Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

දෙවියන්ට ආදරේ කරන අයව යාළුවන් කරගන්න

දෙවියන්ට ආදරේ කරන අයව යාළුවන් කරගන්න

“ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

1-3. (අ) හිතෝපදේශ 13:20න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) යාළුවන්ව තෝරාගද්දී අපි ඥානවන්ත වෙන්න ඕන ඇයි?

 පුංචි දරුවන් ඇස් දෙක ලොකු කරගෙන එයාලගේ දෙමව්පියන් කරන කියන හැම දෙයක් දිහාම බලං ඉන්නවා ඔයා දැකලා ඇති. ටිකෙන් ටික වැඩෙද්දී එයාලා දන්නෙම නැතුව එයාලගේ දෙමව්පියන් වගේම දේවල් කරන්න පටන්ගන්නවා. වැඩිහිටි අයත් එයාලා කිට්ටුවෙන් ඇසුරු කරන අයව අනුකරණය කරන්න පෙලඹෙන්නේ නිරායාසයෙන්මයි.

2 හිතෝපදේශ 13:20 කියන්නේ “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලයි. ඒ පදයේ කතා කරන්නේ අපි ඉඳලා හිටලා ඇසුරු කරන අය ගැන නෙමෙයි, කිට්ටුවෙන් ඇසුරු කරන අය ගැන. මොකද කෙනෙක්ව කිට්ටුවෙන් ඇසුරු කරද්දී ඒ කෙනා එක්ක තියෙන බැඳීම, ආදරය වැඩි වෙලා එයාව අනුකරණය කරන්නත් අපි පෙලඹෙනවා.

3 ඒ නිසා කිට්ටුවෙන් ඇසුරු කරන අයව ඒ කියන්නේ යාළුවන්ව තෝරාගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනේ. හිතෝපදේශ 13:20 දෙවෙනි කොටසේ කියනවා “අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි” කියලා. නරක ගතිගුණ තියෙන අයව යාළුවන් විදිහට තෝරාගන්න එපා කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 22:24) අනිත් අතට අපි දෙවියන්ට ආදරේ අයව අපේ යාළුවන් විදිහට තෝරාගද්දී දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒක අපිට උදව් වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒක දැනගන්න යෙහෝවා දෙවියන් තමන්ගේ යාළුවන් විදිහට තෝරාගන්නේ මොන වගේ අයවද කියලා අපි දැන් බලමු.

දෙවියන් යාළුවන් විදිහට තෝරාගන්නේ කාවද?

4. යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ලැබෙන එක වරප්‍රසාදයක් වෙන්නේ ඇයි? දෙවියන් ආබ්‍රහම්ව “මාගේ මිතුරා” කියලා හැඳින්නුවේ ඇයි?

4 මුළු විශ්වයේම අධිපති වන යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න අපිට අවස්ථාව තියෙනවා. ඒක වරප්‍රසාදයක් නෙමෙයිද! හැබැයි දෙවියන් යාළුවන් හැටියට තෝරාගන්නේ ඔහුට ආදරය කරන, ඔහුව විශ්වාස කරන අයව විතරයි. ආබ්‍රහම් ඒ වගේ කෙනෙක්. දෙවියන් කියන ඕනම දෙයක් කරන්න එයා සූදානමින් හිටියා. එයාගේ පුතා වුණු ඊසාක්ව පූජා කරන්න වුණත් එයා කැමති වුණා. මොකද ‘ඊසාක්ව මරණයෙන් නැඟිටුවන්න දෙවිට’ පුළුවන් කියලා එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. (හෙබ්‍රෙව් 11:17-19; උත්පත්ති 22:1, 2, 9-13) ආබ්‍රහම් දෙවියන්ට කීකරුව විශ්වාසවන්තව වැඩ කරපු නිසයි යෙහෝවා දෙවියන් එයාව “මාගේ මිතුරා” විදිහට හැඳින්නුවේ.—යෙසායා 41:8; යාකොබ් 2:21-23.

5. යෙහෝවා දෙවියන් ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව සලකන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවියන්ගේ යාළුවන් ජීවිතේ වටිනාම දේ විදිහට සලකන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක. (2 සාමුවෙල් 22:26 කියවන්න.) එයාලා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නෙත් කීකරු වෙන්නෙත් එයාලා දෙවියන්ට ආදරේ නිසයි. අවංකව ජීවත් වෙන ඒ වගේ අයට දෙවියන් ‘ළංව සිටිනවා’ කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 3:32) දෙවියන් තමන්ගේ යාළුවන්ව සලකන්නේ හුඟක් වටිනා අය විදිහට. තමන්ගේ “කූඩාරමට” එන්න කියලා ඔහු එයාලට ආරාධනා කරනවා. ඒ කියන්නේ ඕනම වෙලාවක ඔහුත් එක්ක කතා කරන්නත් ඔහුට නමස්කාර කරන්නත් ඔහු අවස්ථාව දීලා තියෙනවා.—ගීතාවලිය 15:1-5.

6. අපි යේසුස්ට ආදරෙයි කියලා පෙන්වන්නේ කොහොමද?

6 යේසුස් කිව්වා “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා, මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරනවා” කියලා. (යොහන් 14:23) ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙන්න කැමති අය යේසුස්ට ආදරේ කරන්න ඕනේ. ඔහු උගන්වපු දේවල් පිළිපදින්නත් ඕනේ. ශුභාරංචිය දේශනා කරන්න කියලත් මිනිසුන්ට ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලත් යේසුස් කියපු දේට අපි කීකරු වෙන්නේ ඒ නිසයි. (මතෙව් 28:19, 20; යොහන් 14:15, 21) අපි යේසුස්ට ආදරේ නිසා “ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න” උත්සාහ කරනවා. (1 පේතෘස් 2:21) අපි කරන කියන හැම දේකදීම යේසුස්ව අනුකරණය කරන්න වෑයම් කරද්දී දෙවියනුත් ඒ ගැන සතුටු වෙනවා.

7. යෙහෝවා දෙවියන්ගේ යාළුවන්ව විතරක් අපි යාළුවන් කරගන්න ඕනෙ ඇයි?

7 යෙහෝවා දෙවියන්ගේ යාළුවන් ඔහුට විශ්වාසවන්තයි, ළැදියි, කීකරුයි, යේසුස්ට ආදරෙයි. අපේ යාළුවොත් ඒ වගේද? යේසුස්ව අනුගමනය කරන, උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන අයව යාළුවන් කරගන්නවා නම් දිගටම දෙවියන්ට ළැදිව ඉන්න ඒක ඔයාට උදව් වෙයි.

බයිබල් චරිතවලින් ඉගෙනගමු

8. රූත්ගෙන් සහ නායොමිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 හොඳ යාළුවන් වෙලා හිටපු හුඟක් අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. රූත්ගේ නැන්දම්මා වුණු නායොමි රූත්ට වඩා හුඟක් වැඩිමල්. එයාලගේ ජාතියත් එකිනෙකට වෙනස්. හැබැයි එයාලා දෙන්නාම යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කළා. ඒ නිසයි එයාලා කිට්ටු යාළුවන් වුණේ. නායොමි මෝවබ් දේශයේ ඉඳලා ඊශ්‍රායෙලයට යද්දී ‘රූත් දිගටම එයාත් එක්ක හිටියා.’ රූත් කිව්වේ “ඔබේ සෙනඟ මගෙත් සෙනඟ. ඔබේ දෙවි මගෙත් දෙවි” කියලයි. (රූත් 1:14, 16) රූත් නායොමිට හුඟක් ආදරේ කළා. ඒ නිසා ඊශ්‍රායෙලයට ආවාට පස්සේ එයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා නායොමිව හොඳින් බලාගත්තා. නායොමිත් රූත්ට සැලකුවේ හරිම ආදරෙන්. එයාට වටිනා මඟ පෙන්වීමුත් දුන්නා. රූත් ඒවා පිළිපැද්දේ කැමැත්තෙන්මයි. දෙවියන් ඒ දෙන්නාටම හුඟක් ආශීර්වාද කළා.—රූත් 3:6.

9. දාවිත්ගෙන් සහ යොනාතාන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 දාවිත් සහ යොනාතාන් කියන්නේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කිට්ටු යාළුවන් දෙන්නෙක්. යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල්. ඊළඟට රජකම ලැබෙන්න තිබුණේ එයාට. (1 සාමුවෙල් 17:33; 31:2; 2 සාමුවෙල් 5:4) හැබැයි දෙවියන් රජ විදිහට තෝරාගත්තේ දාවිත්ව. යොනාතාන් ඒ ගැන ඊර්ෂ්‍යා කළේවත් කොහොමහරි රජ වෙන්න උත්සාහ කළේවත් නැහැ. දාවිත්ට උදව් කරන්න පුළුවන් හැම දේම එයා කළා. දාවිත් ජීවිතේ බේරාගන්න පලා ගිය අවස්ථාවක යොනාතාන් තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව දාවිත් ළඟට ගිහින් එයාව දිරිගන්වලා එයාට ‘දෙවි ගැන තිබුණු විශ්වාසය ශක්තිමත් කළා.’ (1 සාමුවෙල් 23:16, 17) දාවිත් කියන්නේ යොනාතාන් වගේම විශ්වාසවන්ත යාළුවෙක්. යොනාතාන්ගේ පවුලේ අයව රැකබලා ගන්නවා කියලා දාවිත් දීපු පොරොන්දුව යොනාතාන් මැරුණාට පස්සෙත් එයා ඒ විදිහටම ඉටු කළා.—1 සාමුවෙල් 18:1; 20:15-17, 30-34; 2 සාමුවෙල් 9:1-7.

10. හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ කියන තරුණයන් තුන්දෙනාව වෙන රටකට අරන් ගියේ එයාලා පොඩි කාලෙදිමයි. පවුලේ අය ළඟ නැති වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එයාලා එකිනෙකාට උදව් කළා. පස්සේ කාලෙකදී නෙබුකද්නෙෂර් රජ රන් රූපයකට නමස්කාර කරන්න කියලා කිව්වාම එයාලා බය නැතුව රජුට මෙහෙම කිව්වා. “අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ.”—දානියෙල් 1:1-17; 3:12, 16-28.

11. පාවුල් සහ තිමෝති හොඳ යාළුවන් වුණේ කොහොමද?

11 පාවුල්ට මුලින්ම තිමෝතිව මුණගැහෙද්දී තිමෝති හිටියේ යෞවන වයසේ. තිමෝති යෙහෝවා දෙවියන්ට කොයි තරම් ආදරේද කියලත් සභාවේ අය ගැන එයා කොයි තරම් සැලකිලිමත් වුණාද කියලත් පාවුල් දැක්කා. ඒ නිසා විවිධ පැතිවල සහෝදරයන්ට උදව් කරන්න පාවුල් එයාව පුහුණු කළා. (ක්‍රියා 16:1-8; 17:10-14) එයාලා එකට වැඩ කරද්දී තිමෝති “ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කරන” එක ගැනත් සහෝදරයන් ගැන ‘අවංකවම සැලකිලිමත්’ වෙන එක ගැනත් පාවුල් අගය කළා. ඒ දෙන්නා එකතු වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී එයාලා හොඳ යාළුවන් වුණා.—ෆිලිප්පි 2:20-22; 1 කොරින්ති 4:17.

හොඳ යාළුවන්ව තෝරාගන්නේ කොහොමද?

12, 13. (අ) සභාවෙන් යාළුවන්ව තෝරාගද්දීත් අපි සැලකිලිමත් වෙන්න ඕන ඇයි? (ආ) 1 කොරින්ති 15:33 සඳහන් අනතුරු ඇඟවීම පාවුල් දුන්නේ ඇයි?

12 සභාවේ හැමෝටම එකිනෙකාගෙන් ඉගෙනගන්නත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එකිනෙකාට උදව් කරන්නත් අවස්ථාව තියෙනවා. (රෝම 1:11, 12 කියවන්න.) විවිධ සංස්කෘතීන්වලට අයිති, විවිධ පසුබිම්වලින් ආපු සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න ලැබෙන එකත් මොන තරම් සතුටක්ද! හැබැයි සභාවේ අය අතරිනුත් කිට්ටු යාළුවන්ව තෝරාගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ඇයි? සමහර අය අවුරුදු ගාණක් තිස්සේ දෙවියන්ට සේවය කරනවා. තවත් අය සේවය කරන්න පටන් අරන් තියෙන්නේ මෑතකදී. ඕනම පලතුරක් ඉදෙන්න යම් කාලයක් යනවා වගේ සභාවේ එක් එක් කෙනාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් යම් කාලයක් යනවා. ඒ නිසා අපි එයාලා එක්ක ඉවසීමෙන්, ආදරෙන් වැඩ කරන්න ඕනේ. එයාලා අතරින් යාළුවන්ව තෝරාගද්දී ඥානවන්ත වෙන්නත් ඕනේ.—රෝම 14:1; 15:1; හෙබ්‍රෙව් 5:12–6:3.

13 සභාවේ කෙනෙක් බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධව වැඩ කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් සභාවේ සාමයට බාධා වෙන විදිහට මැසිවිලි නඟන්න ඉඩ තියෙනවා. අපි ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද මුල් ක්‍රිස්තියානීන් අතරෙත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒ නිසයි “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියලා පාවුල් අනතුරු ඇඟෙව්වේ. (1 කොරින්ති 15:12, 33) කිට්ටු යාළුවන්ව තෝරාගද්දී පරෙස්සම් වෙන්න කියලා පාවුල් තිමෝතිටත් අවවාද කළා. එහෙනම් අපිත් පරෙස්සම් වෙන්න ඕනෙ නේද?—2 තිමෝති 2:20-22 කියවන්න.

14. අපි තෝරාගන්න යාළුවන් යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තරම් වටින කිසිම දෙයක් අපිට නැහැ. ඒක ආරක්ෂා කරගන්න අපි උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා දෙවියන් ගැන තියෙන විශ්වාසය දුර්වල කරන්න පුළුවන් කිසිම කෙනෙක්ව කිට්ටු යාළුවෙක් කරගන්න හොඳ නැහැ. ස්පොන්ජ් එකක් විනාකිරිවලින් පෙඟුණාට පස්සේ ඒකට වතුර උරාගන්නේ නැහැ. ඒ වගේ, දෙවියන් අකමැති දේවල් කරන අයව අපි කිට්ටුවෙන් ඇසුරු කරද්දී දෙවියන්ට කීකරු වෙන්න අපි පෙලඹෙයි කියලා හිතන්න බැහැ. ඒ නිසා අපි කිට්ටු යාළුවන්ව තෝරාගද්දී හුඟක් පරෙස්සම් වෙන්න ඕනේ.—1 කොරින්ති 5:6; 2 තෙසලෝනික 3:6, 7, 14.

යෙහෝවා දෙවියන්ට ආදරේ අයව යාළුවන් කරගන්න

15. සභාවෙන් හොඳ යාළුවන් තෝරාගන්න පුළුවන් කොහොමද?

15 යෙහෝවා දෙවියන්ට ඇත්තටම ආදරේ අය සභාවේ ඉන්නවා. එයාලව ඔයාගේ යාළුවන් කරගන්න. (ගීතාවලිය 133:1) හැබැයි ඔයාගෙම වයසේ ඉන්න අයව විතරක් යාළුවන් කරගන්න එපා. යොනාතාන් දාවිත්ට වඩා වැඩිමල් වුණත් රූත් නායොමිට වඩා බාල වුණත් එයාලා හොඳ යාළුවන් වුණා නේද? අපිට ඕනෙ එයාලා වගේ අපේ ‘හදවත්වල තියෙන ප්‍රේමය තවත් වැඩි කරගන්න.’ (2 කොරින්ති 6:13; 1 පේතෘස් 2:17 කියවන්න.) ඔයා දෙවියන්ව ආදර්ශයට ගද්දී අනිත් අයත් කැමති වෙයි ඔයාව එයාලගේ යාළුවෙක් කරගන්න.

ප්‍රශ්න ඇති වෙද්දී

16, 17. සභාවේ කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් අපි කරන්න හොඳ නැත්තේ මොකක්ද?

16 පවුලක සාමාජිකයන් ගැන ටිකකට හිතන්න. එයාලගේ පෞද්ගලිකත්වයන් එකිනෙකට වෙනස්. ඒ නිසා එයාලා හිතන විදිහ, දේවල් කරන විදිහ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සභාවෙත් විවිධ පෞද්ගලිකත්වයන් තියෙන අය ඉන්නවා. අපිට එකිනෙකාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. හැබැයි පරෙස්සම් වුණේ නැත්නම් සභාවේ අය කරන කියන දේවල් වැරදියට වටහාගෙන එයාලා ගැන අපේ හිතේ අමනාපයක් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ ගැන හිතහිත දුක් වෙන්නත් ඉඩ තියෙනවා. (හිතෝපදේශ 12:18) ඒ වගේ දෙයක් වුණොත් අපි රැස්වීම් යන එක නතර කරනවාද?

17 නැහැ. මොකද එහෙම කළොත් ඒක හරියට අපි යෙහෝවා දෙවියන් එක්ක තරහා වෙනවා වගේ. දෙවියන් අපිට ජීවිතය දීලා ජීවත් වෙන්න ඕන කරන හැම දේම දීලයි තියෙන්නේ. ඒ නිසා අපේ ආදරයත් ගෞරවයත් ලබන්න ඔහු වටිනවා. (එළිදරව් 4:11) සභාවත් දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. මොකද දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න ඒක උදව් වෙනවා. (හෙබ්‍රෙව් 13:17) එහෙනම් කෙනෙක් කියපු කරපු දෙයක් නිසා සභාවට යන්නේ නැතුව ඉන්න එක සුදුසුද?—ගීතාවලිය 119:165 කියවන්න.

18. (අ) සභාවේ හැමෝම එක්ක එකමුතුව ඉන්න අපිට පුළුවන් කොහොමද? (ආ) අපි අනිත් අයට සමාව දෙන්න ඕන ඇයි?

18 අපේ අතින් කිසිම වරදක් වෙන්නේ නැහැ කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒක මතක තියාගන්නවා නම් සහෝදරයන් අතින් වැරදි වුණත් දිගටම එයාලට ආදරෙන් සලකන්න අපිට පුළුවන්. (හිතෝපදේශ 17:9; 1 පේතෘස් 4:8) “මුළු හදවතින්ම සමාව දෙන්නත්” අපි පෙලඹෙනවා. (කොලොස්සි 3:13) පුංචි දේවල් ලොකු ප්‍රශ්න කරගන්නෙත් නැහැ. කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළාම ඒක අමතක කරන්න ලේසි නැහැ තමයි. හැබැයි ඒක ගැන හිතහිත හිටියොත් එයා ගැන වෛරයක් ඇති වෙයි. අපේ සතුටත් නැති වෙයි. හැබැයි සමාව දුන්නොත් අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. සභාවේ සාමයටත් ඒක දායක වෙනවා. වැඩියෙන්ම වටින්නේ දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම රැකගන්න පුළුවන් වෙන එකයි.—මතෙව් 6:14, 15; ලූක් 17:3, 4; රෝම 14:19.

කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළොත්

19. සභාවේ කෙනෙක්ව ආශ්‍රය කරන එක නතර කරන්න ඕනෙ මොන අවස්ථාවේදීද?

19 ආදරෙන් බැඳුණු පවුලක සාමාජිකයන් කොයි වෙලෙත් උත්සාහ කරන්නේ පවුලේ අයව සතුටු කරන්න. හැබැයි කෙනෙක් මුරණ්ඩු විදිහට වැඩ කරනවා කියලා හිතන්න. එයාට උදව් කරන්න පවුලේ අය උත්සාහ කළත් එයා ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. කාලයක් යද්දී එයා පවුලේ අයව දාලා යන්න තීරණය කරයි. නැත්නම් පවුලේ මූලිකයා එයාට ගෙදරින් යන්න කියයි. සභාවෙත් ඒ දේම වෙන්න පුළුවන්. කෙනෙක් යෙහෝවා දෙවියන් කැමති නැති, සභාවට හානියක් වෙන දෙයක් දිගින් දිගටම කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් ගොඩ එන්න එයාට උදව් කළත් එයා ඒවා පිළිගන්නේ නැහැ. ඒකෙන් එයා පෙන්වන්නේ සභාවේ සාමාජිකයෙක් වෙලා ඉන්න එයාට උවමනාවක් නැහැ කියන එකයි. සමහරවිට සභාව දාලා යන්න එයාම තීරණය කරයි. නැත්නම් එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරයි. ඒ වගේ අයව ‘ආශ්‍රය කරන්න එපා’ කියලා බයිබලයේ පැහැදිලිවම කියනවා. (1 කොරින්ති 5:11-13 කියවන්න; 2 යොහන් 9-11) එයා අපේ පවුලේ කෙනෙක් නම්, කිට්ටු යාළුවෙක් නම් එයාව ආශ්‍රය නොකර ඉන්න අපිට ලේසි වෙන එකක් නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවලදීත් අපි විශ්වාසවන්තව ඉන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට කියලා මතක තියාගමු.—8වෙනි අමතර සටහන බලන්න.

20, 21. (අ) සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම අපේම යහපතට හදපු එකක් කියලා කියන්නේ ඇයි? (ආ) යාළුවන්ව තෝරාගද්දී අපි පරෙස්සම් වෙන්න ඕන ඇයි?

20 සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන්නේ අපේම යහපතට. මොකද හිතාමතාම දෙවියන්ගේ ප්‍රතිපත්ති කඩ කරන අයගෙන් සභාව ආරක්ෂා කරගන්න ඒක උදව් වෙනවා. (1 කොරින්ති 5:7; හෙබ්‍රෙව් 12:15, 16) අපි යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලත් ඔහුගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා කියලත් ඔහුගේ නමට කැළලක් ඇති වෙනවාට කැමති නැහැ කියලත් පෙන්වන්න ඒකෙන් අපිට අවස්ථාව ලැබෙනවා. (1 පේතෘස් 1:15, 16) සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනාටත් අවස්ථාව ලැබෙනවා තමන් කරන්නේ වරදක් කියලා තේරුම් අරන් ඒක හදාගන්න. ඒ සැලැස්ම නිසා හුඟදෙනෙක් ආයෙත් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගෙන තියෙනවා. සභාවේ අයත් එයාලව පිළිගන්නේ හරිම සතුටින්.—හෙබ්‍රෙව් 12:11.

21 අපේ යාළුවන් අපේ හොඳට හරි නරකට හරි බලපානවා කියලා පැහැදිලියි නේද? ඒ නිසා අපි යාළුවන්ව තෝරාගද්දී පරෙස්සම් වෙමු. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න උදව් කරන යෙහෝවා දෙවියන්ගේ යාළුවන්ව අපේ යාළුවන් කරගමු.