Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

හැම කාරණයකදීම අවංක වෙන්න

හැම කාරණයකදීම අවංක වෙන්න

“අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.

1, 2. අපි අවංක වෙන්න වෑයම් කරද්දී යෙහෝවා දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

 ඉස්කෝලේ ඇරිලා ගෙදර එන දරුවෙක්ට සල්ලි පිරුණු පර්ස් එකක් හම්බ වෙනවා. ඕනෙ නම් ඒක එයාට තියාගන්න පුළුවන්. හැබැයි මේ දරුවා ඒක අයිතිකාරයාට භාර දෙනවා. ඒ ගැන දැනගත්තාම දරුවාගේ අම්මාට දැනෙන්නේ පුදුම සතුටක්.

2 හැම දෙමාපියෙක්ම වගේ කැමතියි තමන්ගේ දරුවන් අවංක වෙනවාට. අපි අවංක වෙද්දී “සත්‍යතාවේ දෙවි” විදිහට හඳුන්වන අපි හැමෝගෙම තාත්තා වන යෙහෝවා දෙවියනුත් ඒ ගැන හුඟක් සතුටු වෙනවා. (ගීතාවලිය 31:5) අපිත් උත්සාහ කරන්නේ “සෑම දෙයකදීම අවංකව” කටයුතු කරන්නයි. (හෙබ්‍රෙව් 13:18) අවංක වෙන එක අභියෝගයක් වෙන පැති කීපයක් ගැනත් අවංක වෙද්දී ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි බලමු.

අපි අපිටම අවංක වෙමු

3-5. (අ) අපි අපිවම රවට්ටාගන්න පුළුවන් එක විදිහක් මොකක්ද? (ආ) අපිටම අවංක වෙන්න උදව් වෙන්නේ මොනවාද?

3 අනිත් අයත් එක්ක අවංකව කටයුතු කරන්න නම් අපි මුලින්ම අපිටම අවංක වෙන්න ඕනේ. ඒක හැම වෙලේම ලේසි නැහැ. මුල් සියවසේ ලවෝදිසිය සභාවේ හිටිය අයටත් ඒක ලේසි වුණේ නැහැ. තමන් ගැන දෙවියන් සතුටු වෙනවා කියලා එයාලා හිතුවත් ඇත්තටම එයාලා ඒකෙන් කළේ තමන්වම රවට්ටාගන්න එකයි. (එළිදරව් 3:17) ඒක අපිටත් වෙන්න පුළුවන්.

4 බයිබලයේ මෙහෙම කියනවා. ‘නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්. ඔහුගේ නමස්කාරය නිෂ්ඵලයි.’ (යාකොබ් 1:26) අපි හොඳ දේවල් කරනවා නම් අනිත් අයගේ හිත රිදෙන විදිහට කතා කරන එක, බොරු කියන එක වගේ දේවල් කළාට දෙවියන් ඒවා ගණන් ගන්න එකක් නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් රැවටෙන්නේ අපිමයි. ඒ උගුලට අහු නොවී ඉන්න කරන්න ඕනෙ මොනවාද?

5 අපේ පෙනුම කණ්ණාඩියකින් බලාගන්න පුළුවන් වගේ අපි ඇත්තටම මොන වගේ අයද කියලා බයිබලයෙන් දැනගන්න පුළුවන්. අපේ හොඳ පැති සහ දුර්වල පැති තේරුම්ගන්න ඒක උදව් වෙනවා. අපේ සිතුවිලිවල, කතාබහේ සහ හැසිරීමේ යම් වෙනස්කම් කරන්න ඕනෙද කියලා තේරුම්ගන්නත් ඒක අපිට උදව් වෙනවා. (යාකොබ් 1:23-25 කියවන්න.) හැබැයි අපේ අතින් කවදාවත් වරදක් වෙන්නේ නැහැ කියලා හිතුවොත් අපේ දුර්වල පැති හදාගන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා බයිබලය කියවද්දී අපි අපි ගැනම අවංකව හිතලා බලන්න ඕනේ. (විලාප ගී 3:40; හග්ගයි 1:5) අපේ හිත සෝදිසි කරලා බලලා අපේ දුර්වල පැති පෙන්නලා දෙන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන එකත් අපේ අඩුපාඩු හදාගන්න අපිට උදව් වෙනවා. (ගීතාවලිය 139:23, 24) “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්” කියලත් “අවංක අයට ඔහු ළංව සිටිනවා” කියලත් අපි මතක තියාගමු.—හිතෝපදේශ 3:32.

පවුලේ අයට අවංක වෙමු

6. සැමියාත් බිරිඳත් එකිනෙකාට අවංක වෙන්න ඕනෙ ඇයි?

6 පවුලක අවංකකම තියෙන්නම ඕනේ. සැමියාත් බිරිඳත් එකිනෙකාගෙන් කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලා දැනෙද්දී දෙන්නාටම එකිනෙකා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒත් විවාහ වුණු කෙනෙක් විරුද්ධ ලිංගයේ අයට ඉඟිබිඟි පානවා නම්, කාමුක දර්ශන බලනවා නම්, හොර රහසින් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා නම් එයා අවංකයි කියලා කියන්න බැහැ. වෙන කෙනෙක් ගැන අනාචාර සිතුවිලි ඇති කරගන්න එකත් වංකකමක්. ගීතිකාකරු කිව්ව මේ දේ හිතට ගන්න. “වංක මිනිසුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.”—ගීතාවලිය 26:4.

විවාහ බැඳීමට හානියක් වෙන දේවල් ඉක්මනින්ම ප්‍රතික්ෂේප කරන්න

7, 8. අවංක වෙන එකේ වටිනාකම ගැන දරුවන්ට බයිබලයෙන් උගන්වන්න පුළුවන් කොහොමද?

7 අවංක වෙන එක කොච්චර වැදගත්ද කියලා දරුවන්ටත් උගන්වන්න ඕනේ. දෙමාපියන්ට පුළුවන් බයිබලයෙන් ඒ ගැන කියලා දෙන්න. හොරකම් කරපු ආකාන්, සල්ලි ගන්න බොරු කියපු ගෙහාසී, සල්ලි හොරකම් කරපු ඒ වගේම රිදී කාසි 30කට යේසුස්ව පාවලා දීපු යූදස් ඇතුළු වංකව වැඩ කරපු අය ගැන බයිබලයේ තියෙනවා.—යොෂුවා 6:17-19; 7:11-25; 2 රාජාවලිය 5:14-16, 20-27; මතෙව් 26:14, 15; යොහන් 12:6.

8 බඩු මලුවල තිබුණ සල්ලි ආයෙත් ගිහින් දෙන්න කියලා පුතාලාට කියපු යාකොබ්, දෙවියන්ට දීපු පොරොන්දුව ඉටු කරපු යෙප්තා සහ දියණිය, අමාරු අවස්ථාවලදීත් අවංකව වැඩ කරපු යේසුස් ඇතුළු අවංකව වැඩ කරපු අය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 43:12; විනිශ්චයකරුවෝ 11:30-40; යොහන් 18:3-11) අවංකව වැඩ කරන එකේ වටිනාකම තේරුම්ගන්න ඒ සිද්ධීන් දරුවන්ට උදව් වෙයි.

9. දෙමාපියන් අවංකව වැඩ කරන එක දරුවන්ට උදව් වෙන්නේ කොහොමද?

9 බයිබලයේ මෙහෙම කියනවා. ‘වෙන අයට උගන්වන ඔබ, උගන්වන දේ පිළිපදිනවාද? “සොරකම් නොකරන්න” කියා දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?’ (රෝම 2:21) අවංක වෙන්න කියලා දරුවන්ට කොච්චර ඉගැන්නුවත් දෙමාපියන් වංක විදිහට වැඩ කරනවා නම් හරි දේ මොකක්ද කියලා තේරුම්ගන්න දරුවන්ට පුළුවන් වෙන එකක් නැහැ. පුංචි කාරණාවලදී වුණත් දෙමාපියන් බොරු කියනවා නම් දරුවනුත් ඒ දේම කරන්න පෙලඹෙයි. (ලූක් 16:10 කියවන්න.) හැබැයි දෙමාපියන් අවංකව වැඩ කරනවා දකිද්දී දරුවනුත් අවංකව වැඩ කරන්න පෙලඹෙයි. ඒක දරුවන්ට උදව් වෙයි අනාගතයේදී තමන්ගේ දරුවන්ටත් අවංකකම ගැන හොඳ ආදර්ශයක් තියන්න.—හිතෝපදේශ 22:6; එෆීස 6:4.

සභාවේ අයට අවංක වෙමු

10. අපේ සහෝදරයන් එක්ක අවංකව වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?

10 අපේ සහෝදරයන්ට අපි අවංක වෙන්න ඕනේ. පරෙස්සම් වුණේ නැත්නම් අපි කතා කරද්දී හානිකර ඕපාදූප පතුරුවන්න ඉඩ තියෙනවා. ඒකෙන් කෙනෙක්ගේ චරිතය ඝාතනය වෙන්නත් පුළුවන්. දෙයක ඇත්ත නැත්ත නොදැන ඒ ගැන කියන්න ගියොත් දන්නෙම නැතුව අපි බොරු පතුරුවන කෙනෙක් වෙයි. බයිබලයේ කියනවා “වචන කල්පනාකාරීව” හසුරුවන්න කියලා. (හිතෝපදේශ 10:19) අවංක වෙනවා කියන්නේ දන්න, ආරංචි වෙන හැම දේම අනිත් අයට කියන එක නෙවෙයි. අපි කියන්න හදන දේ ඇත්ත වුණත් ඒක කියන එක අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීමක් වෙන්න පුළුවන්. ඒක කාරුණික දෙයක් නොවෙන්නත් ඉඩ තියෙනවා. (1 තෙසලෝනික 4:11) කියන දේ ඇත්ත නම් ඒක කොහොම කිව්වත් කමක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ විදිහට අපි හැම වෙලේම කාරුණිකව කතා කරන්න උත්සාහ කරන්න ඕනේ.—කොලොස්සි 4:6 කියවන්න.

11, 12. (අ) බරපතළ වරදක් කරපු කෙනෙක් ඒක හැංගුවොත් ඒකේ බරපතළකම තවත් වැඩි වෙනවා කියලා කියන්නේ ඇයි? (ආ) යාළුවෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණොත් අපි හිතන්න හොඳ නැත්තේ මොනවාද? ඒ ඇයි? (ඇ) දෙවියන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී අවංක වෙන්න පුළුවන් කොහොමද?

11 සභාවේ අයට ඕන කරන උදව් ලබා දෙන එකේ මූලිකම වගකීම යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ වැඩිමහල්ලන්ට. අපි හැම දේම අවංකවම කිව්වොත් තමයි අපිට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්නේ. උදාහරණෙකට මෙහෙම හිතන්න. ඔයා බෙහෙත් ගන්න දොස්තර ළඟට යනවා. ඒත් ලෙඩේට සම්බන්ධ සමහර දේවල් ඔයා කියන්නේ නැත්නම් දොස්තරට පුළුවන් වෙයිද හරි බෙහෙතක් දෙන්න? අපි අතින් බරපතළ වරදක් වුණාමත් ඒ ගැන අපි වැඩිමහල්ලන්ට අවංකව කියන්න ඕනේ. (ගීතාවලිය 12:2; ක්‍රියා 5:1-11) දැන් මෙහෙම හිතන්න. ඔයාගේ යාළුවෙක් බරපතළ වරදක් කරලා කියලා දැනගන්න ලැබුණොත් ඔයා මොකද කරන්නේ? (ලෙවී කතාව 5:1) එයා ඔයාගේ හොඳ යාළුවෙක් නිසා ඒ ගැන කාටවත් නොකියා ඉන්නවාද? එහෙමත් නැත්නම් වරද හදාගෙන දෙවියන් එක්ක තියෙන බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න එයාට වැඩිමහල්ලන්ගේ උදව් ඕනෙ කියලා ඔයා පිළිගන්නවාද?—හෙබ්‍රෙව් 13:17; යාකොබ් 5:14, 15.

12 සේවා වාර්තාව දාද්දීත් පුරෝගාමී සේවය ඇතුළු වෙනත් ඕනෙම ආකාරයේ සේවයකට අයදුම්පත් පුරවද්දීත් අපි අවංක වෙන්න ඕනේ.—හිතෝපදේශ 6:16-19 කියවන්න.

13. සහෝදරයෙක් එක්ක ව්‍යාපාර කටයුත්තක් කරද්දී අවංක වෙන්න පුළුවන් කොහොමද?

13 නමස්කාරයට සම්බන්ධ දේවල් කරන අතරේ ව්‍යාපාර කටයුතු කරන එක සුදුසු නැහැ. උදාහරණෙකට නමස්කාර මධ්‍යස්ථානයේදී නැත්නම් සේවයේ යද්දී අපි ඒ කාරණා ගැන කතා කරන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු කරද්දී අපි සහෝදරයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එකෙන් වළකින්න ඕනේ. ඔයා යටතේ සහෝදරයන් වැඩ කරනවා නම් එයාලට දෙන්න පොරොන්දු වුණු මුදල නියමිත කාලයේදී ගෙවන්න. සෞඛ්‍ය රක්ෂණ සහ පඩි සහිත නිවාඩු ඇතුළු නීතියට අනුව එයාලට ලැබෙන්න ඕන දේවල් දෙන්නත් අමතක කරන්න එපා. (1 තිමෝති 5:18; යාකොබ් 5:1-4) ඔයා සහෝදරයෙක් යටතේ වැඩ කරනවා නම් විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. (එෆීස 6:5-8) කලින්ම එකඟ වෙලා තියෙන පැය ගණන වැඩ කරන්නත් ඔයාට භාර දුන්න වැඩේ හරියට කරන්නත් වගබලා ගන්න.—2 තෙසලෝනික 3:10.

14. සහෝදරයෙක් එක්ක ව්‍යාපාර කටයුත්තක් පටන්ගන්න කලින් කරන්න ඕනෙ මොනවාද?

14 සහෝදරයෙක් එක්ක ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරද්දී මතක තියාගන්න ඕන ප්‍රතිපත්තියක් බයිබලයේ තියෙනවා. ඒ තමයි හැම දෙයක්ම ලිඛිතව සඳහන් කරගන්න ඕනෙ කියන එක. මුදලක් ආයෝජනය කරන එක, ණයක් දෙන එක ඇතුළු ඕනෑම ව්‍යාපාර කටයුත්තකට ඒක අදාළයි. අනාගතවක්තෘවරයෙක් වුණු යෙරෙමියා ඉඩමක් මිල දී ගද්දී ඔප්පුවක් ලියලා ඒකේ පිටපත් දෙකක් හදාගත්තා. එයා ඒ එක ඔප්පුවක් අත්සන් කරන්න කියලා සාක්ෂිකරුවන් දෙන්නෙක්ටත් කිව්වා. එයා ඒ පිටපත් දෙකම ආරක්ෂිතව තියාගත්තා. (යෙරෙමියා 32:9-14; උත්පත්ති 23:16-20ද බලන්න.) දේවල් ලිඛිතව වාර්තා කරන එක හරියට සහෝදරයන්ව සැක කරනවා වගේ දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ලිඛිත වාර්තාවක් තියාගද්දී වරදවා වටහාගැනීම්, හිත් රිදීම් සහ එකඟ නොවීම් වගේ දේවල් වළක්වාගන්න පුළුවන්. ඕනෙම ව්‍යාපාර කටයුත්තකට වඩා වැඩියෙන්ම වටින්නේ සභාවේ සාමය පවත්වාගන්න එකයි කියලා අමතක කරන්න එපා.—1 කොරින්ති 6:1-8; 30වෙනි අමතර සටහන බලන්න.

එදිනෙදා ජීවිතයේදීත් අවංක වෙමු

15. ව්‍යාපාර කටයුතුවලදී වංකව වැඩ කරන එක ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

15 සාක්ෂිකරුවන් එක්ක විතරක් නෙවෙයි හැම කෙනෙක් එක්කම අපි අවංකව වැඩ කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. බයිබලයේ කියන මේ දේ බලන්න. “හොර තරාදිය යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් නිවැරදි මිනුම් පඩිය ඔහුට ප්‍රසන්නය.” (හිතෝපදේශ 11:1; 20:10, 23) අතීතයේදීත් ව්‍යාපාර කටයුතුවලදී හුඟක් වෙලාවට තරාදියක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි සමහර ව්‍යාපාරිකයන් බඩු අඩුවෙන් දීලා පාරිභෝගිකයන්ට වංචා කරලා තියෙනවා. අදටත් ව්‍යාපාර කටයුතුවලදී වංකව කටයුතු කරන එක සාමාන්‍ය දෙයක්. එදා වගේම අදත් යෙහෝවා දෙවියන් වංකකම පිළිකුල් කරනවා.

16, 17. වංකව වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

16 වංකව වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණෙකට රැකියාවකට අයදුම්පතක් පුරවද්දී, රජයට අදාළ පෝරමයක් පුරවද්දී, ඉස්කෝලේ විභාගයකදී එහෙම කරන්න පෙලඹෙන්න පුළුවන්. හුඟක් අය හිතන්නේ බොරු කියන එක, දේවල් වැඩි කරලා කියන එක, නොමඟ යන විදිහට තොරතුරු කියන එක වගේ දේවල කිසි වරදක් නැහැ කියලයි. එහෙම හිතන එක ගැන පුදුම වෙන්න ඕන නැහැ. මොකද බයිබලයේ පැහැදිලිවම කියනවා අන්තිම කාලේදී මිනිසුන් ‘තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන’ අය වෙනවා කියලා.—2 තිමෝති 3:1-5.

17 සමහරවිට ඔයාට හිතෙයි වංකව වැඩ කරන අය තමයි හොඳට දියුණු වෙන්නේ කියලා. (ගීතාවලිය 73:1-8) අවංකව වැඩ කරද්දී රස්සාව නැති වෙන්න, නියමිත මුදල් නොලැබෙන්න, මිනිසුන් ඇනුම් පද කියන්න ඉඩ තියෙනවා. හැබැයි මොන දේ වුණත් අවංකව වැඩ කරන එක හුඟක් වටිනවා.

අවංක අය අද්දකින ආශීර්වාද

18. හොඳ නමක් හුඟක් වටින්නේ ඇයි?

18 අවංක, විශ්වාසවන්ත කෙනෙක් හැටියට හොඳ නමක් දිනාගෙන ඉන්න අය හුඟක් වටිනවා. අද ඒ වගේ අය හරිම අඩුයි. අපි හැමෝටම පුළුවන් ඒ වගේ නමක් දිනාගන්න. (මීකා 7:2) ඔයා අවංකව වැඩ කරද්දී සමහර අය ඔයාට විහිළු කරයි. සමහරවිට ඔයා මෝඩයි කියලත් කියයි. ඒත් තවත් අය ඔයාගේ අවංකකම හුඟක් අගය කරයි. ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවංක අය විදිහට නම් දරනවා. ඒ නිසා තමන්ගේ රැකියා ස්ථානයට සාක්ෂිකරුවන්ව බඳවාගන්න හුඟක් අය කැමතියි. වංකව වැඩ කරපු නිසා සමහරුන්ට රැකියාව අහිමි වුණත් අවංකව කටයුතු කරන නිසා දිගටම රැකියාවේ නියැලෙන්න සාක්ෂිකරුවන්ට පුළුවන් වෙලා තියෙනවා.

වෙහෙස නොබලා වැඩ කරද්දී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න පුළුවන්

19. අවංකව වැඩ කරන එක යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?

19 හැම කාරණයකදීම අවංකව වැඩ කරද්දී “දෙවි ඉදිරියේ” නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් සාමකාමී මනසක් ඇතුව ඉන්නත් පුළුවන්. (හෙබ්‍රෙව් 13:18) වැඩියෙන්ම වටින්නේ අපිට හුඟක් ආදරේ කරන අපේ තාත්තා වන යෙහෝවා දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වෙන එකයි.—ගීතාවලිය 15:1, 2; හිතෝපදේශ 22:1 කියවන්න.