Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

නිදොස් හෘදය සාක්ෂියක වටිනාකම

නිදොස් හෘදය සාක්ෂියක වටිනාකම

“දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.

1, 2. නොදන්න පළාතකට යද්දී මඟ පෙන්වීම් ඕන වෙන්නේ ඇයි? අපිට මඟ පෙන්වන්න යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ මොකක්ද?

 හිතන්න දැන් ඔයා ඉන්නේ කාන්තාරයක කියලා. හතර වටෙන් එක දිගටම හුළං හමනවා. වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔයා කොහොමද හරි පාර හොයාගන්නේ? ඉර, තරු, මාලිමාව, GPS වගේ දේවල් ඔයාට උදව් වෙයි. නැත්නම් ඒ පළාත ගැන දන්න කෙනෙක්ගෙන් උදව් ගන්නත් පුළුවන්. ඒ මොනම හරි ක්‍රමයකින් මඟ පෙන්වීම් ලබාගන්න එක වැදගත්. මොකද ඒකෙන් ඔයාගේ ජීවිතය රැකගන්න පුළුවන් වෙනවා.

2 ප්‍රශ්න ගැටලුවලින් පිරුණු මේ ලෝකයේ ජීවත් වෙන එකත් හරියට නොදන්න පළාතක ගමන් කරනවා වගෙයි. හැබැයි අපි තනි වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්වන්න හෘදය සාක්ෂියක් දීලා තියෙනවා. (යාකොබ් 1:17) හෘදය සාක්ෂිය කියන්නේ මොකක්ද? ඒකෙන් ඉටු වෙන්නේ මොන වගේ කාර්යයක්ද? ඒක පුහුණු කරන්නේ කොහොමද? අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? නිදොස් හෘදය සාක්ෂියක් තියෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? දැන් අපි ඒවාට උත්තර බලමු.

හෘදය සාක්ෂිය කියන්නේ මොකක්ද? ඒකෙන් ඉටු වෙන්නේ මොන වගේ කාර්යයක්ද?

3. හෘදය සාක්ෂිය කියන්නේ මොකක්ද?

3 හෘදය සාක්ෂිය කියන්නේ හරි වැරැද්ද අතර වෙනස අඳුනගන්න අපිට තියෙන හැකියාවට. බයිබලයේ හෘදය සාක්ෂිය විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් “තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක” අදහස් වෙනවා. අපි මොන වගේ අයද කියලා තේරුම්ගන්න හෘදය සාක්ෂිය උදව් වෙනවා. හැබැයි අපි ඒක හොඳින් පුහුණු කරන්න ඕනේ. එහෙම කළොත් අපිටම අවංක වෙලා අපේ සිතුවිලි හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්. හරි දේ කරන්නත් වැරදි දේ නොකර ඉන්නත් ඒක උදව් වෙනවා. අපි ගත්ත තීරණ ගැන අපිට සතුටක් දැනෙන්නේ එහෙමත් නැත්නම් හිත දොස් කියන්නේ හෘදය සාක්ෂිය නිසයි. ඇත්තටම ඒක දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්.—5වෙනි අමතර සටහන බලන්න.

4, 5. (අ) ආදම් සහ ඒව එයාලගේ හෘදය සාක්ෂියට ඇහුම්කන් දුන්නේ නැති නිසා මොකද වුණේ? (ආ) හෘදය සාක්ෂියෙන් ඉටු වෙන කාර්යය පැහැදිලි කරන්න.

4 හෘදය සාක්ෂිය කියන විදිහට වැඩ කරනවාද නැද්ද කියලා තීරණය කරන්න අපිට නිදහස තියෙනවා. ආදම් ඒවටත් ඒ නිදහස තිබුණා. දෙවියන් එයාලව නිර්මාණය කළේ කිසි අඩුවක් නැතුව. ඒ නිසා එයාලගේ හෘදය සාක්ෂියේ කිසි අඩුවක් තිබ්බේ නැහැ. දෙවියන්ට අකීකරු වෙන එක වැරදියි කියලා එයාලා දැනගෙන හිටියා. ඒත් එයාලා හෘදය සාක්ෂියට ඇහුම්කන් දුන්නේ නැහැ. එයාලා හිතාමතාම දෙවියන්ට අකීකරු වුණා. පස්සේ එයාලගේ හිත ඒ ගැන වධ දුන්නත් ඒ වෙද්දී එයාලා පරක්කු වැඩියි. (උත්පත්ති 3:7, 8) මොකද ඒ වෙද්දිත් එයාලට පව්කාරකම උරුම වෙලා ඉවරයි.

5 හැබැයි පව්කාරකම උරුම වුණ මිනිසුන් අතරත් හෘදය සාක්ෂිය කියන විදිහට වැඩ කරන අය ඉන්නවා. යෝබ් ඒ වගේ කෙනෙක්. එයාගේ හෘදය සාක්ෂිය ගැන එයා මෙහෙම කිව්වා. “මේ දක්වා මා ගත කළ ජීවිතය ගැන මාගේ සිත මට දොස් නොතබයි.” ඒකෙන් පැහැදිලි වෙනවා හෘදය සාක්ෂිය කියපු විදිහට හරි තීරණ ගත්ත එකෙන් යෝබ් සතුටු වුණා කියලා. (යෝබ් 27:6) දාවිත් ගැන හිතන්න. එයා සමහර අවස්ථාවලදී හෘදය සාක්ෂිය කියන විදිහට වැඩ කරන්නේ නැතුව දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා එයාගේ ‘හිත වධ දෙන්න පටන්ගත්තා.’ (1 සාමුවෙල් 24:5) අපි කරන වැරදි ගැන හෘදය සාක්ෂිය අපිට දැනුම් දෙනවා කියලා ඒ උදාහරණවලින් පැහැදිලියි. හෘදය සාක්ෂිය කියන දේ අපි පිළිගත්තොත් ඒ වැරදි ආයේ නොකර ඉන්න ඒක අපිට උදව් වෙනවා.

6. හෘදය සාක්ෂිය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා කියන්නේ ඇයි?

6 හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න යෙහෝවා දෙවියන් ගැන දන්නේ නැති මිනිසුන්ටත් හැකියාව තියෙනවා. බයිබලයෙත් කියන්නේ “තමන් කළ දේ හරිද වැරදිද කියා තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන්” කියලයි. (රෝම 2:14, 15) හරි තීරණ අරන් සතුටින් ජීවත් වෙන්න උදව්වක් විදිහට යෙහෝවා දෙවියන් අපිට ප්‍රතිපත්ති දීලා තියෙනවා. හුඟක් අය නොදැනුවත්වම වුණත් ජීවත් වෙන්නේ ඒවාට එකඟවයි. උදාහරණෙකට මිනී මැරීම, සොරකම් කිරීම වැරදියි කියලා එයාලා පිළිගන්නවා. ඒ දේවල් වැරදියි කියලා එයාලට දැනුම් දෙන්නේ එයාලගේ හෘදය සාක්ෂියයි.

7. වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන්න හෘදය සාක්ෂියට පුළුවන්ද? විස්තර කරන්න.

7 පව්කාර සිතුවිලි සහ ආශාවන් නිසා අපේ හෘදය සාක්ෂිය වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන අවස්ථාත් තියෙනවා. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළොත් විතරයි අපි හරි දේ කරන්න පෙලඹෙන්නේ. (උත්පත්ති 39:1, 2, 7-12) ඒ දේ කරන්න යෙහෝවා දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන්, බයිබල් ප්‍රතිපත්ති මාර්ගයෙන් අපිට උදව් කරනවා.—රෝම 9:1.

හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?

8. (අ) අපි හිතන විදිහ හෘදය සාක්ෂියට බලපාන්නේ කොහොමද? (ආ) තීරණයක් ගන්න කලින් අපි හිතන්න ඕනෙ මොකක්ද?

8 හෘදය සාක්ෂිය කියන විදිහට වැඩ කරනවා කියන්නේ තමන්ට හරියි කියලා හිතෙන විදිහට වැඩ කරන එකයි කියලා සමහරු කියනවා. සතුටක් ලැබෙනවා නම් මොන දේ කළත් කමක් නැහැ කියලයි එයාලා හිතන්නේ. හැබැයි බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.” (යෙරෙමියා 17:9) පව්කාරකම නිසා අපේ හිතට එන සිතුවිලි කොච්චර ප්‍රබලද කිව්වොත් වැරදි දෙයක් වුණත් හරියි කියලා අපිට හිතෙන්න පුළුවන්. පාවුල් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් දෙවියන්ගේ සෙනඟට හුඟක් පීඩා කළා. ඒත් එයාගේ හෘදය සාක්ෂිය ඒ ගැන වධ දුන්නේ නැහැ. හැබැයි පස්සේ කාලෙකදී එයා කිව්වා “මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය” කියලා. (1 කොරින්ති 4:4; ක්‍රියා 23:1; 2 තිමෝති 1:3) එයා කරන දේ ගැන දෙවියන්ට හැඟුණේ කොහොමද කියලා දැනගත්තාම හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා එයා තේරුම්ගත්තා. ඕනම දෙයක් කරන්න කලින් ‘මං මේක කරනවාට යෙහෝවා දෙවියන් කැමතිද’ කියලා කල්පනා කරන එක කොයි තරම් වැදගත්ද!

9. දෙවියන්ට ගරුබිය දක්වනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

9 ආදරේ කරන කෙනෙක්ව රිද්දන්න ඔයා කැමතිද? අපි යෙහෝවා දෙවියන්ට ආදරෙයි නම් මොනම විදිහකින්වත් ඔහුව රිද්දන්න කැමති නැහැ. නෙහෙමියා ගැන හිතන්න. ආණ්ඩුකාරයෙක් විදිහට වැඩ කරද්දී තමන්ට වාසි ලබාගන්න ඕන තරම් අවස්ථා තිබුණත් එයා එහෙම කළේ නැහැ. එහෙම කළේ නැත්තේ “දෙවිට ගරුබිය දක්වන නිසා” කියලා එයාම කිව්වා. (නෙහෙමියා 5:15) යෙහෝවා දෙවියන්ගේ හිතට දුකක් දෙන්න එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඔයාත් එහෙම කරන්න කැමති නැහැ නේද? දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයාට බයිබලයෙන් දැනගන්න පුළුවන්.—6වෙනි අමතර සටහන බලන්න.

10, 11. මත්පැන් බොන එක ගැන තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

10 උදාහරණෙකට හිතන්න මත්පැන් බොනවාද නැද්ද කියලා කෙනෙක්ට තීරණයක් ගන්න ඕනෙ කියලා. ඒකට උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. ඒකේ කියනවා වයින් දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා. (ගීතාවලිය 104:14, 15) මත්පැන් බොන එක බයිබලයේ තහනම් කරලා නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. හැබැයි ‘අධික බීමෙන්’ වළකින්න කියලා යේසුස් කිව්වා. (ලූක් 21:34) ඒ වගේම “ඝෝෂාකාරී උත්සව, බේබදුකම” වගේ දේවලට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (රෝම 13:13) ඒ වගේ දේවල් කරන අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ.”—1 කොරින්ති 6:9, 10.

11 මේ ප්‍රශ්න ගැනත් හිතන්න. ‘මං මත්පැන් බොන්නේ ඇයි? වෙහෙස නිවාගන්නද? ආත්ම විශ්වාසය වැඩි කරගන්නද? බොන ප්‍රමාණයත් වාර ගණනත් පාලනය කරගන්න මට පුළුවන්ද? * යාළුවන් එක්ක සතුටු වෙන්න මට මත්පැන් ඕනෙමද?’ හරි තීරණයක් ගන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකත් වැදගත්. (ගීතාවලිය 139:23, 24 කියවන්න.) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව හෘදය සාක්ෂිය පුහුණු කරන්නේ කොහොමද කියලා දැන් පැහැදිලියිද?

අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

12, 13. අපේ හෘදය සාක්ෂිය අනිත් අයගේ හෘදය සාක්ෂියට වඩා වෙනස් වෙන්නේ ඇයි? අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් කොහොමද?

12 කෙනෙක්ගේ හෘදය සාක්ෂියට හරියි කියලා දැනෙන දෙයක් තවත් කෙනෙක්ට වැරදියි කියලා දැනෙන්න පුළුවන්. උදාහරණෙකට මත්පැන් බිව්වාට කමක් නැහැ කියලා කෙනෙක්ට හිතුණත් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක වැරදියි කියලා. ඒ ඇයි?

හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළොත් මත්පැන් බොනවාද නැද්ද කියන එක ගැන හරි තීරණයක් ගන්න ඔයාට පුළුවන්

13 හැදුණු පරිසරය, පවුල් පසුබිම, ලබපු අද්දැකීම් වගේ දේවල් කෙනෙක් හිතන විදිහට බලපානවා. උදාහරණෙකට මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් තීරණය කරන්න පුළුවන් ආයේ මත්පැන් කටේවත් තියන්නේ නැහැ කියලා. (1 රාජාවලිය 8:38, 39) ඔයා ඒ වගේ කෙනෙක්ට මත්පැන් දෙන්න හදද්දී එයා “එපා” කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඒ ගැන අමනාප වෙනවාද? බොන්නම කියලා එයාට බල කරනවාද? බොන්නේ නැති හේතුව කොහොම හරි දැනගන්න හදනවාද? ඔයා එයාගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙනවා නම් කවදාවත් ඒ දේවල් කරන්නේ නැහැ.

14, 15. පාවුල්ගේ කාලේදී වුණු දෙයක් විස්තර කරන්න. පාවුල් දීපු වටිනා උපදෙස මොකක්ද?

14 කෙනෙක්ගේ හෘදය සාක්ෂිය තවත් කෙනෙක්ගේ හෘදය සාක්ෂියට වඩා වෙනස් කියලා තේරුම්ගන්න පාවුල්ගේ කාලේ වුණු දෙයක් උදව් වෙනවා. ඒ කාලේ බොරු දෙවිවරුන්ට පූජා කරපු මස්, කඩවල්වල විකුණන්න තිබුණා. (1 කොරින්ති 10:25) හැම කෑමක්ම ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන් නිසා ඒ මස් කන එකේ වරදක් නැහැ කියලයි පාවුල් හිතුවේ. හැබැයි කලින් රූපවලට නමස්කාර කරපු අය හිතුවේ ඒ මස් කන එක වැරදියි කියලයි. ‘එයාලා කොහොම හිතුවත් මට වැඩක් නැහැ, ඕනම දෙයක් කන්න මට නිදහස තියෙනවා’ කියලා පාවුල් හිතුවාද?

15 නැහැ. එහෙම හිතනවා වෙනුවට පාවුල් වැඩියෙන්ම සැලකිලිමත් වුණේ සහෝදරයන්ගේ හැඟීම් ගැන. මොකද එයාට ඕන වුණේ යේසුස්ව ආදර්ශයට ගන්න. ‘අපි අපේම සතුට ගැන හිතන එක සුදුසු නැහැ’ කියලත් “ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන හිතුවේ නැහැ” කියලත් එයා කිව්වේ ඒ නිසයි. (රෝම 15:1, 3) සහෝදරයන් ගැන සැලකිලිමත් වුණු නිසා එයාලා වෙනුවෙන් සමහර දේවල් අත්හරින්න වුණත් පාවුල් කැමති වුණා.—1 කොරින්ති 8:13; 10:23, 24, 31-33 කියවන්න.

16. සහෝදරයන්ව විනිශ්චය කරන්න හොඳ නැත්තේ ඇයි?

16 වැරදියි කියලා අපේ හෘදය සාක්ෂියට දැනෙන දෙයක් සහෝදරයෙක් කරනවා දැක්කොත් මොකද කරන්නේ? අපි හිතන විදිහ තමයි හරි, එයා හිතන විදිහ වැරදියි කියලා එයාට හැඟෙන්න සලස්වන්නවත් ඒ ගැන එයාට දොස් කියන්නවත් හොඳ නැහැ. (රෝම 14:10 කියවන්න.) මොකද යෙහෝවා දෙවියන් අපිට හෘදය සාක්ෂියක් දීලා තියෙන්නේ අපිවම විනිශ්චය කරගන්න මිසක් අනිත් අයව විනිශ්චය කරන්න නෙවෙයි. (මතෙව් 7:1) අනික සභාවේ බෙදීමක් ඇති වෙනවාට අපි කැමති නැහැ. අපිට ඕනෙ සහෝදරයන් අතරේ තියෙන ආදරේ, සාමය වැඩි වෙනවා දකින්නයි.—රෝම 14:19.

නිදොස් හෘදය සාක්ෂියක් තියෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17. සමහර අයගේ හෘදය සාක්ෂියට වෙලා තියෙන්නේ මොනවාද?

17 අපි “දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න” ඕනේ. (1 පේතෘස් 3:16) ඒත් හුඟක් අය දෙවියන්ගේ ප්‍රතිපත්ති නොසලකාහරින නිසා එයාලගේ හෘදය සාක්ෂිය කිසිම දෙයක් නොදැනෙන තත්වයට පත් වෙලා. එයාලගේ හෘදය සාක්ෂිය කොච්චර දැඩි වෙලාද කිව්වොත් ඒක “යකඩයකින් හංවඩු ගසනු ලැබූ සමක් හා සමානයි” කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 4:2) කෙනෙක්ගේ හම හොඳටම පිච්චුණාම කාලයක් යද්දී පිච්චුණු තැන කිසි දෙයක් දැනෙන්නේ නැති තත්වයට පත් වෙනවා. ඒ වගේ, කෙනෙක් දිගටම වැරදි දේවල් කරද්දී එයාගේ හෘදය සාක්ෂියත් හංවඩු ගැහෙනවා.

හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරනවා නම් වැරදි හදාගෙන සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්

18, 19. (අ) හෘදය සාක්ෂිය වධ දෙද්දී ඔයා කරන්න ඕනෙ මොනවාද? (ආ) වරදක් ගැන පසුතැවුණාට පස්සෙත් ඒ ගැන හිත වධ දෙනවා නම් කරන්න ඕනෙ මොනවාද?

18 සමහර අවස්ථාවලදී අපේ හෘදය සාක්ෂිය වධ දෙන්නේ අපි වැරදි දෙයක් කරපු නිසයි. ඒ වගේ වෙලාවට අපේ වරද අඳුනගෙන ආයෙත් ඒක නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ. දාවිත් අතින් ලොකු වරදක් වුණාම එයාට දැනුණේ කොහොමද? එයාගේ හිත වධ දුන්නා. එයා කරපු වරද ගැන පිළිකුලක් ඇති කරගෙන දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒක එයාට උදව් වුණා. යෙහෝවා දෙවියන් ‘සමාව දීමට කැමති, යහපත් කෙනෙක්’ කියලා එයා අද්දැක්කා.—ගීතාවලිය 51:1-19; 86:5; 7වෙනි අමතර සටහන බලන්න.

19 හුඟ කාලෙකට කලින් කරපු වරදක් ගැන ඔයාගේ හිත තාමත් වධ දෙනවාද? එහෙනම් ඔයා කිසි වටිනාකමක් නැති කෙනෙක් කියලා ඔයාට හැඟෙනවා ඇති. අතීතය වෙනස් කරන්න ඔයාට බැහැ. හැබැයි ඔයා පසුතැවිලි වුණු නිසා යෙහෝවා දෙවියන් ඔයාට සමාව දීලයි තියෙන්නේ. ඔයා ඒ වරද කළේ දැනුවත්ව වුණත් නොදැනුවත්ව වුණත් දෙවියන් ඒක මතකයේ තියාගන්නේ නැහැ. දැන් ඔයා හරි දේ කරන නිසා ඔහු ඔයාව සලකන්නේ නිදොස් කෙනෙක් විදිහට. බයිබලයේ කියන්නේ “අපගේ සිත් අපට දොස් නැඟුවත් අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා” කියලයි. (1 යොහන් 3:19, 20 කියවන්න.) ඒක මොන තරම් සහනයක්ද! යෙහෝවා දෙවියන් ඔයාට සමාව දීලයි තියෙන්නේ. හැබැයි ඒක පිළිගත්තොත් විතරයි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සතුටින් දෙවියන්ට සේවය කරන්න ඔයාට පුළුවන් වෙන්නේ.—1 කොරින්ති 6:11; හෙබ්‍රෙව් 10:22.

20, 21. (අ) මේ පොත ඔයාට උදව් වෙන්නේ මොනවා කරන්නද? (ආ) දෙවියන් අපිට නිදහස දීලා තියෙන්නේ මොනවා කරන්නද? ඒ නිදහස පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

20 මේ පොත සකස් කරලා තියෙන්නේ අපේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න අපිට උදව් කරන්නයි. ජීවිතේ හැම කාරණයකදීම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගන්නත් වැරදි දේවල් නොකර ඉන්නත් ඒක ඔයාට උදව් වෙයි. හැබැයි හැම අවස්ථාවකදීම කරන්න ඕනෙ මොනවාද කියලා මේ පොතේ නැහැ. අපි දැන් ජීවත් වෙන්නේ “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ. දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරන්න ඒ නීතිය අපිට උදව් වෙනවා. (ගලාති 6:2) බයිබලයේ හැම කාරණයක් ගැනම නීති දීලා නැති එක නිදහසට කරුණක් කරගෙන අපි වැරදි දේවල් කරනවාද? නැහැ. (2 කොරින්ති 4:1, 2; හෙබ්‍රෙව් 4:13; 1 පේතෘස් 2:16) අපිට ඕනෙ දෙවියන් අපිට තීරණ ගන්න දීලා තියෙන නිදහස ඔහු සතුටු වෙන විදිහට පාවිච්චි කරන්නයි.

21 බයිබල් ප්‍රතිපත්ති හොඳට තේරුම් අරන් ඒවා ජීවිතයට අදාළ කරගද්දී “වටහාගැනීමේ හැකියාව” දියුණු කරගන්නත් යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්නත් අපි හුරු වෙනවා. (හෙබ්‍රෙව් 5:14) ඒ විදිහට හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරද්දී දෙවියන්ගේ ආදරේ අද්දකිමින් හැමදාටම සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්.

^ මත්පැන්වලට ඇබ්බැහි වුණු අයට තමන් බොන ප්‍රමාණය පාලනය කරගන්න බැරි නිසා හොඳම දේ මත්පැන් බොන එක නතර කරන එකයි කියලා හුඟක් වෛද්‍යවරු කියනවා.