Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

ඔයා ජීවිතය වටිනා දෙයක් විදිහට සලකනවාද?

ඔයා ජීවිතය වටිනා දෙයක් විදිහට සලකනවාද?

“ජීවිතයේ උල්පත ඔබය.”—ගීතාවලිය 36:9.

1, 2. (අ) දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ග මොකක්ද? (ආ) ජීවිතය සතුටින් ගෙවන්න දෙවියන් අපිට දීලා තියෙන්නේ මොනවාද?

 අපේ ජීවිතය යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. (උත්පත්ති 1:27) අපි සතුටින් ජීවත් වෙනවාටයි ඔහු කැමති. ඒ නිසයි හරි තීරණ ගන්න උදව්වක් විදිහට ඔහු අපිට ප්‍රතිපත්ති දීලා තියෙන්නේ. ඒවා උදව් කරගෙන “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න” අපි උත්සාහ කරන්න ඕනේ. (හෙබ්‍රෙව් 5:14) එහෙම කරද්දී නිවැරදිව හිතන්න අපිට උදව් කරන්න අපි දෙවියන්ට ඉඩ දෙනවා. ප්‍රතිපත්ති අදාළ කරගෙන ජීවිතය සාර්ථක කරගද්දී ඒවා කොච්චර වටිනවාද කියලා අපිට තේරෙයි.

2 හැම කාරණයක් ගැනම යෙහෝවා දෙවියන් නීති දීලා නැති නිසා සමහර අවස්ථාවලදී අපි කරන්න ඕනෙ මොකක්ද කියලා තේරුම්ගන්න ලේසි නැහැ. උදාහරණෙකට හිතන්න රුධිරය යොදාගෙන කරන ප්‍රතිකාරයක් ගන්න වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා කියලා. එතකොට මොකද කරන්නේ? ජීවිතය සහ රුධිරය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. අපි ඒවා තේරුම්ගත්තොත් දෙවියන් සතුටු වෙන තීරණ ගන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් පුළුවන්. (හිතෝපදේශ 2:6-11) ඒ ප්‍රතිපත්ති කීපයක් ගැන දැන් බලමු.

දෙවියන් ජීවිතය සහ රුධිරය සලකන්නේ කොහොමද?

3, 4. (අ) දෙවියන්ට රුධිරය ගැන හැඟෙන විදිහ අපිට තේරුම්ගන්න පුළුවන් කොහොමද? (ආ) රුධිරයෙන් නියෝජනය වෙන්නේ මොකක්ද?

3 යෙහෝවා දෙවියන් රුධිරය සලකන්නේ හුඟක් වටිනා, පරිශුද්ධ දෙයක් විදිහට. මොකද රුධිරයෙන් නියෝජනය වෙන්නේ ජීවිතය. කායින් ආබෙල්ව මැරුවාම දෙවියන් කායින්ට කිව්වා “ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසනවා” කියලා. (උත්පත්ති 4:10) ඔහු ඒකෙන් අදහස් කළේ ආබෙල් ඔහුට හඬගසනවා වගේ දෙයක්. ආබෙල්ගේ ලේවලින් එයාගේ ජීවිතය නියෝජනය වුණා කියලා ඒකෙන් පැහැදිලියි.

4 නෝවාගේ කාලේ ඇති වුණු ජලගැල්මෙන් පස්සේ දෙවියන් මිනිසුන්ට මස් කන්න අවසර දුන්නා. හැබැයි ඔහු පැහැදිලිවම කිව්වා “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියලා. (උත්පත්ති 9:4) ඒකෙනුත් පැහැදිලි වෙනවා ලේවලින් ජීවිතය නියෝජනය වෙනවා කියලා. එදා දෙවියන් කියපු දේ අපිටත් අදාළයි. ඒ නිසා අපි රුධිරය සලකන්න ඕනෙ ජීවිතය වගේම වටිනා දෙයක් විදිහට.—ගීතාවලිය 36:9.

5, 6. දෙවියන් ජීවිතය සහ රුධිරය සලකන විදිහ ගැන මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?

5 දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ මෙහෙම තියෙනවා. “මොනම ආකාරයකින් හෝ ලේ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි. මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.”—ලෙවී කතාව 17:10, 11.

6 කෑමට ගන්න සතෙක්ව මැරුවොත් උගේ ලේ බිමට වත් කරන්න කියලත් නීතියේ සඳහන් වුණා. ඒකෙනුත් පෙන්නුවේ ඒ සතාගේ ජීවිතය නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට අයිති දෙයක් කියන එකයි. (ද්විතීය කතාව 12:16; එසකියෙල් 18:4) හැබැයි දෙවියන් අදහස් කළේ නැහැ ඊශ්‍රායෙල්වරුන් සතාගේ හැම ලේ බිංදුවක්ම බිමට වත් කරන්න ඕනෙ කියලා. ඔහු අදහස් කළේ සතාගේ ලේ අයින් කරන්න උපරිමයෙන් වෑයම් කරන්න ඕනෙ කියලයි. එහෙම කරද්දී සතාගේ ලේ වටිනා දෙයක් විදිහට සලකනවා කියලත් ජීවිතය දුන්න යෙහෝවා දෙවියන්ට ගරු කරනවා කියලත් පෙන්වන්න එයාලට අවස්ථාව ලැබුණා. ඒ නිසා නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න එයාලට පුළුවන් වුණා. පව්වලට සමාව ලබාගන්න, සතුන්ව පූජා කරන්න කියලත් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා.—19වෙනි සහ 20වෙනි අමතර සටහන් බලන්න.

7. දාවිත් රුධිරය වටිනා දෙයක් විදිහට සලකනවා කියලා පෙන්නුවේ කොහොමද?

7 පිලිස්තිවරුන් එක්ක යුද්ධ කරපු කාලෙදී දාවිත්ගේ සේවකයන් තමන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව සතුරන්ගේ ප්‍රදේශයකට ගිහින් වතුර අරන් ආවා. එයාලා එහෙම කළේ දාවිත් ලොකු තිබහකින් හිටිය නිසයි. හැබැයි දාවිත් ඒ ගැන මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, මම කොහොමද මේ වතුර බොන්නේ? මේ මිනිස්සු ජීවිත පරදුවේ තියලයි වතුර ගෙනාවේ. මම මේ වතුර බිව්වොත් ඒක හරියට ඔවුන්ගේ ලේ බොනවා වගෙයි.’ එයා එහෙම කිව්වේ ජීවිතය සහ රුධිරය ගැන දෙවියන් සලකන විදිහ තේරුම් අරන් හිටිය නිසයි.—2 සාමුවෙල් 23:15-17.

8, 9. ක්‍රිස්තියානීන් රුධිරය සලකන්න ඕනෙ කොහොමද?

8 මුල් ක්‍රිස්තියානීන්ගේ කාලය වෙද්දී සත්ව පූජා ඔප්පු කරන සැලැස්ම අවලංගු වෙලා තිබුණත් ලේ ගැන දෙවියන්ට හැඟෙන විදිහ වෙනස් වෙලා තිබුණේ නැහැ. එයාලට දීපු නීති අතරේ ‘ලේවලින් වළකින්න’ කියන නීතියත් ඔහු ඇතුළත් කළේ ඒ නිසයි. ඒ නීතිය පිළිපදින එක අනාචාරයෙන්, රූප වන්දනාවෙන් වැළකිලා ඉන්න එක තරම්ම වැදගත් වුණා.—ක්‍රියා 15:28, 29.

රුධිරයේ අනුකොටස් ගැන මං අරන් තියෙන තීරණය පැහැදිලි කරන්නේ කොහොමද?

9 ඒක අපිටත් අදාළයි. හැම ජීවියෙක්ටම ජීවිතය ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන් නිසා හැම ජීවිතයක්ම අයිති ඔහුටයි කියලා අපි දන්නවා. ඒ වගේම රුධිරය පරිශුද්ධයි කියලත් ඒකෙන් ජීවිතය නියෝජනය වෙනවා කියලත් අපි දන්නවා. ඒ නිසා රුධිරය යොදාගෙන කරන ප්‍රතිකාරයක් ගැන තීරණයක් ගන්න කලින් බයිබල් ප්‍රතිපත්ති ගැන හොයලා බලන්න ඕනේ.

රුධිරය යොදාගෙන කරන ප්‍රතිකාර

10, 11. (අ) රුධිරය හරි රුධිරයේ ප්‍රධාන කොටස් හතර හරි ශරීරගත කරන එක ගැන යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) අපි එක් එක් කෙනා තීරණය කරන්න ඕනෙ මොනවා ගැනද?

10 ‘ලේවලින් වළකින්න’ කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ලේ කන්නවත් බොන්නවත් එපා කියන එක විතරක් නෙවෙයි කියලා සාක්ෂිකරුවන් තේරුම් අරන් තියෙනවා. ලේ පරිත්‍යාග කරන එක සහ ලේ ශරීරගත කරන එක වැරදියි. ඒ නිසා අපි වෙන කෙනෙකුගේ ලේ හරි ගබඩා කරලා තිබුණු අපේම ලේ හරි ශරීරගත කරන්නේ නැහැ. රුධිරයේ ප්‍රධාන කොටස් වන රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා සහ ප්ලාස්මාව ශරීරගත කරන්නෙත් නැහැ.

11 සමහර වෛද්‍ය ප්‍රතිකාරවලට රුධිරයේ ප්‍රධාන කොටස්වලින් ගන්න අනුකොටස් යොදාගන්නවා. ඒ වගේම තමන්ගේ රුධිරය යොදාගෙන කරන ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. ශල්‍යකර්මයක්, වෛද්‍ය පරීක්ෂණයක් නැත්නම් අලුතින් හඳුන්වලා දීලා තියෙන ප්‍රතිකාර ක්‍රමයක් ගැන තීරණයක් ගන්න කලින් තමන්ගේ රුධිරය පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ කොයි විදිහටද කියලා ක්‍රිස්තියානීන් පෞද්ගලිකව හිතලා බලන්න ඕනේ.—21වෙනි අමතර සටහන බලන්න.

12. (අ) හෘදය සාක්ෂියට එකඟව අපි ගන්න ඕන තීරණ ගැනත් යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙන්නේ ඇයි? (ආ) වෛද්‍ය ප්‍රතිකාර ගැන හොඳට හිතලා තීරණ ගන්න අපිට පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවියන් අපේ සිතුවිලි සහ චේතනා ගැනත් හුඟක් සැලකිලිමත් වෙනවා. (හිතෝපදේශ 17:3; 24:12 කියවන්න.) ඒ නිසා යම් වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න කලින් ඒකට මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරන එකත් ඒ ප්‍රතිකාර ක්‍රමය ගැන තොරතුරු හොයලා බලන එකත් හුඟක් වැදගත්. ඊටපස්සේ අපිට පුළුවන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු අපේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගන්න. අපි ගන්න ඕන තීරණය මොකක්ද කියලා අනිත් අයගෙන් අහන එක සුදුසු නැහැ. ඒ වගේම අනිත් අය අපි ගන්න තීරණවලට බලපෑම් කරන එකත් සුදුසු නැහැ. මොකද අපි එක් එක් කෙනා “තමාට පැවරී ඇති වගකීම” ඉටු කරන්න ඕනේ.—ගලාති 6:5; රෝම 14:12.

යෙහෝවා දෙවියන් නීති දීලා තියෙන්නේ අපිට ආදරේ නිසයි

13. රුධිරය ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන නීති සහ ප්‍රතිපත්තිවලින් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 යෙහෝවා දෙවියන් දෙයක් කියන්නේ අපේම හොඳට. (ගීතාවලිය 19:7-11) හැබැයි අපි ඔහුට කීකරු වෙන්නේ ඒකෙන් ප්‍රයෝජන ලැබෙන නිසා විතරක් නෙවෙයි ඔහුට ආදරේ නිසයි. අපි ලේ ශරීරගත කරන්නේ නැත්තෙත් ඒ නිසයි. (ක්‍රියා 15:20) ලේ ශරීරගත කරන එකේ තියෙන හානි ගැන දැන් හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා. ලේ ශරීරගත නොකර සැත්කමක් කරද්දී රෝගියා ඉක්මනින් සුව වෙනවා කියලා වෛද්‍යවරුනුත් පිළිගන්නවා. දෙවියන් අපිට දෙයක් කියන්නේ අපේම යහපතට කියලත් අපිට ආදරේ නිසා කියලත් ඒකෙන් පැහැදිලියි නේද?—යෙසායා 55:9 කියවන්න; යොහන් 14:21, 23.

14, 15. (අ) යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟගේ ආරක්ෂාව වෙනුවෙන් දීපු සමහර නීති මොනවාද? (ආ) ඒ නීති පදනම් වෙලා තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

14 අතීතයේදීත් යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට යම් නීති දීලා තිබුණේ එයාලගේම යහපතටයි. උදාහරණෙකට ගෙයක් ගොඩනඟද්දී ඒකේ සඳලුතලය වටේට පොඩි තාප්පයක් බඳින්න කියලා නීතියක් තිබුණා. (ද්විතීය කතාව 22:8) තවත් නීතියක සඳහන් වුණා කෙනෙක් ගාව අනින හරකෙක් ඉන්නවා නම් අනිත් අයට අනතුරක් වෙන්නේ නැති විදිහට ඌව බලාගන්න ඕනෙ කියලා. (නික්මයාම 21:28, 29) කෙනෙක් ඒ නීතිවලට කීකරු වුණේ නැති නිසා කාගේ හරි ජීවිතය නැති වුණොත් ඒ මරණයට වග කියන්න ඒ කෙනාට සිද්ධ වුණා.

15 කෙනෙක්ගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කොයි තරම් වටිනවාද කියලා ඒකෙන් පැහැදිලියි. එහෙනම් අපි කරන්න ඕනෙ මොනවාද? අපි අපේ ගෙය ගැන, වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනය එළවන විදිහ ගැනත් විනෝදයට තෝරාගන්න දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොන දේ කළත් තමන්ට හානියක් වෙන්නේ නැහැ කියලා හිතන නිසා සමහරු විශේෂයෙන්ම යෞවනයන්, ජීවිතේ අනතුරේ වැටෙන දේවලුත් කරනවා. හැබැයි යෙහෝවා දෙවියන් ඒකට කැමති නැහැ. අපි අපේ ජීවිතයත් අනිත් අයගේ ජීවිතත් වටිනා දෙයක් විදිහට සලකනවාටයි ඔහු කැමති.—දේශනාකාරයා 11:9, 10.

16. ගබ්සා කරන එක ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

16 නූපන් දරුවෙකුගේ ජීවිතය වුණත් යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ සඳහන් දේකින් ඒක පැහැදිලියි. කෙනෙක් අතින් වුණු අත්වැරදීමක් නිසා ගැබිනි මවක් හරි ඉපදෙන්න හිටිය දරුවෙක් හරි මැරුණොත් වරද කරපු කෙනාව දෙවියන් සැලකුවේ මිනී මරුවෙක් විදිහට කියලයි ඒකේ සඳහන් වුණේ. ඒ කියන්නේ ඒ ජීවිතය නැති වුණේ අත්වැරදීමකින් වුණත් ඒ වෙනුවෙන් වග කියන්න එයාට සිද්ධ වුණා. (නික්මයාම 21:22, 23 කියවන්න.) එහෙනම් හැම අවුරුද්දකම බිලිඳුන් මිලියන ගාණක්ව ගබ්සා කරන එක ඒ කියන්නේ මරලා දාන එක ගැන දෙවියන්ට කොහොම හැඟෙනවා ඇද්ද?

17. දෙවියන් ගැන දැනගන්න කලින් කාන්තාවක් දරුවෙක්ව ගබ්සා කරලා තිබුණා නම් එයාට සහනයක් වෙන්නේ මොකක්ද?

17 හිතන්න කෙනෙක් යෙහෝවා දෙවියන් ගැන දැනගන්න කලින් ගබ්සාවක් කළා කියලා. එයා පසුතැවෙනවා නම් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන එයාට සමාව දෙන්න දෙවියන්ට පුළුවන්. (ලූක් 5:32; එෆීස 1:7) ඒ නිසා අවංකව පසුතැවුණාට පස්සෙත් ඒ ගැන තැවිතැවී ඉන්න ඕනෙ නැහැ. බයිබලයේ දෙවියන් ගැන මෙහෙම කියනවා. ‘දෙවි දයාන්විතය. කරුණාවන්තය. බස්නාහිර නැඟෙනහිරෙන් ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.’—ගීතාවලිය 103:8-14.

වෛර කරන්න එපා

18. අනිත් අයට වෛර කරන්නේ නැතුව ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනෙ ඇයි?

18 ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් නිසා ඒ ගැන අපිට ලොකු අගයක් තියෙන්න ඕනේ. අනිත් අයගේ ජීවිත ගැනත් ලොකු අගයක් තියෙන්න ඕනේ. බයිබලයේ කියනවා “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙක්” කියලා. (1 යොහන් 3:15) කෙනෙක් ගැන අපේ හිතේ අකමැත්තක් තියෙනවා නම් නොදැනුවත්වම ඒක වෛරයකට පෙරළෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා ගැන බොරු චෝදනා නඟන්නත් ඒ කෙනාට අගෞරව කරන්නත් අපි පෙලඹෙයි. එයා මැරිලා ගියා නම් හොඳයි කියලත් අපිට හිතෙයි. අනිත් අය ගැන අපි හිතන විදිහ යෙහෝවා දෙවියන් දකිනවා. (ලෙවී කතාව 19:16; ද්විතීය කතාව 19:18-21; මතෙව් 5:22) ඒ නිසා කෙනෙක් ගැන අපේ හිතේ යන්තමින් හරි වෛරයක් තියෙනවා කියලා දැනුණොත් ඒක නැති කරගන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ.—යාකොබ් 1:14, 15; 4:1-3.

19. ජීවිතය අගය කරනවා කියලා පෙන්වන්න අපිට කරන්න පුළුවන් තවත් දෙයක් මොකක්ද?

19 යෙහෝවා දෙවියන් ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කරනවා.’ (ගීතාවලිය 11:5) සැහැසියාව ඇතුළත් දේවල් අපි විනෝදයට තෝරාගත්තොත් ඒකෙන් පේන්නේ අපේ හිතේ සැහැසික දේවලට කැමැත්තක් තියෙනවා කියන එකයි. ගහමරාගන්න දර්ශන ඇතුළත් දේවල්, දරුණු අදහස් තියෙන සංගීතය සහ පොත් පත් වගේ දේවල් විනෝදයට තෝරාගන්න එක සුදුසුයි කියලා ඔයා හිතනවාද? අපි උත්සාහ කරන්න ඕනෙ පිරිසිදු, සාමකාමී සිතුවිලිවලින් අපේ මනස පුරවාගන්නයි.—ෆිලිප්පි 4:8, 9 කියවන්න.

මිනිස් ජීවිත ගැන කිසිම තැකීමක් නැති සංවිධානවලට සම්බන්ධ වෙන්න එපා

20-22. (අ) සාතන්ගේ පාලනය යටතේ තියෙන ලෝකය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) අපි මේ ලෝකයට අයිති නැහැ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

20 සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකය, මැරුණු අහිංසක මිනිස් ජීවිත ගැන දෙවියන්ට වග කියන්න ඕනේ. අවුරුදු සිය ගාණක් තිස්සේ දේශපාලන බලයන් නිසා යෙහෝවා දෙවියන්ගේ සේවකයන් ඇතුළු මිනිසුන් මිලියන ගාණකගේ ජීවිත නැති වෙලා තියෙනවා. බයිබලයේ ඒ දේශපාලන බලයන් සමාන කරලා තියෙන්නේ දරුණු සතුන්ට. (දානියෙල් 8:3, 4, 20-22; එළිදරව් 13:1, 2, 7, 8) මේ වෙද්දී අවිආයුධ විකුණන එක මහා පරිමාණයෙන් ලාභ උපයන ව්‍යාපාරයක් වෙලා තියෙනවා. “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ [යක්ෂයාගේ] බලපෑමට යටත්ව” තියෙනවා කියලා ඒ හැම දේකින්ම පැහැදිලියි.—1 යොහන් 5:19.

21 හැබැයි සැබෑ ක්‍රිස්තියානීන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ.’ එයාලා දේශපාලන කාරණාවලදීවත් යුද්ධවලදීවත් පැති ගන්නේ නැහැ. මිනිසුන්ව මරන්න අනුබල දෙන සංවිධානවලට කිසිම විදිහකින්වත් සහාය දෙන්නෙත් නැහැ. (යොහන් 15:19; 17:16) මිනිසුන් එයාලට පීඩා කරද්දී එයාලා එකට එක කරන්නෙත් නැහැ. මොකද යේසුස් කිව්වේ අපි සතුරන්ටත් ආදරෙන් සලකන්න ඕනෙ කියලයි.—මතෙව් 5:44; රෝම 12:17-21.

22 මිය ගිය මිලියන ගාණකගේ ජීවිතවලට ආගම්වලටත් වග කියන්න වෙනවා. මහ බැබිලෝනිය විදිහට හඳුන්වන අසත්‍යය උගන්වන ආගම් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අනාගතවක්තෘවරුන්ගේද ශුද්ධ තැනැත්තන්ගේද පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද ලේවලට ඔබ වග කිව යුතුයි.” දැන් ඔයාට තේරුණාද “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න” කියලා දෙවියන් අපිට කියන්නේ ඇයි කියලා? අසත්‍යය උගන්වන ආගම්වලට යෙහෝවා දෙවියන්ගේ සෙනඟ කිසිම විදිහකින්වත් සම්බන්ධ වෙන්නේ නැහැ.—එළිදරව් 17:6; 18:2, 4, 24.

23. මහ බැබිලෝනියෙන් “පිටතට එන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

23 මහ බැබිලෝනියෙන් “පිටතට එන්න” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ අසත්‍යය උගන්වන ආගම්වලට කිසිම විදිහකින්වත් සම්බන්ධ වෙන්න එපා කියන එකයි. උදාහරණෙකට අපි කලින් ඒ වගේ ආගමකට සම්බන්ධ වෙලා හිටියා නම් අපි ඒ ආගමේ සාමාජිකත්වයෙන් අයින් වෙන්න ඕනේ. අනාචාරය, දේශපාලනය සහ ගිජුකම වගේ දේවලට ඒ ආගම් ඉඩ හැරලා තියෙනවා විතරක් නෙවෙයි අනුබලත් දෙනවා. ඒ නිසා මිලියන ගාණකගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ වගේ වැරදි දේවල් අපි පිළිකුල් කරන්න ඕනේ. ඒවා ප්‍රතික්ෂේප කරන්නත් ඕනේ.—ගීතාවලිය 97:10 කියවන්න; එළිදරව් 18:7, 9, 11-17.

24, 25. දෙවියන් ගැන දැනගන්න ලැබෙන එක සාමකාමී මනසක් ඇතුව ඉන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් උදව් වෙන්නේ කොහොමද?

24 යෙහෝවා දෙවියන් ගැන දැනගන්න කලින් අපි සාතන්ගේ ලෝකයේ වැරදි දේවලට යම් විදිහකින් හරි සහයෝගය දීලා ඇති. හැබැයි දැන් අපි වෙනස්. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම අපි තේරුම් අරන් තියෙනවා. අපේ ජීවිත දෙවියන්ට කැප කරලා තියෙනවා. ඒ දේවල් නිසා අපි “දෙවිගෙන් මහත් සහනයක්” අද්දකිනවා. අපි දැන් ජීවත් වෙන විදිහ ගැන දෙවියන් සතුටු වෙනවා කියලා දන්න නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් අපිට පුළුවන්.—ක්‍රියා 3:19; යෙසායා 1:18.

25 ජීවිත ගැන කිසි තැකීමක් නොකරන සංවිධානවලට අපි කලින් සම්බන්ධ වෙලා හිටියත් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපිට දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන්. දැන් අපි ජීවිතය සලකන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක් විදිහට. යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන, මේ දුෂ්ට ලෝකයෙන් ඉවත් වෙලා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන්නයි අපි දැන් වෑයම් කරන්නේ.—2 කොරින්ති 6:1, 2.

දේවරාජ්‍යය ගැන අනිත් අයට කියන්න

26-28. (අ) යෙහෝවා දෙවියන් එසකියෙල්ට භාර දීපු විශේෂ පැවරුම මොකක්ද? (ආ) දෙවියන් අපිට භාර දීලා තියෙන්නේ මොන පැවරුමද?

26 යෙරුසලමට එන්න යන විනාශය ගැනත් ඒකෙන් ගැලවෙන්න කරන්න ඕන දේ ගැනත් මිනිසුන්ට දැනුම් දෙන්න කියලා යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ එසකියෙල්ට කිව්වා. ඒ පැවරුම ඉටු කළේ නැත්නම් ඒ මිනිසුන්ගේ ජීවිත ගැන දෙවියන්ට වග කියන්න එයාට සිද්ධ වුණා. (එසකියෙල් 33:7-9) මිනිසුන්ගේ ජීවිත බේරෙනවා දකින්න කැමති වුණු නිසා ඒ පැවරුම උපරිමයෙන් ඉටු කරන්න එසකියෙලුත් වෑයම් කළා.

27 ළඟදීම මේ ලෝකයට එන විනාශය ගැනත් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ජීවිත බේරාගන්න පුළුවන් විදිහ ගැනත් මිනිසුන්ට කියන වගකීම දෙවියන් අපිට දීලා තියෙනවා. (යෙසායා 61:2; මතෙව් 24:14) ඒක උපරිමයෙන් කළොත් පාවුල් කියපු මේ දේ කියන්න අපිටත් පුළුවන් වෙයි. ‘මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්. දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.’—ක්‍රියා 20:26, 27.

28 අපේ නමස්කාරය දෙවියන් පිළිගන්න නම් අපි පිරිසිදු ජීවිතයක් ගත කරන්නත් ඕනේ. ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.