Skip to content

පටුනට යන්න

8වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවියන් තම සෙනඟගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වෙනවා

යෙහෝවා දෙවියන් තම සෙනඟගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වෙනවා

“පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.”—ගීතාවලිය 18:26.

1-3. (අ) අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්නේ ඇයි? (ආ) තමන්ගේ සෙනඟ පවිත්‍රව ඉඳියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?

 අම්මා කෙනෙක් දරුවාව නාවලා පිරිසිදු ඇඳුම් අන්දවලා පාසැලට පිටත් කරනවා. ඒකෙන් දරුවාට නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න පුළුවන් වෙනවා. දෙමාපියන් ඒ දරුවා ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා.

2 අපි හැමෝගෙම තාත්තා වන යෙහෝවා දෙවියනුත් කැමතියි අපි පවිත්‍රව ඉන්නවා දකින්න. (ගීතාවලිය 18:26) මොකද ඔහු දන්නවා ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලා. අපි පිරිසිදුව ඉද්දී ඒකෙන් දෙවියන්වත් ගෞරවයට පත් වෙනවා.—එසකියෙල් 36:22; 1 පේතෘස් 2:12 කියවන්න.

3 පවිත්‍රව ඉන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි දැන් ඒ ගැන බලමු. අපේ ජීවිතේ කරන්න ඕනෙ වෙනස්කම් මොනවාද කියලා තේරුම්ගන්න ඒක අපිට උදව් වෙයි.

අපි පිරිසිදුව ඉන්න ඕනෙ ඇයි?

4, 5. (අ) අපි පිරිසිදුව ඉන්න ඕනෙ ඇයි? (ආ) පිරිසිදුකම ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න ඔහුගේ නිර්මාණ උදව් වෙන්නේ කොහොමද?

4 පවිත්‍රකම සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් කදිම ආදර්ශයක්. (ලෙවී කතාව 11:44, 45) අපි හැම කාරණාවකදීම පවිත්‍රව ඉන්න උත්සාහ කරන්නේ “දෙවිව අනුකරණය” කරන්න ඕනෙ නිසයි.—එෆීස 5:1.

5 යෙහෝවා දෙවියන් පිරිසිදුකම කොයි තරම් අගය කරනවාද කියලා ඔහු පොළොව නිර්මාණය කරලා තියෙන විදිහෙන් පැහැදිලි වෙනවා. වාතය සහ ජලය පිරිසිදු කරන්න ස්වාභාවික චක්‍ර පිහිටුවලා තියෙනවා. (යෙරෙමියා 10:12) ඒ වගේම මිනිසුන් පොළොව දූෂණය කළත් ඒක ආයෙත් යථා තත්වයට පත් වෙනවා. හිතන්න පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් ගැන. විෂ සහිත අපද්‍රව්‍යවල තියෙන විෂ නැති කරන්න වුණත් උන්ට පුළුවන්. පරිසර දූෂණයෙන් වෙලා තියෙන හානිය නැති කරන්න පවා විද්‍යාඥයන් සමහර ක්ෂුද්‍ර ජීවීන්ව යොදාගන්නවා.—රෝම 1:20.

6, 7. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය පිරිසිදුව ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය උදව් වෙන්නේ කොහොමද?

6 පිරිසිදුකම කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතිය උදව් වෙනවා. උදාහරණෙකට උත්තම පූජකයාට කියලා තිබුණා සමඟි වීමේ දවසේදී වැඩ පටන්ගන්න කලින් දෙවතාවක්ම නාන්න කියලා. (ලෙවී කතාව 16:4, 23, 24) පූජා ඔප්පු කරන්න කලින් අත් කකුල් සෝදාගන්න කියලා පූජකයන්ටත් කියලා තිබුණා. (නික්මයාම 30:17-21; 2 ලේකම් 4:6) පිරිසිදුකම සම්බන්ධයෙන් දීලා තිබුණු සමහර නීති කඩ කරන එක දෙවියන් සැලකුවේ මරණ දඬුවම ලැබිය යුතු වරදක් විදිහට.—ලෙවී කතාව 15:31; ගණන් කතාව 19:17-20.

7 දෙවියන් දීපු නීතියෙන් අපිටත් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (මලාකි 3:6) ශාරීරිකව පිරිසිදුව ඉන්න එක යෙහෝවා දෙවියන් තමන්ට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු වුණා. පිරිසිදුව, පවිත්‍රව ඉන්න එක දෙවියන් අපෙනුත් බලාපොරොත්තු වෙනවා.—යාකොබ් 1:27.

පවිත්‍රව ඉන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොනවාද?

8. අපි පවිත්‍රව ඉන්න ඕනෙ මොන පැතිවලින්ද?

8 යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරය, ඇඳුම්, නිවස පිරිසිදුව තියාගන්න එක විතරක් නෙවෙයි. අපේ නමස්කාරය, හැසිරීම, සිතුවිලි ඇතුළු ජීවිතේ හැම කාරණාවකදීම පවිත්‍රව ඉන්න එකත් ඔහු බලාපොරොත්තු වෙනවා.

9, 10. නමස්කාරය පවිත්‍රව තියාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

9 පවිත්‍ර නමස්කාරය. අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ හැම දේකින්ම අපි ඉවත් වෙන්න ඕනේ. ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ වහලුන් වෙලා ඉද්දී බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු මිනිසුන්ගෙන් වට වෙලයි හිටියේ. ඊශ්‍රායෙලයට ගිහින් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න අවස්ථාව දෙනවා කියලා දෙවියන් එයාලට පොරොන්දු වුණා. ඔහු මෙහෙමත් කිව්වා. ‘එම ස්ථානයේ [බැබිලෝනියේ] තවත් රැඳී නොසිටින්න. කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න. ඇගෙන් ඉවත් වී පවිත්‍රව සිටින්න.’ තමන්ගේ සෙනඟ බැබිලෝනිවරුන්ගේ ඉගැන්වීම්, පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනවාට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.—යෙසායා 52:11.

10 අදටත් සැබෑ ක්‍රිස්තියානීන් අසත්‍යය උගන්වන ආගම්වලට කිසිම විදිහකින්වත් හවුල් වෙන්නේ නැහැ. (1 කොරින්ති 10:21 කියවන්න.) අද තියෙන හුඟක් චාරිත්‍ර වාරිත්‍ර සහ විශ්වාසයන් පදනම් වෙලා තියෙන්නේ මිථ්‍යා ඉගැන්වීම් මත. උදාහරණෙකට කෙනෙක් මැරුණාට පස්සේ එයාගෙන් වෙන් වෙලා යන නොමැරී පවතින දෙයක් තියෙනවා කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒ විශ්වාසයට සම්බන්ධ හුඟක් චාරිත්‍ර තියෙනවා. (දේශනාකාරයා 9:5, 6, 10) සැබෑ ක්‍රිස්තියානීන් ඒවාට හවුල් වෙන්නේ නැහැ. සමහරවිට පවුලේ අය අපිට බල කරයි ඒ චාරිත්‍ර පිළිපදින්න කියලා. හැබැයි යෙහෝවා දෙවියන් ඉදිරියේ පවිත්‍ර ජීවිතයක් ගත කරන්න ඕන නිසා අපි ඒ කිසිම දේකට හවුල් වෙන්නේ නැහැ.—ක්‍රියා 5:29.

11. අපේ හැසිරීම පවිත්‍රව තියාගන්න පුළුවන් කොහොමද?

11 පවිත්‍ර හැසිරීම. යෙහෝවා දෙවියන් ඉදිරියේ අපේ හැසිරීම පවිත්‍රව තියාගන්න නම් අපි අනාචාරයට සම්බන්ධ හැම දේකින්ම වළකින්න ඕනේ. (එෆීස 5:5 කියවන්න.) “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලත් අනාචාර ජීවිතයක් ගත කරන අය වෙනස් වුණේ නැත්නම් එයාලට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ” කියලත් යෙහෝවා දෙවියන් පැහැදිලිවම කියලා තියෙනවා.—1 කොරින්ති 6:9, 10, 18; 22වෙනි අමතර සටහන බලන්න.

12, 13. අපේ සිතුවිලි අපි පවිත්‍රව තියාගන්න ඕනෙ ඇයි?

12 පවිත්‍ර සිතුවිලි. අපි හිතන දේවලට අනුව තමයි ක්‍රියා කරන්න පෙලඹෙන්නේ. (මතෙව් 5:28; 15:18, 19) පවිත්‍ර සිතුවිලිවලින් මනස පුරවාගත්තොත් පවිත්‍ර ජීවිතයක් ගෙවන්න අපි පෙලඹෙයි. පව්කාරකම උරුම වෙලා තියෙන නිසා විටින් විට වැරදි සිතුවිලි අපේ මනසට එන්න පුළුවන්. හැබැයි ඒ මොහොතෙම අපි ඒවා අයින් කරගන්න ඕනේ. නැත්නම් කාලයක් යද්දී ඒ දේවලට අනුව ක්‍රියා කරන්න අපි පෙලඹෙයි. ඒ නිසා අපේ මනස යහපත් සිතුවිලිවලින් පුරවාගන්න ඕනේ. (ෆිලිප්පි 4:8 කියවන්න.) කතාබහ කරන දේවල් ගැනත් විනෝදයට කියවන, බලන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රචණ්ඩත්වය, අනාචාරය ඇතුළත් දේවල් විනෝදයට තෝරාගන්න එක සුදුසු නැහැ.—ගීතාවලිය 19:8, 9.

13 දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගන්න නම් අපි අපේ නමස්කාරය, හැසිරීම සහ සිතුවිලි පවිත්‍රව තියාගන්න ඕනේ. හැබැයි අපේ ශරීරය පිරිසිදුව තියාගන්න එකත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.

අපේ ශරීරය පිරිසිදුව තියාගන්න පුළුවන් කොහොමද?

14. ශාරීරික පිරිසිදුකම වැදගත් වෙන්නේ ඇයි?

14 අපේ ශරීරයත් වටපිටාවත් පිරිසිදුව තියාගත්තොත් අපිට අපි ගැනම හොඳ හැඟීමක් ඇති වෙයි. අනිත් අයත් අපිව සතුටින් ඇසුරු කරයි. හැබැයි වැදගත්ම දේ වෙන්නේ ඒකෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන එකයි. මේ ගැන හිතන්න. හැම තිස්සෙම අපිරිසිදුවට ඉන්න දරුවෙක්ව දැක්කාම ඒ දරුවාගේ දෙමාපියන් ගැන හොඳ හැඟීමක් ඇති වෙනවාද? එහෙනම් අපි අපිරිසිදුව හිටියොත් මිනිසුන්ට යෙහෝවා දෙවියන් ගැන හොඳ හැඟීමක් ඇති වෙයිද? පාවුල් මෙහෙම කිව්වා. “කිසිවෙකුටවත් අප නිසා අපහසුතාවකට ලක් වෙන්න අපි ඉඩ තබන්නේ නැත. අප එසේ කරන්නේ කිසිවෙකු අපගේ සේවයට දෝෂාරෝපණය නොකිරීම සඳහාය. එහෙයින් දෙවිගේ සේවකයන් වීමට අපට තිබෙන සුදුසුකම් අපි සෑම අයුරින්ම ඔප්පු කර පෙන්වන්නෙමු.”—2 කොරින්ති 6:3, 4.

අපි අපේ ශරීරයත් වටපිටාවත් පිරිසිදුව තියාගන්න ඕනේ

15, 16. පිරිසිදුව ඉන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

15 අපේ ශරීරය සහ ඇඳුම්. අපි හැම දවසකම පිරිසිදුව ඉන්න එක වැදගත්. ඒ නිසා හැමදාම ඇඟ සෝදන්න, පුළුවන් නම් හැම දවසකම නාන්න උත්සාහ කරන්න ඕනේ. අපි සබන් දාලා අත් සෝදන්න ඕනේ. විශේෂයෙන්ම කෑම හදන්න කලින්, කන්න කලින්, වැසිකිළිය පාවිච්චි කළාට පස්සේ, අපිරිසිදු දෙයක් ඇල්ලුවාට පස්සේ අත් සෝදන එක හරිම වැදගත්. ඒක පුංචි දෙයක් වුණත් බැක්ටීරියා සහ ලෙඩ රෝග පැතිරෙන එක වළක්වාගන්නත් ජීවිතය බේරාගන්නත් ඒක උදව් වෙනවා. වැසිකිළි පහසුකම් නැත්නම් අපද්‍රව්‍ය ඉවත් කරන්න වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ට වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. එයාලා කඳවුරෙනුත් උල්පත්, ගංගා වගේ වතුර තිබුණු තැන්වලිනුත් ඈතට ගිහින් පොළොවේ වළක් හාරලා මලපහ කරලා ඒ වළ පස්වලින් වහලා දැම්මා.—ද්විතීය කතාව 23:12, 13.

16 අපි අඳින ඇඳුම් අලුත්ම විලාසිතාවට ගැළපෙන, මිල අධික ඒවා වෙන්න ඕනෙ නැහැ. හැබැයි ඒවා පිරිසිදුව, පිළිවෙළට තියෙන්න ඕනේ. (1 තිමෝති 2:9, 10 කියවන්න.) මොකද අපිට ඕනෙ අඳින පළඳින විදිහෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.—තීතස් 2:10.

17. අපි අපේ නිවසත් වටපිටාවත් පිරිසිදුව තියාගන්න ඕනෙ ඇයි?

17 අපේ නිවස සහ වටපිටාව. අපේ නිවසත් අපි පාවිච්චි කරන වාහනයත් පිරිසිදුව තියාගන්න ඕනේ. විශේෂයෙන්ම රැස්වීම් යද්දී, සේවයේ යද්දී වාහනය පිරිසිදුව තියෙන එක වැදගත්. මොකද අපි සේවයේ ගිහින් කතා කරන්නේ හැම අතින්ම පිරිසිදු පාරාදීස පොළොවක අපිට ලැබෙන්න යන ජීවිතය ගැනයි. (ලූක් 23:43; එළිදරව් 11:18) ඒ කාලයේ ජීවත් වෙන්න අපි දැන් ඉඳලාම සූදානම් වෙනවා කියලා අපේ නිවසෙන් සහ වටපිටාවෙන් පැහැදිලිව පේන්න ඕනේ.

18. නමස්කාර කරන්න අපි රැස් වෙන ස්ථාන පිරිසිදුව තියෙන්න ඕනෙ ඇයි?

18 නමස්කාර කරන්න අපි රැස් වෙන ස්ථාන. අපි පිරිසිදුව ඉන්න උත්සාහ කරන සෙනඟක් කියන දේ අපේ නමස්කාර මධ්‍යස්ථානයෙනුත් අපි සමුළු පවත්වන ස්ථානවලිනුත් පැහැදිලිව පේන්න ඕනේ. කෙනෙක් අපේ නමස්කාර මධ්‍යස්ථානයකට එන මුල්ම වතාවේදීම එයා දකිනවා ඒක කොයි තරම් පිරිසිදුද කියලා. ඒකෙන් ගෞරවයට පත් වෙන්නේ යෙහෝවා දෙවියන්ව. ඒ නිසා නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව වගේම හොඳ තත්වයකින් පවත්වාගන්න සභාවේ හැමෝම උත්සාහ කරන්න ඕනේ.—2 ලේකම් 34:10.

නරක පුරුදු අත්හරින්න

19. අපි වළකින්න ඕනෙ මොන වගේ නරක පුරුදුවලින්ද?

19 අපි වළකින්න ඕන හැම නරක පුරුද්දක් ගැනම බයිබලයේ සඳහන් වෙලා නැහැ. හැබැයි ඕනම කාරණයක් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. අපි දුම් බොනවාටවත් මත්පැන්වලට ඇබ්බැහි වෙනවාටවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාටවත් දෙවියන් කැමති නැහැ. අපි දෙවියන්ගේ යාළුවන් නම් ඒ දේවලින් වළකිනවා. මොකද ජීවිතය ඔහුගෙන් ලැබුණු තෑග්ගක් කියලා අපි දන්නවා. නරක පුරුදු නිසා අපිටත් අපි අවට ඉන්න අයටත් හානියක් වෙන්න පුළුවන්. තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා හුඟක් අය ඒ නරක පුරුදු අත්හරිනවා. හැබැයි අපි එහෙම කරන්නේ දෙවියන්ට තියෙන ආදරේ නිසයි. තරුණියක් කියපු මේ දේ බලන්න. ‘මං ඇබ්බැහි වෙලා හිටිය නරක පුරුදු මං අත්හැරියා. යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබුණේ නැත්නම් කවදාවත් මට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ.’ නරක පුරුදු අත්හරින්න උදව් වෙන ප්‍රතිපත්ති පහක් ගැන දැන් බලමු.

20, 21. යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ අපි මොන වගේ පුරුදුවලින් වැළකිලා ඉඳියි කියලාද?

20 “අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.” (2 කොරින්ති 7:1) අපේ ශරීරයටත් මනසටත් හානියක් වෙන අපවිත්‍ර පුරුදුවලින් අපි වැළකී ඉන්නවාටයි යෙහෝවා දෙවියන් කැමති.

21 අපවිත්‍ර පුරුදුවලින් අපි වළකින්න ඕන ඇයි කියලා 2 කොරින්ති 6:17, 18 පදවල සඳහන් මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න. එවිට මම ඔබව පිළිගන්නෙමි. මම ඔබට පියෙක් වන්නෙමි. ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය.” යෙහෝවා දෙවියන් පිළිකුල් කරන හැම දේකින්ම අපි වැළකිලා හිටියොත් ආදරණීය තාත්තා කෙනෙක් වගේ ඔහුත් අපිට ආදරේ කරයි.

22-25. අපවිත්‍ර පුරුදුවලින් වළකින්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

22 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙව් 22:37) ඒක තමයි අපිට දීලා තියෙන උතුම්ම ආඥාව. (මතෙව් 22:38) අපි යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරන්න ඕනේ. අපි එහෙම කරනවා නම් ජීවිතයට, මනසට හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ජීවිතය අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් විදිහට හැම දේම කරන්නයි අපි උත්සාහ කරන්නේ.

23 “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ [යෙහෝවා දෙවියි.]” (ක්‍රියා 17:24, 25) යාළුවෙක් ඔයාට වටිනා තෑග්ගක් දුන්නොත් ඔයා ඒක විසි කරනවාද? ඒක විනාශ කරනවාද? ජීවිතය කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. අපි ඒක හුඟක් අගය කරනවා. ඒ නිසා අපිට ඕනෙ අපි ජීවත් වෙන විදිහෙන් ඔහුව ගෞරවයට පත් කරන්න.—ගීතාවලිය 36:9.

24 “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) අපවිත්‍ර පුරුදුවලට ඇබ්බැහි වුණොත් ඒකෙන් වේදනා විඳින්නේ අපි විතරක් නෙවෙයි. අපි අවට ඉන්න අයටත් විශේෂයෙන්ම අපි ආදරේ කරන අයටත් ඒක බලපානවා. හිතන්න දුම් බොන කෙනෙක් ගැන. එයාගේ නිවසේ ඉන්න හැමෝගෙම සෞඛ්‍යයට ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. නරක පුරුදු අත්හරිද්දී ඒකෙන් පෙන්වන්නේ අපි අවට ඉන්න අයට අපි ආදරෙයි කියලයි.—1 යොහන් 4:20, 21.

25 ‘ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව යටත්ව සිටීමටත් ඔවුන්ට නිරතුරුවම සිහිගැන්විය යුතුයි.’ (තීතස් 3:1) හුඟක් රටවල මත්ද්‍රව්‍ය පාවිච්චිය නීතියෙන් තහනම් කරලයි තියෙන්නේ. ආණ්ඩුවල බලධාරීන්ට ගෞරව කරන්න කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙන නිසා අපි ඒ නීතියට කීකරු වෙන්න ඕනේ.—රෝම 13:1.

අපි පවිත්‍රව ඉද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා

26. (අ) යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (ආ) පවිත්‍රව ඉන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරන්න ඕනෙ ඇයි?

26 යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න නම් ජීවිතේ සමහර වෙනස්කම් කරන්න ඕනෙ කියලා අපිට තේරෙයි. එහෙනම් අපි දැන්ම ඒ වෙනස්කම් කරන්න ඕනේ. නරක පුරුද්දක් අත්හරින්න ලේසි නැහැ. හැබැයි දෙවියන්ගේ උදව්වෙන් ඒක කරන්න පුළුවන්. මොකද ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය, ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය’ කියලා දෙවියන්ම කියලා තියෙනවා. (යෙසායා 48:17) පවිත්‍ර ජීවිතයක් ගෙවන්න අපි උපරිමයෙන් වෑයම් කරනවා නම් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්.