ නිසා අපි ශරීර සෞඛ්‍යය ගැන ඕනෑවට වඩා අවධානය දෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දෙන්න අපිට බැරි වෙනවා.—යෙසායා 33:24; 1 තිමෝති 4:16.

යම් ප්‍රතිකාරයක් භූතවාදයට සම්බන්ධයි නම් අපි ඒ ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කරන්න ඕනේ. (ද්විතීය කතාව 18:10-12; යෙසායා 1:13) ඒ නිසා ඕනෙම ප්‍රතිකාරයක් පිළිගන්න කලින් ඒකට සම්බන්ධ හැම දෙයක් ගැනම හොඳට හොයලා බලන්න ඕනේ. (හිතෝපදේශ 14:15) භූතවාදය කියන උගුලට අපිව අහු කරගන්න සාතන් උත්සාහ කරනවා කියලා අමතක කරන්න එපා. යම් ප්‍රතිකාරයකට භූතවාදය සම්බන්ධයි කියලා පුංචිම හරි සැකයක් අපිට තියෙනවා නම් හොඳම දේ වෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරන එකයි.—1 පේතෘස් 5:8.

16වෙනි පරිච්ඡේදය, 18වෙනි ඡේදය

^ සමහර වෛද්‍යවරු රුධිරයේ ප්‍රධාන කොටසුත් අනුකොටස් විදිහට සලකනවා. ඒ නිසා සම්පූර්ණ රුධිරයවත් රුධිරයේ ප්‍රධාන කොටස්වත් (රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා සහ ප්ලාස්මාව) ශරීරගත කරන්නේ නැහැ කියලා ඔයා අරන් තියෙන තීරණය ගැන වෛද්‍යවරුන්ට පැහැදිලිව කියන්න.