Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

1, 2. ඔයා යෙහෝවා දෙවියන්ට ආදරේ ඇයි?

 සමහරවිට ඔයාගේ හිතේ දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති. ඒ ආදරේ නිසා ඔයාගේ ජීවිතය ඔහුට කැප කරලත් ඇති. ‘දෙවියන් තමයි මගේ හොඳම යාළුවා’ කියලත් ඔයාට හිතෙනවා ඇති. ඒත් ඔයාගේ හිතේ දෙවියන් ගැන ආදරයක් ඇති වෙන්න කලින් ඉඳලාම යෙහෝවා දෙවියන් ඔයාට ආදරේ කළා.—1 යොහන් 4:19.

2 ටිකකට හිතන්න යෙහෝවා දෙවියන් ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා. සතුටින් ජීවත් වෙන්න ලස්සන පොළොවක් දීලා තියෙනවා. (මතෙව් 5:43-48; එළිදරව් 4:11) දෙවියන්ව ඔයාගේ හොඳම යාළුවා කරගන්නවාට ඔහු කැමති නිසා බයිබලය කියවලා ඔහු ගැන දැනගන්නත් යාච්ඤාවෙන් ඔහු එක්ක කතා කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. (ගීතාවලිය 65:2) ඔහු තමන්ගේ බලය මාර්ගයෙන් අපිට මඟ පෙන්වනවා. අපිව ශක්තිමත් කරනවා. (ලූක් 11:13) ඒ විතරක් නෙවෙයි පාපයෙනුත් මරණයෙනුත් අපිව ගලවගන්න තමන් වැඩියෙන්ම ආදරේ කරපු පුතාවත් අපි වෙනුවෙන් දුන්නා.—යොහන් 3:16; රෝම 5:8 කියවන්න.

3. යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න පුළුවන් කොහොමද?

3 දුකේදීත් සැපේදීත් ඔයාත් එක්කම ඉන්න හොඳ යාළුවෙක් ගැන හිතන්න. ඒ වගේ යාළුකමක් දිගටම තියාගන්න ලොකු වෑයමක් දරන්න ඕනේ. යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමටත් ඒක අදාළයි. ඔහු තමයි අපිට ඉන්න පුළුවන් හොඳම යාළුවා. ඒ යාළුකම හැමදාටම තියාගන්න පුළුවන් එකක්. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (යූද් 21) ඒත් ඒක කරන්නේ කොහොමද? මේ බයිබල් පදයෙන් උත්තරේ දැනගන්න පුළුවන්. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ”

4, 5. ඔයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් මුලින්ම ඇති වුණේ ඇයි?

4 දෙවියන්ට ආදරේ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක තේරුම්ගන්න ඔයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් මුලින්ම ඇති වුණේ ඇයි කියලා ටිකකට මතක් කරගන්න.

යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙද්දී ඔයා ඔහුට ආදරෙයි කියලත් ඔහුට සේවය කරන්න කැමතියි කියලත් පෙන්වනවා

5 යෙහෝවා දෙවියන් පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න ඔයාට අවස්ථාව දීලා තියෙනවා කියලා දැනගත්ත වෙලේ ඔයා කොච්චර සතුටු වෙන්න ඇද්ද! ඒ වෙනුවෙන් දෙවියන් තමන්ගේ එකම පුතාව දුන්නා කියලා දැනගත්තාම ඔයා ඔහුට කොයි තරම් ස්තුති කරන්න ඇද්ද! (මතෙව් 20:28; යොහන් 8:29; රෝම 5:12, 18) ඔයා වෙනුවෙන් දෙවියන් කරපු දේවල් ගැන හිතද්දී ඔහු ඔයාට මොන තරම් ආදරේද කියලා ඔයා තේරුම්ගත්තා. ඒ නිසා නේද ඔයාගේ හිතෙත් දෙවියන් ගැන ආදරයක් ඇති වුණේ?—1 යොහන් 4:9, 10 කියවන්න.

6. කෙනෙක්ට ආදරේ කරනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දෙවියන් ගැන ඇති වුණු ආදරේ නිසා ඔයා කළේ මොනවාද?

6 ආදරය වචනවලටවත් හැඟීම්වලටවත් සීමා වෙන්නේ නැහැ. අපි කෙනෙක්ට ආදරේ කරද්දී ඒ කෙනාව සතුටු කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේ ඔයාගේ හිතේ දෙවියන් ගැන ආදරයක් ඇති වුණාම ඔහුව සතුටු කරන්න ඔයාට ලොකු ආසාවක් ඇති වෙන්න ඇති. ආදරේ වැඩි වෙද්දී දෙවියන්ට ඔයාගේ ජීවිතය කැප කරලා බව්තීස්ම වෙන්නත් ඔයා තීරණය කරන්න ඇති. එහෙනම් දැනටමත් ඔයා ජීවිත කාලය පුරාම දෙවියන්ට සේවය කරනවා කියලා පොරොන්දු වෙලයි ඉන්නේ. (රෝම 14:7, 8 කියවන්න.) ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්න පුළුවන් කොහොමද?

“ඔහුගේ ආඥා පිළිපැදීමය”

7. යෙහෝවා දෙවියන්ට ආදරෙයි නම් අපි කරන්නේ මොනවාද? දෙවියන් දීලා තියෙන ආඥා සමහරක් මොනවාද?

7 දෙවියන්ට දීපු පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න නම් අපි ‘ඔහුගේ ආඥා පිළිපදින්න’ ඕනේ. බේබදුකම, සොරකම, බොරු කියන එක, විවාහ සහකරු නැත්නම් සහකාරිය නොවන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන එක, යෙහෝවා දෙවියන්ට හැර වෙන කෙනෙක්ට හරි වෙන දේකට හරි නමස්කාර කරන එක වගේ දේවල් වැරදියි කියලා දෙවියන් කියලා තියෙනවා. (1 කොරින්ති 5:11; 6:18; 10:14; එෆීස 4:28; කොලොස්සි 3:9) ඒ ඔහු දීලා තියෙන ආඥා කීපයක් විතරයි. දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙද්දී අපි පෙන්වන්නේ අපි ඇත්තටම ඔහුට ආදරෙයි කියලයි.

8, 9. දෙවියන් නීතියක් දීලා නැති කාරණාවලදී කරන්න ඕනෙ මොනවාද? උදාහරණයක් දෙන්න.

8 හැම පුංචි කාරණයක් ගැනම යෙහෝවා දෙවියන් නීති දීලා නැහැ. හැබැයි ඕනම දෙයක් ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන තොරතුරු නැත්නම් ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. (එෆීස 5:17) ඒවා අපිට උදව් වෙනවා ඕනම කාරණයක් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද, ඔහු කැමති මොනවාටද, අකමැති මොනවාටද කියලා තේරුම්ගන්න. බයිබලය අධ්‍යයනය කරලා ඒ කාරණා හිතට ගත්තාම යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට තීරණ ගන්න අපිට පුළුවන්.—ගීතාවලිය 97:10 කියවන්න; හිතෝපදේශ 6:16-19; 1වෙනි අමතර සටහන බලන්න.

9 හිතන්න අපි විනෝදයට ටීවී එකේ හරි ඉන්ටනෙට් එකේ හරි වැඩසටහනක් බලන්න හදනවා කියලා. අපි බලන්න ඕනෙ මොනවාද, බලන්න හොඳ නැත්තේ මොනවාද කියලා යෙහෝවා දෙවියන් නීති දීලා නැහැ. හැබැයි දෙවියන් සැහැසියාවට කැමති අයට ද්වේෂ කරනවා කියලත් අනාචාර ජීවිතයක් ගත කරන අයට ඔහුගෙන් විනිශ්චයක් ලැබෙනවා කියලත් බයිබලයේ කියනවා. (ගීතාවලිය 11:5; හෙබ්‍රෙව් 13:4) අද විනෝදයට බලන්න තියෙන හුඟක් වැඩසටහන්වල ප්‍රචණ්ඩත්වය, අනාචාරය පිරිලා. ඒ දේවලට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා දැනගත්තාම ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ නේද?

10, 11. අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්නේ ඇයි?

10 අපි දෙවියන්ට කීකරු වෙන්නේ ඔහුට තියෙන ආදරේ නිසා මිසක් දඬුවම් ලබන්න තියෙන බය නිසාවත් නරක ප්‍රතිඵල අද්දකින්න වෙන නිසාවත් නෙවෙයි. (ගලාති 6:7) හරියට දරුවෙක් තාත්තාව සතුටු කරන්න කැමතියි වගේ අපිටත් ඕනෙ අපේ තාත්තා වන යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. ඔහුගේ හිත සතුටු කරද්දී අපි අද්දකින සතුට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.—ගීතාවලිය 5:12; හිතෝපදේශ 12:2; 2වෙනි අමතර සටහන බලන්න.

11 අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්නේ ලේසි අවස්ථාවලදී, නැත්නම් වෙන කරන්න දෙයක් නැති අවස්ථාවලදී විතරක් නෙවෙයි. අපි හැම වෙලාවෙම ඔහු දීලා තියෙන හැම නීතියකටම කීකරු වෙනවා. (ද්විතීය කතාව 12:32) එහෙම කරන්නේ ඒ නීතිවලට අපි මුළු හිතින්ම ‘ඇලුම් කරන’ නිසයි. (ගීතාවලිය 119:47; රෝම 6:17) මුළු හිතින්ම දෙවියන්ට ආදරය කරපු නෝවා අපිට හොඳ ආදර්ශයක්. තමන් අණ කරපු හැම දෙයක්ම ‘නෝවා ඒ විදිහටම ඉටු කළා’ කියලා යෙහෝවා දෙවියන් කිව්වා. (උත්පත්ති 6:22) දෙවියන් ඔයා ගැනත් ඒ දේම කියනවාට ඔයා කැමති නැද්ද?

12. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද?

12 අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙද්දී ඔහු හුඟක් ‘සතුටු වෙනවා.’ (හිතෝපදේශ 11:20; 27:11) මුළු විශ්වයේම නිර්මාතෘව සතුටු කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද! හැබැයි ඔහුව සතුටු කරන්න කියලා ඔහු කවදාවත් අපිට බල කරන්නේ නැහැ. ඔහුට කීකරු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඔහු අපිට නිදහස දීලා තියෙනවා. මොකද දෙවියන් දන්නවා ඔහුට තියෙන ආදරේ නිසා අපි කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලා.—ද්විතීය කතාව 30:15, 16, 19, 20; 3වෙනි අමතර සටහන බලන්න.

“ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ”

13, 14. දෙවියන්ගේ ආඥා කීකරු වෙන්න බැරි තරම් අමාරු ඒවාද? උදාහරණයක් දෙන්න.

13 යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ කීකරු වෙන්න බැරි තරම් අමාරු ආඥාද? ඒවා අපේ නිදහසට බාධාවක්ද? බයිබලයේ කියන්නේ “ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ” කියලයි. (1 යොහන් 5:3) “බරක්” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය අසාධාරණ නීති විස්තර කරන්නත් අනිත් අයව පාලනය කරන්න හදන කුරිරු අයව විස්තර කරන්නත් බයිබලයේ යොදාගෙන තියෙනවා. (මතෙව් 23:4; ක්‍රියා 20:29, 30) එහෙනම් දෙවිගේ ආඥා බරක් නෙවෙයි කියලා බයිබලයේ සඳහන් දෙයින් පැහැදිලි වෙනවා දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින්න අමාරු, අසාධාරණ ඒවා නෙවෙයි කියලා.

14 මෙහෙම හිතන්න. පදිංචිය මාරු කරන යාළුවෙක්ට උදව් කරන්න ඔයා එයාගේ ගෙදරට යනවා. ඔයාට උස්සන්න බැරි දෙයක් වෙන තැනකට ගෙනියන්න කියලා යාළුවා ඔයාට කියයිද? නැහැ නේද? මොකද ඔයාට හානියක් වෙනවාට ඔයාගේ යාළුවා කැමති නැහැ. යෙහෝවා දෙවියනුත් කැමති නැහැ අපිට හානියක් වෙනවාට. ‘අපිව හැදුවේ දූවිල්ලෙන්’ කියලා දන්න නිසා අපිට කරන්න පුළුවන් මොනවාද, කරන්න බැරි මොනවාද කියලා ඔහු හොඳින්ම දන්නවා. (ගීතාවලිය 103:14) ඒ නිසා ඔහු කවදාවත් අපිට කරන්න බැරි දෙයක් කරන්න කියලා කියන්නේ නැහැ.—ද්විතීය කතාව 30:11-14.

15. යෙහෝවා දෙවියන් ආඥා දීලා තියෙන්නේ අපේම හොඳට කියලා අපි දන්නේ කොහොමද?

15 යෙහෝවා දෙවියන්ගේ ආඥාවලට කීකරු වුණොත් ‘බොහෝ ආශීර්වාද ලැබෙනවා’ කියලත් “ජීවිතය රැකගන්න පුළුවන්” කියලත් මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වා. (ද්විතීය කතාව 5:28-33; 6:24) ඒ උපදෙස අපිටත් අදාළයි. මොකද දෙවියන් හැම ආඥාවක්ම දීලා තියෙන්නේ අපේම හොඳට. (යෙසායා 48:17 කියවන්න.) යෙහෝවා දෙවියන් අපි හැමෝගෙම තාත්තා නිසා අපිට හොඳම දේ මොකක්ද කියලා ඔහු දන්නවා. (රෝම 11:33) ඒ වගේම “දෙවි ප්‍රේමයයි” කියලා බයිබලයේ සඳහන් දෙයින් පැහැදිලි වෙනවා ඔහු ඕනම දෙයක් කියන්නේ, කරන්නේ අපිට තියෙන ආදරේ නිසයි කියලා.—1 යොහන් 4:8.

16. දුෂ්ට ලෝකයක ජීවත් වුණත් පාපය උරුම වෙලා තිබුණත් දෙවියන්ට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

16 සමහර වෙලාවට යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක අපිට ලේසි නැහැ. ඒ ඇයි? මුළු ලෝකයම තියෙන්නේ යක්ෂයාගේ බලපෑම යටතේ. යක්ෂයා කොයි වෙලෙත් හදන්නේ වැරදි දේ කරන්න අපිව පොලඹවන්න. (1 යොහන් 5:19) පව්කාර සිතුවිලි, ආශාවන් එක්කත් අපිට ලොකු සටනක් තියෙනවා. පරෙස්සම් වුණේ නැත්නම් දෙවියන්ට අකීකරු වෙන්න අපි පෙලඹෙන්න පුළුවන්. (රෝම 7:21-25) හැබැයි අපි මුළු හිතින්ම යෙහෝවා දෙවියන්ට ආදරෙයි නම් හරි දේ කරන්න ඒක උදව් වෙනවා. දිගටම හරි දේ කරන්න වෑයම් කරද්දී දෙවියන් තමන්ගේ බලය දීලා අපිව ශක්තිමත් කරනවා. (1 සාමුවෙල් 15:22, 23; ක්‍රියා 5:32) දෙවියන්ගේ බලය ලැබෙද්දී ඔහු ප්‍රිය කරන ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් වෙන නිසා ඔහුට කීකරු වෙන්න අපිට තවත් ලේසියි.—ගලාති 5:22, 23.

17, 18. (අ) මේ පොතෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් අපි බලන්නේ මොනවා ගැනද?

17 යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙලා ඔහුව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා මේ පොතෙන් දැනගන්න පුළුවන්. දෙවියන්ට කීකරු වෙන්න කියලා ඔහු අපිට බල කරන්නේ නැහැ තමයි. හැබැයි දෙවියන්ට කීකරු වුණොත් දැන් සතුටින් ජීවත් වෙන්නත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියාගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ හැම දේටම වඩා වටින්නේ අපි ඇත්තටම දෙවියන්ට ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් වෙන එකයි.—4වෙනි අමතර සටහන බලන්න.

18 හරි වැරැද්ද අතර වෙනස තේරුම්ගන්න උදව්වක් විදිහට යෙහෝවා දෙවියන් අපිට හෘදය සාක්ෂියක් දීලා තියෙනවා. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළොත් ‘දෙවියන්ගේ ආඥා පිළිපදින්න’ අපිට ලේසි වෙනවා. හෘදය සාක්ෂිය කියන්නේ මොකක්ද? ඒක පුහුණු කරන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.