Skip to content

පටුනට යන්න

12වෙනි පරිච්ඡේදය

‘ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න’

‘ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න’

‘ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.’—එෆීස 4:29.

1-3. (අ) දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක් මොකක්ද? ඒක පාවිච්චි කරන විදිහ ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (ආ) ඒ තෑග්ග අපි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද?

 තාත්තා කෙනෙක් යෞවන වයසේ ඉන්න තමන්ගේ පුතාට ලස්සන බයිසිකලයක් අරන් දෙනවා. හිතන්න ඒ පුතා තමන්ටත් අනිත් අයටත් හානියක් වෙන විදිහට ඒක පදිනවා කියලා. තාත්තාට ඒ ගැන කොහොම හැඟෙයිද?

2 අපිට ‘සෑම යහපත් දීමනාවක්ම හා තෑග්ගක්ම’ ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්. (යාකොබ් 1:17) ඔහු දීලා තියෙන එක තෑග්ගක් තමයි කතා කරන්න අපිට තියෙන හැකියාව. ඒ තෑග්ග නිසා අපේ හැඟීම් සහ සිතුවිලි ගැන අනිත් අයට කියන්නත් අනිත් අයව දිරිගන්වන්නත් අපිට පුළුවන්. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් අපි කියන දේවල් නිසා අනිත් අයට හානියක් වෙයි. හිත් වේදනාවන් ඇති වෙයි.

3 අපේ වචන හරි විදිහට පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා. උදාහරණෙකට ඔහු මෙහෙම කියනවා. ‘ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක් කතා කරන්න.’ (එෆීස 4:29) දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ග ඔහු සතුටු වෙන විදිහටත් අනිත් අය දිරිගැන්වෙන විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

කියන්න කලින් හිතන්න

4, 5. වචනවලින් කරන්න පුළුවන් මොනවාද?

4 වචනවලින් කෙනෙක්ව දිරිගන්වන්නත් බිඳ දමන්නත් පුළුවන්. බයිබලයේ මෙහෙම කියනවා. “සන්සුන්ව දිව හසුරුවන තැනැත්තා ජීවන වෘක්ෂයකි. එහෙත් හානිකර ලෙස දිව හසුරුවන තැනැත්තා සිත් බිඳ දමයි.” (හිතෝපදේශ 15:4, පාදසටහන) ජීවිතය පවත්වාගන්නත් ප්‍රබෝධයක් ලබාගන්නත් ගස් කොළන් උදව් වෙනවා වගේ කාරුණික කතාබහ උදව් වෙනවා අනිත් අයට ලොකු දිරිගැන්වීමක් සහ සහනයක් ලබා දෙන්න. හැබැයි සැරපරුෂ විදිහට කතා කළොත් වෙන්නේ අනිත් අයගේ හිත් බිඳෙන එකයි.—හිතෝපදේශ 18:21.

දිරිගැන්වෙන වචනවලින් ප්‍රබෝධයක් ලැබෙනවා

5 හිතෝපදේශ 12:18 මෙහෙම කියනවා. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.” අකාරුණික වචන නිසා අනිත් අයගේ හිත් රිදෙන්නත් මිතුදම් බිඳෙන්නත් පුළුවන්. ඒත් හොඳට හිතලා කතා කළොත් හිත් වේදනාවන් සුව කරන්නත් බිඳුණු බැඳීම් ආයෙත් ඇති කරගන්නත් පුළුවන්.—හිතෝපදේශ 16:24 කියවන්න.

6. අපේ වචන පාලනය කරගන්න එක ලේසි නැත්තේ ඇයි?

6 පව්කාරකම උරුම වෙලා තියෙන නිසාත් අපේ වචන ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. කටින් පිට වෙන්නේ හිතේ තියෙන දේ කියලත් ‘මිනිසාගේ සිත නපුරටම යොමු වී’ තියෙනවා කියලත් බයිබලයේ කියනවා. (ලූක් 6:45; උත්පත්ති 8:21) ඒ නිසා දිව පාලනය කරගන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. (යාකොබ් 3:2-4 කියවන්න.) අමාරු වුණත් දිගටම ඒ දේ කරන එක හරිම වැදගත්.

7, 8. අපි කියන දේවල් යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?

7 අපි කියන දේවල් ගැන යෙහෝවා දෙවියන්ට ගණන් දෙන්න වෙනවා. යාකොබ් 1:26 මෙහෙම කියනවා. ‘නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්. ඔහුගේ නමස්කාරය නිෂ්ඵලයි.’ කියන දේවල් ගැන පරෙස්සම් වුණේ නැත්නම් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.—යාකොබ් 3:8-10.

8 අපි කියන දේවල් ගැනත් කියන විදිහ ගැනත් පරෙස්සම් වෙන එක කොච්චර වැදගත්ද! කතා කරන්න අපිට තියෙන හැකියාව දෙවියන් සතුටු වෙන විදිහට පාවිච්චි කරන්න නම් අපි වළකින්න ඕන දේවල් ගැන දැන් බලමු.

හානිකර කතා

9, 10. (අ) අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ මොනවාද? (ආ) අසභ්‍ය දේවල් කතා කරන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

9 අසභ්‍ය දේවල් කතා කරන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. හිතට වදින විදිහට දෙයක් කියන්න නම් ඒක ‘කුණුහරුපෙන්ම කියන්න ඕනෙ’ කියලයි හුඟක් අය හිතන්නේ. විකට චරිත රඟපාන අයත් මිනිසුන්ව හිනාගස්සන්නේ අසභ්‍ය විහිළුවලින්. හැබැයි බයිබලයේ කියන්නේ උදහස, කෝපය, නින්දාසහගත කතා සහ අසභ්‍ය කථා අපේ මුවින් පිට නොවිය යුතුයි කියලයි. (කොලොස්සි 3:8) ක්‍රිස්තියානීන් අතරේ ‘අසභ්‍ය විහිළු’ “කිසිසේත් සඳහන් නොකළ යුතුයි” කියලත් බයිබලයේ කියනවා.—එෆීස 5:3, 4.

10 යෙහෝවා දෙවියනුත් ඔහුට ආදරේ කරන අයත් අසභ්‍ය කතාබහ සලකන්නේ අපවිත්‍ර දෙයක් විදිහට. ‘අපවිත්‍රව’ හැසිරෙන්නේ පව්කාර ආශාවන්ට යටත් වුණු කෙනෙක් කියලා බයිබලයේ කියනවා. (ගලාති 5:19-21) ‘අපවිත්‍රව’ හැසිරෙනවා කියද්දී ඒකට පහත් කතාබහ ඇතුළු නරක පුරුදු ගණනාවක්ම ඇතුළත් වෙනවා. එක අපවිත්‍ර පුරුද්දක් තවත් අපවිත්‍ර පුරුද්දකට මඟ පාදන්න පුළුවන්. කෙනෙක් මුරණ්ඩු විදිහට දිගින් දිගටම අසභ්‍ය දේවල් කතා කරනවා නම් ඒ කෙනාව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න වුණත් ඉඩ තියෙනවා.—2 කොරින්ති 12:21; එෆීස 4:19; 23වෙනි අමතර සටහන බලන්න.

11, 12. (අ) අපේ කතාබහ හානිකර ඕපාදූපයක් බවට පෙරළෙන්න පුළුවන් කොහොමද? (ආ) අනිත් අයගේ චරිතයට හානියක් වෙන දේවල් කියන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

11 හානිකර ඕපාදූපවලිනුත් අපි වළකින්න ඕනේ. පවුලේ අය ගැනත් යාළුවන් ගැනත් තොරතුරු බෙදාගන්න හැමෝම වගේ ආසයි. මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීනුත් අනිත් සහෝදරයන් මුහුණ දීපු දේවල් ගැන සහ එයාලට උදව් ඕන වුණු පැති ගැන දැනගන්න කැමැත්තෙන් හිටියා. (එෆීස 6:21, 22; කොලොස්සි 4:8, 9) හැබැයි අපි මතක තියාගන්න ඕනෙ අනිත් අය ගැන කතා කරන දේවල් හානිකර ඕපාදූපයක් බවට පෙරළෙන්න පුළුවන් කියලා. ඕපාදූප පතුරුවද්දී කෙනෙක් ගැන බොරු කියන්නත් පෞද්ගලික කාරණා හෙළි කරන්නත් පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් කෙනෙක්ගේ චරිතය ඝාතනය වෙන්නත් ඉඩ තියෙනවා. උදාහරණෙකට පරිසිවරු යේසුස් ගැන බොරු චෝදනා නඟපු නිසා යේසුස්ගේ චරිතය ඝාතනය වුණා. (මතෙව් 9:32-34; 12:22-24) කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන එකෙන් විවාද සහ හිත් වේදනා ඇති වෙන්නත් මිතුදම් බිඳෙන්නත් ඉඩ තියෙනවා.—හිතෝපදේශ 26:20.

12 යෙහෝවා දෙවියන් කැමති අපි අනිත් අයව දිරිගැන්වෙන විදිහට කතා කරනවාට මිසක් යාළුකම් නැති වෙන විදිහේ දේවල් කියනවාට නෙවෙයි. “සහෝදරයන් අතර භේද පතුරුවන” එක ඔහු හෙළාදකිනවා. (හිතෝපදේශ 6:16-19) යක්ෂයා තමයි දෙවියන්ට අපහාස කරමින් මුල්ම වතාවට චරිත ඝාතනයක් කළේ. (එළිදරව් 12:9, 10) අනිත් අය ගැන බොරු ආරංචි පතුරුවන එක අද මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි දෙවියන්ගේ සෙනඟ අතරේ නම් එහෙම වෙන්න හොඳ නැහැ. (ගලාති 5:19-21) ඒ නිසා ඕනම දෙයක් කියන්න කලින් අපි ඒ ගැන හොඳට හිතන්න ඕනේ. කෙනෙක් ගැන මොනවා හරි දෙයක් කියන්න කලින් මෙහෙම හිතන්න. ‘මං කියන්න හදන දේ ඇත්තක්ද? ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙයිද? ඒ කෙනා ළඟ හිටියා නම් මං මේ දේ කියයිද? කෙනෙක් ඒ වගේ දෙයක් මං ගැන කිව්වොත් මට කොහොම හැඟෙයිද?’—1 තෙසලෝනික 4:11 කියවන්න.

13, 14. (අ) නින්දාසහගත කතා මිනිසුන්ට බලපාන්න පුළුවන් කොහොමද? (ආ) ක්‍රිස්තියානීන් නින්දාසහගත කතාබහෙන් වළකින්න ඕනෙ ඇයි?

13 හිතන්නේ නැතුව කියපු දේවල් ගැන අපි හැමෝම පසුතැවිලා ඇති. හැබැයි පුරුද්දක් විදිහට අනිත් අයව විවේචනය කරන්නවත් හිත් පෑරෙන දේවල් කියන්නවත් අපිට කිසිම උවමනාවක් නැහැ. අපි නින්දාසහගත කතා කියන එකෙන් වළකින්න ඕනේ. බයිබලයේ කියනවා ‘දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න’ කියලා. (එෆීස 4:31) “නින්දාසහගත කතා” කියන යෙදුම සමහර බයිබල්වල “දුෂ්ට කතා,” “ද්වේශසහගත කතා” සහ “අපහාසාත්මක කතා” විදිහටත් පරිවර්තනය කරලා තියෙනවා. කෙනෙක්ට නින්දා කරද්දී ඒ කෙනාගේ ගෞරවයට හානි වෙනවා. තමන් කිසි වටිනාකමක් නැති කෙනෙක් කියලත් ඒ කෙනාට හැඟෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවෙක්ට ඒ විදිහට කතා කළොත් ඒ දරුවා මානසිකව වැටෙන්න පුළුවන්.—කොලොස්සි 3:21.

14 හිතාමතාම පුරුද්දක් විදිහට අනිත් අයට නින්දා කරන එක බරපතළ වරදක්. කෙනෙක් තමන්ගේ සහකරුට, සහකාරියට නැත්නම් දරුවන්ට ඒ විදිහට සැලකුවොත් ඒක මොන තරම් වේදනාකාරී දෙයක් වෙයිද! කෙනෙක් මුරණ්ඩු විදිහට දිගින් දිගටම අනිත් අයට නින්දා කරනවා නම් ඒ කෙනාව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න වුණත් ඉඩ තියෙනවා. (1 කොරින්ති 5:11-13; 6:9, 10) අසභ්‍ය කථා, බොරු තොරතුරු සහ අකාරුණික දේවල් කියනවා නම් යෙහෝවා දෙවියන් එක්කත් අනිත් අය එක්කත් තියෙන බැඳීමට හානියක් වෙනවා කියලා පැහැදිලියි නේද?

දිරිගන්වන කතාබහක්

15. බැඳීම් ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොන වගේ කතාබහද?

15 යෙහෝවා දෙවියන් කැමති විදිහට අපේ කතාබහ පවත්වාගන්න පුළුවන් කොහොමද? බයිබලයේ කියන්නේ අපි කතා කරන්න ඕනෙ ‘ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක්’ ගැන කියලයි. (එෆීස 4:29) අනිත් අයව දිරිගන්වන කෙනෙක් නිතරම කතා කරන්නේ පවිත්‍ර, කාරුණික, සැබෑ දේවල් ගැන. අපිත් ඒ විදිහේ දේවලින් අනිත් අයව දිරිගන්වනවාටයි යෙහෝවා දෙවියන් කැමති. හැබැයි අකාරුණික දෙයක් කියනවා වෙනුවට දිරිගන්වන දෙයක් කියන්න නම් අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ.—තීතස් 2:8.

16, 17. (අ) අපි අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි? (ආ) අපිට අගය කරන්න පුළුවන් කාවද?

16 යෙහෝවා දෙවියන් සහ යේසුස් අනිත් අයව අවංකවම අගය කරනවා. අපිටත් ඕනෙ ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරන්න. (මතෙව් 3:17; 25:19-23; යොහන් 1:47) කෙනෙක්ව අවංකවම අගය කරන්න නම් ඒ කෙනා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එයාගේ හොඳ පැති ගැන හිතන්න ඕනේ. හිතෝපදේශ 15:23 කියනවා “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද” කියලා. හොඳට කරපු දෙයක් ගැන කෙනෙක් අපිව අගය කරද්දී, ස්තුති කරද්දී අපි දිරිගැන්වෙනවා නේද?—මතෙව් 7:12 කියවන්න; 27වෙනි අමතර සටහන බලන්න.

17 අනිත් අයගේ හොඳ පැති ගැන හිතන්න පුරුදු වුණොත් අවංකවම එයාලව අගය කරන්න ඔයාට පුළුවන් වෙයි. උදාහරණෙකට සභාවේ කෙනෙක් එයාගේ පැවරුමකට හොඳින් සූදානම් වෙලා එයි. නැත්නම් රැස්වීම්වල අදහස් දක්වන්න ලොකු වෑයමක් දරයි. දරුවෙක් පාසැලේදී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ලොකු වෑයමක් දරනවා කියලා ඔයාට දැනගන්න ලැබෙයි. මහලු කෙනෙක් නොකඩවා සේවයේ හවුල් වෙන විදිහ ඔයා දකියි. වචනයකින් දෙකකින් වුණත් ඒ අයව දිරිගන්වන්න ඔයාට පුළුවන්. විශේෂයෙන්ම සැමියෙක් බිරිඳට ආදරෙයි කියලා කියන එකත් එයාව අගය කරන එකත් හරිම වැදගත්. (හිතෝපදේශ 31:10, 28) පැළයකට හිරු එළියත් වතුරත් ඕනෙ වගේ අනිත් අය අපිව අගය කරනවා කියලා අපි හැමෝටම දැනෙන්න ඕනේ. විශේෂයෙන්ම දරුවන්ට ඒක ඕනෙමයි. ඒ නිසා එයාලගේ හොඳ ගතිගුණ වගේම එයාලා කරන හොඳ දේවල් ගැන අගය කරන්න. ඒකෙන් එයාලගේ ධෛර්යයත් ආත්ම විශ්වාසයත් වැඩි වෙයි. දේවල් තවත් හොඳින් කරන්න ඒක එයාලට උදව් වෙයි.

කියන දේවලිනුත් ඒ දේවල් කියන විදිහෙනුත් අනිත් අයව දිරිගන්වන්නත් සනසවන්නත් අපිට පුළුවන්

18, 19. අනිත් අයව දිරිගන්වන්නත් සනසන්නත් අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

18 අපි අනිත් අයව දිරිගන්වනවා නම්, සනසනවා නම් යෙහෝවා දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වෙයි. “පීඩාවට පත් වූ අසරණයන්” ගැන ඔහු හුඟක් සැලකිලිමත් වෙනවා. (යෙසායා 57:15) ඒ නිසයි “එකිනෙකාව ශක්තිමත් කරන්න” කියලත් “කලකිරී සිටින අයව සනසවන්න” කියලත් ඔහු අපිට කියලා තියෙන්නේ. (1 තෙසලෝනික 5:11, 14) ඒ දේ කරන්න අපි දරන වෑයම ඔහු හුඟක් අගය කරනවා.

19 සභාවේ කෙනෙක් ලොකු පීඩනයකින් ඉන්නවා කියලා ඔයා දැක්කොත් ඔයාට කරන්න පුළුවන් මොනවාද? එයාගේ ප්‍රශ්නේ විසඳන්න ඔයාට බැරි වෙයි. ඒත් ඔයාට පුළුවන් ඔයාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න. උදාහරණෙකට ඒ කෙනා එක්ක වැඩි වෙලාවක් ගත කරන්න, දිරිගැන්වෙන බයිබල් පදයක් පෙන්වන්න නැත්නම් එයාත් එක්ක යාච්ඤා කරන්න වුණත් ඔයාට පුළුවන්. (ගීතාවලිය 34:18; මතෙව් 10:29-31) සභාවේ අයත් එයාට හුඟක් ආදරෙයි කියලා එයාට කියන්න. (1 කොරින්ති 12:12-26; යාකොබ් 5:14, 15) ඔයා ඒ දේවල් කියන්නේ අවංකවමයි කියලා එයාට දැනෙන එකත් හරිම වැදගත්.—හිතෝපදේශ 12:25 කියවන්න.

20, 21. කෙනෙක්ට පිළිගන්න ලේසි වෙන විදිහට උපදෙස් දෙන්න පුළුවන් කොහොමද?

20 උපදෙස් දීමෙනුත් අනිත් අයව දිරිගන්වන්න පුළුවන්. අපි හැමෝටම සමහර අවස්ථාවලදී උපදෙස් ඕන වෙනවා. හිතෝපදේශ 19:20 කියන්නේ මෙහෙමයි. “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.” උපදෙස් දෙන්න පුළුවන් වැඩිමහල්ලන්ට විතරක් නෙවෙයි. දෙමාපියන් එයාලගේ දරුවන්ට උපදෙස් දෙන්න ඕනේ. (එෆීස 6:4) සහෝදරියන්ටත් පුළුවන් එකිනෙකාට උපදෙස් දෙන්න. (තීතස් 2:3-5) අපි සහෝදරයන්ට ආදරේ නිසා උපදෙස් දෙද්දී එයාලගේ හිත් රිදෙන්නේ නැති විදිහටයි ඒ දේ කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

21 සමහරවිට ඔයාටත් කාගෙන් හරි වටිනා උපදෙසක් ලැබිලා ඇති. ඒ උපදෙස පිළිගන්න ඔයාට ලේසි වුණේ ඇයි? එයා ඇත්තටම ඔයා ගැන සැලකිලිමත් වෙනවා කියලා ඔයාට දැනෙන්න ඇති. එයා ආදරයෙන්, කරුණාවෙන් ඔයා එක්ක කතා කරන්න ඇති. (කොලොස්සි 4:6) උපදෙස් දුන්නේ බයිබලයෙන් වෙන්න ඇති. (2 තිමෝති 3:16) කෙනෙක්ට උපදෙස් දෙද්දී බයිබල් පදයක් පෙන්නුවත් නැතත් ඒ උපදෙස පදනම් වෙන්න ඕනෙ බයිබල් ප්‍රතිපත්ති මතයි. පෞද්ගලික අදහසක් පිළිගන්න කියලා කෙනෙක්ට බල කරන එකවත් බයිබල් පද තමන්ගේ වාසියට හරවාගන්න එකවත් සුදුසු නැහැ. උපදෙසක් පිළිගන්න ඔයාට උදව් වුණේ මොනවාද කියලා මතක තියන් ඉන්න එක අනිත් අයට උපදෙස් දෙද්දී ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

22. කතා කිරීමේ හැකියාව ඔයා පාවිච්චි කරන්න කැමති කොහොමද?

22 අපි ඇත්තටම යෙහෝවා දෙවියන්ට ආදරෙයි නම් කතා කරන්න අපිට තියෙන හැකියාව දෙවියන් කැමති විදිහට අපි යොදාගනියි. අපේ වචනවලින් අනිත් අයව වට්ටන්න හරි ගොඩනංවන්න හරි පුළුවන්. ඒ නිසා කොයි වෙලෙත් දිරිගැන්වෙන විදිහට කතා කරමු.